කලා බර දේශපාලනය – අකුරැස්සේ වින්සන් ප්‍රනාන්දු

 

කලාකරුවන් පිරිසකගේ අත්සනින් යුතුව ජනතා විමුක්ති පෙරමුණ පසුගිය දිනෙක මැතිවරණ ප්‍රචාරක පුවත්පත් දැන්වීමක් පළකරල තිබුණ. තමන් කැමති පක්ෂකට හෝ කණ්ඩායමකට ඡන්දය පාවිච්චි කරන්නට වගේම යම් කණ්ඩායමකට ‍හෝ පක්ෂයකට ඡන්දය දෙන්නැයි ඉල්ලා සිටින්නට යමෙකුට ඇති අයිතිය කවරෙකුට වුණත් බැහැර කරන්නට පුළුවන් කමක් නැහැ. එය ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් නිසයි.

කලාකරුවන් උගතුන් මැතිවරණ වලට සක්‍රියව දායක වෙමින් මැතිවරණ වේදිකා නැඟීම අපේ රටට අලුත් දෙයක් නෙමෙයි. කොළඹ යුගයේ ඇතැම් කවීන් මෙන්ම සමහර ලේඛකයන් වැනි අය යම් යම් අවස්ථාවල තම තමන් කැමැත්තක් දක්වන පක්ෂවල ඡන්ද ව්‍යාපාරවලට ඒ ආකාරයෙන් දායක වෙලා තියෙනව. විශේෂයෙන්ම වමේ පක්ෂවලට, ශ්‍රීලංකා නිදහස් පක්ෂය වගේම එක්සත් ජාතික පක්ෂ වේදිකාවල ගී ගැයීම් ආදිය දක්නට ලැබුණි.

එසේ කලාකාරයන් වේදිකා නැගීමෙන් හෝ වෙනත් ආකාරයකින් මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට මැදිහත්කර ගැනීමෙන් ඒ ඒ පක්ෂ බලාපොරොත්තුවෙන්නේ අදාළ තැනැත්තන්ගේ ජනප්‍රියත්වය සහ ප්‍රතිරූපය තමන්ගේ පක්ෂයට හෝ සංවිධානයට ජනතාව ආකර්ශනය කර ගන්නට භාවිතයට ගැනීම. වෙනත් රටවල ගත්තත් විප්ලවවාදී ව්‍යපාර ඇතුළු ජන අරගලවලට කලාකරුවන් සක්‍රීයව මැදිහත් වුණ අවස්ථා විරල නැහැ. වික්ටර් හාරා වැන්නන් ඊට නිදසුන්. නමුත් ගැටලුව වන්නේ ඉහත සඳහන් කළ දැන්වීමේ අත්සන් තබමින් ජනතා විමුක්ති පෙරමුණට ප්‍රචාර කටයුත්තේ යෙදෙන පිරිස සිය කලා දිවියේදී හෝ කලා කටයුතුවල දී සමාජ ව්‍යාපාරවෙනුවෙන් කරන්නේ මොනවාද යන්නයි. කලාකරුවන් වශයෙන් ගත්විට ඔවුන් ටෙලිනාට්‍යයක, වේදිකා නාට්‍යයක දෙකක රඟපාගෙන සිංදුවක් කියාගෙන අනෙකුත් කලාකාරයන් වගේම පාඩුවේ ජීවත්වන අය. එහෙමත් නැතිනම් රෝහණ විරේවීර, උපතිස්ස ගමනායක වැන්නන් ඇතුළු පිරිස 1971, 1988 – 89 කැරලි වලදී පෑ වීරත්වය කළ කැපකිරීම් නිසා ජනතා විමුක්ති පෙරමුණට ගොඩනැඟුණු කීර්තිනාමය නැතිනම් ජනතා ප්‍රසාදය තමන්ගේ වාසියට හරවා ගන්නට යටි සිතින් අපේක්ෂා කරන උදවිය. 1988 – 89 කාලයේ නන්දා මාලනී සහ සුනිල් ආරියරත්න ‘යදමින් බැඳ විලංගුලා’ වැනි ගීත ගයමින් කළෙත් එවැනි කටයුත්තක්. ජනතා විමුක්ති පෙරමුණ එකල විමුක්ති ගී හරහා පාදා තිබුණු මාර්ගයේ ඔවුන් ව්‍යාපාරික අරමුණක් පෙරදැරිව ගමන් කළ බව පසුකාලයේ ඔවුන්ගේ කලා හැසිරීම කලා කල්කිරියව විසින් හොඳහැටි පැහැදිලි වුණා. 88 – 89 කරැල්ල පරාජය වී තරුණ ජීවිත දහස් ගණනක් නැතිවුණු පසු නන්දලාත් යූ ටර්න් එකකින් ආපහු හැරුණ.

ජනතාව වෙනුවෙන් ජනතාවගෙන් විවෘතව ආරාධනාවක් කරන්නට සැබෑ අයිතියක් තියෙන කලාකරයෙක් මේ ‍මොහොතේ මේ රටේ ඉන්නවානම් ඒ ජයතිලක බණ්ඩාර විතරයි. ‍

ඒ ඔහු මුදල් ‍අපේක්ෂාවකින් තොරව ව්‍යාපාරික අරමුණුවලින් බැහැරව තමන් අදහන දර්ශනය තමන් දරන මතය වෙනුවෙන් නිර්භයව අවංකව කාලා භාවිතාවක යෙදෙන නිසයි. අනුන්ගේ මතය නොයිවසන කෙනෙකුට ඔහුගේ කලා භාවිතාව ප්‍රශ්න කළ හැකි වුවත් එහි මූල්‍ය අපේක්ෂාවක් ඇතැයි චෝදනා කරන්නට පුළුවන්කමක් නැහැ. තවත් අතකින් ගත්විට දැනට ශ්‍රී ලංකාවෙ කිසිම දේශපාලන නායකයෙක් එනම් අනුර කුමාර දිසානායක හෝ ගුණත්නම්, ඩියූ තිස්ස, වාසු, බාහු යන කිසිම කෙනෙක් හෝ ඔවුන් අයත් පක්ෂයක් හෝ ජයතිලක බණ්ඩාර තම මතය වෙනුවෙන් සහ ඔහු අදහන ජනතා අරගලය වෙනුවෙන් කරන කැපකිරීම කරන්නෙත් නැහැ.

තවත් අතකින් ගත්විට කලාකාරයන් කලාකාරියන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඡන්ද ව්‍යාපාරවලට ඉදිරිපත් කිරීම එනම් ඡන්ද අපේක්ෂකයන් විදිහට ඉදිරිපත් කිරීම මෑත ඉතිහාසයේ පැහැදිලිව දක්නට ලැබුණ. පබාල, ගීතල, රවීන්ද්‍රල ඡන්දවලට ඉදිරිපත් කළේ රඟපෑම හැර ඔවුන්ගේ වෙනත් විශේෂ දක්ෂතාවක් හෝ කැපකිරීමක් නිසා නෙමෙයි. ඔවුන් නළු නිළියන් නිසාම පමණයි. ඒ උත්සාහය කොතරම් පලදායි අවස්ථාවාදී කපටිකමක්දැයි කියනවානම් ඡන්ද දායකයොත් කරු ජයසූරියල දෙකට තුනට අදල දමල පාබාලා ගීතල මනාප ලැයිස්තුවේ මුදුනටම උත්සල තිබ්බ.

දේශපාලන වශයෙන් ජනතාව සවිඥානක කරන්න හිතන යම් සංවිධානයක් දේශපාලන පක්ෂයක් ඇත්නම් කළ යුත්තෙ මෙවැනි කටයුතුවල බොල් බව ජනතාවට පෙන්නා දීමයි. ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් බොහෝ කැපකිරීම් කළ අපේ පරපුරේ කෙනෙක් විදිහට ජනතා විමුක්ති පෙරමුණ මේ හැසිරෙන ආකාරය දුටුවිට දැනෙන්නේ ලජ්ජාවක්.

ඉහත කී මැතිවරණ ප්‍රචාරක දැන්වීමට අත්සන් තැබූ අය ගේ අනාගත දේශපාලන හෝ සමාජ හැසිරීම ගැන ජනතා විමුක්ති පෙරමුණට ගරන්ටියක් සහතිකයක් දෙන්න පුළුවන්ද? ඒක එක කාරණයක්. අනෙක් කරුණ අදවෙන විට මේ රටට අවශ්‍යවෙලා තියෙන්නේ ප්‍රතිරූප පස්සේ යන දේශපාලනයක්ද නැතිනම් ප්‍රතිපත්තිවලට මුල්තැන දෙන ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් ද කියන කරුණ.

ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද දැන්වීමට තෝරාගෙන හිටියේ ප්‍රබුදධ යැයි කිවහැකි කලාකාර පිරිසක් කියා යමෙක් කියන්නටත් පුළුවනි. සුනිල් පෙරේරා වැන්නෙක් ඊට අයත් වුණත් බහුතරය ඊට වෙනස් අය නිසා ඒ තර්කයට යම් බලයකුත් තියෙනව. නමුත් අවසන් විග්‍රහයෙදි ජනතා විමුක්ති පෙරමුණ කර ඇත්තේ ඔවුන්ගේ ප්‍රබුද්ධත්වය තමන්ගේ පටු මැතිවරණ වාසියක් වෙනුවෙන් භාවිත කිරීමක් නැති නම් ප්‍රබුද්ධ යැයි සම්මත කලාකරුවන් පිරිසක් ඡන්දයට කඩේ යැවීම නොවේද?

ඇත්තෙන්ම ගත්තොත් එක්සත් ජාතික පක්ෂයට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පොහොට්ටු පක්ෂයට වඩා ජනතා විමුක්ති පෙරමුණ සාධනීයයි කියන්නට ඇති එකම හේතුව ඔවුන් තවමත් මේ ‍රටේ ආණ්ඩුබලය තනි අතකින් හසුරුවා නොතිබීම පමණයි. අනෙක් අතට ජනතා විමුක්ති පෙරමුණත් සමසමාජ සහ කොමිනියුස්ට් පක්ෂ වගේම සභාග ආණ්ඩු හරහා එක් වතාවක් හෝ රටේ පාලන බලයට දායක වෙලා තියෙනව. එසේ සම්බන්ධ වී ඇමති ධූර දැරූ කාලයේ ජනතා විමුක්ති පෙරමුණ පෙන්වූ විශේෂ ප්‍රාගුණ්‍යයකුත් නැහැ. ඔවුන්ගේ ඇමතිධූර යටතේ කළ වැවු හැරීම, කිරි ගම්මාන, ගුරු පැහැයෙන් රත් පැහැයට වගේ ව්‍යාපෘති කෙළවර වුණේ ඔවුන්ගේ දාර්ශනික දුගී බව මනෝරාජික බව ප්‍රදර්ශනය කරමින් අසාර්ථක ව්‍යාපාර විදිහටයි. තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව ගැන එතකොට කෙනෙක් මතක් කරන්න පුළුවනි. නමුත් එතැන වුණේ ජනතා විමුක්ති පෙරමුණේ සමස්ත ශක්තිය තිස්සට යොමුකර වැඩ පෙන්වීමයි. රටේ සියලු පුංචි ආණ්ඩු ඒ අයගෙ බලය යටතට ආවොත් ඒ අයට ඒ මැජික් පෙන්වන්න පුළුවන්ද කියල සැකයි.

උදාහරණයක් විදිහට මේ ‍රටේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් දෙන්න පුළුවන් තිරසාර වැඩපිළිවෙලක් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරල තියෙනවද? ආණ්ඩු බලය යම් දවසක ලැබුණොත් ජනතා විමුක්ති පෙරමුණ අනුගමනය කරන සමාජවාදි පිළිවෙත රුසියානු ක්‍රමයද, චීන, වියට්නාම්, කියුබා, උතුරු කොරියානු මාදිලියද? උතුරු කොරියාව කියුබාව වගේ රටවල තාත්තගෙන් පුතාට අයියගෙන් මල්ලිට බලය හුවමාරුවන ක්‍රමයක් ද ජනතා විමුක්ති පෙරමුණ බලයට ආවොත් අනුගමනය කරන්නේ? එහෙමත් නැත්නම් රුසි‍යාවෙ, චීනයේ, වියට්නාමයේ වගේ තනි පක්ෂයේ පුජාතන්ත්‍රවාදි රාටාව වන සමාජවාදි ඒකාධිපතිත්වයක්ද අනුගමනය කරන්නේ? බහු පක්ෂ කුමයට වඩා තනිපක්ෂයක පාලනය රටකට යහපත්ය කියල මැතිවරණ දැන්වීමට අත්සන් කළ කලාකාර පිරිස පිළිගන්නවද?

කියුබාව වැනි රටක් ගත්තොත් මේ වන විට ඉන්නෙ පොදු දේපල ක්‍රමය අත්හරිමින්. සමාජවාදී ළදරු වලිප්පුව අනුව යමින් බාබර් සාප්පුවත් ජනසතු කළ කියුබාවට රුසියාවේ වැටීමත් සමඟ පෞද්ගලික දේපළ බාබර් සාප්පුවැනි පෞද්ගලික කේවල ස්වාමි ව්‍යාපාර පිළිගන්නට සිද්ධ වුණා. ඒ විතරක් නෙමෙයි කියුබාව මේ වන විට විදේශ ආයෝජන වලටත් විවෘත වෙමින් ඉන්නවා. අත්සන් කළ කලා කරුවො ඒ ගැන කුමක්ද කියන්නේ?

ජනවාර්ගික ප්‍රශ්නය, සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ආදිය සම්බන්ධයෙන් අදහස් දක්වීම්, මත ප්‍රකාශකිරීම් හැර පැහැදිලි වැඩපිළිවෙළක් ජනතා විමුක්ති පෙරමුණ මෙතෙක් ජනතාව ඉදිරි‍යේ තබල නැහැ. හරි නම් මේ වෙද්දි ජනතා විමුක්ති පෙරමුණ විකල්ප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පවා රට හමුවේ තබා අවසන් කර තිබිය යුතුයි. කෝකටත් පාන විරෝධය හැර එවැන්නක් ඒ පක්ෂ‍ය මෙතෙක් කර නැහැ. එවැනි තත්ත්වයක් තුළ මේ කලාකාරයේ රටට කියන්නේ මොකක්ද? ඇත්තටම ඒ අය මේ කරන්නේ නැති රැඩිකල් කමක් බොරු විප්ලවවාදීකමක් පෙන්වා පොර වීමට ගන්න උත්සාහයක් ද?

අකුරැස්සේ වින්සන් ප්‍රනාන්දු

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *