සංහිඳියාවට ලංකාවේ – පිහිටයි දෙවියන්ගේ – අනුර සූරියබණ්ඩාර

මේ දිනවල සමාජ මාධ්‍ය ජාලවල පළවන පුවත් සත්‍ය නම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමඟ ජපාන සංචාරයට බොදුබල සේනාවේ ගලගොඩ අත්තේ ඥනසාර ද එක්ව සිටී.

ඒ අතර වෙනත් ප්‍රවෘත්තිවලින් කියැවෙන්නේ තෙල්දෙණිය, දිගන ප්‍රදේශවල පසුගිය සතියේ ඇති වූ ජාතිවාදි ගටුමට සම්බන්ධව මහසොහොන් බලකායේ ප්‍රධානියායැයි කියන අමිත් ජීවන් වීරසිංහ ඇතුළු පිරිසක් අත්අඩංගුවටගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගතකොට ඇති බවය.

ඊට පෙර එනම් 2018.03.11 එක්තරා සති අන්ත විකල්ප පුවත්පතක මුල් පිටුවේ පළවූ ඡායාරූපයක දැක්වුණේ පන්සලක දී මහනුවර සිද්ධින්ට අදාළ පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගන්නා ආකාරයයි. ඡායාරූපය සත්‍ය නම් මහනුවර දිගන කටුගස්තොට ආදි ප්‍රදේශවල ඇති වූ ජාතිවාදී ගින්න අවුලුවණු පිණිස ඉහත පුද්ගලයන් සම්බන්ධය. එසේම ඔවුනට පන්සලක සෙවණ ලැබී තිබේ. ජාතිවාදි ගිනි අවුලුවන්නට යමෙකුට පන්සලක රැකවරණය ලැබී ඇත්නම් එම පන්සලේ භික්ෂුවද නියමින් හෝ අනියමින් එකී කටයුත්තට සහයෝගය දී ඇති බව පිළිගතයුතු නොවේද? එසේ නම් භික්ෂුව හැර අන්අය අත්අඩංගුවට ගැනීම නීත්‍යානකූලද? එය අනුමත කළ හැකිද? අන්අය අත්අඩංගුවට ගන්නටත් භික්ෂුව අත්අඩංගුවට නොගන්නටත් හේතුව කුමක් ද?

බෝතල් ප්‍රහාරයකින් මියගිය කුමාරසිංහ නමැති අයගේ මළගෙයට බොදුබලසේනා ඥනසාර ද සහභාගි වී ඇත. කුමාරසිංහට බෝතල් ප්‍රහාරය එල්ල වූයේ මුස්ලිම් තරුණයන් කණ්ඩායමක් අතින් නොවේ නම් ඥනසාර මළ ගෙදරට සහභාගිවනු ඇතැයි සිතන්නට හැකියාවක් නැත. කුමාරසිංහගේ මරණයට ආසන්න දිනවල කුඩා පිරිමි දරුවකු පොල්කඩන්නකු විසින් අපයෝජනයට ලක්කොට මරා දැමූ පුවතක් හෙලිවිය. කුඩාදරුවකු අපයෝජනයට ලක්කිරීම කොයිඅතින් බැලුවද බරපතළ වරදකි. නමුත් බෝතල් ප්‍රහාරය හෝ ඒ මරණය සම්බන්ධව හෝ අති වූ තරමේ කලබැගෑනියක් කුඩා දරුවාගේ මරණය සම්බන්ධයෙන් ඇති වූයේ නැත. යම් හෙයකින් එම දරුවා අපහරණයට කොට මරා දැමුණේ අන්‍ය ජාතිකයකු අතින්නම් මහා කලබැගෑනියකට එය හේතුවක් බවට පත්වනවාට සැකයක් නැත.

ආසන්න දිනෙක දේශපාලකයෙකුත් ඔහුගේ බිරියත් බස්රියැදුරෙකුට පිස්තෝල එල්ලකරමින් බිමදමා පහරදෙනු මාධ්‍ය ඔස්සේ පළ විය. ඒ සම්බන්ධයෙන් සිදු වූ එකම දෙය මාධ්‍ය වාර්තාව පළවීම සහ අදාළ තැනැත්තන් අත්අඩංගුවට ගැනීමත් පමණි. යම් හෙයකින් ඒ පහරදීම කෙ‍රුණේ මුස්ලිම් දේශපාලකයකු අතින් නම් තත්ත්වය කෙළවරවනු ඇත්තේ කේස්ද? සිංහල දේශපාලකයන් කැලෑ එළිකරති. වගුරු ගොඩ කරති එහෙත් සමාජයේ කතා කරන්නේ රිෂාඩ් බදියුදින් කරනවා යැයි කියන වන විනාශය ගැන පමණි. පුරාවස්තු විනාශය, නිධන් කොල්ලය රට පුරාම යම් යම් මට්ටමෙන් කෙරෙන නමුත් දකුණ කලබල වන්නේ දකුණට රිදෙන්නේත් මුස්ලිම් හෝ දෙමළ ප්‍රදේශයක සිදුවන පුරාවස්තු විනාශ වීම් සම්බන්ධයෙන් පමණි.

තෙල්දෙණිය ඩිපෝව අසල දී භික්ෂුවක් සිංහල ජාතිවාදය අවුසන ආකාරයේ කතාවක් කළ බව කියතත් ඒ භික්ෂුව අත්අඩංගුවට ගත් බවක් දක්නට නැත. තෙල්දෙණිය සිද්ධියෙන් මියගිය කුමාරසිංහ මහතාගේ අවමඟුල් උත්සවයේ දී උඩරට දේශපාලකයෙක් සිංහල ලේ රත්වන ආකාරයේ කතාවක් කළ බව කියතත් ඔහු අත්අඩංගුවට ගත් බවක් අප දන්නේ නැත. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදි රාජිත සේනාරත්න ඇමතිවරයා කීවේ,  තෙල්දෙණිය, දිගන සිද්ධිය පිටුපස ප්‍රදේශයේ මන්ත්‍රිවරු දෙදෙනකු සිටින බවය. මන්ත්‍රිවරු දෙදෙනා නම් වශයෙන් සඳහන් නොකළද එවැන්නන් සිටී නම් එම ප්‍රදේශවල ජනතාව ඔවුන් පිළිබද දන්නවා විය හැකිය. ජනතාව දන්නවා වුවද නොදන්නවා වුවද එවැන්නන් සිටී නම් අත්අඩංගුවට නොගැනීම ගැටළු සහගතය. එසේනම් ජනතාව සිතනු ඇත්තේ, ආණ්ඩුව උත්සාහ කරන්නේ සිද්ධියට වගකිවයුතු බොහෝ අය සිටිය දී මහනුවර ජාතිවාදයේ සියලු පවු මහසොහොන් බලකාය මත පටවා අතසෝදා ගන්නට බවය.

මහනුවර සිද්ධියට දින කිහිපයකට පෙරාතුව අම්පාරේ මුස්ලිම් ජාතිකයකුට අයත් හෝටලයක් විනාශකර තිබුණේ කොත්තු රොටියක වඳ පෙති තිබුණා යැයි කියමිනි. බේරුවල දර්ගා නගරයේ ජාතිවාදි ගැටුමට ද එතරම් කාලයක් ගත වී නැත. එහෙත් දර්ගා නගරයේ සිද්ධිය හෝ අම්පාර සිද්ධිය හෝ දිගන තෙල්දෙණිය සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුව කටයුතු කරන්නේ නැවත එවැන්නක් ඇති නොවන්නට වගබලාගන්නා ආකාරයකින් නොවේ.

දිගන සිද්ධිය ගතහොත් එය පුපුරා යා හැකි වතාවරණයක් ඇති බව මුල පටන් ම අනුමාන කළ හැකිව තිබුණි. මියගිය කුමාරසිංහ මහතාගේ සිරුර නිවෙසට රැගෙන ගිය දිනයේ ප්‍රදේශයෙ මුස්ලිම් වෙළඳ සැලකට හානිකර තිබූ බව කියැවේ. එයින් පාඩම් ගෙන හෝ සිරුරේ අවසන් කටයුතු කෙරෙන දවසේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කරන්නට තිබුණ නමුත් ආණ්ඩුව ඊට වගබලා ගත්තේ නැත. ජනාධිපතිවරයා මහනුවරට ගියේ ගින්න ඇවිළුණාට පසුවය. නිසි ක්‍රියා මාර්ග ගත්තේ නම් ජනාධිපතිවරයාට මහනුවරට නොගොස්ම කොළඹ සිටම ගැටුම ඇති නොවන්නට වගබලා ගන්නට තිබුණි. ජනාධිපතිවරයා නුවරට ගොස් ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් ජාතිවාදි ගින්න වහා නිවී ගිය බව පිළිගතයුතු නමුත් එය අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීමක් පමණි.

අගමැතිවරයා සම්බන්ධයෙන් ද කිවයුතුව ඇත්තේ එයමය. ඔහු ද කළේ ගිනිගත් දේපොළ බලන්නට යාම මිස ගැටුම ඇති නොවන්නට කටයුතු කිරීම නොවේ. අගමැතිවරයා මහනුවරට ගියේ ද මුස්ලිම් ඇමතිවරුන් විරෝධය දැක් වූ පසුව වීම ද විශේෂත්වයකි.

ආණ්ඩුව සංහිඳියාව ගැන නිතර කයිවාරු ගසන නමුත් එය කටින් බතල කොළ සිටුවීමකින් ඔබ්බට ගෙනයාමට ආණ්ඩුවට හැකි වී ඇද්ද යන්න විමසිය යුතුය. එක අතකින් දර්ගා ටවුන් හි ඇති වූ ජාතිවාදි ගැටුමට සම්බන්ධ වූවන්ට දඬුවම් කරන්නට ඒ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් කරන්නට ආණ්ඩුව මෙතෙක් කටයුතු කර නැත. දර්ගා ටවුන් සිද්ධිය පිළිබද පුළුල් පරීක්ෂණයක් කර අදාළ පාර්ශව සියල්ලට දැඩි දඬුවම් පැමිණ වූ යේ නම් යළිත් එවැන්නකට යොමුවන්නට පිරිස් දෙවරක් කල්පනා කරනු ඇත.

වඳ පෙති කතා, යට ඇඳුම්වල වඳ රසායනික ගල්වන කතා, හලාල් කතා ආදිය විද්‍යාත්මක පදනමක පිහිටා කරුණු අවබෝධ කර දී ජනතාවගේ සැකය බිය තුරන් කරන්නට අවම වැඩ පිළිවෙළක්වත් ආණ්ඩුවට ඇත්තේ නැත. මෑතක දී වෛද්‍යවරුන් පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී, තමන්ගේ වියදමෙන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා වඳ පෙති යනුවෙන් යමක් නැති බව ප්‍රසිද්ධියේ කීවද ඊට නිසි ප්‍රචාරයක් දෙන්නට තරම්වත් ආණ්ඩුවේ ජනමාධ්‍යවලට වුවමනාවක් හෝ දැක්මක් නොතිබීම අනාගත පරම්පරාවේ අභාග්‍යයකි.

සංහිඳියාව වෙනුවෙන් අමාත්‍යාංශයක් ද තිබේ. කාර්යාල තිබේ. ඒ සඳහා අරමුදල් ද ලැබේ. නමුත් සංහිඳියාවක් ඇතිවන බවක් නොපෙනේ. තෙල්දෙණිය ගැටුම ආසන්නයේ සනත් ජයසූරියත් කුමාර සංගක්කාරත් ජාතික සමගිය වෙනුවෙන් කළ ප්‍රකාශ ඉස්මතුකර පෙන්වන්නටවත් වැඩ පිළිවෙළක් ආණ්ඩුවට තිබුණේ නැත.

නිවැරදි දැක්මක් වුවමනාවක් ආණ්ඩුවට ඇත්නම් සනත්ගේත් සංගාගේත් ප්‍රකාශ සියලු නාළිකාවල ටෙලි නාට්‍ය අතරතුර දැන්වීම් ආකාරයෙන් ප්‍රචාරය කරවන තැනකට යා හැකිව තිබුණි. වඳ පෙත්ත සම්බන්ධයෙන් වෛද්‍යවරුන් පිරිස කළ හෙළිදරව්වටත් එවැනිම ප්‍රචාරයක් ලබා දී ජනතාව අතර ඇති මිථ්‍යා මතය දුරු කරන්නට තිබුණි. නමුත් ආණ්ඩුව හදන්නේ ලූලා යවා වල්පත අතගාන්නාසේ ගලගොඩ අත්තේ සමඟ විදෙස් සංචාරයමින් මහසොහොන් බලකාය මතින් සියලු වස්දොස් අරින්නට නම් රටටත් සංහිඳියාවටත්දෙයියන්ගේ පිහිටවත් ඉතිරිවන්නේ නැත. ආණ්ඩුවේ ඉරණමත් ඊට නොදෙවෙනි වනු ඇත.

අනුර සූරියබණ්ඩාර

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *