|

පොහොට්ටුව රැක ගන්න බැසිල් සටන් කරද්දි ‘ජනපති අපේක්ෂකයා’ තහනම් වචනයක් වෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ලොකුම සිහිනයක් වූ මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියේ දැවැන්ත පියවරක් පසුගියදා ඉදිරියට තැබුවා. ඒ කළුගඟ ජලාශයට මංගල දියවර පිරවීමේ අවස්ථාවයි. ඒ මොහොතේදීම තවත් අතුරු ව්‍යාපෘති රැසක් ද විවෘත කරනු ලැබුවා.

මෙම ව්‍යාපෘතියට උප්පැන්න දෙන්න හදන අයට එහි දී ජනාධිපතිතුමා පිළිතුරු දුන්නා. ඒ ව්‍යාපෘතියේ අතීතය ගැන සිහිපත් කරමින්. කීර්තිමත් ඉංජිනේරුවකු වන කුලසිංහ මහතා ඇතුළු ඉංජිනේරු කණ්ඩායමක් සමඟ 1994 දී මෙම ව්‍යාපෘති යෝජනාව අනුව ජලාශ හා ඇළමාර්ග ඉදිවන හැටි ගැන තමා පැමිණ කළ නිරීක්ෂණය ගැන ජනාධිපතිතුමා කීවා. මෙතන මො‍රගහකන්ද, මෙතන කළුගඟ, වේල්ල හැදෙන්නේ මෙතැනින්. වයඹ ඇළ මෙතැනින් උතුරට වතුර යන්නේ මෙතැනින් වශයෙන් කුලසිංහ මහතා ව්‍යාපෘතිය විස්තර කළ හැටි ජනාධිපතිතුමා කීවා. මොරගහකන්ද ජලාශය කුලසිංහ මහතා නමින් නම් කිරීම ද එදින සිදුකළා.

2007 දී ජලාශය ඉදිකිරීමට මුල්ගල තිබ්බත්, එයට ණය ගැනීම සඳහා විදේශ ආධාර ඉල්ලන ලැයිස්තුවටවත් ඇතුළත් නොකර කඩාකප්පල් කළ හැටිද ජනාධිපතිතුමා කීවා. එසේ කළ අය කළේ රටට ද්‍රෝහීවීමක් බව ද ජනාධිපතිතුමා පැවසුවා. රජය ගැන වැරදි ප්‍රචාරය කරමින් ජනමතය වෙනතක හරවන්න හදන ජනමාධ්‍යවලට ද ජනාධිපතිතුමා අවවාද කළේ විහින් අමාරුවේ වැටී පසුව අඬන්න එපා යැයි කියමිනි.

විශ්‍රාමික අගරදගුරු අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන්ගේ රදගුරුවර ස්වර්ණජයන්ති උලෙළ පසුගියදා පැවැත්වුණේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීය. එයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගිවී සිටියා.

එහි දී කතාකරමින් ජනාධිපතිතුමා පැවසුවේ විශ්‍රාමික අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් සියලු ආගමිකයන්ගේ ගෞරවයට පාත්‍රවනු ඇති බවයි. මේ සමාජයේ සියලු කොටස්වල ගෞරවයට ගෝමිස් හිමිපාණන් ලක්වූයේ ඔහු සතු දර්ශනය, චරිත ලක්ෂණ හා සමාජයට දුන් ආදර්ශය නිසා බව ද ජනාධිපතිතුමා පැවසුවා.

ජාකර්තා මූලධර්ම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ කණ්ඩායම් රැස්වීම ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී ආරම්භවූයේ පසුගිය බදාදායි. එම සමාරම්භක උළෙලට සහභාගී වූ ජනාධිපතිතුමා එහි දී ප්‍රකාශ කළේ දූෂණය පිටුදකින රටවල් අතර අංක එකට ශ්‍රී ලංකාව ඔසවා තැබීම තම අරමුණ බවයි.

එහි දී තවදුරටත් කතාකරමින් දූෂිතයන් හැමවිටම සමාජයේ හොඳ මිනිසුන් ලෙස වැජඹෙන්න උත්සාහ කරන බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. දූෂිතයන් එක්වී දූෂණ විරෝධී ක්‍රියාමාර්ග ගන්නා අයට විවිධ චෝදනා නගන බවත් දූෂණය හා බලය ජාතික දේශපාලනයේ මෙන්ම ජාත්‍යන්තර දේශපාලනයේ දී ද දම්වැලක් සේ එකට ගමන් කරන බවත් ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසුවා.

පසුගිය සති අන්තයේ අගමැතිවරයා යාපනේ ඇතුළු උතුරේ සංචාරය ක‍ෙළ් ව්‍යාපෘති රැසක් විවෘත කිරීමට හා ආරම්භ කිරීමටය. එහි දී ඉන්දියානු උපකාර මත දැනට බස්නාහිර හා දකුණු පළාත්වල ක්‍රියාත්මක “සුවසැරිය” නොමිලේ ගිලන් රථ සේවාව උතුරේ දී ආරම්භ කිරීම විශේෂත්වයක් වුණා.

එහි දී ඉන්දීය අගමැති මෝදි දිල්ලියේ සිට සයිබර් තාක්ෂණය ඔස්සේ සභාව ඇමතීමද සිංහල හා දෙමළ භාෂාවෙන් කතා කිරීමටද විශේෂත්වයක් ලෙස පනීගියා.ඉන්දියානු අගමැතිවරයා එම කටයුත්තට එසේ සම්බන්ධ වූයේ අගමැති රනිල් දුරකථන හරහා ඔහුගෙන් කළ ඉල්ලීමකට අනුවය.අගමැති රනිල්ට එහි දී උතුරේ දෙමල ජනතාවගෙන් දැවැන්ත පිළිගැනීමක් සිදුවීමද කැපී පෙනුනා.

බ්‍රහස්පතින්දා උදේ අගමැතිවරයා කෙලින්ම පාර්ලිමේන්තු ගියේ විශේෂ රාජකාරී කිහිපයක් සදහාය. සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක ඇතුළු විශාල පිරිසක් අගමැතිවරයා පිළිගත්තා.

“ මම අද ඉක්මනින් නුවර දුවන්න ඕනෑ. මහින්ද චීන සමාගමකින් රු.කෝටි 112 ක් පගා ගැනීමේ විවාදය මග ඇරලා සිංගප්පූරු පැන්නා.නාමල් හා අනිත් රාජපක්ෂල හැංගුණා. පගාව ගත්තද නැද්ද කියන්න කොන්දක් තිබුණෙ නෑ.පැනල යාමෙන් ඇග වෙන්නේ අර හාමුදුරුවන් වගේ මෙයාලටත් චීන පගාව ගත්තා කියන එක බවයි මිනිස්සු දැන් කියන්නේ” ලක්ෂ්මන් කිරිඇල්ල කීවා.

“ මහින්ද මහත්තය සිංගප්පූරු ගිහින් ඒ අගමැති හමු වූ බව අගවන්න එතුමා ජනාධිපති කාලේ සිංගප්පූරු අගමැති හමුවූ පරණ ෆොටෝ ෆේස්බුක් එකේ යවනවා. ලැජ්ජ නැති නොමග යැවීම්” චමින්ද විජේසිරි කීවේ සිනා මැදය.

“ බැදුම්කරේ චෝදනා ආවාම අගමැතිතුමා හා එජාපයේ සියලු දෙනාම පාර්ලිමේන්තු විවාදවලට විපක්ෂය අහපු ප්‍රශ්නවලට මුහුණ දුන්නා. ඒ විතරද බැදුම්කර කොමිසමට ගිහින් උත්තර දෙන්නත් කොන්දක් තිබුණා. ඒත් මේ අය සිංගප්පුරුවට පැනලා ගියා.” විජයදාස රාජපක්ෂ කීවේද සිනා මැද යි.

“ ඒකාබද්දෙ අයම දැන් කියන්නෙ මෙයාලා පගා විවාදය මග ඇරපු නිසා අපි දැන් බැදුම්කරේ ගැන දිගටම එජාපයට විරුද්ධව කතා කරන්නෙ කොහොමද කියලලු.” දයා ගමගේ කීවා.

“මහින්ද සිංගප්පුරු ගියේ විවාදය මග අරින්නයි. සිංගප්පුරුව හා ලංකාව අතර ගිවිසුම ගැන කතා කරන්න ගියා කියලත් බොරු ප්‍රචාර යවනවා. ඒ ගිවිසුමට එයා යටින් විරුද්ධ නැති බව අගවලා රට ඉදිරියේ බොරුවට විරුද්ධ වෙන්නෙ මිනිස්සු කුලප්පු කරන්නයි ” ලක්ෂ්මන් කිරිඇල්ල කීවා.

“ මහින්ද රාජපක්ෂට විරුද්ධව කල් තැබීමේ විවාදයක් මග ඇරිය නම් අගමැතිතුමාට වගේ විශ්වාසභංගයක් ආවා නම් එතුමා මොනව කරාවිද කියල හිතාගන්නත් බෑ. ” නවීන් දිසානයක කීවා.

“කිරිඇල්ල ඇමතිතුමා වතු කම්කරුවන්ට පර්චස් 07 ක් දීම දින 100 දී පටන් ගත්ත වැඩ පිළිවෙළ අනිත් දිස්ත්‍රික්ක වලටත් ව්‍යාප්ත කරන්න. ඒක ලොකු පිනක් ” චමින්ද විජේසිරි කී විට අගමැතිවරයාද එකගත්වය පළ කළා.

“ මගෙන් වැවිලි එක ගැලවුණාම මේක නැවතුණා. ඒත් දැන් මට ලැබුණු වතු හරහා මම නුවර දිසාවේ කැබලි 1500 ක් බෙදුවා.10, 000 ක් බෙදීම ඉලක්කයයි. අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වැඩ පිළිවෙළ පටන් ගත්තේ. වතු කම්කරුවන්ට මෙවැනි අයිතියක් දුන්නු එකම රජය අපියි. ඉඩම් ලැබුණු දවසේ රෑ ඒ මිනිස්සු සතුටට හොදටම බීල සමහර තැන්වල රණ්ඩුත් කරගෙනලු. ” ලක්ෂ්මන් කිරිඇල්ල කීවිට අගමැති ඇතුළු සියලු දෙනා සිනාසුණා.

“ ගාල්ලෙ අපේ ක්‍රිකට්වලට ඉතා වාසි ක්‍රිකට් පිටියේ ප්‍රශ්නය ඉවරද අපි ඒක සමබරව විසදා ගත යුතුයි. ඒක දැන් සමහරු පටු දේශපාලනයටත් යොදා ගන්නවා. ” නවීන් දිසානායක කීවා.

“ ලංකාවට ලෝක උරුම 08 ක් තියෙනවා. ගාලු කොටුව ඉන් වැදගත්ම තැනක්. දකුණේ සුන්දර මුහුදු තීරය හා කොටු පවුර ලෝක උරුමය බලන්නට ලක්ෂ ගණනක් සංචාරකයො එනවා. එදා බලය පාවිච්චි කරල යුනෙස්කෝවටත් පාට් දාලා හදපු බිල්ඩින් 02 හා අනිත් කුඩා අනවසර ඉදිකිරීම් ඉවත් කළාම ප්‍රශ්නය ඉවරයි. ” විජයදාස රාජපක්ෂ පැහැදිලි කළා.

“ ගාල්ලට ක්‍රිකට් ඇතුළු වෙනම ක්‍රීඩා සංකීර්ණයක් හදන්න ඒ කාලෙම යෝජනා කලා. ඒ පිටියේ 40, 000 කට ක්‍රිකට් බලන පහසුකම් දෙන්න යෝජනා වී තිබෙනවා. සමහරු කියන්නේ එච්චර ලොකු වැඩියි වියදමත් වැඩියි කියලයි. 25, 000 ක් ඇතියි සමහරු කියනවා. මම කියන්නෙ 35, 000 කට ආසන්න මට්ටමේ එකක් අනාගතය ගැන හිතල ඉදිකළ යුතු බවයි. ගාල්ලෙ මැච්වලට උදේ ගිහින් හවස කොළඹ එන්නත් ප්‍රේක්ෂකයන්ට දැන් පුළුවන්නේ. එතකොට ගාල්ලට ස්ටේඩියම් 02 යි. මංගලල සාගලල බලනවා මාතර පිට්ටනියක් ටෙස්ට් මට්ටමට ගේන්න. ” අගමැතිවරයා පැහැදිලි කළා.

“ මත්තල ඉන්දියාව බාරගත්තම සූරියවැව පිටියේ ක්‍රිකට් තරග පවත්වන සැලසුමක් ගැන ඉන්දියාව හිතන බව ආරංචියි. සමහරවිට අයි.පී. එල්. තරග කිහිපයක් ගහන්න බැරි නෑ. ගාල්ල රටේ ප්‍රධාන ගුවන් තොටුපලවල් දෙකක් අතරේ තියෙන නිසාත් නවාතැන් පහසුකම් ඇති නිසාත් ගාල්ල රැක ගන්න ඕනෑ. දඹුල්ල දුරයි. නවාතැන් පහසුකම් අඩුයි. ” නවීන් දිසානායක විග්‍රහ කළා.

“බැසිල් මාස ගාණකට රට ගියා. එයා ජනපති අපේක්ෂකත්වය සඳහා නම් නොකරනතාක් ආපහු එන්නෙ නෑ කියලා ගියා කියලත් ආරංචියි. ” ” චමින්ද විජේසිරි කීවා.

“අධ්‍යාපන සේව‍යේ උසස්වීම් ජනාධිපතිතුමා නැවැත්තුවා නේද. ඒක අවුල් කරගත්ත එක අපරාධයක්” දයා ගමගේ කීවා.

“ ඒ පත්වීම් කරපු කමිටුවේ ප්‍රධානියා අකිලගේ ළඟම ඥාතියෙක්ලු. එහෙම වුණාම වැඩේ හොදට කලත් අනිත් අයට සැක ඇතිවෙනවා. පළමු රවුම අකිල දිනුවා. වෘත්තීය සමිති ජනාධිපති හමුවෙලා ඊළඟ රවුම එයාලා දිනුවා. ඔය ජෝෂප් ස්ටාලින්ලා අපට හුගක් හිතවත් අය . ඔවුන් අදත් මාත් එක්ක සමීපයි. අකිලලා වෘත්තීය සමිතිවල මතයටත් කන්දෙන්න ඕන. අකිල අපේ අයට සාධාරණය කරන්න හැදුවා. ඒත් ඒ හරහා අනිත් අයට අසාධාරණයක් වෙන්න බෑ. ජනාධිපතිතුමයි මායි කතා කරල අපි නම් කරන අධ්‍යාපන කමිටුවකින් ඊළඟ පියවරට යමු කියල එකගත්වයට ආවා . මම මෙතන දී තැපැල් පියුන් විතරයි. ”අගමැති කීවා.

“ පලාත් සභා තියනවාද” චමින්ද විජේසිරි ඇහුවා.

“ පළාත් සභා මොන ක්‍රමයට හරි තියන්න වෙනවා. පළාත් පාලන කල් දාලා ලැබුණු වාසියක් තිබුණද ” අගමැතිගේ පිළිතුර වුණා.

“ කළුගග විවෘත කරපු දවසේ ජනාධිපතිතුමා මේ රටේ පක්ෂපාති ජනමාධ්‍ය ගැන කරපු විග්‍රහය වටිනවා. අද අපි දී ඇති නිදහස අවභාවිතා කරල පස්සේ අඩන්න එපා කියල එතුමා පක්ෂග්‍රාහී හා විපක්ෂය බලයට ගේන්න පටු විදිහට හිතල වැඩ කරන ජනමාධ්‍යවලට ඇඩෙන්නම දුන්න.” විජයදාස රාජපක්ෂ කී විට අගමැති ඇතුළු සියලු දෙනා එය අනුමත කළා.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සිය පනස් එක් වැනි ජන්ම දිනය වෙනුවෙන් තිස්සමහාරාම ප්‍රදේශයේ පාසල් කිහිපයකට ලබාදීම පිණිස රැගෙනවිත් තිබුණු තවත් බස් රථයක් පසුගියදා පරිත්‍යාග කෙරුණේ අම්බන්ගොඩ ථේරිපුත්ත ජාතික පාසලටයි. ළමයින් 1400ක් පමණ ඉගෙනුම ලබන මෙම පාසලට බස් රථයට අවශ්‍යතාවයක් ඇති බව මුලින්ම සජිත් වෙත දන්වා තිබුණේ එහි විදුහල්පතිවරයායි. “අපි කාලයක් තිස්සේ පළාත් දේශපාලන නායක තුමන්ලාට මේ ඉල්ලීම යොමු කළා. සිහිගැන්වීම් කළා. වැඩක්වුණේ නැහැ. ඔබතුමාවත් අපට මේ උපකාරය කරන්න ඕනෑ.” ..විදුහල්පතිවරයා කියද් දී සජිත් කීවේ “මට විනාඩි පහක් දෙන්න. එක වචනයක් දෙන්නම් කියාය.” සජිත් ඒ මොහොතේම සිය ව්‍යාපාරික මිතුරෙකුට, දුරකථනයෙන් අමතමින් කීවේ අම්බලන්තොට ථේරිපුත්ත කියන්නේ ළමයි හොඳට ඉගෙන්න ගන්න ඉස්කෝලයක්. බස් එකක් අරන් දෙන්න උදව්වක් කරන්න” කියලයි. මිතුරා ඉල්ලීමට පිටුපෑවේ නැත. ඔහු කීවේ “සජිත් මං දන්නවා ඔයා උදව්වක් ඉල්ලුවොත් ඉතිං ඔයාට වාසිගන්න නෙමෙයි. කාටහරි යහපතක් වෙන වැඩකටනේ. මම ඒ ඉල්ලීම ඉෂ්ඨ කරන්නම්” කියයි. බස් රථය භාරදීමේ උත්සවයට විදුහලේ ළමයි ගුරු දෙගුරුන් ආදී සිසුන් ඇතුළු තුන්දහසකට නොඅඩු පිරිසක් සහභාගී වීසිටියා. උත්සව සභාව අතරතුරේ දී සජිත් හමුවීමට අා ථේරිපුත්ත ජාතික පාසලේ නාට්‍ය කණ්ඩායමේ සිසුවකු කීවේ “සර් අපි සමස්ත ලංකා නාට්‍ය තරගාවලියෙන් තුන්වන තැන දින්නා. එදා තිස්දෙදහසක් දීලා බස් එකක් කුලියට අරන් තමයි තරගෙට ගියේ. නාට්‍යයට අදින්නත් කුලියට දෙන තැනකින් තමයි ඇඳුම් ගත්තේ” කියළයි”. “දැන් ඉතින් වාහන කුලියට ගන්න ඕනෑ නැහැ. මං දීපු බස් එකෙන් ඕනෑම තරගයට යන්න පුළුවන්නෙ” සජිත් කීවා. බස් කුලිය වෙනුවෙන් වැයවී තිබුණු රුපියල් තිස් දෙදාක් නාට්‍ය කණ්ඩායමට අලුත්ම ඇඳුම් ආයිත්තම් මිලදීගැනීමට තවත් රුපියල් හැට අට දාහකුත් වනසේ පාසල් සංවර්ධන සමිතියට රුපියල් 100, 000ක් සජිත් ඒ මොහොතේම පරිත්‍යාග කරද් දී ළමෝ ඉමහත් ප්‍රීතියෙන් ඔල්වරසන් දුන්නා.

වජිර අබේවර්ධන ඇමතිවරයා පසුගිය සතියේ විදේශ ගත වී සිටිය ද දිනපතා පුවත්පත් හා විද්‍යුත් නාලිකාවල නිරන්තරවම ඔහු ගැන ප්‍රවෘත්ති පළ වුණා. ඒ් ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් ඇතිවූ ආන්දෝලනය හේතුවෙන්.

විදේශගතව සිටි ඇමතිතුමා සම්බන්ධ කරගැනීමට බොහෝ දෙනකු උත්සාහ ගත් අතර ඇමතිවරයා පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ගාල්ල මහජන ක්‍රීඩාංගණය කිසිසේත්ම එම ස්ථානයෙන් ඉවත් නොකරන බවයි.

ගාල්ල ක්‍රීඩාංගණයේ ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමට කටයුතු කරන බවත් සාමාන්‍ය වැසියන්ගේ ගෙදරක තාප්පයක් බැන්දත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා රාජ්‍ය ආයතන අමු අමුවේ සියලු නීති උල්ලංඝනය කරමින් ඉදිකරන ලද අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් කිසිම ක්‍රියාමාර්ගයක් නොගැනීම බරපතළ වරදක් බව ද අමාත්‍ය වජිර අබේවර්ධන පැවසුවා.

ආණ්ඩුව විසින් ගෙන ඒමට යෝජනා කරන නව ව්‍යවස්ථාව පිළිබඳව නැවතත් රට තුළ සංවාදයක් මතුව තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමකදීද මේ ගැන අවධානය යොමුවී තිබුණා. ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳව පැවැති රැස්වීම් සඳහා සහභාගි වූයේ ජවිපෙ නායක අනුර දිසානායකය. ඔහු මේ පිළිබඳව තත්ත්වය දේශපාලන මණ්ඩලයට පැහැදිලි කළා. ”ආණ්ඩුව ගෙනාපු ව්‍යවස්ථා කෙටුම්පත ගැන බරපතළ ප්‍රශ්න තියෙනවා. ඇතැම් කරුණුවලට අපිට පක්ෂයක් ලෙස එකඟ වෙන්න බැහැ. ඒ වගේම ආණ්ඩුව තවත් වැරැුද්දක් කරලා තියෙන්නේ. කමිටුවල දී සාකච්ඡා කරලා එකඟ නොවූ දේවල් පවා කෙටුම්පතට එකතු කරලා. ඒකට විරෝධය පළ කළා. ඉදිරි කමිටු රැස්වීම්වල දී එම ප්‍රශ්න ගත කරුණු ගැන සාකච්ඡා කරන්න වෙනවා. කොහොම නමුත් මේ තියෙන තත්ත්වය අනුව අලූත් ව්‍යවස්ථාවක් ගේන එක නොකෙරෙන වැඩක් විදියට තමයි පේන්න තියෙන්නේ.” අනුර දිසානායක කියා සිටියා. ”කොහොමත් මේ ආණ්ඩුව පිළිවෙළකට වැඩක් කරගන්න පුළුවන් එකක් නෙවෙයි. හැම වැඩක්ම අනාගන්නවා. රටේ ව්‍යවස්ථාව හදන්න තරම් මේ ආණ්ඩුව දක්ෂ නැහැ. තමන්ගේ දේශපාලන බලපොරය ඔළුවේ තියාගෙන රටක ව්‍යවස්ථාව හදන්න බැහැ. ඒ නිසා මේක අසාර්ථක එකක්. කතා සාප්පුවක් විතරයි.” ටිල්වින් සිල්වා කීවා..

ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කර ඇති ජනහමු දස දහස මේ දිනවල රට පුරා ප්‍රාදේශීය මට්ටමින් පැවැත්වෙනවා. ජවිපෙ නායකයෝ රට පුරා ගම්දනව්වල මෙම ජනහමු මාලාවට සහභාගි වෙනවා. ජවිපෙ ජාතික සංවිධායක බිමල් රත්නායක පසුගිය සතියේ කිලිනොච්චි ප්‍රදේශයේ එවැනි රැස්වීම් කිහිපයකට සහභාගි වුණා. මේ අතර පසුගියදා ගම්වාසීන් විසින් දිවියකු මරා දැමුණු ප්‍රදේශයේදීද රැස්වීමක් සංවිධානය කර තිබුණා. රැස්වීමෙන් පසුව ප්‍රදේශවාසීන් සමඟ එම සිදුවීම පිළිබඳවද මන්ත්‍රීවරයා කතාබහක නිරත වුණා. ”මන්ත්‍රීතුමා දකුණේ මාධ්‍යවල මේ සිදුවීම වාර්තා කළේ සම්පූර්ණ ම්ලේච්ඡ වැඩක් විදියට. දිවියාට ගහන රූපරාමු සියල්ල පෙන්නුවා. දෙමළ ජනතාව ගැන විශාල විරෝධයක් හැදුවා. දෙමළ ජනතාව ‘කොටියා’ බවට පත්කරන විදියේ නිවුස් ගියා.” සිංහල මාධ්‍ය පිළිබඳවද අවධානයකින් පසුවෙන අයෙක් කියා සිටියා. ”ඇත්තම සිදුවීම අපි දන්නෙත් නැහැ. අපිත් මාධ්‍යවල ගියපු නිවුස් තමයි දැක්කේ.” මන්ත්‍රීවරයා කීවා. ”ඒක තමයි ප්‍රශ්නේ, උතුරේ දෙමළ මාධ්‍යවල විශේෂයෙන් පත්තරවල ලිවුවේ, ඒ දිවියා හමුදා කඳවුරක ඉඳලා පැනපු එකෙක් කියලා. හමුදාව තමයි මේකට වගකියන්න ඕනැ කියලා.” එම ප්‍රදේශයේ පුද්ගලයෙක් කියා සිටියා. ”ඒ වගේ ආර්ටිකල් එකක් මමත් කියෙව්වා. සිංහලෙන් පළවෙලා තිබුණා පත්තරයක” බිමල් රත්නායක කීවේය. ”ඒත් මේ සිදුවීම් දෙකක් තමයි එකතු කරලා තියෙන්නේ. ඇත්තම සිද්ධිය වුනේ මෙහෙමයි. හමුදා කඳවුරකින් ලොකු බල්ලෙක් පැනලා ගම්වැදිලා තිබුණා. මිනිස්සුන්ටත් කරදර වෙන්න ඇති. මිනිස්සු කඳවුරට පැමිණිලි කළාම හමුදාවෙන් බල්ලා අරගෙන ගිහින්. ඒ අතරේ තමයි දිවියා ගමට පැනලා තියෙන්නේ.” තවත් පුද්ගලයෙක් කියා සිටියේය. ”ඒක තමයි අද තියෙන ප්‍රශ්නය. ඉතාම කුඩා සිද්ධියක් වුණත් දකුණේ මාධ්‍ය සහ උතුරේ මාධ්‍ය වාර්තා කරන්නේ ජාතිවාදී පදනමෙන්. අන්තිමට බල්ලා, දිවියා කළා. දෙමළ මිනිස්සු, කොටියා කළා. මේක කණගාටුදායක තත්ත්වයක්. ඇත්තටම දැන් ජනප්‍රිය දේශපාලනය වෙලා තියෙන්නේ ජාතිවාදය. ඒක නිසා මාධ්‍යයත් වාර්තා කරන්න පෙළඹෙන්නේ ඒ වගේ ප්‍රවෘත්ති. මේ තත්ත්වය වෙනසක් කරන්න ලොකු මැදිහත්වීමක් කරන්න වෙනවා” බිමල් රත්නායක කියා සිටියා.

ඉදිරි මැතිවරණයට තරග කිරීමේ දී පොහොට්ටුව හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෝ ලෙස නොව අලුතින් හදන පෙරමු‍ණකින් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් තරගකිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කොට තිබීම ගැන බැසිල් රාජපක්ෂ මහතා කලබලයට පත්ව සිටිනවා. ඔහුගේ උත්සාහය වී තිබෙන්නේ නව ‍පෙරමුණ පොහොට්ටුව ලකුණෙන් තරග කරන තැනට පොලඹවා ගැනීමයි. ඒ සඳහා ඔහු තමන්ට හිතවත් මාධ්‍යවේදීන්ගේද සහය ලබාගැනීමට කටයුතු කළා.

නව පෙරමුණ හැදීමේ පළමු සාකච්ඡාව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේශ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණා. නව පෙරමුණේ ලකුණ ලෙස පොහොට්ටුවම තබා ගැනීමට එහි දී බැසිල් පාර්ශ්වයෙන් යෝජනා කළද කිසිවකු ඒ ගැන අදහස් ප්‍රකාශ කළේ නැහැ. එදින තීරණය වූයේ නව පෙරමුණේ නම ව්‍යවස්ථාව හා තරග කරන ආකාරය පිළිබඳ සියලු කාරණා ගැන සියලු පක්ෂවල අදහස් ලබා ගැනීමටයි.

එම සාකච්ඡාව අවසානයේ මාධ්‍ය හමුවට එන දිනේශ් ගුණවර්ධන මහතාගෙන් බැසිල්ගේ හිතවාදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කරමින් ලබාගැනීමට උත්සාහ කළේ පෙරමුණේ ලකුණ වෙනස් නොවන බවටයි. “පොහොට්ටුව වෙනස් වෙන්නේ නෑ නේද?” “පොහොට්ටුව ලකුණ වාසනාවන්තයි නේද?” ජයග්‍රහණය ලැබුණේ පොහොට්ටුව ලකුණ නිසා නේද?” යි එම මාධ්‍යවේදීන් ප්‍රශ්න කළද දිනේෂ් උපක්‍රමශීලීව ප්‍රශ්නවලට පිළිතුරුදීමෙන් එම ප්‍රශ්නය මඟහැරියා.

ජනාධිපතිවරණයේ මහින්ද පාර්ශ්වයේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට දැඩි ලෙස විරුද්ධ වන කුමාර වෙල්ගම මහතා පෞද්ගලික සාකච්ඡාවක් සඳහා මහින්ද රාජපක්ෂ මහතා හමුවුණා. එම හමුවීමෙන් පසුව මාධ්‍ය හමුවට පැමිණි වෙල්ගම මහතා කීවේ ඒකාබද්ධයේ ජනාධිපති අපේක්ෂකයා වීමට තමන්ටද සුදුසුකම් තිබෙන බවයි.

මේ අතර නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ඒකාබද්ධයේ ජනාධිපති අපේක්ෂකයා කවුද යන්න ගැන කතාකිරීමෙන් වැළකී සිටීමට තම කණ්ඩායම තීරණයක් ගෙන ඇති බවයි. ජනාධිපති අපේක්ෂකත්වය ගැන කිසිවක් කතා නොකරන ලෙස මහින්ද රාජපක්ෂ මහතා සියලු දෙනාට උපදෙස් දී ඇති අතර ඒ ගැන කතා නොකර ආණ්ඩු විරෝධය ගැන කතා කරන්නැයි වැඩිදුරටත් උපදෙස් දී තිබෙනවා. ඒ අනුව ජනාධිපති අපේක්ෂකයා යන්න මින් ඉදිරියට ඒකාබද්ධයේ උදවියට තහනම් වචනයක් වීමට ඉඩ තිබෙනවා.

ගොසිප්ලන්තය

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *