සඳ තරු නිහඬයි ගහකොළ නිසලයි – එච්. එම්. සමුගනියි

සඳ තරු නිහඬයි ගහකොළ නිසලයි මුලු ලොව සැතපෙයි, පූජාසනේ ඔබ හිඳුවා, පෙම් ලොව දී දුටු ඔබමද මේ, ඔබයි රම්‍ය සඳ කිරණ, කඩ මණ්ඩියේ දොල අයිනේ, මා එක්කලා අමනාපව, ඇය යන්න ගියා මැකිලා ඇතුළු ගීත රැසක් සංගීතවත් කළ ප්‍රවීණ සංගීතවේදී එච්. එම්. ජයවර්ධන මහතා ජීවිතයෙන් සමුගත්තේය.

 

කාලයක් තිස්සේ අසනීපව පසු වූ ඔහු කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 8 වන දින දිවි ගමනේ 69 වන සැතපුම පියමන් කරද්දී සිය දිවිය නිමා කිරීමට සිදු වූයේ, දහස් සංඛ්‍යාත සංගීත ලෝලීන්ට සොඳුරු ගී තනු නිර්මාපකයකු මෙන්ම හෙළ සංගීත කෙතට දක්ෂ හිත හොඳ සංගීතඥයකු ද අහිමි කරමින්ය.

 

සියඹලාන්ඩුවේ දී‍‍ උපතලද හේරත් මුදියන්සේලාගේ ජයවර්ධන පස්සර මධ්‍ය මහා විද්‍යාලයෙන්‍ අධ්‍යාපනය ලැබීය. බටනළා වාදකයෙකු ලෙස දැක්වූ දක්ෂකම් නිසා ලැබූ පන්නරයෙන් පසුව සංගීතය හදාරා සංගීතය සිය ආත්ම ප්‍රකාශනය මෙන්ම වෘත්තිය බවට ද පත්කර ගත්තේය.

 

ගීතනු දහස් ගණන් රචනා කළ ඔහු ප්‍රවීන ගීත රචකයන්ගේ මෙන්ම ආදුනික ගීතරචකයන්ගේ ද ගීත රචනාවන්ට සංගීත රචනය කළේය. එමෙන්ම ජනප්‍රිය ගායක ගායිකාවන්ට මෙන්ම ආදුනික ගායක ගායිකාවන්ට ද ඔහුගේ සේවය ලබාගත හැකිවීම ඔහුගේ නිරහංකාරකම මෙන්ම නිහතමානි ගුණයද මොනවට ප්‍රකට කරවන්නකි.

 

එක යායේ එකට කකා (මංගල තෑග්ග) ගංගාව මමයි වැනි ගීත කිහිපයක් පමණක් ඔහු ගායනා කර ඇත.

ප්‍රවීණ ගායිකා මාලිනී බුලත්සිංහලගේ ස්වාමියා වූ හෙතෙම නව පරපුරේ ගායක කසුන් කල්හාර ජයවර්ධනගේ පියාණන් ය.

 

ඔහුගේ වියෝව පිළිබඳව අපේ සාතිශය සංවේගය පළ කරමු.

 

මනෝජ්

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *