තෙල් සූත්තරය – සම්පත් අමරසිංහ

අයහපත්  කාලගුණය නිසා යට ගිය ප්‍රශ්නයක් වන්නේ ආණ්ඩුව විසින් තෙල් මිල ඉහල දැමීමයි. ආණ්ඩුවිරෝධින් විසින් කෘතිමව ඇති කළ විරෝධතා එක් පසෙකින තිබියදී ‍අනෙක් පසින් තෙල් මිල ඉහළ යාම හේතුවෙන් බස් ගාස්තු ඉහළ දැමීමක් කරළියට පැමිණියේය.

ඒකාබද්ධ විපක්ෂ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණද සටන් කරන්නේ ඉන්ධන මිල අඩු කරනු! යනුවෙනි. ඒකාබද්ධයේ තෙල් මිල අඩුකිරීමේ සටන ගතහොත් ඔවුන් සැකයකින් තොරව උත්සාහ දරමින් සිටින්නේ තෙල් මිල වැඩි කිරීමේ ආණ්ඩුවේ තීරණයෙන් දේශපාලන වාසියක් ලබා ගැනීමට බව රහසක් නොවේ. හේතුව මහින්ද රාජපක්ෂ අවදියේ පැවති මිලට වඩා තවමත් ඉන්ධන මිල පවතින්නේ අඩු මට්ටමක බැවිනි. අනෙක් අතට එවකට අධිකරණ නියෝගයකට පවා පිටු පාමින් රාජපක්ෂ ආණ්ඩුව ඉන්ධන මිල පහත නොහෙළා පවත්වාගෙන ගිය බැවිනි.

ජනතා විමුක්ති පෙරමුණ ඉන්ධන මිල අඩුකිරීම සඳහා ගෙනයන සටන පිටුපස ද දේශපාලන වාසි ලබාගැ‍නීමේ අරමුණ ද පවතින නමුත් දේශපාලන අරමුණට වඩා ඔවුන් තුළ ඇත්තේ සුබසාධන වාදී හැඟීමක් බව ද අනුමාන කරන්නට පුළුවන. එනම් ආණ්ඩුව පාඩු දරා ගනිමින් ජනතාවට සහන සැපයිය යුතුය යන සංකල්පයයි.

ශ්‍රී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථව හෙවත් ආණ්ඩුව ඉන්ධන මිල ඉහළ දැමීමේ තීරණය ගත්තේ මාස දෙකකට ආසන්න කාලයක් දිනකට රුපියල් මිලියන 138 – 140 අතර පාඩුවක් ඛණිජතෙල් නීතිගත සංස්ථාව දරා ගනීමෙන් අනතරුවය. ඉන්දියානු ඔයිල් සමාගම තම ඉන්ධණ මිල ඉහළ නංවා තිබිය දීත් ලංකා ‍ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සිය ඉන්ධන මිල ඉහළ නොදැමීම හේතුවෙන් ඉන්දියානු ඔයිල් සමාගමේ පාරිභෝගිකයන් ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙතට හැරීම හේතුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එතෙක් පැවති ඉල්ලුම ද තවදුරටත් ඉහළ ගියේය. එහි අනෙක් ප්‍රතිඵලය වූයේ ඛනිජ තෙල් සංස්ථාවේ පාඩුව තවත් ඉහළ යාමයි.

දැන් මතුවන ප්‍රශ්නය වන්නේ දිනකට රුපියල් කෝටි 14 පමණ අලාභයක් මාස දෙකකට ආසන්න කාලයක් ති‍ස්සේ දරා ගැනීමේ පාඩුව විඳදරා ගන්නේ කවුරුන්ද යන්නයි. බැලූ බැල්මට එය ඛනිජ තෙල් සංස්ථාවේ පාඩුවක් ලෙස පෙනුනා වුවද එය සංස්ථාවේ පාඩුවක් නොවන්නේ විදේශවිනිමය වැය කොට මිලදී ගන්නා ඉන්ධන අඩුමිලක් අය කර පුච්චා දැමීමේ පාඩුව විදේශ සංචිත කෙරෙහිත් රුපියලේ අගය කෙරෙහිත් භාණ්ඩාගාරය කෙරෙහිත් බලපවත්වන බැවිනි.

ඉන්ධන භාවිත කරන්නන් සම්බන්ධයෙන් ගත් කළ ද වැඩි මිලට මිල දී ගන්නා ඉන්ධණ අඩුමිලට විකිණීමෙන් ඛනිජ තෙල් සංස්ථාවට දිනකට රුපියල් කෝටි 14 බැගින් සිදු වූ පාඩුව සුඛෝපභෝගි වාහන හිමියන් සහ වෙනත් වාහන හිමියන් මත පමණක් පැටවෙනවාද නොවේ. එහි වන්දිය අවසාන වශයෙන් ගෙවන්නට එදිනෙදා ජීවිකාව සපයා ගැනී‍ම‍ට කුලියට මුට්ට ඔසවන තැනැත්තාටත් කිසිදාක තමන්ගේ වාහනයක් පාවිච්චි නොකරන අන්ත දුප්පතාට බර දරන්නට සිදු වේ.

ලෝක වෙ‍ළෙද පොලේ මිල ඉහල යාමට සාපේක්ෂව මිල ඉහළ නොදැමීමේ ඊළඟ ප්‍රතිපලය ඉන්ධන පරිභෝජනය පාලනයකින් තොරව සිදු කරන්නට පාරිභෝගිකයන් කටයුතු කිරීමය. එනම් ඉන්දන මිල පිරිමැසීම කෙරෙහි ජනතාව අවධානය යොමු නොකරන බවයි. වැඩි මුදලක් ගෙවා මිලදී ගන්නා ඉන්ධන අඩුමුදලකට නිද‍හසේ පුච්චා දමන්නට කටයුතු කරන්නට ජනතාවට ඉඩදීම ජාතික අපරාධයකි.

ජනතා විමුක්ති පෙරමුණේ තර්කය වන්නේ ආණ්ඩුව ඉන්දන කෙරෙහි පනවන බදු අඩුකරන්නේ නම් ඉන්දන මිල අඩු කළ හැකි වන බවයි. බදු අඩුකිරීමෙන් ඉන්දන මිල අඩු කළ හැකි බව සත්‍යයක් වුවද බදු අයකිරීමකින් තොරව ආණ්ඩුවක් අධ්‍යාපනය සෞඛ්‍ය ආදි අවශේෂ සුබසාධණ සේවාවන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මුදල් සපයා ගන්නේ කෙසේද යන ගැටලුවට ඔවුන් පිළිතුරු දිය යුතුව ඇත. එසේම මේ වන විට ශ්‍රී ලංකාව ට්‍රිලියන 1.6කණයක් ද දරාගනිමින් සිටින රටකි. එකී ණය සඳහා පොලී සහ ණය වාරික ගෙවීමට ද සිදු වී තිබේ. ඒ සඳහා මුදල් ආණ්ඩුව උපයන එක් මාර්ගයක් වන්නේ බදුය. ආණ්ඩුව බදු අයනොකරන්නේ නම් අධ්‍යාපනය සෞඛ්‍ය ආදියටත් ණය වාරික සහ පොලිය ගෙවීමටත් යළි යළිත් ණය ගැනීමට සිදුවනු ඇත්තේ රට තවතවත් ණය උගුලේ සිරවීමයි.

එසේ හෙයින් මේ මොහොතේ රටට ආදරය කරන දේශපාලකයන් කළ යුතුව ඇත්තේ තෙල් මිල අඩුකිරීම වැනි ලාභ සටන්පාඨවලින් දේශපාලන වාසි ගැනීමට උත්සාහ කිරීම නොව ජාතික ප්‍රශ්නයක් සේ සළකා පවතින ගැටලුවට විසඳුම් සෙවීමට මැදිහත් වීමයි.

පඩිනඩි ගොඩනැඟිලි ආදිය සඳහා වැය කෙරෙන කෙළවරක් නැති වියදම් වෙනුවට සංවර්ධන කටයුතු සඳහා වැඩි පුර මුදල් වෙන්කි‍රීමේ වගකීම ද ඒ හා සමඟ ආණ්ඩුවට ද තිබේ. මහින්ද රාජපක්ෂ සමයේ දේශපාලන වාසි සහ ඡන්දගොඩ වැඩිකර ගැනීමේ අරමුණ ඇතිව රාජ්‍ය සේවය පුළුල් කිරීම රාජ්‍ය සේවකයනට යතුරු පැදි ලබා දීම වැනි කපටි සූත්තරකාර දේශපාලන ගැටවල වන්දිය මේ මොහොතේ සමස්ත ජනතාවටම ගෙවන්නට සිදු වී ඇති බැවිනි. ඉන්ධන මිල අඩුකරන්නට කතා කරන කිසිදු දේශපාලකයකු තමන්ගේ වරප්‍රසාද අඩුකර ගැනීමක් හෝ වෙනත් කැපකිරීමක් ගැන කතා නොකරන හේතුව ජනතාව අවබෝධකරගත යුතුය. හොඳම නිදර්ශනය මැති අමැති වැටුපට බදු පැනවීම සම්බන්ධයෙන් ඔවුන් කෝපයෙන් සිටින බව පළ වූ වාර්තාවයි.

සම්පත් අමරසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *