වඳ සැත්කම් දේශපාලනය- අනුර සූරියබණ්ඩාර
කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සියාබ්දීන් සාෆිට ගල් ගැසීමට පිරිසක් ඉදිරිපත් වී සිටි. ඒ ඔහු සිංහල කාන්තාවන් 4000 කට වඳ සැත්කම් කර ඇතැයි සිංහල ජාතිවාදය බොහෝ කලක සිටත්, මහින්ද රාජපක්ෂ වාදය මෑත කාලයේ සිට වපුරන දිවයින පුවත්පත වාර්තා කලාට පසුවය. දිවයින පුවත්පතින් පසුව වෛද්‍ය සාෆි මහතාට විරුද්ධ චෝදනාව සමාජගත කරන්නට ප්‍රබල ලෙස දායක වූ දෙදෙනෙක් සිටිති. ඔවුන් මහාචාර්ය චන්න ජයසුමන සහ කුරුණෑගල රෝහල් අධ්යක්ෂ සරත් වීරබණ්ඩාරය. දෙදෙනාම පොහොට්ටු පක්ෂය හිතවාදීන් බව මෙහිදී මතක් කළ යුතුව ඇත.
වෛද්‍ය සාෆි මහතාට චෝදනා කරන්නන් කියන්නේ ඔහු සිංහල කතුන් හාරදාහක්ට වඳ සැත්කම් කර ඇති බව ය. ඔවුන් පවසන ආකාරයටට සාෆි මහතා එම වඳ සැත්කම් කර ඇත්තේ සීසර් කිරීම හෙවත් සිසේරියන් සැත්කම් කරන අතරතුර රහසිගතවය.
අප දන්නා තරමින් සහ වෛද්‍යවරුන් පෙන්වා දෙන ආකාරය අනුව සිසේරියන් සැත්කමක් යනු තුවාලයකට බෙහෙත් දැමීමක් හෝ දතක් පිරවීමක් දතක් ගැලවීමක් හෝ වැනි දොස්තරවරයෙකු තනිව කරන කටයුත්තක් නොවේ. සිසේරියන් සැත්කමකදී සහයක වෛද්‍යවරුන්, හෙදියන්, නිර්වින්දන වෛද්‍යවරු, ඇතුළුව පිරිසකගේ දායකත්වය අවශ්‍ය වේ. ඒ අනුව බලන කල ඒ සියලු දෙනාගේ ඇස් වසා කතුන් හාරදාහකට සීසර් සැත්කම්, වඳ සැත්කම් කරන්නට වෛද්‍ය සාක්ෂි මහතාට කුමක් හෝ මැජික් බලයක් තිබිය යුතුය. එසේත් නැතිනම් එම සැත්කම්වලදී ඔහුගේ සහායට සිටි සියලු දෙනාගේ සහාය ඒ සඳහා ඔහුට ලැබිය යුතුය. එසේත් නැතිනම් ඔහුගේ සහායට සිටි සියලු දෙනා අන්ධයන් විය යුතුය.
වෛද්‍ය සාෆි මහතා වඳ සැත්කම් හහාරදාහක් කර ඇති බව පුවත්පත කීවද, ඒ ගැන පැමිණිලි කරන ලෙස ජනතාවට දන්වා දින තුනක් තිස්සේ ලැබී තිබුණේ පැමිණිලි 114කි. දිවයින පුවත්පත කියූ සැත්කම් හාරදාහට මෙතෙක් සිදු වූ දෙයක් නැත. එම පුවත්පත කරුණු වාර්තා කළේ පදනම් සහිතව නම් පැමිණිලි ආරම්භ විය යුතුව තිබුණේ 4000 සිටය එනම් මේ වන විට පැමිනිලි 4114 ක් විය යුතුය. එහෙත්ඇත්තේ පැමිණිලි 114ක් පමණි.
වෛද්‍ය සාෆි මහතාගේ සැත්කම් හේතුවෙන් දරුඵල නැති වී ඇතැයි කියන කතුන් කීපදෙනෙකුගේ ප්‍රකාශ ද, ඇතැම් මාධ්‍ය මගින් වාර්තා කර තිබුනි. එකී කතුන් කියන්නේ සාෆි මහතාගේ සිසේරියන් සැත්කමින් පසුව තමන් දරුඵල ලබා ගැනීමට උත්සාහ කළ නමුත් උත්සාහය සාර්ථක නොවූ බව පමණි. ඔවුන්ගේ ප්‍රකාශ අනුව ඒ කතුනට දරුඵල අහිමි වීමට හේතුව සිසේරියන් සැත්කම අතරතුර වඳ සැත්කමක් කර තිබීම බව කිසිවෙකු කියන්නේ නැත. එවැන්නක් ඔප්පු වී ද නැත. එක කතක් කියා තිබුණේ දරුපල ලබාගැනීම සදහා පරීක්ෂණ රැසක් විශාල වියදමක් දරමින් කළා ය කියා ය. ඒ පරීක්ෂණවලදී පරීක්ෂණ වලදී වත් ඇයට වද සැත්කමක් කර ඇති බවක් හෙළි වී නැත. තවත් කතකගේ පැමිණිල්ල වන්නේ වෛද්‍ය සාෆි මහතා විසින් කළ සැත්කමකට පෙර ඔහු විසින් දෙන ලද බෙහෙතක් නිසා තමන්ගේ ඇස් පෙනීම අහිමි වූ බවය. තවත් කතුන් කියන්නේ කොන්ද කකුල් රිදෙන බව ය. තුවාල රිදෙන බව ය.
ඉහත කරුණු සහ ප්‍රකාශ මැදිහත්ව විමර්ශනය කරන විට පෙනී යන්නේ වෛද්‍ය සාෆි මහතා පිළිබඳ පැමිණිලි කරන්නට ඉදිරිපත් වී සිටින කාන්තාවන් පවා එසේ පැමිණිලි කරන්නේ දිවයින පුවත්පත හේතුවෙන් ඇති වූ බිය සහ සැකය මත මිස වෛද්‍ය සාෆි මහතා විසින් තමන්ට වඳ සැත්කමක් කර ඇති බවට විද්‍යාත්මක සාක්ෂි ඇතිව නොවන බවය .
ඉහත කාන්තාවන් තම ප්‍රකාශ කරතිබුනේ සිධියෙන් පසුව කුරුණෑගල රෝහලට ගිය රතන හිමියන් සමගය. එම කාන්තාවන්ගේ පැමිණිල්ලේ අවිද්‍යාත්මක බව ගැන තේරුම් ගැනීමේ උවමනාවක් රතන හිමිට තිබුණු බවක් පෙනෙන්නට නැත. ඒ වෙනුවට ඒ හාමුදුරුවන් කියා තිබෙන්නේ වෛද්‍ය සාෆි මහතා බේරාගැනීමට ඇමැතිවරු මන්ත්‍රීවරු සූදානම් වුවහොත් ලක්ෂ ගණන් ජනතාව සමග පැමිණි ඔවුන්ගේ නිවස වටලන බවය . සාෆි මහතා බේරා ගැනීමට දේශපාලකයන් මැදිහත්ව වීම වරදක් නම් ඔහු හිර කරවීමට දේශපාලකයන් මැදිහත්වීම ද වරදකි. රතන යනු ද සිවුරක් දරා සිටියද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. අනුනට එපා කියමින් තමන් ද එකම වරදේ අනෙක් පැත්ත කරමින් ඉන්නා බව රතන හාමුදුරුවන් තේරුම් ගන්නේ නැත. සිදුවිය යුතුව ඇත්තේ වෛද්‍ය සාෆි මහතා වරදක් සිදුකර ඇත්නම් ඊට නීතිය ක්‍රියාත්මක වන්නට ඉඩ හැර සියල්ලන්ම පසෙකට වීමයි. රතන හාමුදුරුවන්ට ඒ තරමට ඉවසුමක් නැත්තේ ජාති ආලය නිසා නොව ඊළඟ ඡන්දයට සූදානම් විය යුතු නිසාය. ජාතික ලයිස්තුවකට රිංගා ගන්නට වුවත් සද්දයක් දමා දේශපාලන හයියක් ගොඩනඟා ගන්නට සිදුවේ.
නොයෙක් ආකාරයේ හිතළු ප්‍රකාශ කරමින් මුස්ලිම් ජාතිකයන්ට විරුද්ධ ව සිංහල ජාතිවාදය ඇවිස්සීමේ ක්‍රියාදාමයකට මේ වන විට බෞද්ධ භික්ෂූන් ඇතුළු පිරිසක් වෛද්‍ය සාෆි මහතාගේ සිද්ධිය උපයෝගි කර ගනිමින් සිටින බව අතිශයින්ම පැහැදිළි ය. ඕමල්පේ සෝභිත භික්ෂුවව මාධ්‍ය හමුවක් කැඳවා කියා තිබුණේ වෛද්‍ය සාෆි මහතා ගබ්සා කර ඇත්තේ කුමක් හෝ සංවිධානයක නියමයකට බවය. රටපුරා ගබ්සා කරන මුස්ලිම් නොවන වෛද්‍යවරුන් කොතෙකුත් සිටින බව රහසක් නො වේ . එම වෛද්‍යවරු ද ගබ්සා කිරීම් මගින් ධනය උපයති . ඔවුන්ද සිංහල කතුනට ගබ්සා කරති. එසේ කරන වෛද්‍යවරු අතර සිංහල අයද සිටිති. ඔවුන් එම ගබ්සා කරන්නෙ ඕමල්පේ භික්ෂුව කියන සංවිධානයේ නියමය අනුව ද?
එපමණක් නොවේ ඕමල්පේ භික්ෂුව මුස්ලිම් ප්‍රසව සහ නාරිවේදී වෛද්‍යවරුන් ගේ වහාම තාවකාලිකව වැඩ තහනම් කළ යුතු යැයි ද යෝජනා කරයි. එසේ නොකරන්නේ නම් ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට මහජනතාවට සිදුවන බවද ඕමල්පේ භික්ෂුව කියාතිබේ. එපමණක් නොවේ වන්ධ්‍යාකරණ වැඩපිළිවෙල මුස්ලිම් බුද්ධිමතුන්, මුස්ලිම් උගතුන් ,මුස්ලිම් විද්‍යාඥයන් යනාදී සියලු දෙනා එක්වී ක්‍රමානුකූලව සකස් කළ වැඩපිළිවෙලක් බව ද ඕමල්පේ භික්ෂුව කියා තිබේ. දිවයින (2019 මැයි 28 පිටුව 9 )
ඉහත ප්‍රකාශය සිංහල-බෞද්ධ ජාතිවාදය ඇවිස්සීමකි . එසේම කිසිදු පදනමක් නැති ප්‍රකාශයකි . එවැනි ප්‍රකාශ මගින් ජනතාව කුපිත කිරීම නීතියට අනුවද වරදකි. සමාජ මාධ්‍ය ජාල අවහිර කරන්නට කටයුතු කරන ආණ්ඩුව මෙවැන්නන්ගේ මෙකී ප්‍රකාශ නැවැත්වීමට කටයුතු නොකිරීම බලවත් වරදක් සේම එය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්ද වේ.
ඇත්ත තත්වය වන්නේ දිවයින පුවත්පත කළ වාර්තාව හැරුණු විට එතෙක් වෛද්‍ය සාෆි මහතාට විරුද්ධව වන්ධ්‍යාකරණ සැත්කම් කිරීම සම්බන්ධව කිසිම පැමිණිල්ලක් ලැබී නොතිබුණු බවයි. අවශ්‍ය අනවශ්‍ය සියලු දේටත් නිදහස් වෙළඳ ගිවිසුම් වලට මැදිහත් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවා එවැනි චෝදනාවක් කර තිබුණේ නැත. ඔවුන් ද කලඑළි බැස සෞඛ්‍ය ඇමතිවරයාට චෝදනා කරන්නට පටන්ගෙන ඇත්තේ දැන්ය. තමන්ගේ රැහේ එකෙක් වුවද සත්කම් 4000 ක් හොර රහසේ කරන තුරු ඔහු සමග කටයුතු කරන වෛද්‍යවරයෙකු වත් ඒ ගැන හෙළිදරව් නොකිරීම පුදුමයකි .
ඉහත සිද්ධිය උපයෝගී කරගනිමින් ජාතිවාදය පතුරුවා හරින්නට පිරිසක් දැනුවත් ව කටයුතු කරන බව ඉතා පැහැදිලියි. විශේෂ නිවේදනයක් යැයි පවසමින් කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රචාරය කර තිබූණු කැලෑ පත්තරයක් වැනි පත්‍රිකාව ඒ සඳහා එක් නිදසුනකි. ඉන් කියා ඇත්තේ කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයා විනාශකාරී ක්‍රියාවක් මත සිංහල ජාතිය ව්‍යාප්ත වීම නවතා දැමීමේ අරමුණින් සිංහල මව්වරුන්ගේ දරුවන් බිහි කිරීමේ ක්‍රියාවලියට හානි කර ඇති බව ය. ඔහු කළ සාහසික අපරාධය ගැන කිසිම වග විභාගයක් නොමැතිව ප්‍රබල දේශපාලන බලපෑම් මත නිදහස් කිරීමට සූදානම් වන නිසා 2019 05.28 දී කුරුණෑගල රෝහල ඉදිරිපිට දිස්ත්‍රික්කයේ සිංහලයන්ගේ එකමුතුවෙන් පැවැත්වෙන සාමකාමී උද්ඝෝෂණයකට සහභාගි වන ලෙසත් උදේ 10.00 සිට 12.00 දක්වා වෙළඳ සැල් වසා දමන ලෙසත් එමගින් ඉල්ලා තිබුණි.
1983 කළු ජූලියට හේතුව සිංහල බෞද්ධ ජාතිවාදීන් සුළු පිරිසකට දෙමළ ජනතාවට විරුද්ධව ප්රචණ්ඩත්වය මුදා හරින්නට ඉඩ දී ආණ්ඩුව නිහඬව බලා හිඳීමය. අලුත්ගම ප්රදේශයේමුස්ලිම් ජාතිකයන්ට එල්ල කළ ප්‍රහාරයට ආණ්ඩුවේ අනුග්‍රහය වක්‍රව ලැබී තිබුණි. කළු ජූලිය සම්බන්ධව ද එකල ආණ්ඩුවේ දේශපාලකයන් ගෑවී තිබුනි . දැන් සිදුවන්නේ ආණ්ඩු විරෝධීන් හිතේ හැටියට මුස්ලිම් විරෝධයක් සිංහල ජාතිවාදයක් අවුස්සන විට ආණ්ඩුව ඉඩ දී බලා සිටීම ය .ආණ්ඩුව තමන්ගේ නිදිමත ගතිය නවතා වහාම මේ තත්ත්වය මර්දනය කරන්නට ඉදිරිපත් නොවන්නේ නම් රටේ අනාගතයට දෙවියන්ගේ පිහිට පමණි. තිස් අවුරුදු යුද්ධයට නොදෙවෙනි ව්‍යසනයකට ලංකාවට නැවත මුහුණ දෙන්නට සිදුවන දිනය වැඩි ඈතක නොවනු ඇත.
