|

රටට වින කරන වෘත්තීය කුහකත්වය – සී. ජේ. අමරතුංග

 සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් තබන ලද්දේ පසුගිය ජනවාරියේදීය. දැන් එය ක්‍රියාත්මකය. ඒ යටතේ ශ්‍රී ලංකාවේ ආයෝජනයට සිංගප්පූරු සමාගම් ඉදිරිපත්වී ඇති බවද වාර්තා විය. එසේ තිබියදී එම ගිවිසුමට එරෙහිව යළිත් වරක් හාහෝවක් පටන්ගෙන ඇත්තේ හැමදාමත් මෙවැනි ගිවිසුම්වලට එරෙහිවූ කණ්ඩායම් කිහිපයකි.

ඇතැම් අන්තවාදී වෘත්තීය සංගම් පසුගිය දිනවල කියන්නට පටන් ගත්තේ හොර ගිවිසුමක් අත්සන් කොට ඇති බවකි. ව්‍යාජ ලියැවිලි ඉදිරිපත්කොට ඇමැති මණ්ඩලය නොමග යවා ගිවිසුම් අත්සන්කොට ඇති බවකි. ඉන්දියාව සමඟ එට්කා ගිවිසුම වෙනත් ආකාරයකින් ක්‍රියාත්මකකොට ඇති බව ඔවුහු ප්‍රකාශ කළහ. ඔවුන් කීවේ මෙම ගිවිසුම මඟින් සිංගප්පූරුවේ වෘත්තිකයන්ට පමණක් නොව එරට ලියාපදිංචිය ලබාගත් වෙනත් රටවල වෘත්තිකයන්ටද නිදහසේ මෙරට සේවයට පැමිණීමට ඉඩ ලබාදී ඇති බවයි. එමගින් ඉන්දියාවේ වෘත්තිකයන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට හොරපාරක් විවෘත කරදී ඇති බවට ඔවුහු චෝදනා කළහ.

ඔළුවේ අමාරුවක්ද

මෙබඳු කතා කියනවිටම සිතෙන්නේ මේ කියන උදවියගේ යම් ඔළුවේ අමාරුවක් තිබේද යනුවෙනි. මෙබඳු රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුම් ව්‍යාජ ලේඛන ඉදිරිපත්කොට කළ හැකිද? යන්න කාටත් මතුවන ප්‍රශ්නයකි. ඇමැති මණ්ඩලයට ව්‍යාජ ලේඛනයක් ඉදිරිපත්කොට වෙනත් ගිවිසුමක් අත්සන් කළේනම් එය ඇමැතිවරයා ගෙදර යැවිය යුතු ප්‍රශ්නයකි. එසේ වුවද ඇමැති මණ්ඩලයේ කිසිවකු එකඳු චෝදනාවක් නගන්නේ නැත. මේ කියන්නේ එක්තරා සුළු පිරිසකි. මොවුන්ගේ මෙම ප්‍රචාරය නිසා වෙනත් සංගම්ද කැළඹීමකට ලක්ව ඇති බව පෙනෙන්නට ඇතත් ඒ අතරින් වැඩි දෙනා සංයමයකින් යුතුව ප්‍රශ්නය ගැන කතාකරන බවක් පෙනෙන්නට ඇත. විශාලම රුදාව ඇත්තේ අන්තවාදී සුළු පිරිසකටය.

මෙම ප්‍රචාරයට පිළිතුරු දීමට පුවත්පත් සාකච්ඡාවක් කැඳවීමට මලික් සමරවික්‍රම අමාත්‍යවරයාට සිදුවිය. එහිදී ඇමැතිවරයා පැහැදිලිව කීවේ මෙමඟින් කිසිදු වෘත්තිකයකුට නිදහසේ මෙරටට එන්නට ඉඩ දී නැති බවයි. විදේශ ආයෝජකයන් සමඟ පැමිණෙන ඉහළ කළමනාකරුවන්ට හා වෘත්තිකයන්ට පමණක් මෙයින් ඉඩ සලසා ඇති බවයි. එමෙන්ම මෙම ගිවිසුමට ඇමැති මණ්ඩලයේ මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේද අනුමැතිය නිසි ලෙස ලබාගෙන ඇති බව පමණක් නොව ගිවිසුමෙන් ලැබෙන ප්‍රතිලාභද ඇමැතිතුමා විස්තර කළේ අමාත්‍යාංශයේ නිලධාරින්ද සමඟ මාධ්‍යයට මුහුණ දෙමිනි.

වෘත්තීයවේදීන් කියන කණ්ඩායම් ඉදිරිපත් කරන ප්‍රශ්නයට ඇමැතිවරයාගේ පිළිතුර ප්‍රමාණවත්ය. එසේ වුවද මොවුන්ගේ තර්කවල තිබෙන පරස්පරද ඇත්ත අරමුණුද හඳුනාගැනීම වැදගත්ය. එමෙන්ම මෙම චින්තනය රටේ ආර්ථික සංවර්ධනයට වින කරන හැටිද හඳුනාගත යුතුව ඇත.

මේ මොහොතේ මොවුන් කියන්නේ මෙරටෙහි වෘත්තීය රැකියා වෙළෙඳ පොළ ආරක්ෂා කරගත යුතු බවයි. එනම් මෙම රැකියාවලට යොමුවීමේ ඉඩකඩ ශ්‍රී ලාංකිකයන්ට සීමා කොට තිබිය යුතු බවයි. එසේ වුවද ලෝකයේ රැකියා වෙළෙඳ පොළ ද අපගේ වෘත්තිකයන් සඳහා විවෘතව තිබිය යුතුය. විවෘතව ඇත. ඒ එම රටවල වෘත්තිකයන් අප රටේ මෙන් පටු ලෙස ප්‍රශ්න ගැන නොසිතන නිසා විය යුතුය. නැ‍ඟෙනහිරින් නවසීලන්තයේ හා ඕස්ට්‍රේලියාවේ සිට බටහිරින් ඇමෙරිකාව හා කැනඩාව දක්වා විවිධ රටවලට අපගේ වෘත්තිකයෝ ගොස් සිටිති. ඒ රටවල ඔවුන්ට නිත්‍ය පදිංචිය හෝ පුරවැසිභාවය හෝ ලබාදීමට තරම් ත්‍යාගවන්ත වී ඇත. ඒ ඔවුනගේ රටවල මෙම වෘත්තිකයන් නැති නිසා නොවේ. මේ බොහෝ රටවල් අපරටට වඩා ඉහළ පිළිගැනීමක් ඇති විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන ඇත. එසේ තිබියදී ඔවුන් අප රටවල වෘත්තිකයන්ට ඉඩ ලබා දෙන්නේ එයින් ඇති ආර්ථික ප්‍රතිලාභ තේරුම්ගෙන විය යුතුය. අපේ වෘත්තිකයන්ට ඒවා ‍ෙනාතේරීම අපේ කරුමයකි.මෙම ලියුම්කරු සමඟ මොරටුව සරසවියේ ඉංජිනේරුවිද්‍යාව හදාරා 1982 වසරේ පිටවූ ඉංජිනේරුවන් 130ක් තරම් පිරිසෙන් දැන් මෙරට ඉතිරිව සිටින්නේ තිස් ගණනක් තරම් සුළු පිරිසකි. වෛද්‍ය හා අනෙක් බොහෝ වෘත්තින්හිද තත්ත්වය මේ හා සමානය.

අපේ වෘත්තිකයන් මේ අපරාධය ගැන කතාකරති. එයට කියන්නේ බුද්ධි ගලනය කියාය. එයට ඉඩ නොදීම සඳහා ඉන්න වෘත්තිකයන්ට සියලු වරප්‍රසාද දිය යුතුය. වෛද්‍යවරුන්ට තීරුබදු රහිත වාහන බලපත්‍රද දිය යුත්තේ ඒ අපරාධය නතර කරන්නටය. එනම් මේ වෘත්තිකයන් සමඟ අපගේ බුද්ධිය පිටරටට ගලායාම වළකාගන්නට ය. හැබැයි පිටරටින් වෘත්තිකයන් එනවිට ඔවුන් සමඟ බුද්ධිය ගලාඑන බවක් නම් දැනගන්නට නැත. මෙතැන මොකක්දෝ කුහකකමක් ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. මෙහිදී ඇත්ත වශයෙන්ම වැදගත් වන්නේ හුදෙක් දැනුම නොවේ කුසලතාවයයි. පළපුරුද්ද නැතහොත් දක්ෂතාවයයි. එනම් පුද්ගලයාගේ හැකියාවයි. විවිධ වර්ගයේ හැකියාවන් ඇති අය ආර්ථික සංවර්ධනයේදී අවශ්‍ය වෙයි.

මෙම ප්‍රශ්නය පිළිබඳව ඉතා වැදගත් පැහැදිලිකිරීමක් මෑතකදී ශ්‍රී ලංකාවේද සංචාරය කළ ආර්ථික විද්‍යාඥ රිකාර්ඩෝ හවුස්මන් කර තිබුණි. ඔහු ප්‍රශ්නය හැඳින්වූයේ කිකිළිය හා බිත්තරය පිළිබඳ ප්‍රශ්නයක් ලෙසයි.බිත්තරය නැති විට කිකිළිය නැතිවීමත් කිකිළිය නැතිවිට බිත්තරය නැතිවීමත් ආකාරයෙනි.

කිකිළිය සහ බිත්තරයේ ප්‍රශ්නය

රිකාර්ඩෝ හවුස්මාන් මහතා කියන්නේ රටෙක යම් කර්මාන්තයක් ඇතිකිරීමට අවශ්‍ය කුසලතා නැතහොත් හැකියාවන් පිටතින් ලබාගැනීමට සිදුවිය හැකි බවය. ඔහු කියන්නේ රටක ඔරලෝසු කර්මාන්ත ශාලාවක් ඇති කරන්නට නම් ඔරලෝසු කාර්මිකයන් පිරිසක් අවශ්‍ය බවයි. අනෙක් අතට ඔරලෝසු කර්මාන්තයක් නැති රටක එබඳු කාර්මිකයන් පිරිසක් බිහිවීමේ ඉඩකඩක්ද නැත. එවිට මෙම කර්මාන්තය ඇතිවන්නේ නැත. රටකට පිටතින් වෘත්තිකයන් පැමිණීමට ඉඩ සැලසිය යුත්තේ මෙම ප්‍රශ්නයට විසඳුම් ලබාගැනීමටය.

රටකින් රටකට දැනුම ලබාගැනීම පොත්පත් හෝ අන්තර් ජාලය මඟින් පහසුවෙන් කළ හැකිය. යන්ත්‍ර සූත්‍ර ගෙන්වා ගත හැකිය. එසේ වුවද කුශලතාව නැතහොත් හැකියාව ගමන් කරන්නේත් පුද්ගලයින් සමඟය. එයට ඉඩකඩ සලසා නොදෙන්නේ නම් රටකට ආර්ථික වශයෙන් සංවර්ධනයවීම දුෂ්කරය.

සංවර්ධනයේ රහස්

පසුගිය කාලයේ දියුණුවූ රටවල එම සංවර්ධන‍යේ රහස් ගැන ද හවුස්මන් මහතා තොරතුරු ලබාදෙයි. පසුගිය වසර තිහ හතළිහේදී වේගයෙන්ම සංවර්ධනය වූ රටවල් දෙකක් නම් සිංගප්පූරුව හා හොංකොංය. එම රටවල අද සිටි ජනගහනයෙන් සියයට හතළිහක් පිටරටක උපන් උදවියයි. ඒ කියන්නේ පිටරටක ඉපිද මේ රටවලට පැමිණ පුරවැසියන් වූ අයයි. කැනඩාව, ඔස්ට්‍රේලියාව හා ඇමෙරිකාව වැනි රටවල එම සංඛ්‍යාව සියයට විසි පහකි. යුරෝපා රටවල සියයට පහළොවක් පමණය.

චීනය අද වේගවත් සංවර්ධනයක් ලබමින් සිටියි. මෙම සංවර්ධනය පටන්ගත් විට එයට පුරෝගාමී මෙහෙවරක් කළේ හොංකොං හා තායිවානයෙන් පැමිණි පිරිස්ය. චීනයේ සංවර්ධනයට දැනුම හා මුදල්ද ලැබුණේ ඔවුන්ගෙනි. ඇතැම් විට පෙනී යන්නේ එතරම් වැඩකට නැතැයි කියා සිතන පිරිස් තම දක්ෂතා මෙහෙයවා සාර්ථක වී ඇති ආකාරයයි. සිංගප්පූරුවේ මහා සංවර්ධනයට දායක වූ ප්‍රධාන පිරිසක් ලෙස හඳුනාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ යාපනය ප්‍රදේශයෙන් ගිය උගත් තරුණ පිරිසයි. එරටෙහි සංවර්ධනය ගැන කතා කරන විට මෙම පිරිස ගැන සිංගප්පූරු ජාතිකයෝ කතාකරති.

සිංගප්පූරුවේ සහ හොංකොංවල ජනගහණයෙන් සියයට හතළිහක් විදේශවල ඉපදුණු අය වුවද අප රටේ එම ප්‍රමාණය සියයට එකකි. එම සියයට එක තුළ සියයට අනුනවයක් ඉන්දියාවේ උපන් අයයි. අපේ රටේ ආරක්ෂාව අපි තහවුරු කරගෙන ති‍ෙබන්නේ එහෙමය. අදත් අප බියෙන් සිටින්නේ කවුරුන්හෝ මෙයට කඩාවදියි කියාය. විශේෂයෙන් බිය තියෙන්නේ ඉන්දියාවටය. ඒ නිසා අපේ රට ලෝකයේම වෙනත් ජාතීන්ට දොර වසා දැමූ රටකි. ඒ අපේ ජනයාට බොහෝ රටවල් විවෘතවී තිබියදීය.

කෙසේ වෙතත් රටේ සංවර්ධනය ගැන සිතන්නේ නම් මෙම ඇතැම් සීමා පුළුල් කරන්නට අපට සිදුවනු ඇත. රිකාර්ඩෝ හවුස්මන් ආර්ථික විද්‍යාඥයා ශ්‍රී ලංකාවට පැමිණ අපට කී පණිවිඩය එයයි. වත්මන් ආණ්ඩුව සිංගප්පූරුව,සමඟ වෙළෙඳ ගිවිසුම අත්සන් කළේ ඒකටය. ඒ ඕනෑම කෙනෙකුට රටට කඩාපනින්නට ඉඩ දෙන්න නොවේ. ආයෝජන සමඟ එයට අවශ්‍ය දැනුම, කුශලතාවය හා හැකියාව ඇති පිරිස් මෙරටට ගෙන්වා ගන්නටය. අපට දැනුම නැති ක්ෂේත්‍රවල දැනුම ලබාගන්නටය.

ඉන්දියාව සමඟ එට්කා ගිවිසුම අත්සන් කරන්නට යන්නේද ඒකටය. චීනය සමඟ, තායිලන්තය සමඟ, බංගලිදේශය සමඟ වෙළෙඳ ගිවිසුම් අත්සන් කරන්නට සැලසුම්කොට ඇත්තේ ඒ සඳහාය. මෙලෙස අලුත් ක්ෂේත්‍රවල කර්මාන්ත දියුණු වූ විට එම දැනුම රට තුළ ගලායාම සිදුවෙයි. මුලින් එන්නේ විදේශිකයන් පිරිසකි. ඔවුන්ගෙන් ඊළඟට එම කාර්මික දැනුම ශ්‍රී ලාංකිකයන් අතට පත්වනු ඇත. කර්මාන්ත වැ‍ෙඩන්නේ එහෙමය. කටුනායක නිදහස් වෙළඳ කලාපය ආරම්භ කරන විට ඇඟලුම් කර්මාන්තය රැගෙන ආවෝ විදේශිකයෝය. පසුව එය මුළුමනින්ම දේශීය කර්මාන්තයක් වූ බව අපි දනිමු

ඉන්දියාවෙන් පැමිණි දැනුම

අප රටේ ඇතැම් වගකිවයුතු වෘත්තිකයන්ගේ සංගම් වරින් වර කරන කියන දේ නිසා ඔවුන් විහිළුකාරයන්ගේ තත්ත්වයටද පත්ව ඇත. අපේ වෛද්‍යවරුන් කියන්නේ ඉන්දියානු වෛද්‍යවරුන්ගේ සුදුසුකම් ප්‍රමාණවත් නැති බවයි. ඔවුන්ගේ වෘත්තිය ගුණාත්මක භාවය අඩු බවයි. කෙසේ වෙතත් මේ සංගම් කිසිදු හඬක් නොනඟා දෙපැත්තම වසාගෙන සිටි කාලයක ඉන්දීය ආයෝජනයක් හරහා ඉන්දියානු වෛද්‍යවරු පිරිසක් මෙරටට පැමිණියහ. දැන් ඔවුන් අතරින් පිරිසක් මෙරට පෞද්ගලික රෝහල් වල සේවය කරන්නේ ඉහළම කීර්තියක් අත්කර ගනිමිනි. හෘද සැත්කම් සඳහා නම්දරා ඇති වෛද්‍යවරුන් බොහෝ දෙනෙක් ඉන්දියානුවෝ වෙති. දැන් ඔවුන් සමඟ වැඩ කරන ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් පිරිසක්ද එම දැනුම ලබාගෙන ඇති බව පෙනෙන්නට තිබේ.

ඉන්දියානු වෛද්‍යවරුන් ගැන කුමක් කීවද මේරටේ කළ නොහැකි සැත්කම් හා වෙනත් ප්‍රතිකාර සඳහා රෝගීන් බොහෝවිට යොමු කරන්නේ ඉන්දියාවේ රෝහල් වෙතයි. එසේ කරන්නේ ඉන්දියානු වෛද්‍යවරුන්ට ඉඩදී අපේ ලෙඩුන් මරා දමන්නට දෙන්න බැරියැයි කියන සංගම්වල සාමාජික වෛද්‍යවරුන් විසින්ම බව අපට පෙනෙන්න තිබෙන කාරණයයි. එලෙස ඉන්දියාවේ ප්‍රතිකාර සඳහා යන රෝගීන්ට ප්‍රතිකාර කර ඔවුන් සුවපත්කර එවන්නේ ඉන්දියාවේ ලියාපදිංචි වෛද්‍යවරුන් විසිනි. ඔවුන්ගේ ප්‍රමිතිය හරිදැයි බලන්න අපේ කට්ටිය එහි නොයෑම ලෙඩුන්ගේ වාසනාවකි.

අද තිබෙන තාක්ෂණය අනුව ඇතැම් වෘත්තීන් දේශ සීමාවකට කොටු කරන්න බැරි බවද තේරුම්ගත යුතුව ඇත. පරිගණක මෘදුකාංග තාක්ෂණය එවැන්නකි. මෙරට සිට බටහිර රටවල සේවා සපයන සමාගම් රාශියක් මේ වනවිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මකය. එහි ඇති රහසක් නම් එම සමාගම් බොහොමයක් උප කොන්ත්‍රාත් මඟින් ඉන්දියානුවන්ගේ සේවය මෙහි සිට ලබාගන්නා බවයි. නව තාක්ෂණයත් සමඟ තවත් බොහෝ සේවාවන්ගේ තත්ත්වයද මේ හා සමාන විය හැකිය.

එබැවින් අපට මෙම වෘත්තිකයන්ට කියන්නට තිබෙන්නේ කටුවෙන් එළියට විත් ලොව බැලිය යුතු කාලය එළඹ ඇති බවයි. එමෙන්ම වෘත්තියවේදීන්ගේ මෙම ආරක්ෂණවාදී කුහකත්වය රටේ ආර්ථික සංවර්ධනයට හරස්වන බවයි. මේ රටේ මහජනයාට අප කියන්නේ රටට විනකරන මේ පටු කුහක අදහස් පරාජය කිරීමට ඉදිරියට පැමිණිය යුතු බවයි.

සී. ජේ. අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *