යළි වැඩට බසිමු: ජනතාව ගේ ජීවිත වඩා යහපත් කරමු – මහාචාර්ය රොහාන් සමරජීව

 “ජාතියක පරම ධනය ජනතාවයි. සංවර්ධනයේ මූලික පරමාර්ථය වනුයේ ජනතාවට දිගු, සෞඛ්‍ය සම්පන්න සහ නිර්මාණාත්මක ජීවිත ගත කිරීමට හැකි වන පරිසරයක් නිර්මාණය කිරීමයි.  මෙය ඉතා සරල සත්‍යයක් ලෙස පෙනෙන්නට පිළිවන. එහෙත්, භාණ්ඩ සහ මූල්‍යමය ධනය ඒකරාශි කිරීමේ ආසන්නතම අවශ්‍යතාව මතුවීම සමග මේ සත්‍යය බොහෝවිට අමතකව යයි”

නැසී ගිය පාකිස්ථානු ජාතික ආර්ථික විද්‍යාඥ මහ්බුබ් අල් හක් විසින් සටහන් කර ඇති ඉහත වදන් වල කියවෙන ආකාරයටම දේශපාලනයේ පරමාර්ථය වන්නේ ජනතාව ගේ ජීවිත වඩා යහපත් බවට පත් කිරීමයි.  වර්තමාන අග්‍රාමාත්‍යවරයා වෙනුවට වෙනත් පුද්ගලයකු පත් කරන්නේ කෙසේ ද යන පැනයට පිළිතුරු සෙවීමට සතියක්ම ගත කිරීම හරහා මේ පරමාර්ථය ඉටු කර ගත නොහැක.  පලක් නැති කාර්යයන් සඳහා සිය කාලයෙන් වැඩි කොටසක් ගත කරන අපේ දේශපාලනඥයින් දැන්, ව්‍යවස්ථාවේ අදාළ පිටුව සොයා ගන්නට සමත් වී ඇති හෙයින් නියම ප්‍රමුඛතාවන් කෙරෙහි යළිත් අවධානය යොමු කිරීමේ කටයුත්තට අප යොමුවිය යුතුව තිබේ.

2016 වර්ෂයේ කුටුම්භ ආදායම් වියදම් සමීක්ෂණයේ අවසාන වාර්තාව හරියටම මේ අවස්ථාවේ හෙළි දැක්වී තිබේ.  මේ සමීක්ෂණය වූ කලී බදු ගෙවන්නා ගේ මුදල් යොදා කරනු ලබන ඉතා ප්‍රයෝජනවත් කර්තව්‍යයකි.  එහෙත්, ගැටළුව වන්නේ එතුලින් හෙළි කරනු ලබන තොරතුරු භාවිත කිරීමට බොහෝ දේශපාලනඥයින් අසමත් වීමයි.  සමීක්ෂණයෙන් ලැබෙන ප්‍රතිපල, සාමාන්‍ය පුද්ගලයකු ගේ බුද්ධියට ගෝචර වන අයුරින් ඉදිරිපත් කිරීම ජනමාධ්‍යයන් විසින් බොහෝවිට නොතකා හරිනු ලබයි. ඒ වෙනුවට, දේශපාලන ඕපාදූප සහ ඉදිරියේ දී සිදුවන්නට ඉඩ ඇති දේ පිළිබඳ අනාවැකි පළකිරීම යන මඩ ගොහොරුවේ ලැගීම ඔවුන්ට ප්‍රිය වී තිබේ.  එහෙත්, අපි ඒ සඳහා නොවෙහෙසී බැරිය.

කුටුම්භයන්හි ආදායම අඩු වන තරමට එම කුටුම්භයන් විසින් සිය ආදායමින් ආහාර සඳහා වැය කරනු ලබන කොටස වැඩි වන බවට කියවෙන එන්ගල් ගේ නීතිය, ආර්ථික දත්ත වල නිරීක්ෂණය කරන ලද සියළු ප්‍රායෝගික නියමයන් අතර විශිෂ්ඨතම නියමයන් ගෙන් එකක් ලෙස කියැවේ.

1990-91 පරිච්ඡේදයේ දී ශ්‍රී ලාංකික කුටුම්භයක් විසින් සිය වැය කිරීම් අතරින් සාමාන්‍යයෙන් සියයට 60.9 ක් ආහාර වලට වැය කරන ලද අතර මේ ආහාර අනුපාතය 2016 වර්ෂයේ දී 34.8 ක් දක්වා පහත වැටී තිබේ.  මෙය ශ්‍රී ලංකාවේ වාර්තා වූ අඩුම ආහාර අනුපාතයයි. මෙයින් අදහස් වනුයේ, කුටුම්භයක වැය කිරීම් අතරින් සාමාන්‍යයෙන් සියයට 65.2 ක් නිවාස, ප්‍රවාහන, අධ්‍යාපන, සෞඛ්‍ය අවශ්‍යතාවන්, රූපලාවන්‍ය සහ විනෝද කටයුතු සඳහා වැය කරන බවයි.  රටේ ජනතාව ප්‍රායෝගිකව වඩා හොඳ ජීවිතයක් කරා එළැඹ ඇති බව මෙයින් පෙනී යයි.  ශ්‍රී ලාංකික කුටුම්භයන් ගේ ආදායම් මට්ටම් ඉහළ නැංවීම අතින්, පසුගිය දශක කිහිපය තුල අප ලබා ඇති ප්‍රගතිය පිළිබඳව අපට සතුටු විය හැක.

නමුත් සාමාන්‍ය අගයන් යනු ඉහළ පහළ මට්ටම් සියල්ල එකතු කර ලබා ගන්නා සාමාන්‍ය අගයන් වන බව අප අමතක කළයුතු නැත.  වතු අංශයේ කුටුම්භයන්හි, ආහාර නොවන වැය කිරීම් සඳහා යොදා ගත හැකිවනුයේ සමස්ත වැය කිරීම් වලින් සියයට 51.5 ක් පමණකි.  අපේ රටේ වතු ක්ෂේත්‍රයේ වැඩ කරන ජනතාව සහ නාගරික ප්‍රදේශ වල ජීවත් වන ජනතාව අතර පරතරය අඩු වන තෙක් අපට තෘප්තිමත් වීමේ හැකියාවක් නැත.

පහත රූපය 1 හි දක්නට ලැබෙන පරිදි රටේ සමෘද්ධිය ඉහළ යාමත් සමගම ජනතාව ගේ ප්‍රෝටීන් ආහාර පරිහෝජනය ඉහළ ගොස් තිබේ.  මෙය, එංගල් ගේ නීතියේ උප සිද්ධාන්තයකි.  කුටුම්භයන්හි ධනවත් බව ඉහළ යත්ම, ජනතාව පිෂ්ට ආහාර වෙනුවට ප්‍රෝටීන්  ආහාර කරා යොමු වෙති.  රූපය 2 හි දැක්වෙන අන්දමට පසුගිය දශක කිහිපය තුල පිෂ්ට ආහාර පරිභෝජනය පහළ වැටී තිබේ.

 

රූපය 1: ශ්‍රී ලංකාවේ කුටුම්භ වල ප්‍රෝටීන් ආහාර පරිභෝජනය, 1985-2016 (මසකට කිලෝ ග්‍රෑම්)

 

 

 

 

 

 

 

 

මූලාශ්‍රය: 2016 කුටුම්භ ආදායම් වියදම් සමීක්ෂණය (1995/96 වර්ෂ සඳහා දත්ත නොපවතී)

රූපය 2: ශ්‍රී ලංකාවේ කුටුම්භ වල පිෂ්ට ආහාර පරිභෝජනය, 1985-2016 (මසකට කිලෝ ග්‍රෑම්)

 

 

 

 

 

 

 

   මූලාශ්‍රය: 2016 කුටුම්භ ආදායම් වියදම් සමීක්ෂණය

පිෂ්ට ධාතුව අඩංගු ආහාර, විශේෂයෙන්ම සීනි පරිභෝජනය පහළ වැටීම සුභ දෙයකි.  දියවැඩියාව සහ අධිරුධිර පීඩනය වැනි බෝනොවන රෝග ශ්‍රී ලංකාවේ දැනට පවතින විශාලතම සෞඛ්‍ය ගැටළුවයි.  එබැවින්, බත්, පිටි සහ සීනි වැනි ආහාර අඩුවෙන් පරිභෝජනය කිරීම අනිවාර්යයෙන්ම සෞඛ්‍යයට ගුණදායකවේ.  මේ රටේ ජනගහනය පෙර පැවති වේගයෙන්ම වර්ධනය නොවන්නේ නම් සහ කුටුම්භයන් විසින් බත් සහ සීනි අඩුවෙන් පරිභෝජනය කරන්නේ නම්, අපේ කෘෂිකාර්මික ප්‍රතිපත්ති සැකසීමේ දී මෙම කරුණු සැලකිල්ලට ගැනීම සහ එම භෝගයන් සඳහා දැනට වෙන් කර ඇති ඉඩම් ක්‍රමානුකූලව වෙනත් භෝග වෙත හැරවීම කළයුතු නොවන්නේ ද?

රටේ මාළු පරිභෝජනය ඉහළ ගොස් ඇති අතර එය තවදුරටත් ඉහළ යනු ඇත.  එබැවින්, බංගලිදේශයේ සිදුකරන පරිදි, කුඹුරු ඉඩම් වල මාළු ඇති කිරීම නුවණට හුරු කරුණක් නොවන්නේ ද? ඉකොනොමිස්ට් සඟරාව විසින් වාර්තා කරන පරිදි, පෙර දී වෙනත් භෝග වගා කිරීම සඳහා යොදා ගන්නා ලද ඉඩම් වල මාළු ඇති කිරීමෙන් , 2016 වර්ෂයේ දී බංගලිදේශ ගොවීන් විසින් මාළු ටොන් මිලියන 2.2 ක අස්වැන්නක් ලබා තිබේ.  මේ ප්‍රමාණය ස්වභාවික ජලාශ වලින් අල්ලා ගනු ලබන මාළු ප්‍රමාණයන්ට වඩා අධික වන අතර චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව සහ වියට්නාමය හැර අනෙක් ඕනෑම රටක් විසින් නිෂ්පාදනය කරනු ලබන මාළු ප්‍රමාණයන්ට වඩා අධික ය.  බංගලිදේශයේ ගෘහස්ත මාළු කර්මාන්තය 2008 වර්ෂය සමග සසඳන විට මේ වන විට දෙගුණ වී ඇති සේම 1984 වසර සමග සසඳන විට 19 ගුණයකින් විශාල ය.

මේ වික්‍රමය සිදුකළේ බංගලිදේශයේ ආණ්ඩුව නොව බංගලාදේශී ව්‍යවසායකයින් ගේ විමධ්‍යගත නව ප්‍රයත්නයක් විසිනි.  අපේ රට සහ බංගලිදේශය අතර පවතින වෙනස නම්, මෙවැනි නව ප්‍රයත්නයනට බාධක පමුණුවන නීති අපේ රටේ තිබීමයි.

ආණ්ඩුව මේ කරුණ වටහා ගනිමින් සිටින බව 2018 අයවැය කතාව දෙස බලන විට පෙනී යයි. ගොවීන්ට විකල්ප භෝග වගා කිරීමේ ඉඩ සලසමින් 1958 අංක 1 දරන කුඹුරු ඉඩම් පනත සහ 1973 අංක 42 දරන කෘෂිකාර්මික ඉඩම් පනත සංශෝධනය කරන බවක් එහි සඳහන් ය.  අයවැය කතාවේ එසේ සඳහන් කිරීම පමණක් නොසෑහේ.  අදාළ කරුණු ගොනු කිරීම සහ උපදේශන ලබා ගැනීම් කළයුතු වන අතර අවශ්‍ය නීති කෙටුම්පත් කළයුතු ය.  අපේ ආණ්ඩුව විසින් කළයුත්තේ මෙවැනි කටයුතු විනා 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙහි එන විධිවිධාන බිඳහෙළන ආකාරය පිළිබඳ නිරර්ථක වාද විවාද පැවැත්වීම නොවේ.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *