දසලක්ෂයේ හෙළිදරව්ව – සී.ජේ.අමරතුංග
මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුවලදී මගඩියක් නැතහොත් මහා වංචාවක් සිදු වූ බවට කෑ ගැසූ ප්‍රධාන දේශපාලනඥයෙක් වූයේ එවකට ඇමැතිවරයකුව සිටි දයාසිරි ජයසේකර මහතා බව කවුරුත් දන්නා කාරණයකි. එකල ඔහු කීවේ මෙම මගඩියේ අලගිය මුලගිය තැන් සියල්ල සෙවිය යුතු බවයි. මෙය මහා වංචාවක් බව කියමින් ඔහු ඇඟිල්ල දිගු කළේ එක්සත් ජාතික පක්ෂ නායකත්වය වෙතටය. විශේෂයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටය. ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරුන්ටය.
දයාසිරි කී ලෙසටම ආණ්ඩුව මෙම මගඩියේ අලගිය මුලගිය තැන් සොයන්නට පටන්ගත්තේය. මැති ඇමැතිවරු කොමිසන් ඉදිරියට ගියෝය. අගමැතිවරයාද කොමිසම ඉදිරියේ සාක්ෂි දුන්නේ ය. කවුරුවත් අසනීපයි කියා වෛද්‍ය වාර්තා ඉල්ලුවේ නැත. කාටවත් නයා ගැසුවේද නැත. උසාවි නියෝග ලබා ගත්තේ ද නැත. විපක්ෂයේ දේශපාලනඥයන් චෝදනාවට ලක්වන විට කරන්නේ එහෙමය. ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් කළේ කොමිසමට ඉදිරිපත්වී නිවැරැදි බව ප්‍රකාශ කිරීමය.
දයාසිරි කී ලෙසටම අලගිය මුලගිය තැන් හෙළිදරව් වන්නට විය. රවි කරුණානායක ඇමැතිවරයාට ඇමැතිධුරයද අහිමි විය. ජනාධිපති කොමිසම කියන්නේ එම සිදුවීම බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ නැති වුවද අල්ලස් චෝදනා එල්ල කළ හැකිදැයි වැඩිදුර පරීක්ෂා කළ යුතු බවකි.
එමෙන්ම බැඳුම්කර ගනුදෙනුවල ලාභය පර්පචුවල් ට්‍රෙෂරීස් හා වෙනත් අනුබද්ධ සමාගම්වල ගිණුම්වල තැන්පත්ව ඇති බවත්, එක්සත් ජාතික පක්ෂයට හෝ එහි ප්‍රධානින්ට හෝ මුදල් ලැබුණු බවට කිසිදු සාක්ෂියක් නැති බවත්, කොමිසමේ වාර්තාවේ පැහැදිලිව සඳහන්කොට ඇත. එම නිගමනයන්ගෙන් බැඳුම්කර ගනුදෙනුව ගැන විපක්ෂයේ ප්‍රචාරයද පුස්සක් වී ගිය බවක් පෙනෙන්නට ඇත. කෙසේ වෙතත් දැන් සිදුවී තිබෙන්නේ කවුරුත් නොසිතූ තොරතුරක් හෙළිවීමකි. එනම් බැඳුම්කර ගනුදෙනුව ගැන මහ හඬක් නැඟූ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා වංචාවට චෝදනාවට ලක් වී ඇති ප්‍රධාන සැකකරුගේ සමාගමකින් රුපියල් ලක්ෂ දහයක අල්ලසක් නැතහොත් සංතෝෂමක් ලබාගෙන ඇති බවයි. දයාසිරි එලෙස මුදල් ගත් බව දැන් පිළිගෙන ඇත. එසේ පිළිගෙන ඇත්තේ සියලු සාක්ෂි සහිතව උසාවියට කරුණු ඉදිරිපත්වීමෙන් පසුවය. එම මුදල් ලබාගැනීම සිදුවී ඇත්තේ බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව චෝදනාව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට එල්ල වී තිබියදීමය.
දැන් කියන කතාව
දයාසිරි ජයසේකර මහතා දැන් කියන්නේ අර්ජුන ඇලෝසියස් මහතා මෙන්ම ඔහුගේ පියාද තමන්ගේ පවුලේ මිතුරන් බවයි. මුදල් ලබාගත්තේ මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා බවද දේශපාලනඥයන් බොහෝ දෙනෙකු එසේ මුදල් ලබා ගන්නා බවද දයාසිරි ජයසේකර මහතා කියයි. ඔහු කියන්නේ පාර්ලිමේන්තුවේ තවත් එබඳු මන්ත්‍රීවරුන් සිටින බවයි.
දයාසිරි ජයසේකර මහතා මේ කතන්දර සියල්ල කියන්නේ ගනුදෙනුව හෙළිදරව් වූ පසුවය. එතෙක් ඔහු සිටියේ බැඳුම්කර මගඩි සොයන සුද්ධවන්තයකු ලෙසය. ඔහු කෝප් කමිටුවේද සාමාජිකයකුව සිටියේය.අර්ජුන ඇලෝසියස්ලා තම හිතවතුන් බව හෝ මුදල් දුන් බවක් ඔහු එහිදී කීවේ නැත. ඇලෝසියස්ගෙන් මුදල් ලබාගෙන ඔහුගේ ගනුදෙනු පරීක්ෂා කරන කමිටුවක සිටීම පැහැදිලිවම ළැදියාවන්ගේ ගැටුමකි. අඩු තරමින් ඔහු මෙම ළැදියාවන්ගේ ගැටුම හෙළිදරව් කළ යුතුව තිබිණි.
දැන් දයාසිරි කියන්නේ තමන් බැඳුම්කර හොරුන් ආරක්ෂා නොකළ නිසා මෙය අල්ලසක් නොවන බවයි. එසේවුවද එය සම්පූර්ණයෙන් පිළිගත හැකිද යන්න ප්රශ්නයකි. මෙබඳු අවස්ථාවක චෝදිතයකුට උදව් කළ හැකි විවිධ ක්‍රම ඇති නිසාය. ප්‍රසිද්ධියේ එකක් කියමින් වෙනත් දේ කළ හැකිය. සංවේදී තොරතුරු – ලබාදීම එයින් එකකි.
ගැලවීමක් නෑ
ව්‍යාජ සතුරෙකු මවා පාන්නේ සැබෑ සතුරා මගහරින්නය යන්න චීනයේ කොමියුනිස්ට් පක්ෂ නායකයාව සිටි සභාපති මාඕ සේතුංගේ කියමනකි. මෙහිදීද එවැන්නක් සිදුවූවා වීමටද බැරි නැත. වෙනත් අය ප්‍රශ්නයට පටලවා ඇලෝසියස්ලා ගැන අවදානය ඉවතට යොමු කළ හැකිය. ප්‍රබලයින්ගේ නම් පටලවා ඔවුන් ලවා පරීක්ෂණවලට බලපෑම් කරවීමේ උත්සාහයක් ද තිබුණා විය හැකිය. තමන්ට ලක්ෂ දහයකින් ආධාර කළ අයෙකු වෙනුවෙන් කිසිවක්ම නොකොට ඔහුගේ හොරකම් අල්ලන්නට කෙනෙකු ඉදිරියට ගිය බව කියන විට එය ගැන සැක මතුවීම පුදුමයට කරුණක් නොවේ. සියල්ල හෙළි වූ නිසා ඒ ගැන කෙඳිරිගෑමෙන් පළක් නැත. තවත් අය මුදල් ගත්තා යැයි කීමෙන් මෙම ගනුදෙනුවේ බරපතළ කම අඩුවන්නේ නැත. සිදුවන එකම දේ නම් බොහෝ දෙනා වැරදි කර ඇති බව හෙළිවීමය. අප රටේ දේශපාලනය ජරාජීර්ණ වී ඇති තරම හෙළිදරව්වීමය.
එක අතෙකින් ගත්විට දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියාව මේ රටේ සමස්ත දේශපාලනයේ ප්රශ්නයකි. මෙය බොහෝවිට සිදුවන්නකි. මැතිවරණ සඳහා විශාල වශයෙන් මුදල් වියදම් කිරීමට අපේක්ෂකයන්ට සිදුවී ඇත. එහිදී පිහිටට එන්නෝ ව්‍යාපාරිකයෝය. වැඩි වශයෙන්ම එලෙස මුදල් වියදම් කරන්නේ කළු සල්ලිකාරයන් බවට සැක නැත. විවිධාකාර මගඩිවලින් මුදල් උපයාගත් උදවිය මැතිවරණවලදී අපේක්ෂකයන්ට වියදම් කරති. බොහෝ විට ප්‍රබල අපේක්ෂකයන්ට එලෙස මුදල් ලැබේ. කළු සල්ලිකාරයන් එලෙස දේශපාලනඥයන් සඳහා මුදල් වියදම් කරන්නේ මීයක් කඩාගන්නට මිස අත ලෙවකන්නට නොවන බව පැහැදිලි කාරණයකි.
කළු සල්ලිකාරයින් ගෙන්වා ගැනීම
මැතිවරණවලට ඉදිරිපත්වන ඇතැම් අපේක්ෂකයෝ තමන්ට ලැබෙන ඇමැතිකම් ගැන පුරාජේරු කියති. මට අහවල් ඇමැතිකම ලැබෙනවා යනුවෙනි. එවිට එම ඇමැතිකමෙන් ලාභ ප්‍රයෝජන ගන්නට හිතන කළු සල්ලිකාරයන් ළඟට ගෙන්වාගත හැකි නිසාය. බලයට පැමිණි පසු සිදුවන්නේ කළගුණ සලකන්නටය. නැතහොත් දුන් අල්ලසට වැඩේ කර දෙන්නටය. ඇමැතිකම් නොලැබුණු විට නැතහොත් ප්‍රබල ඇමැති ධුරයක් නොලැබුණු විට මන්ත්‍රීවරුන් නාහෙන් අඬන්නේ ඒ නිසාය. පක්ෂ තුළ ගැටුම් ඇති කරගන්නේ ඒ නිසාය. ජනතාවට සේවය කරන්න බලය ඉල්ලන උදවිය ඉන්නවානම් ඒ කිහිප දෙනෙකි. රටට හෙණගසා තිබෙන්නේත් ඒ නිසාය.
පසුගිය කාලයේ මේ රටේ දේශපාලන පිරිහීමට බරපතළ චෝදනා එල්ල වූයේ පවතින මනාප ඡන්ද ක්රමයටය. සමානුපාතික නියෝජනය යටතේ හඳුන්වා දුන් මනාප ඡන්ද ක්‍රමය යටතේ මනාප ලබාගැනීමට අපේක්ෂකයන් අතර බරපතළ ගැටුම් හටගනී. මැතිවරණය කරන්න වෙන්නේ දිස්ත්‍රික්කයක් පුරාය. මැතිවරණය කියා ඇරඹෙන්නේ පෝස්ටර් කටවුට් යුද්ධයකි. ඒ සඳහා විශාල ලෙස මුදල් අවශ්‍යය. කළු සල්ලිකාරයන්ට ඉහළ ඉල්ලුමක් ලැබෙන්නේ එවිටය. එමෙන්ම අපේක්ෂකයන් අතර ගැටුම නිසා මැරයන්ටද ඉල්ලුමක් ඇතිවෙයි. ඡන්ද ප්‍රතිඵලය තීරණය වන්නේ මුදල් බලය, මැරබලය හා ආණ්ඩු බලය යොදාගත්ත ප්‍රමාණය අනුවය. පසුගිය කාලයේ මේ රටේ දේශපාලනය ජරාජීර්ණ වූයේ ඒ ආකාරයෙනි.
මනාප ඡන්ද ක්‍රමය වෙනස් විය යුතුය යන ජනමතය ගොඩනැඟුණේ මෙම තත්ත්වය නිසාය. මැතිවරණ සඳහා විශාල මුදලක් අවශ්‍යවීම, එකම පක්ෂයේ අපේක්ෂකයන් අතර ගැටුම් ඇතිවීම, ආදිය නිසා එම ක්‍රමය රටට නොගැළපෙන බව බොහෝ දෙනාගේ විශ්වාසය බවට පත්වීය. රටට ගැළපෙන මැතිවරණ ක්‍රමයක් පිළිබඳ සංවාදයක් ආරම්භ වූයේ ඒ නිසාය.
න්‍යායිකව බැලූවිට ඉතාමත් ප්රජාතන්ත්රවාදී ඡන්ද ක්‍රමය වන්නේ සමානුපාතික ක්‍රමයයි. එමගින් සියලු පක්ෂවලට මන්ත්‍රීධුර බෙදීයන්නේ ලබාගත් ඡන්ද ප්‍රතිශතය අනුවය. ඒ අනුව පත්වන මන්ත්‍රීවරුන් විය යුත්තේ කවුද යන්න තෝරන්නේද ඡන්ද දායකයා විසිනි. ඒ මනාප ඡන්ද ක්‍රමය මගිනි. මෙය ඉතාම සාධාරණ ක්‍රමයක් බව පෙනී ගියද එය ක්‍රියාත්මක වූ ආකාරය රටට විනාශකාරී ප්‍රතිඵල අත්කර දුන්නේ ය එම ක්‍රමය වෙනස් කරන්නට ඉල්ලීමක් සමාජයෙන් පැන නැගුණේ ඒ නිසාය.
නව මැතිවරණ ක්‍රමයක් සඳහා එකඟතාව ඇතිකර ගැනීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලද්දේ එම ජනමතය නිසාය. 2002 දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ පත්කරන ලද එම කමිටුවේ සභාපතිත්වය ලබා දුන්නේ විපක්ෂ මන්ත්‍රීවරයකුව සිටි දිනේෂ් ගුණවර්ධන මහතාටය. ඉදිරිපත් වූ නොයෙකුත් අදහස් සැලකිල්ලට ගත් එම කමිටුව නව යෝජනාවක් ඉදිරිපත් කළේය. ඒ සියයට හැත්තෑවක් කොට්ඨාස ක්‍රමයට හා සියයට තිහක් සමානුපාතික ක්‍රමයට වශයෙනි. එහිදී කොට්ඨාස ජයගත් අය ලබාගත් ඡන්ද සංඛ්‍යා ඉවත්කොට සමානුපාතික නියෝජනයට ගණන් බැලීමට යෝජනා විය.
ජරාජීර්ණ දේශපාලනය
එලෙස නව මැතිවරණ ක්‍රමයක් යෝජිනා වුවද එය ක්‍රියාත්මක කිරීම දිගින් දිගට කල් දමනු ලැබීය. ඊට එක් හේතුවක් වූයේ සමානුපාතික ක්‍රමය ඉවත්වීම නිසා කුඩා පක්ෂවලට අගතියක් සිදුවේය යන අදහසයි. අනෙක් අතට පෙනෙන්නට තිබෙන්නේ මෙම ජරා ජීර්ණ දේශපාලන ක්‍රමය දිගට පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය තිබූ උදවියට ඡන්ද ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් නොතිබුණු බවයි.
මනාප ඡන්ද ක්‍රමය බරපතළ ප්රශ්නයක්ව තිබුණේ පාර්ලිමේන්තු මැතිවරණවලදී හා පළාත් සභා මැතිවරණවලදීය. එම මැතිවරණ සඳහා ඡන්ද කොට්ඨාසය වන්නේ දිස්ත්‍රික්කයයි. ගැටුම් වැඩි වන්නේත්, වියදම අධික වන්නේත් එලෙස විශාල ප්‍රදේශයක මැතිවරණ ප්රචාරක කටයුතු කිරීමට එක අපේක්ෂකයකුට සිදුවීමත්, අපේක්ෂකයන් විශාල ප්‍රමාණයක් දිස්ත්‍රික්කයට තරග වැද සිටීමත් නිසාය. එලෙස මහ මැතිවරණවලදී හඳුනාගත් ප්‍රශ්නයට පිළිතුරු ලෙස සකස් කරන ලද නව ඡන්ද ක්‍රමය පළමුවෙන් පළාත් පාලන ආයතන සඳහා ක්‍රියාත්මක කරන්නට සියලු පක්ෂ එකඟවී තීරණය කළේ අත්හදා බැලීමක් වශයෙනි. එහිදී තවත් වෙනසක් සිදුවිය. කොට්ඨාස හා සමානුපාතික අතර අනුපාතය හැටට හතළිහ ලෙස වෙනස් කිරීම එම වෙනසයි. එහිදී ප්‍රතිඵලය කුඩා පක්ෂවලට වාසිදායක බව නිගමනය කෙරිණි.
පසුගිය පළාත් පාලන මැතිවරණය පවත්වන ලද්දේ මෙම නව ක්‍රමය යටතේය. දැන් සමහරු කියන්නේ මෙම ක්‍රමය යටතේ ජනමතය විකෘතිවන බවකි. ජයග්‍රාහකයින් පසෙක සිටියදී පරාජිතයන් ආණ්ඩු පිහිටුවීම මෙම ක්‍රමය මගින් සිදුවන බවට චෝදනා එල්ල වී ඇත. එයට එක් හේතුවක් විය හැක්කේ හැත්තෑවට තිහක් ලෙස තිබූ කොට්ඨාස සමානුපාත අනුපාතය හැටට හතළිහක් ලෙස වෙනස් කිරීමයි.
කෙසේ වෙතත් දැන් තියෙන අවුලත් ලිහාගෙන නව මැතිවරණ ක්‍රමයක් පළාත් සභාවලට සහ මහ මැතිවරණයට හඳුන්වාදීම අත්‍යවශ්‍ය කටයුත්තක් බවටපත්ව ඇත. දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා අර්ජුන ඇලෝසියස්ගෙන් මුදල් ගැනීමේ කතාවෙන් හෙළිවන්නේ මෙම යථාර්ථයයි. කළු සල්ලිකාරයන්ගෙන් යැපෙන්නේ නැති දේශපාලනඥයන් පිරිසක් බිහිකර ගැනීමට නම් මෙම මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම අත්‍යවශ්‍යය. එසේ වුවද එය දිනෙන් දින කල් දමනවා විනා කෙරෙන පාටක් නැත. එයට හේතුව නම් මෙම ඡන්ද ක්‍රමය වෙනස් කිරීමේ වගකීම පැවරී ඇත්තේද කළු සල්ලිකාරයන්ගෙන් යැපෙන දේශපාලනඥයන් පිරිසකට වීම විය හැකිය. මේ නඩය ලවාම මේ වැඩය කරගන්නට නම් ජනතාව පෙරට ඒම අත්‍යවශ්‍යය.
සී.ජේ.අමරතුංග

