සුපිරි ඉන්දීය නිළි ශ්‍රී‍ දේවි ජීවිත සිනමාවෙන් සමුගනී දේහය ඩුබායි සිට නිවසට

බොලිවුඩයේ සුපිරි නිළි ශ්‍රී දේවී හදිසි හෘදයාබාධයක් වැළඳී 24 සෙනසුරාදා රාත්‍රියේ ඩුබායි හිදී ජීවිතයෙන් සමුගත්තාය. මිය යනවිට 54 වැනි වියෙහි පසු වූ ඇය ඩුබායි වෙත ගොස් තිබුනේ පවුලේ ඥාතී විවාහ උත්සවයක් සඳහා වන අතර එයට  සහභාගී වෙමින් සිටියදී හෘදයාබාධය වැළඳී රෝහල් ගත කිරීමෙන් පසුව මියගිය බව වාර්තා විය. මියයන මොහොතේ ඇය අසළ ඇගේ සැමියා හා එක් දියණියකද සිටි බව වාර්තා විය.

 

ශ්‍රී දේවිගේ සැමියා වන්නේ ප්‍රකට චිත්‍රපට නිෂ්පාදකවරයකු වන බොනී කපූර්ය. ඔවුනට දියණියන් දෙදෙනෙකි. සිනමාවේ රැජිණිය ලෙස බැබළුණ ශ්‍රී දේවී නූතන බොලිවුඩ් සිනමාවේ වර්ධනය වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරකින් දායක වූ නිළියකි.

 

ප්‍රධාන නළුවෙකුගේ සහය නැතිව බොක්ස් ඔෆීස් වාර්තා තබන චිත්‍රපට බිහිකිරීමේ සුවිශේෂ හැකියාව නිසා හින්දි සිනමාවේ පළමු කාන්තා සුපිරි තාරකාව ලෙස නම් දැරුවේ ද ශ්‍රීදේවිය.
හින්දි සිනමාවට අමතරව දමිළ, තෙලිඟු, මලයාලම්, කර්නාටක චිත්‍රපටවලද කැපී පෙනෙන රංග දායකත්වයක් ඇය විසින් සිදු කර ඇත. ඇය රංගනයන් දායක වී ඇති චිත්‍රපට ගණන 250 කට අධිකය.

සාද්මා (1983), නාගිනා (1986), (මිස්ටර් ඉන්දියා (1987) චාන්දනී (1989) චාල්බාස් (1989) ලාඩ්ලා (1994) ජුදායි (1997) යන ජනප්‍රිය චිත්‍රපට ඇතුළු තවත් බොලිවුඩ් චිත්‍රපට වල එකදිගට රඟපා දරුවන්ගේ කටයුතු නිසා රංගනයෙන් කාලයක් ඉවත්ව සිටි ඇය නැවත 2012 වසරේදී ඉංග්ලිෂ් වින්ග්ලිෂ් චිත්‍රපටය සමග යළි රංගයට එක්වූ අතර මියයන අවස්ථාව වනවිටත් චිත්‍රපට රංගනයෙහි නිරතවෙමින් සිටියාය.

 

සිනමාව උදෙසා දැක් වූ මෙහෙවර වෙනුවෙන් ඉන්දීය රජය 2013 වසරේදී ඇයව පද්ම ශ්‍රී සම්මානයෙන් පුදනු ලැබීය. ඇගේ සමුගැනීම වාර්තාවූ සැණින් ඉන්දීය අගමැති මෝදි සිය ට්විටර් ගිණුම ඔස්සේ ශෝක පණිවිඩයක් නිකුත් කර තිබුණි.

ශ්‍රී දේවී ඇය උපන් ඉන්දියාවේ පමණක් නොව ආසියාවේ මෙන්ම යුරෝපයේ ද දක්ෂ නිළියක් ලෙස ජනාදරය දිනා සිටියාය. ශ්‍රී ලංකා චිත්‍රපට රසිකයන් අතරද ඇය ජනප්‍රිය නිළියක වූවාය. නාගිනා චිත්‍රපටයේ එන නයි නැටුම ඇතුළත් රංගනය ඇගේ රංගන දිවියේ සංධිස්ථානයක් තැබූ රංගනයකි.

මනෝජ්

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *