‘‘දිව්‍ය ලෝකේ ළගයි පෙනෙන මානේ… බොල බූරු පුතේ! දුක ශෝකා එතෙක් ඉවසන්…! මහින්ද කියන්නේ එහෙමය – ආචාර්ය මයිකල් ප්‍රනාන්දු
ජනතා විමුක්ති පෙරමුණ විසිවන ව්‍යවස්ථා සංසෝධනය ගැන කෙටුම්පතක් ඉදිරිපත් කරලා තිබෙනවා. එහි අඩංගු කරුණු මේ වන විට සමාජ කථිකාවතක් ගොඩනගන්න සමත් වෙලා තියනවා. සංඝ සම්මේලනයක් පවත්වා එම සංසෝධනය ක්‍රියාත්මක වීම වැලැක්වීමට පියවරගත යුතු යයි ප්‍රකාශ නිකුත් කරන්න පවා පෙළඹිලා තියනවා. ඒ පනත එතරම් රටට හානිකර එකක් ද?
සංසෝධනය පිළිබඳ සම්පූර්ණයෙන්ම අදහස් සමාජයට විවෘත වෙලා නැතත් යම් පිරිසක් කලබලයට පත්වෙලා තියනවා. සම්පූර්ණයෙන්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හා පාර්ලිමේන්තුවට සම්පූර්ණ බලතල පැවරීමේ උත්සාහයකුයි මේ පනතේ තියෙන්නේ. ඉන්දියාවේ පවතින ක්‍රමයට සමාන ක්‍රමයක් බවයි මගේ අදහස. ඒ වගේම එයාලා අවධාරණය කරනවා 13වැනි ව්‍යවස්ථා සංසෝධනයෙන් පිහිටවපු පළාත්සභා ඒ ආකාරයෙන්ම තිබිය යුතුයි, ඔවුන්ට බලතල දියයුතුයි ඒවා පාලනය කිරීමේ බලය, ආණ්ඩුකාරවරු පත්කිරීම, ඇමතිවරු පත්කිරීම පාර්ලිමේන්තුවෙ අනුමැතිය ඇතිව ජනාධිපති විසින් පත්කළ යුතුයි කියල. එවැනි අදහස් තමයි ජනතා විමුක්ති පෙරමුණේ යෝජනාවල අඩංගු වී ඇති බවට දැනට ලැබෙන තොරතුරු අනුව පෙනෙන්නේ.
ඒ පිළිබඳ ඔබගේ අදහස?
මම අදහස් කරන්නේ පසුගිය රජය විසින් අනුගමනය කරන ලද ඒකාධිපති ක්‍රියා පිළිවෙල, දූෂණ, පැහැර ගැනීම්, මාධ්‍ය නිදහස අකුලා දැමීම, මාධ්‍යවේදින් ඝාතනය කිරීම දැන් සිදුවෙන්නෙ නැහැ. ඒ තත්ත්වය ආපසු නිර්මාණය කරන්න පුළුවන්කමක් නෑ දැන් තිබෙන අණපනත් අනුව. ඒ තත්ත්වය යළි ඇතිකිරීමට උවමනා කණ්ඩායම් මේ සංසෝධන වලට එරෙහිව යාම පුදුමයට කාරණයක් නෙමෙයි.
රටේ පවතින්නේ අර්බූධ කාරී දේශපාලන වටපිටාවක් බව අසන්නට ලැබෙනව.
මේ රජය පසුගිය අවුරුදු තුන කාලයේ කර ඇති දේවල් හා එයට සම්බන්ධ පක්ෂ හැසිරෙන ආකාරයෙන් පෙනෙන්නේ රටේ දේශපාලන ව්‍යාකූලත්වයක් ඇති බවයි. පක්ෂ මාරුකිරීම් ආදි විවිධ හේතු මත මේ රජය ගත වුණු අවුරුදු තුනක කාලයට අමාත්‍ය මණ්ඩල සංසෝධන හතරක් කර තිබෙනවා. රටේ පවතින අවුල් සහගත තත්ත්වය කොතෙක් ද කියල කියනව නම්, දේශපාලන විචාරකයින්ටත් මේ පිළිබඳව යමක් ප්‍රකාශ කරන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නෙ.
එක්සත් ජාතික පක්ෂය ඇතුළෙත් මතබේද හටගෙන තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සභාපතිත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් මතබේද ඇතිවී තියෙනවා. එක්සත් ජාතික පක්ෂය තුළත් මත බේද ඇති බව පැහැදිලිව පෙනෙනවා. පොදුජන එක්සත් පෙරමුණ එහෙමත් නැත්න ඒකාබද්ධ විපක්ෂ (පොහොට්ටුව) ඇතුළෙත් අර්බූධ මතුවෙලා තියෙනව. ආර්ථික පැත්තෙනුත් රටේ තත්ත්වය සුබදායක තත්ත්වයක නැහැ. මේ තත්ත්වය අනුව නිශ්චිත පුරෝකථනයක යෙදෙන්න අපහසුයි. දේශපාලන විද්‍යාඥයන් ප්‍රකාශකරනවා දේශපාලන ස්ථාවරත්වයක් නැතිව රටේ ආර්ථික දියුණුවක් ඇති වෙන්නේ නැති බව. මේ වගේ තත්ත්වයක තමයි අද රට පවතින්නේ.
මගෙ පුද්ගලික අදහසේ හැටියට නම් අපි බලන්න ඕනැ පහුගිය මහින්ද රාජපක්ෂ රජය විසින් කරපු වැරදි දූෂණ භීෂණය එකාධිපතිවාදය ඒවා නොකර ඒ වාගේම රනිල් වික්‍රමසිංහ අදහස් කරන ආකාරයට නව ලිබරල්වාදි තවත් විදිහකින් කියනව නම් සම්පූර්ණ ධනේෂ්වර ආර්ථික ක්‍රමයකුත් ඇති නොකරන සමාජ ප්රජාතන්ත්රවාදී ක්‍රමයකට කැමති පිරිස් එක්රැස් කිරීම තමයි මේ අවස්ථාවේ දී කළ යුතුව තිබෙන්නෙ.
ඔබ කියන සමාජ ප්රජාතන්ත්රවාදය එක්සත් ජාතික පක්ෂය තුළ නැත්නම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තුළත් නැත්නම්, පොහොට්ටුව තුළත් නැත්නම් කොතනින් ද එය බලාපොරොත්තු විය හැක්කේ.
විකල්පයක් නැහැ කියල කියන්නේ, දැනට මහින්ද රාජපක්ෂ ප්රමුඛ කණ්ඩායම පැහැදිලිවම ජාතිවාදියි, ඔවුන් මුස්ලිම් විරෝධියි, ද්‍රවිඩ විරෝධියි එයාලට උතුරු නැගෙනහිර ජනතාවගේ සහයෝගයක් ලැබෙන්නෙ නැහැ. රටේ අනෙක් පළාත්වල සුළු ජාතීන්ගේ සහයෝගයක් ලැබෙයි කියල බලාපොරොත්තු වෙන්න අමාරුයි.
ඒ වගේම මේ රජයේ සිරිසේන ජනාධිපති කටයුතු කරපු ආකාරය අනුව ඔහුත් එක්තරා ආකාරයකට ජාතිවාදී ආගම්වාදී නැඹුරුවකින් ඉන්නවා කියල පෙනීයනවා. ඒ විදිහේ නැඹුරුවක් නැත්තෙ ලිබරල් අදහස් ඉදිරිපත් කරන රනිල් වික්‍රමසිංහගෙ එක්සත් ජාතික පක්ෂය පමණයි.
ඔබ සඳහන්කෙරුවේ ඒ ඒ පක්ෂවල ජාතිවාදී ආගම් වාදී ස්වරූපය. ආර්ථික න්‍යයායන් පැත්තෙන් මේ ප්‍රධාන පක්ෂ අතුරින් කවුද රටට අද ලෝකයට ගැලපෙන ආර්ථික ක්‍රමයක් ඉදිරිපත් කරන්නෙ.
එක්සත් ජාතික පක්ෂය අදටත් විශ්වාසය තියන්නේ ලෝකයේ යල්පැනගිය ආර්ථික ප්රතිප්තියක් වන නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තිය කෙරෙහි. ඒක අද ලෝකයට කොහෙත්ම ගැලපෙන ආර්ථ ක්‍රමයක් නෙමෙයි.
මහින්ද ඇතුළු කණ්ඩායම කවදත් සිංහල බෞද්ධ ඡන්ද මත යැපෙන්න උත්සාහ කරන බව පැහැදිලි කරුණක්. එහෙත් 2015 ජනාධිපති මැතිවරණයෙන් ලක්ෂ 62ක් ඡන්ද ලබාගෙන මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති පදවියට පත්වුනේ සිංහල බෞද්ධ ඡන්දවලින් විතරක් නෙමෙයි. විශේෂයෙන් උතුරු නැගෙනහිර ප්රමුඛ සෙසු පළාත්වල දුවිඩ හා මුස්ලිම් බහුතර ඡන්ද වලින්. තවත් විදිහකින් කියනවා නම් සුළු ජන කොටස්වල ඡන්ද වලින්. ඒ නිසා ඊළගට එන ජනාධිපති අපේක්ෂකයන් කවුරු වුණත්, උතුරු නැගෙනහිර ඡන්ද ලබාගැනීම අනිවාර්යයි. ඒ පිළිබදව විමර්ශනයක් කිරීමේ දී කුමන පක්ෂයෙන් ඉදිරිපත්වන ජනාධිපති අපේක්ෂයාට ද මීළග ජනාධිපතිවරණයෙන් වැඩිපුර වාසිසහගත වෙන්නෙ.
දැන් තියෙන කිසිම පක්ෂයකින් වත් රටට වැඩදායි ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරයි කියල, යහපත් තත්ත්වයක් අපේක්ෂා කරන්න බැහැ. අපිට හැකි ඉක්මනින් කරන්න වෙලා තියෙන්නේ සමාජ ප්රජාතන්ත්රවාදී ඒ කියන්නේ ජනතාවට සුභ සාධන සලසන කමයක් ඉදිරියට ගෙනයන්න පුළුවන් පක්ෂයක් බලයට පත්කර ගැනීම තමයි රටේ අවශ්‍යතාව වෙලා තියෙන්නෙ.
මීට පෙර අපිට දක්නට තිබුණෙ ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙකයි. දැන් එය තුනකට කැඩිල තියනව. ඔබ කියන සමාජප්රජාතන්ත්රවාදය ගෙන එන්න නම් ආණ්ඩුවක් පිහිටුවා ගත යුතුයි, ජනාධිපතිවරයකු තෝරාපත්කර ගත යුතුයි. ඒක කොහොමද කරන්නේ මේ පක්ෂ තුනෙන් එකක් තෝරගන්නවද? එහෙමත් නැත්නම් මේ රටේ උගතුන් එකතුවෙලා පොදු අපේක්ෂකයෙක් නම් කරනවද? මීට පෙර ජනතාවට මග පෙන්වන ලද පුරවැසි බලය වැනි කණ්ඩායම් වල ස්ථාවරය ජනතාව ප්‍රශ්නකරන තත්ත්වයකට පත්වෙලා. කොතනින් ද බිද වැටුණු යහපාලනය වෙනුවට සැබෑ යහපාලනයක් සදහා රට ගෙනයාම පටන් ගතයුත්තේ?
ඇත්තටම ඒක ප්රශ්නකාරී තත්ත්වයක්. මම මුලින් ප්‍රකාශ කළා වගේ දේශපාලන විද්‍යාඥයන්ට පවා ඒකට පිළිතුරු සොයන්න, උත්තර දෙන්න බැරි තත්ත්වයක් තමයි ඇති වෙලා තියෙන්නෙ. මේක කලාතුරකින් දකින්නට ලැබෙන තත්ත්වයක්. ලෝක දේශපාලනය දිහා බැලුවත් මේ වගේ තත්ත්වයන් නිර්මාණය වූ රටවල් දකින්න තියෙන්නෙ හරිම කලාතුරකින්. මේ තත්ත්වයෙන් ගොඩඑන එක ලේසි පහසු කාර්යක් නෙමෙයි.
මේ ඇති වී තිබෙන තත්ත්වය හමුවේ මධ්‍යස්ථ ජනතාව උපේක්ෂාසහගතව ඉන්නවා. රටේ ජනතාව නිවැරැදි දිශානතියකට ගෙනියන්න වැඩපිළිවෙලක් නැත්ද? රටේ උගතුන්ට බුද්ධිමතුන්ට මේ සදහා වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න බැරිද?
තව මාස 18කින් මහ මැතිවරණයක් එනවා. ජනාධිපති මැතිවරණයකුත් එනවා. කාටද වැඩිපුර ඡන්ද ගන්න පුළුවන් කියන එක පිළිබදව ලොකු ප්‍රශ්නයක් තියෙනව. එක්සත් ජාතික පක්ෂය එක්තරා අවස්ථාවකදි හිතාගෙන හිටියා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් බේදී සිටින නිසා ඒ ගොල්ලන්ට ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියල. පසුගිය පෙබරවාරි මාසේ පවත්වනලද පළාත්පාලන මැතිවරණයෙන් පැහැදිලි වුණා එකේ වාසියක් ඔවුන්ට ලැබෙන්නෙ නැතෙයි කියල. කොහොම වුනත් අවසාන විග්රහයේ දී උතුරේ සහ නැගෙනහිර ඒ වගේම කදුරට තේ වතු ආශ්රිත පුදේශවල පිරිසගෙන් වැඩි පිරිසකගේ සහයෝගය ලබාගත හැකි, දකුණේ ජනතාවගෙ විශ්වාසය දිනාගැනීමට හැකි සමාජ ප්රජාතන්ත්රවාදය අනුව කටයුතු කරන පිරිසකගේ එකතුවීමක් තමයි මේ වෙලාවේ අවශ්‍යවෙලා තියෙන්නෙ.
ඔබ ඉන් අදහස් කරන්නේ මේ පක්ෂ තුනෙන් එක් පක්යක් වටා ප්රගතිශීලි කොටස් එකතුවිය යුතයි කියා ද, එසේත් නැතිනම් මේ තුනෙන්ම ප්රගතිශීලි කොටස් එකතු වී නව බලවේගයක් නිර්මාණය කරගතයුතුයි කියල ද?
2014 සිට ක්‍රියාත්මක වූ විවිධ සිවිල් සංවිධාන ප්‍රමාද නොවී වහාම පෙළගැසිය යුතුයි කියලයි මම අදහස් කරන්නේ.
ජනතාවට මග පෙන් වූ සිවිල් සංවිධාන විසින් බලයට ගෙනා ජනාධිපති හා රජය, එම සංවිධාන විසින් ජනතාව හමුවේ තැබූ බලාපොරොත්තු ඉටු කෙරුවෙ නෑ කියල විටින් විට ප්‍රකාශ කළත්, ප්‍රබල හඩක් නැගුවෙ නෑ. ඔවුන් මධ්‍යස්ථ නොවී පක්ෂග්රාහිව පක්ෂවල එල්ලිලා ඉන්න බවක් තමයි පෙනෙන්නේ. ඔවුන්ගෙන් අවංකත්වයක් පිළිබිඹු නොවන බවකුයි පෙනෙන්න තියෙන්නෙ.
සියලු දෙනාම එහෙමයි කියල කියන් බැහැ. කීප දෙනෙක් එහෙම ඉන්න පුළුවන්. අපිත් ඒ සටනේ හිටියා. මම ඇත්ත පත්තරේ කර්තෘ වශයෙන් හිටියා. ඇත්ත පුවත්පතේ හිමිකරුවො එනම් කොමිනියුස්ට් පක්ෂය මහින්ද රාජපක්ෂට සහයෝගය දෙන්න තීරණය කළ නිසා මම ඇත්ත පුවත්පතේ කර්තෘ ධුරයෙන් අයින් වුණා. තිබුණ රජයට විකල්ප රජයක් පත්කර ගැනීම සදහා ගෙනයන ව්‍යාපාරයට සහභාගි වුණා. නැවතත් ඒ වගේ ව්‍යාපාරයක් ඇතිවිය යුතුයි කියලයි මම කල්පනා කරන්නේ.
ඔබගේ ප්‍රකාශය ඉතාම සාධනීය එකක් වුවත්, දැනට එහෙම ජනතාව පෙළගැස්සවීමට සුදුසු තත්ත්වයක් රට තුළ නිර්මාණය වෙලා නෑ නේද? ජනතාව පක්ෂ තුනට බෙදිලා තමන්ගෙ පක්ෂය ජයග්‍රහණය කරවන්න බලාගෙන සිටිනවා මිසක් රටට වඩාත් හොද අනාගතයක් නිර්මාණය කරන කණ්ඩායමක් බලයට පත්කරන්න සූදානමක් නැති බවයි පෙනෙන්නේ.
ඒක ඇත්ත. රට හැම අතින්ම තියෙන්නෙ ව්‍යාකූල තත්ත්වයක. ඒ නිසයි ජනතාවට යමක් තේරුම් බේරුම් කරගන්න බැරි. පක්ෂ දෙස වික්ෂිප්තභාවයකින් බලා ඉන්නවා මිසක් හරි අවබෝධයන් නෑ. මේ වෙලාවේ හරි අවබෝධයක් ගන්නත් බැරි තත්ත්වයකට ව්‍යාකූල වෙලා.
මේ ව්‍යාකූල තත්ත්වයෙන් වාසිය ගන්නෙ ධනපති පක්ෂම නේද? ඉන් ජනතාවට අත්වෙන යහපත කුමක්ද? රටට ඇතිවෙන යහපත කුමක්ද?
ඒතාබද්ධ විපක්ෂ නැත්නම් පොහොට්ටුව වශයෙන් හදුන්වන ජී.එල්. පීරිස්ගෙ නායකත්වයෙන් තියෙන පක්ෂයට බලයට පත්වෙන්න පුළුවන් කියල විශ්වාස කරන්න බැහැ. මහින්ද රාජපක්ෂට තවමත් ජනප්‍රියතාවයක් තියෙනව. ඒ වුණත් ඔහුට යළි තරග කරන්න බැහැ. ඔහුට මැතිවරණයක් මෙහෙයවන්න පුළුවන්. ඒත් බලයට පත්වෙන්න පුළුවන් ද? කියන එක සැකයි.
රටේ වැඩි ජනතාවකගෙ බලාපොරොත්තුව මහින්ද රාජපක්ෂ ආවාම දිව්‍යලෝකේ යන්න පුළුවන් කියල. ‘‘දිව්‍ය ලෝකේ ළගයි පෙනෙන මානේ… බොල බූරු පුතේ! දුක ශෝකා ඉතින් ඉවසන්…මහින්ද කියන්නේ එහෙමයි.
මම අදහස් කරන ආකාරයට නම්, ජනතාව බැලිය යුත්තේ පුද්ගල චරිත දිහා නෙමෙයි. ප්‍රතිපත්ති දෙසයි බැලිය යුත්තේ. ප්‍රතිපත්ති වශයෙන් බලනකොට ප්‍රධාන කරුණු තුනක් තියෙනව. එකක්, ජාතික සමගියට කැමතිවීම. දෙවැනි එක තමයි, එකාධිපතිවාදී ධනේශ්වර ක්‍රමයකට අකමැති වීම. තුන්වැනි එක තමයි, සමාජ ප්රජාතන්ත්රවාදයකට කැමති වීම. මේ ලක්ෂණ තුන සහිත ජනතා බලවේගයක් ගොඩනැගිය යුතුව තියෙනව.
සමාජ ප්රජාතන්ත්රවාදයෙ දි රටේ ආර්ථිකය මෙහෙයවන්නේ කුමන ආකාරයකට ද? සියලුම භාණ්ඩ හා සේවා තනිකරම පුද්ගලයන් සතු ධනවාදි ආර්ථ ක්‍රමයක් යටතේ ද? නැතිනම් රටේ සියලු සම්පත් හා සේවා නිෂ්පාදන භාණ්ඩවල හිමිකරුවා රජය වශයෙන් සලකන සමාජවාදි ආර්ථික ක්‍රමයක් තුළද? නැතිනම් මේ දෙකම මිශ වූ මිශ්‍ර ආර්ථික ක්‍රමයක් තුළින් ද?
එතනදි කල්පනා කරන්න වෙනවා, ලෝකයේ අනෙක් තැන්වලදි සිද්ධවෙන දේවල් ගැන. චීනයේ, වියට්නාමයේ ලාඕසයේ වගේ රටවල අත්හදා බැලීම්, ඒවායින් ලත් අත්දැකීම් දෙස අපි බැලිය යුතුව තියෙනව.
අද ගෝලීය කරණයෙන් මිදෙන්න පුළුවන්කමක් නැහැ. ලංකාව වගේ රටකට ගොලීයකරණයෙන් මිදිලා තනියම නැගී සිටීමට පුළුවන් කමක් නැහැ. විදේශීය ආයෝජන ඕනෑ. අපේ නිෂ්පාදන වලට ලෝක වෙළදපොලක් සොයාගැනීම අවශ්‍යයි. අපිට අවශ්‍ය භාණ්ඩ ආනයන කිරීමට පුළුවන්කම තියෙන්න ඕනැ. මෙතෙක් නොතිබූ නව ආර්ථික රටාවක් ගැන හිතන්න වෙනවා රට දියුණු කරන්න නම්.
සිංගප්පූරුවත් සමග ඇති කරගෙන තිබෙන ගිවිසුම අප රටට හානිදායක ද?
මම නම් හිතන්නෙ නෑ එහෙම එක පාරටම ප්‍රතික්ෂේප කරන්න ඕන ගිවිසුමක් කියල ඒක. හුගක් දෙනෙක් හිතන්නෙ අපේ රටේ වෘත්තිකයින්ට එයින් පහරක් වැදෙයි කියල. දොස්තරවරුන්ට, ඉංජිනේරුවන්ට, තොරතුරු තාක්ෂණික ශිල්පීට වගේ අයට. දැනටමත් අපේ රටේ පුහුණු ශ්‍රමිකයන්ගෙ හිගයක් තියෙනව. දැනටමත් රැකියා ලක්ෂගණනක් සදහා ඉල්ලුම තියෙනවා. එහෙත් සැපයුම නැහැ.
