ගෝඨා එළිබහින්න යන්නේ ඇයි ? – භාතිය බරුකන්ද

‘එළිය’ සිංහල භාෂාවේ විවිධාර්ථ දිය හැකි වචනයකි. ‘එළිය’ යන්න දිය හැකි එක් අර්ථයක් වන්නේ ‘ආලෝකය’ යන්නයි. ‘අඳුරට ශාප නොකර එළියක් දල්වන්න’ යැයි පැරණි උපදේශයක් ඇත්තේ මේ නිසාය.
මිනිස්සු සැප ගන්න නුවර නොගොස් නුවරඑළියට යන්නේ නුවරට වඩා නුවර එළියේ දේශගුණය යහපත් නිසාය. ඒ වගේම ‘හාවාඑළිය’ ‘සීතාඑළිය’ යැයි කියා ද නුවරඑළිය පැත්තේ ගම්මාන කිහිපයක් තිබේ. එහෙත් සංචාරකයින් යන්නේ නුවරඑළියට මිස හාවාඑළියට හෝ සීතාඑළියට නොවේ. ඒ ගැන අප විමසා බැලීම යහපත්ය.
‘දේවතාඑළි’ දැකීම මෙන්ම ඒ ගැන අසීමත් වාසනාවකි. ධාතූන්වහන්සේලා වැඩ සිටන සෝමාවතිය, රුවන්වැලිය ආදි අති පූජනීය ස්ථානවලට පමණක් නොව ගමේ ගොඬේ ගස් ගල්වලට පවා දේවතා එළි පාත්වනු බොහෝ දෙනෙක් දැක තිබෙන නිසා මේවා බොරු යැයි කීමට ද නොහැකිය.
‘‘බැහැපිය එළියට’’ කියලා කියන විට අදහස් වන්නේ වෙනත් අදහසකි. එනම් ගෙදරකින්, කාර්යාලයකින් හෝ කිසියම් ස්ථානයකින් පිට වීම එයින් අදහස් කෙරේ. සැප ගන්න නුවරඑළියේ ගිය ඇතැමුන්ට ගෙයින් එළියට බහින්න සිදුවෙන්නේ කුමක් නිසාදැයි අප දන්නේ නැති නිසා මේ එළිය එතරම් හොඳ එකක් වශයෙන් සැලකිය නොහැකිය.
‘එළිය’ සුන්දර වචනයක් වන්නේ විදුලි එළිය, ටෝච් එළිය, ලයිට් එළිය ගැන නොසිතා නුවරඑළියම ගැන සිතන විට පමණි. එහෙත් ඉහත සඳහන් කළ එළිද මිනිසුන්ට වුවමනාය. මන්ද ඒ එළි නැති තැන කළුවරේ සිටීම සිදුවන නිසාය.
එළිය අප‍්‍රසන්න වන අවස්ථාවක් වන්නේ ‘බඩඑළියත් ’ යන නිසාය. කොළරාව, පාචනය වැනි මාරාන්තික ලෙඩ හැඳුන විට වගේම සමහර කෑම කෑවිට ද බඩඑළිය යන බව බොහෝ දෙනෙක් දන්නේය. එවැනි අවස්ථාවක කෝපි කෝප්පයක් බීම ගමේ සිරිත වුවත් වෛද්‍යවරුන් නම් කියන්නේ වහාම රෝහල් ගත වන ලෙසය. මන්ද බඩඑළිය යාම මාරාන්තික ද විය හැකි නිසාය.
‘කලඑළි බැසීම’ ද අපූරු දෙයකි. නැටුම් උගත් නැට්ටුවන් කලඑළි බසින්නේ මහා සභාවක් මැද්දේය. ඒ නිසා ඔවුන් අභිමානයට පත් වෙනවා පමණක් නොව කවුරු කවුරුත් සතුටට පත්වන්නේය.
පාරේ යන විට හමුවන ‘කොළ එළි, රතු එළි, කහ එළි’ ගැන කාටකාටත් ඇත්තේ මිශ‍්‍ර හැඟීමකි. කලබලයෙන් යන විට රතුඑළි වැටීම යකා නගින වැඩක් වුණත් මොකක් හරි දෙයක් ගැන ‘කොළ එළියක් ’ වැටීම නම් හිතට සනීපය දෙන දෙයකි. දැන් දැන් ආණ්ඩුවට රතුඑළි දල්වන්න ද සිටින නිසා අප නොව ආණ්ඩුවේ ඇත්තෝ ඒ ගැන කල්පනා කළ යුතුය.
‘එළි බහින්න’ යාම ද අප අතර නිතර නිතර සිදු වූයේ මීට බොහෝ කාලයකට පෙර වැසිකිළි නොතිබුණු සමයේදීය. අදත් ඉඳහිට එහෙම එළිබහින්න යන අවස්ථා ද නැතුවා නොවේ.
‘අංජනන් එළි’ බැලියම යුතු දෙයකි. පසුගිය දවස් වන විට මේ රටේ යහපාලන ඡුන්දදායකයෝ අංජනන් එළි බැලූවේ හොරුන්ට එරෙහි, ඝාතකයින්ට එරෙහි නඩු පමා වෙන්නේ ඇයිද කියා සොයා ගන්නටය. ඒ අතර දැන් දැන් සමහරු අංජනන් එළි බලන්නේ ඊළඟ වැලිකඩ යන්නේ කවුරුන්ද ? කියා සොයා බලන්නටය. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් මහජනතාවගේ මුදලින් රුපියල් මිලියන 600ක් වැය කරන සිල් රෙදි බෙදීමට ලලිත් වීරතුග සහ අනූෂ පැල්පිට ක‍්‍රියාකළ නිසාය.
සුමනදාස අබේගුණවර්ධනලාගේ අංජනන් එළිවලට ආණඩු මාරුවක් ගැන මීටර් නොවුණ නිසා මේ සිල් රෙදි බෙදුවා මිස ආණ්ඩු මාරුවන බව දැනසිටියා නම් මේ කිසිවෙක් මෙවැනි ජාතික අපරාධ කරන්නේ නැත.
‘එළිය’ ගැන මේ අටුවාටීකා ලිව්වේ අලූත්ම අලූත් බැන්ඞ්නිවු එළිය ගැන කතා කරන්න පොටක් පාදා ගන්නය. ඒ පසුගිය දා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කරළියට ගෙන ‘එළිය’ ගැන කතා කරන්නය.
ගෝඨාභායලා ගැන අපේ දැනුම
ගෝඨාභය රාජපක්ෂ මහතා කලඑළි බසින්නේ එතුමාගේ වැඩිමහල් සහහෝදරයෙක් වූ මහින්ද රාජපක්ෂ ජනාධිපති වූ පසුව බව කියන්නේ එතුමා ගැන අතැඹුලක් සේ දන්නා කියන හමුදාවේ හා මාධ්‍ය සඟයෝය. යුද්ධ හමුදාවේ උසස් තානාන්තරයක් දරමින් සිටියදී, යුද්ධය දරුණුම වන විට නිලමක්කාරයා මවුබිමෙන් පළා ගොස් අධිරාජ්‍යවාදී, කොටි හිතවාදී ඇමෙරිකාවේ මොන මොනවාදෝ කළ බව කියන්නේ එතුමාගේ ඒ අතීත කාලයට ටෝච් එළියක් එල්ල කරන ජනමාධ්‍යකාරයෝ සහ ඇතැම් දේශපාලනඥයෝ විසින් මිස පොදු ජනයා විසින් නොනවන බව අප සිහිතබා ගත යුත්තේ ඔවුන් 2005 දී මහින්ද මහත්තයා ජනාධිපති වෙනතුරු දැන සිටියේ ගැමුණු රජුගේ දස මහ යෝධයෙක් වූ, මහාසෝනා අපට ලබා දුන් ‘ගෝඨයිම්බර’ යෝධයා සහ අපේ අහිංසක සිරිසඟබෝ රජ්ජුරුවන්ගේ හිස ඉල්ලා සිටි ‘ගෝඨාභය රජ්ජුරුවෝ ගැන පමණකි.
අප දැන් ‘ගෝඨාගේ එළිය’ ගැන කතා කළ යුතුය. මන්ද ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ කල්ලිය සිතා සිටින්නේ 2015 ජනාවරී 08 වැනිදා සිට මේ දක්වා රට වෙලා ගෙන තිබෙන්නේ මහා අන්ධකාරයක් කියාය. කොටි සුන්කර, ශ‍්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය කර, කොළඹ ලස්සන කර ලබා දුන් මහා එළිය මෛත‍්‍රී-රනිල්, චම්පික- සම්බන්ධන්, යහපාලන කල්ලිය විසින් අකාමකා දමා රට අඳුරට ඇද දමා ඇති නිසා යළිත් රාජපක්ෂ පන්නයේ එළියක් දැල්විය යුතු බව ඔවුන් සිතීම ගැන අප පුදුම ද විය යුතු නැත. ඊට හේතුව වන්නේ නිතර නිතර මූල්‍ය අපරාධ කොට්ඨාශයට යන එන, වැලිකඩ ගාටන රාජපක්ෂ කල්ලියේ බොහෝ දෙනකුට ඒ ඒවායේ අන්ධකාරය හොඳ හැටි දැනී ඇති නිසාය.
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට
ලලිත්- අනූෂ මෙන් ගල්පල්ලි යාමට සිටින තවත් බොහෝ දෙනකුට එළිය දකින්නට ඇති අවස්ථාව බොහෝ අඩු විය හැකි නිසා දැන්ම තියාම එළිය දැල්වීම මෙන්ම එළියට බැසීම ද හොඳය. මන්ද ලලිත්-අනූෂ නඩු තීන්දුවෙන් පසු රාජපක්ෂ යුගයේ එළිපිට හොරකම් කළ, එළිපිට මිනී මැරූ බොහෝ දෙනකුට දැන් දැන් බඩඑළිය යාමට පටන් ගෙන ඇති බව අපට දැනී තිබෙන නිසාය. ‘හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට’ කිවා සේ දශකයක් පමණ අන්ධකාරයේ පැවැති නීතියේ ආධිපත්‍යට දැන් දැන් යමින් එළිය වැටීම තවත් බොහෝ දේ එළිවිය හැකිය. එදාට මේ බොහෝ දෙනකුට එළිය කෙසේ වෙතත් එලොව පොල් නම් පෙනෙන බව සක්සුඳක් සේ පැහැදිලිය.
රාජපක්ෂලාගේ අධිකාරීවාදී පාලනයට රතු එළිය දැල්වවූ යහපාලන ජනතාව පසුගිය අවුරුදු දෙකහාමාර පුරාම වැඩි පුර එළියටපහළියට ආවේ නැත්තේ රෙද්දක් ඇඳගෙන එළියට බහින්න නොහැකි වූ නිසාය. ‘කෝ හොරු ඇල්ලූවාද ?’ කියලා මහින්ද ඡුන්දේ දුන් ඈයෝ අහන කොට, බැසිල්ල, නාමල්ලා ආණ්ඩු පෙරළන්න යන කතා ඇහෙන කොට එළියට පහළියට නාව යහපාලනිකයෝ දැන් දැන් එළියට එන්නේ යහපානයට එළිය දුන්නේ තමන්ය යන අභිමානය දැන් දැන් ඇඟට දැනෙන නිසාය.
ගෝඨාගේ එළිය
ගෝඨාභය රාජපක්ෂ කඩිමුඩියේ එළියක් පත්තු කිරීම ගැන දැන් නම් යහපාලනිකයින්ට දුකක් නැත. බයක් නැත. ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැති කර, රාජ්‍ය මර්ධනය උපරිම කර, රාජ්‍ය සම්පත් හිතූමතේ කාබාසිනියා කළ අඳුරු යුගයකට යහපාලනයේ එළිය දැල්වූ තමන්ට ගෝඨාගේ එළිය මහ කජ්ඡුක් නොවන බව ඔවුන් දන්නා නිසාය. ළඟ ළඟ එන ඡුන්ද වලදී මේ භීෂකයින් එළියටම තල්ලූ කර දැමීම අපහසු නොවන බව ඔවුන්ට ටක්කෙටම සහතික නිසාය.
ගෝඨාභය රාජපක්ෂ කාලයක් ගත වී හෝ එළියක් දල්වා ගැනීම ගැන යහපාලනිකයින් වශයෙන් අපට දැන් ඇත්තේ සතුටකි. මන්ද එතුමා පසුගිය කාලය පුරාම තිරේ පිටුපසට වී අඳුරේ සිටිමින් මුළු රටම පාලනය කළ බව මේ රටේ ජනතාව පමණක් නොව මුළු ලෝකයම දන්නා නිසාය. ‘හැංඟි හැංඟි වෙස් බැන්දත් නටන්න වෙන්නේ එළියේ ’ කියලා ගමේ මිනිස්සු බොහෝ කාලෙකට ඉස්සර කිවුවේ මේ වාගේ දේවල් ඒ කාලේ සිද්ධ වුණ නිසා විය හැකිය. ඒ නිසා ගෝඨාභය එළියට ඒම ගැන අප යළි යළිත් සතුටු විය යුතුය. මන්ද රාජපක්ෂලාගේ ලනු කෑ බොහෝ දෙනෙක් ටිකෙන් ටික ඇතුළට යන කොට, ඇතුළට යන්නේ කවදාදැයි දින ගණින කොට ඒවා නතර කරගත හැක්කේ නීති හදන, නීති ක‍්‍රියාත්මක කරන දැන්වල සිටින පුද්ගලයින්ට රතු එළි දැල්වීම මගින් පමණක් නිසාය.
ගෝඨාභය රාජපක්ෂ එළිය දල්වන කොට ඔවුන් නිසා අඳුරට ගිය අයත් දැන් දැන් එළියට ආ යුතු බව අපගේ අදහස. මන්ද ගෝඨාගේ මේ එළියට මෙරු මෙන් තවත් ගෝඨාලා එක්රැුස් වීමට ඇති අවස්ථාව අපට පහසුවෙන් බැහැර කළ නොහැකි නිසාය. ‘ලබ්බට තිබ්බ අත පුහුලටත් තියන බව’ හොඳ හැටි පැහැදිලි නිසා ගෝ්ඨාගේ එළිය රට ගිනි තබන පන්දමක් වීමට අවස්ථාව නම් නොදිය යුතුම බව අපගේ වැටහීමය.
මේ තත්ත්වය තුළ වැලිකඩ බන්ධනාගාරයේ රැුඳවියන් ඝාතනය කිරීමේ සිද්ධියේ ඇසින් දුටු සාක්ෂිකරු එළියට පැමිණ තමාට වූ අගතිය ගැන කරුණු පැහැදිලි කිරීම ඉතාම සාධනීය පියවරකි. ඒ ආකාරයෙන්ම රතුපස්වල, කටුනායක, හලාවත පමණක් නොව රාජපක්ෂ පාලනයේ බියකර මර්ධනයට ලක් වූ සියලූ පාර්ශ්වවලට දැන් නොබියව එළියට පැමිණිය හැකිය. ඒ ගෝඨා පමණක් නොව අධිකරණය ද එළියක් දල්වා ඇති නිසාය.

සටහන
භාතිය බරුකන්ද

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *