|

අනුරගේ නොහැකියාව වහන්න ගොබෙල්ස් න්‍යාය – රටේ රාළ

.
ජනාධිපති අනුර කුමාර බලයට පත්වෙලා දැන් මාස හතරකට වැඩියි.මේ මාස හතර ඇතුලත මෙතෙක් පත්වුන නව ආණ්ඩුවකට එල්ල නොවූ පන්නයේ ජනතා විරෝධයක් ජවිපෙ – මාලිමා ආණ්ඩුවට එල්ලවෙලා තියනවා.මේ වෙනකොට ආණ්ඩුවට සහය දෙන කණ්ඩායම් අඛණ්‌ඩව සමූපකාර ඡන්ද පරාජයවෙමින් තියනවා.ඒ වගේම දැන් මහ කන්නයේ වී අස්වනු කැපෙමින් තිබුණත් තවමත් වීවලට සහතික මිලක් නියමකරන්න ආණ්ඩුවට බැරිවෙලා තියනවා.
ආණ්ඩුව පැත්තෙන් ගොවියගේ ශ්‍රමයට නිසි වටිනාකමක් නොදී ගොවියගේ වී අස්වැන්න මංකොල්ල කන්න හදන බව පේනවා.කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කියන විදිහට වී ගොවියා වීවලට කියන්නේ අසාධාරණ මිලක්ලු.හැබැයි මීට කන්න දෙකකට උඩදී වී කිලෝ එකකට රුපියල් 154 ක් ඕනි කියපු නාමල් කරුණාරත්න තමයි අද එහෙම කියන්නේ.
අනුර කුමාර මහ මෝල් හිමියන් එක්ක තිබුණ සාකච්ඡාවේදී මේසෙට තට්ටුවක් දාලා මහ මෝල් හිමියන්ගේ ලාභයට තවත් රුපියල් දහයක අමතර ලාබයක් හාල් කිලෝවකට එකතු කරලා දුන්නා.ඒ හරහා මහ මෝල් හිමියන් ලබපු ලාභය රුපියල් බිලියන ඉක්මවනවා.අනුර දිසානායක කිව්වේ වී මිලදීගන්න ආණ්ඩුව රුපියල් කෝටි 500 ක් වෙන් කළා කියලයි.හැබැයි ආණ්ඩුව තවමත් ගත්ත වී ඇටයක්වත් නෑ.ඇත්තටම වී මිලදී ගැනීමේ යාන්ත්‍රණයක් ආණ්ඩුවට නෑ.එහෙම යාන්ත්‍රණයක් මහ මෝල් හිමියන්ට තියනවා.
ගොයම් කපලා අස්වැන්න ගෙට ගනිමින් ඉන්න ගොවියාගේ වීවලට සහතික මිලක් නියම කරන්න බැරිව අනුර ඇතුළු ආණ්ඩුව තවමත් තටමනවා. අනුරලා දිගටම ගත්ත තීරණ ගොවියාට සහ පාරිභෝගිකයාට යන්තම්වත් වාසි සහගත ඒවා නෙවෙයි.ඒක නිසා ගොවියා සහ පාරිබෝගිකයා අතර ගොඩනැගෙන ආණ්ඩු විරෝධය දවසින් දවස වැඩි වෙනවා.ආණ්ඩුවට මේ විරෝධය එන්නේ බලයට පත්වෙලා මාස හතරක් ගිය තැනයි.
ඒ වගේම ආණ්ඩුවේ මංගල අයවැය කෙටුම්පතක් කරමින් ඉන්න වෙලාවේ සහ පලාත් පාලන මැතිවරණය කට ළඟටම එමින් තියන වෙලාවක. තමන් ඉස්සරහට කඩා පාත් වෙන්න නියමිත මේ අර්බුදය කළමණාකරණය කරන්න ජවිපෙ අභයන්තර නායකයා විදිහට ටිල්විනුත් ආණ්ඩුවේ නායකයා විදිහට අනුරත් ලොකු උත්සාහයක් ගනිමින් ඉන්නවා.ටිල්වින් ජවිපෙ සාමාජිකයා අමතන්න පටන් අරන්.ඒ වගේම අනුර පොදුවේ ජවිපෙ සහ මාලිමා බලවේගය අමතන්න පටන් අරන් තියනවා.
ඇත්තටම ජවිපෙ ඇතුලේ තක්සේරුව වැඩේ සාර්ථකයි කියලයි.ඒ කියන්නේ අනුර සහ ටිල්වින් වැඩේ හොඳට කරනවා කියන එකයි.රටේ රාළගේ තක්සේරුවට අනුවත් වැඩේ අසාර්ථක නෑ.හැබැයි ඒක තීරණය වෙන්නේ අනුර සහ ටිල්වින් ජවිපෙ සහ මාලිමා බලවේගය අමතන එකෙන් නං නෙවෙයි.අනුරලා ආයෙත් ඇවිත් කියන කතාවට මේ අයවැයෙන් පදනමක් දාලා තියනවාද නැද්ද කියන එකෙන් සහ ඊළඟ පලාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කළාට පස්සේ ඒ වෙනුවෙන් මහ පොලොවේ ඇතිවෙන තරඟයේ ස්වරූපය මතයි.
දැන් අනුර ගෝඨාභයගේ ගම සමඟ පිළිසදරක් ආකෘතියට සමාන ආකෘතියක ඉඳන් තමයි තමන්ගේ බලවේගය අමතන්නේ.අනුර ඒක කළුතරදී,කොළඹදී සහ අනුරාධපුරේදී කළා.ඊට සමාන්තරව රාජ්‍ය නිලධාරීන් ඇමතීමකුත් සිද්ධ වෙනවා.අනුර හැබැයි තවමත් කරන්නේ ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට ඉස්සෙල්ලා හිටපු ආකෘතියේ ඉඳන්ම ජනතාව ඇමතීමයි.අනුරගේ තියන ලොකුම අඩුව තමයි තවමත් අනුරට මාලිමාවේ ජනාධිපති අපේක්ෂකයා කියන මානසිකත්වයෙන් එලියට ඇවිත් රටේ ජනාධිපති කියන වගකීම් සහගත මානසිකත්වයට එන්න බැරිවීමයි.
අනුරගේ මේ දවස්වල කතා චූන් එකට,හරි විහිළුවට හරි නොගෙන සියුම්ව අධ්‍යයනය කලොත් ඒක තේරුම් ගන්න පුළුවන්.ඒක ඇතුලේ ජවිපෙන් ගෙනාව සාම්ප්‍රදායික වෛරී සහ කුහක දේශපාලනය තියනවා.ඒ වගේම මාලිමාවෙන් උරුම උන ගල් පැලෙන බොරු කීමේ සංස්කෘතිය තියනවා.ඊට අමතරව ජනතාව ගොනාට ඇන්දවීම කියන එක එහෙමත් නැත්තං ජනතාවට සර්ව පිත්තල ලෝකයක් මවලා පෙන්නන අනුර සතු සුවිශේෂී හැකියාවත් තියනවා.
මේ තුන වෙන වෙනම උනත් අනුරගේ කතා හරියට ඇහුවොත් හදුනා ගන්න පුළුවන්.ඒ නිසා ජනාධිපතිවරණයේ වගේම බොරුව,වෛරය, පම්පෝරි,වහසිබස්,මවා පෑම් වැඩි වශයෙන් අනුරගේ කතාවේ අන්තර්ගතයි.ඒක හරිම ලස්සන කතාවක්.ඒ වගේම යථාර්ථයට ගොඩක් ඈතින් තියන කතාවක්.අනුර මොනවා කියලා උනත් අන්තිමට ගොඩවෙන්නේ මහින්දගේ නිල නිවසට. ඒකේ අක්කර ගණන,ගෙයි වර්ග අඩි ගණන,ඉන්න සේවකයෝ ගණනයි කියනවාම තමයි.
මහින්දයි,ශීරන්තියි නිදියෙන විදිහටත් ඇවිත් තමයි නතර වෙන්නේ.ඉතින් අනුරට ඔච්චර වඳ වෙන්න ඕනි නෑ 1986 ජනාධිපති හිමිකම් පනත සංශෝධනය කළා නං ඉවරයි.එහෙමත් නැත්තං මහින්දට සුදුසු වෙන ගෙයක් දෙන්න කැබිනට් අනුමැතිය ගත්තා නම් ඒත් ඉවරයි.ඒ මොකවත් අනුරගේ පැත්තෙන් කරන්නේ නෑ.අනුරගේ ඕනිම ප්‍රශ්නයකට තියෙන්නේ pending උත්තර.ඉතාමත් කෙටි කාලෙකින් කරනවා වගේ අනියමාර්ථයේ අසම්භව්යක් ක්‍රියාවලින් දෙන උත්තර තමයි අනුරගේ තියෙන්නේ.
හැබැයි අනුන් කරපු වැඩක් සීරුමාරුවට තමන්ගේ මල්ලට දාගන්න අනුර හරිම දක්ෂයි.ඒ අනුව දැන් රට බංකොලොත්භාවයෙන් මුදාගෙන තියෙන්නේ අනුර.ණය ප්‍රතිව්‍යුහගතකරණය කරගෙන තියෙන්නේ අනුර,අනුර වාසියක් තියනවා නං ඉන්දු – ලංකා ගිවිසුම ගැහුවෙත් එයා කියලා කියන්න බැරි නෑ.ඒ තරම් අනුරට අනුන්ගේ දේශපාලන අයිතිය මංකොල්ල කන්න ලැජ්ජාවක් නෑ.ඇත්තටම ඒකෙන් එක දෙයක් පැහැදිලියි අනුරලා දේශපාලනය කරන්නේ ගොබෙල්ස් න්‍යායට අනුවයි.
දැන් අනුර ආයෙත් ජනතාවට බලාපොරොත්තු දෙනවා.ආයෙත් සැලසුම් ගැන වේදිකා උඩ කියවනවා.හැබැයි මේ හැම සැලසුමක්ම අනුන් හදපු සහ මුලදී ජවිපෙ විරුද්ධ වෙච්චි ඒවා. ත්‍රිකුණාමලය තෙල් ටැංකි එකඟතාවයන් එහෙම එකක්,චීනයේ සයිනොපෙක් සමාගමේ තෙල් පිරිපහදුව එහෙම එකක්.අදානි සුළං බලාගාර එහෙම දෙකක්.ඇත්තටම අනුරටම කියලා මොකක්වත් මේකේ තවම නං නෑ.හැබැයි දැන් අනුර මැන ගන්න අපිට එක මිනුම් දණ්ඩක් අනුර විසින්ම දීලා තියනවා.
අනුර ගිය 25 වෙනිදා කිව්වේ තව සති දෙකකින් අපේ රටේ එක හාල් ඇටයක්වත් පාලන මිලට ඉහලින් විකුණන්න දෙන්නේ නෑ කියලයි.ඒ කතාවෙන් අනුර පිලිගන්නවා අනුර ගහපු ගැසට් ප්‍රායෝගිකවෙලා නෑ කියලා.ඇත්තටම අනුරට ඒක කරන්න පුළුවන් වෙන්න කියලා රටේ රාළත් ප්‍රාර්ථනා කරනවා.හැබැයි රටේ රාළට මෙතන ප්‍රශ්නයක් තියනවා.ඇත්තටම අනුර ඒ කතාව කිව්වේ වෙළඳපොල ගැන අවබෝධයක් ඇතිවද, නැතිවද?ඉල්ලුම සහ සැපයුම ගැන අවබෝධයක් ඇතිවද,ඇතිවද කියලා ප්‍රශ්නයක් තියනවා.කමක් නෑ තව සති දෙකකින් ඒ ගැන කතා කරමු.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.
May be an image of 2 people

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *