ඩිලාන් පෙරේරා සැරසෙන්නේ ජනාධිපතිවරයාව ගොනාට අන්ඳවන්ටයි- ආචාර්ය උපුල් අබේරත්න (දේශපාලන විද්‍යා අංශය රුහුණු විශ්වවිද්‍යාලය)

වර්තමාන ශ්‍රි ලාංකික දේශපාලන සන්දර්භය විමසා බැලුවොත් දේශපාලන විද්‍යාර්ථියෙක් ලෙසට කාරණා දෙකක් නිරික්ෂණය කළ හැක. පළවෙනි කාරණාව තමයි පසුගිය ජනාධිපතිවරණය හා මහා මැතිවරණයෙන් පසුව ලංකාවේ ඇතිවෙමින් තිබෙන සාධණීය දේශපාලන සංවර්ධන ක්‍රියාවලි ය. 1978න් පසුව ලංකා දේශපාලනය වෙලාගත්ත පුද්ගල අභිවාදනය මුල්කරගත් දේශපාලන සංස්කෘතියේ එන, එක පුද්ගලයෙකු වටා බලය සංකේන්ද්‍රගත කිරිමේ උත්සාහය තවමත් අඛණ්ඩව ගෙනයෑමට ඇතැම් පාර්ශව විසින් දරන උත්සහාය දෙවැන්න ය.
සාධණිය තලය ගැන කථා කරන්නේ නම් වර්තමාන රජය 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් මෙරට දේශපාලන සංස්කෘතිය වඩා ජනහිතකාමී, ප්‍රජාතන්ත්‍ර ක්‍රමයක් බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය කරන ආයතනමය, ව්‍යවස්ථාමය විධිවිධාන සකස්කර ගැනීමට දරණ උත්සහායක් ඇත. මම දකින ආකාරයට 18වෙනි ව්‍යවස්ථා සංශෝධනය යන්නෙන් අදහස් වන්නේ ලංකාවේ ඒකාධිපති පාලන ක්‍රමයක් ඇති කිරීම සඳාහා ගෙනයන ලද ප්‍රයත්නයේ කූඨප්‍රාප්තිය වේ. මෙය 19වෙනි සංශෝධනය මගින් නැවත හරවා යැවිමට උත්සහායක් දරා ඇත.
ඒ වගේම සදාචාර සම්පන්න ප්‍රජාතතන්ත්‍රවාදි දේශපාලන සංස්කෘතියක් සඳහා අවශ්‍යකරන ක්‍රියාදාමයන් ගෙනයෑමට උත්සහායක් තිබෙන බව අපිට මතුපිට තලයේ පෙනෙන්නට ඇත. ඒ තුළ මැතිවරණ ක්‍රමය සංශෝධනය, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට දරණ උත්සහාය යනාදිය සාධණිය ලක්ෂණ සේ සලකන්නට පුළුවන. නමුත් ලංකාවේ මේ ඇතිවූ දේශපාලන එකගතාවය නැවත වතාවක් ඒකාධිපති දේශපාලන සංස්කෘතියෙන් ප්‍රතිලාභ ලැබූ ඇතැම් කණ්ඩායම් විසින් ආපස්සට හැරවීමට දරණ උත්සහායක් දරණ බව ද පෙනෙන්නට ඇත. ඇත්ත වශයෙන්ම වර්තමාන ආණ්ඩුවේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන හා ජාතික ලායිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි ඩිලාන් පෙරේරා ඇමතිවරයා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විධායක ජනාධිපති ක්‍රමයකට කැමැත්ත පලකරන බව කියා සිටියේ ය. ඔහුගේ තර්කය වී තිබෙන්නේ ලංකාවේ සුළුතර ජනවර්ග වලට විධායක ජනාධිපති ක්‍රමය හිතකාරි වන බව ය. ඇත්ත වශයෙන්ම ලංකාවේ පවතින දේශපාලන ජනගහනය කියන සාධකය පදනම් කරගෙන ජනාධිපතිවරණය දෙස බලන්නේ නම් වඩා වර්ගොත්තමවාදී ආකාරයට සිතන්නට පොළඹවන මාධ්‍ය සංස්කාතියක් සහිත සමාජයක තනි ජනවර්ගයක ඒකාධිපතිත්වයක් ඇති කිරීමට පුළුවන් බව 2005 සිට පෙන්නුම්කර දී තිබේ.
මම මෙය දකින්නේ වර්තමාන ජනාධිපතිවරයා ගොනාට ඇන්දවීමට ජරාජීරණ වූ පරණ දේශපාලන සංස්කෘතියේ කොටස්කරුවන් වූ කණඩායම් විසින් දරණ උත්සාහයක් ලෙස ය. මේ උත්සාහය පරාජය කිරීම සඳහා වර්තමාන රජය සචේතනික ක්‍රියා මාර්ග ගතයුතුව තිබේ. විශේෂයෙන්ම මේ කාරණාව අරභයා මට නිරික්ෂනය කරන්නට පුළුවන් කාරණාව තමයි ලංකාවේ අතලොස්සක් මාධ්‍ය හැරුණු කොට අනිකුත් සියලු මාධ්‍ය දෙපිලකට බෙදී පරණ සංස්කෘතිය ගෙනයෑමට දරණ උත්සාහය. විශේෂයෙන්ම ජනාධිපතිවරණයෙන් පසුව රජයේ ජනමාධ්‍යයන් යම් තුළනයකින් යුතුව මාධ්‍යකරණයේ යෙදෙන්නට උත්සහායක් පෙන්නුම් කළේ ය. මෙය හරියට ම 1994 චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය බලයට පත්වීමෙන් අනතුරුව දැරූ උත්සාහයට සමාන දෙයකි. දැන් ආපසු අපිට රජයේ ජනමාධ්‍ය රජයේ හොරණෑව බවට පත්කර ගන්නට උත්සාහයක් තිබෙනවා මෙන්ම පෞද්ගලික ජනමාධ්‍ය ද දෙපිලකට බෙදී දෙපිලට අවශ්‍ය කරන ආකාරයට මේ රටේ ජන මනස හැඩගස්වන්නට ක්‍රියාත්මක වේ. ඒ වගේම මැතකාලීන දේශපාලනයේ ඇති තව නරක දෙයක් වන්නේ මිත්‍ය ද්‍රෂ්ඨින්, මිත්‍යා කථාවන්ට දෙනු ලබන ප්‍රමාඛතාවය. ලංකාවේ ජනතාවට තාර්කිකව සිතන්නට තිබෙන ඉඩ අහුරණ ක්‍රියාදාමයක් ලෙස මෙය විශ්ලේෂණය කරන්නට පුළුවන.
ඔබ සති අන්තයේ ජනප්‍රිය පුවත් පත් බැලුවොත් මන්ත්‍ර යන්ත්‍ර හා යාග හෝම පිලිබඳව තමයි වැඩි පුර දකින්නට ලැබෙන්නේ. මෙය තේරුම්ගත යුත්තේ ම යම් විප්ලවිය යැයි කිවහැකි වෙනසකට භාජය වූ සමාජයක වර්තමාන මාධ්‍යය නැවත වතාවක් අර පරණ මිත්‍යාවන් සමාජගත කර බලය ලබාගැනීමේ මෙවලම් විදියට මේවා ක්‍රියාත්මක වනවාය යන අර්ථයෙනි. ඒ නිසා මේවා පිළිබඳව ජනතාව දැණවත්කර වඩා තාර්කික ආකාරයට හිතන ජනතාවක් ගොඩනගා ගැණිම ජනතාව හමුවේ තිබෙන අභියෝගයකි. අනික් කාරනාව තමයි අපි කොතරම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරන හා වෙනත් දේශපාලන ප්‍රතිසංස්කරන කළත්, අදාල දේශපාලන සමාජයේ ජීවත්වන ජනතාව ප්‍රගතිශිලි ආකාරයට හිතන, ප්‍රජාතන්ත්‍රවාදි ආකාරයට හිතන, ලොකායතවාදි විදියට හිතන ජනතාවක් බවට පත්වන්නේ නැත්නම් ඒ ජන සමාජයට ඉදිරියට යන්නට හැකියාවක් ලැබෙන්නේ නැත.
මේ ක්‍රියාවලිය හරි බාරදූර කාර්යකි. මම හිතන්නේ ලංකාවේ ආණ්ඩුවට අප ජීවත්වන සමාජය යහපත් පුරවැසි සමාජයක්, මානවවාදි සමාජයක් ලෙස ගොඩනගන්නට අවශ්‍ය කරන්නේ නම් දේශපාලන ප්‍රතිසංස්කරණ කරන අතර ම ඊට සමගාමීව සමාජයේ මිනිසුන් හිතන ආකාරය ගැන, මිනිසුන් කල්පනා කරන ආකාරය ගැන මේ සමාජය දැණුවත් කිරීම සඳහා සජීවි ක්‍රියාමාර්ග සමූහයක් ගැණිමට අවශ්‍ය බව තේරුම් ගතයුතු ය. අධ්‍යපනය ගතහොත් අධ්‍යපනය අද අන්තයටම පිරිහි ඇත. විශේෂයෙන්ම විෂය නිර්දේශ සකස් කරන්නට අවශ්‍ය කරන්නේ වඩා තාර්කිකව හිතන, සාධාරන මිනිසෙකු බිහිකරන්නේ කෙසේද කියන කාරනාව ගැන වැඩියෙන් අවධානය යොමුකරමිනි. සමාජය හා දේශපාලනය යන දෙකම එකවිට පරිවර්තන කරන්නේ කෙසේද යන ප්‍රශ්නයට මේ සමාජය සමාජයක් ලෙස අපි මුහුණ දී තිබේ. ඒ ආකාරයට මුහුණ නොදෙන්නේ නම් අභියෝග වලින් ඉදිරියට එන්නට පුළුවන් කමක් නැත.
ජනවාරි 8 සිදුවූයේ නිහඬ විප්ලවයක් යැයි සැලකීමට පුළුවන. එක අර්ථවයකින් ගත්විට එය සිවිල් සමාජයේ ක්‍රියාකාරි කොටස් විසින් දක්වන ලද දායකත්වයේ ප්‍රතිඵලයක් ලෙස සැළකිය හැක. අනික් අතට ගතහොත් අපි 1931 සිට සර්වජන ඡන්ද බලයට පුරුදු පුහුණු වූ ජන සමාජයකි මේ. ඒ වගේම ලංකාවේ සාපේක්ෂක වශයෙන් ගතහොත් සාක්ෂරතාවය ඉහළය. වෙනත් නූගත් ජන සමාජයකට වඩා ලාංකීය සමාජය ඉදිරියෙන් සිටිනවා කියන එක තමයි ජනවාරි 08 ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් මුලු ලෝකයටම කියා පෑවේ. හැබැයි ප්‍රශ්නය තිබෙන්නේ මේ සාක්ෂරතාවය දේශපාලන සාක්ෂරතාවය දක්වා වර්ධනයකර ඉදිරියට ගෙනයන්නට බලයට පත්වූ කණඩායම එතරම් උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට නැත. මෙහිදි ඔය කොළඹ කේන්ද්‍රිය ඇතැම් සිවිල් සංවිධාන සිවිල් නැති බව ද අප හඳුනාගත යුතු ය. ජනවාරි 08වෙනිදා ව්‍යාපාරයට සහභාගී වූ ඇතැම් සංවිධාන පිළිබඳව ද යමක් කියන්නට තිබේ. ඒවා මා අර කියු සිවිල් සමාජය වලට වඩා වෙනත් ස්වරූපයේ සංවිධාන විශේෂයක් ලෙස හඳුනාගත යුතුව තිබේ. විශේෂයෙන්ම මාදොලුවාවේ හාමුදුරුවෝ නායකත්වය දුන් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය, කලාකරුවන්ගේ සංවිධාන. පුරවැසි බලය, විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමය වැනි නොයෙකුත් සංවිධාන මෙයට අයත් ය. එම ඓන්ද්‍රිය සමාජ සංවිධාන වලට තව දුරටත් මේ සමාජය ඉදිරියට ගෙනයෑමේ හැකියාවක් තිබෙන බව පෙන්නේනට ඇත.
මේවායේ තිබෙන දුර්වලකම වන්නේ මූලින අභියෝගය ජයගත් පසුව එතනින් එහාට මේවා පවත්වාගෙන යන්නේ කෙසේද කියන එක ය. විශේෂයෙන්ම සාධාරණ සමාජයක් සඳහා වු ජාතින ව්‍යාපාරය සෝභිත නහාමුදුරුවන්ගේ අපවත්වීමත් සමග ම, ඒ ව්‍යාපාරයට තිබුණු දැවැන්ත ශක්තිය අහිමි වී ගොස් ඇත. මේවා අභිවර්ධනය කරන්නට යම් කථිකාවක් සමාජයේ තුළ ගොඩනැගෙනන්ට අවශ්‍ය ය. ජනවාරි 08 ජනාධිපතිවරණයෙන් හා පසුව පැවති මහ මැතිවරණයෙන් පසුව මේ සාකච්ඡාව සිතාමතාම අබල දුබල කර ඇත. ඒකට ප්‍රධාන වශයෙන් මාධ්‍යය වගකිව යුතු ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *