බැඳුම්කර දේශපාලනය – සී.ජේ.අමරතුංග
බැඳුම්කර ගැන ජනාධිපති කොමිසමක් පත් කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කීවේ, මෙම ප්‍රශ්නයෙන් දැන් දේශපාලනඥයන් ඉවත් විය යුතු බවයි. එයට හේතුව නම් පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව කළ පරීක්ෂණය සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වී තිබූ බව පෙනී යාමයි. එම ගනුදෙනු සම්බන්ධයෙන් සොයා බැලීම ස්වාධීන කොමිසමකින් කළ යුතු බව ජනාධිපතිතුමා තීරණය කළේ ඒ නිසාය. දැන් එම කොමිසම බොහෝ කරුණු හෙළිදරව් කරගනිමින් සිටින බව පෙනෙන්නට තිබේ. ඒ අතර ඇතැම් දේශපාලනඥයන් නැවතත් ඉවසිල්ලක් නැති තත්ත්වයට පත්ව ඇති බව පෙනෙන්නට තිබේ. පරීක්ෂණ ඉවර වෙන්නටත් පෙර තීන්දු ප්‍රකාශ කරමින් මහා ඝෝෂාවක් මවන්නට ඔවුහු කටයුතු කරමින් සිටිති. මෙබඳු පරීක්ෂණයක් ස්වාධීනව පැවැතිවීමත්, දේශපාලන මැදිහත්වීම්වලින්, බලපෑම්වලින් තොරව කරුණු හෙළිදරව් කරගැනීමත් ජයග්‍රහණ හෝ යහපාලනය ලෙස නොදකින ඔවුන් දැන් කියන්නට හදන්නේ ඔවුන් තරම්ම යහපාලනයද සොරකම් කරන බවකි. සොරුන්ට ඉඩ නොදෙන බව ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් කියන කතා මායිම් නොකරන ඔවුහු කියන්නට හදන්නේ වෙනත් කතාවකි.
විපක්ෂයේ උඩ පැනීම
දැන් මොවුන්ගේ බයිට් එක බවට පත්ව තිබෙන්නේ රවි කරුණානායක ඇමැතිවරයාය. ජනාධිපති කොමිසම ඉදිරියේ කරුණානායක මහතාට එල්ල වූ චෝදනා හා ඔහු දුන් සාක්ෂිය පදනම් කරගනිමින් දෝෂාභියෝගයක් ගෙනා විපක්ෂයට දැන් ඕනෑ වහාම රවී ව එල්ලන්නටය. ඒ රටේ යහපත හා දූෂණවලට විරුද්ධවන නිසා නම් නොවේ. තමන්ගේ හෙළිදරව් වූ දූෂණවලින් ජනමතය වෙනතක යවන්නට හා දේශපාලන වාසියක් ලබා ගන්නටය.
රවි කරුණානායක මහතා ගැනත් ඇතැම් මැති ඇමැතිවරුන් ගැනත් මේ රටේ ජනතාවටද ප්‍රශ්න තිබෙන්නේ අද ඊයේ සිට නොවේ. යහපාලනය ගොඩනැඟීමට දායක වූ සංවිධාන විසින්ම ඇතැම් මැති ඇමැතිවරුන් ගැන ජනපතිට අගමැතිට කරුණු කී බව අපි දනිමු. බැඳුම්කර කොමිසමේදී හෙළි වූ කරුණුද සුළුකොට තැකිය හැකි නොවේ. සැබැවින්ම යහපාලනය පවත්වාගෙන යන්නට නම් මේවා ගැන පරීක්ෂණකොට වරදට සරිලන දඬුවම් දීම අවශ්‍යය. එම ක්‍රියාවලිය සිදුවන අතරේ විපක්ෂය උඩ පනින්නේ වෙනත් අරමුණු ඇතිවය යන්න තේරුම් ගැනීම අවශ්‍යය.
ඒකාබද්ධ විපක්ෂය කර ඇත්තේ රවි කරුණානායක මහතාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒමයි. එය දඩිබිඩියේ කිරීමට හේතුවද තේරුම් ගැනීම වැදගත්ය. මෙය ගෙන එන්නට පෙර රවි ඉල්ලා අස්වුණොත් හෝ ජනපතිතුමා හා අගමැතිතුමා වෙනත් පියවරක් ගතහොත් හෝ එහි කීර්තිය අත්වන්නේ රජයටය. විපක්ෂය මේ කරන්නට හදන්නේ එය ඔවුන්ගේ වැඩක් බව පෙන්වන්න තැත් කිරීමයි.
යහපාලන ආණ්ඩුව කරන්නේ හොරුන් රැකීමය කියා චෝදනාවක් ඇතැම් පිරිස් අතරින් මතුවන බව ඇත්තකි. එයට හේතුවද විශ්වාසය කඩවීමයි. මල්වානේ අක්කර දහසයක ඉඩම හා මාලිගාව මගේ නෙවේ යැයි බැසිල් කියනවිට අදාළ පරීක්ෂණ ඉන් ඉදිරියට නොයෑම ගැන ජනතාවට ඇත්තේ කළ කිරීමකි. විශ්වාසය බිඳ වැටීමකි. ගල්කිස්සේ මාලිගා දෙකක් යෝෂිත රාජපක්ෂට හදා දෙන්න ඩේසි ආච්චිට සල්ලි ලැබුණේ නොහඳුනන මුදලාලි කෙනෙකුගෙන් තෑගි ලැබුණු මැණික් මල්ලක් නිසාය කී විට පරීක්ෂණ එතැන නතර වෙලාය. රගර් ක්‍රීඩාව දියුණු කරන්නට ක්‍රිස් සමාගමෙන් ලැබුණු මුදල් වාෂ්ප වීම ගැනද පරීක්ෂණ තවම නැවතිලාය. ඇතැම් මැති ඇමැතිවරුන්ගේ වත්කම් ගැන පරීක්ෂණද එබඳුය. අප්පොච්චිලාගේ සොහොන් හදන්නට රජයේ මුදල් යෙදීම ගැනද තත්ත්වය ඒකය. මේවා මෙලෙස නතරව තිබීම ගැන ජනතාවගේ කලකිරීමක් හා විශ්වාසය භංගවීමක් නැතුවා නොවේ.
ජනතාවගේ අපේක්ෂාව
රවී කියා ඇත්තේ තමන්ගේ නිවසට මාස අටක් කුලිය ගෙව්වේ ඇලෝසියස් බව නොදැන සිටි බවයි. දැන් ජනතාව බලා සිටින්නේ මේ පරීක්ෂණයත් එතැනින් නවතීද යන්නයි. කොමිසමේ පරීක්ෂණ දිග ඇදුණු ආකාරයට අනුව නම් ඒකත් වන්නට හේතුවක් නැත. එමෙන්ම මෙලෙස ඇලෝසියස් රවීගේ පවුලට සලකන්නට රවී ඔවුන් වෙනුවෙන් කළ දෙයක් තවම හරියට හෙළිදරව් වී නැත. කොමිසම හමුවේ වෙනත් අයගේ ඩීල් හෙළිදරව් වී ඇති බවට මාධ්‍ය වාර්තා පළ වූ බව අපි දනිමු. එම ඩීල් ගැන තීන්දු දිය යුත්තේ කොමිසමයි. ඊළඟ පියවර ගැනීම ඒ අනුව සිදුවිය යුතුය. මහජනයා බලා සිටින්නේ එය හරියට සිදුවන තෙක්ය.
මේ මොහොතේ හෙළිදරව්වීම් අනුව විශ්වාසය භංග වී ඇත්තේ රවි කරුණානායක මහතා සම්බන්ධයෙන් පමණක් නොවේ. ඒකාබද්ධ විපක්ෂය ගැනත් කෝප් කමිටුව ගැනත් විශ්වාසය භංගවීමක් සිදු වූ බවද පැහැදිලිය. එසේ වූයේ දේශපාලන වශයෙන් බැලූ නිසා කෝප් කමිටුවට හෙළිකර ගැනීමට නොහැකි වූ දේ ජනාධිපති කොමිසමේදී හෙළිදරව් වීම නිසාය.
රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යටතේ කෝප් කමිටුවේ සභාපති ධුරය විපක්ෂයට දුන්නේ සොරකම් වහන්නට නොවන බව පළමුවෙන් තේරුම්ගත යුතුව තිබිණි. එසේ වුවද කෝප් කමිටුව කළේ බැඳුම්කර වෙන්දේසි කිරීම පාඩුවට හේතුව බව කියා විගණකාධිපතිවරයාගේ වාර්තාව මත පදනම්ව මහ බැංකුවෙ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් වැරදිකරුවා ලෙස තීරණය කිරීමයි. ඒ අනුව ඔහුට එරෙහිව පියවර ගන්නා ලෙස ඒකාබද්ධ විපක්ෂය කළ ඝෝෂාව අපට මතකය. එසේ වුවද කෝප් කමිටුවේ එම වාර්තාව පිළිගෙන කටයුතු කළා නම් මෙපමණ දේ හෙළිවන්නේ නැත. සිදුවන්නේ සැබෑවටම සිදුවූ ඩීල් බොහොමයක් යට යාම පමණකි.
බැඳුම්කර වෙන්දේසි කිරීම වැරදි බවට විගණකාධිපති දුන් සාක්ෂිය ඒ ආකාරයෙන් පිළිගත නොහැකි බව ජනාධිපති කොමිසම ඔහුට ප්‍රකාශ කළ බව අපි දනිමු. තත්ත්වය එසේ වී තිබියදී කෝප් වාර්තාව මත පදනම්ව අර්ජුන මහේන්ද්‍රන් හා අර්ජුන් ඇලෝසියස් දෙදෙනාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත්තේ නම් බොහෝ විට සිදුවන්නට තිබුණේ දෙදෙනාම නිදහස් වී බැඳුම්කර ප්‍රශ්නයද එයින්ම අවසන්වීම බව පෙනෙන්නට තිබේ. එම තත්ත්වය වෙනස් වී ඇත්තේ ජනාධිපති කොමිසමකින් පරීක්ෂණ ආරම්භ කළ හෙයිනි. මෙය කෝප් වාර්තාව උඩදාගෙන කෑගැසූ සියලු දෙනාට හොඳ පාඩමකි. පුදුමයට කරුණ නම් තවමත් එම පාඩම ඉගෙනගෙන නොතිබීමයි.
මහබැංකු බැඳුම්කර නිකුතුව ගැන තීරණ ගැනීමට වෝහාරික විගණනයක් අවශ්‍ය බවට එජාප කණ්ඩායම යෙදූ පාද සටහන් ගැන එකල මහා විවේචනයක් තිබිණි. ජනාධිපති කොමිසම හමුවේ දැන් හෙළිදරව් වන කරුණුවලින් පෙනෙන්නේ එම අවශ්‍යතාව තිබූ බවයි. එය දැන් ජනාධිපති කොමිසම මගින් ඉටුකරමින් සිටින බව පෙනෙන්නට තිබේ.
මහින්ද ෙග් ෙදගිඩියාව
රවිට එරෙහිව ගෙනෙන විශ්වාස භංගයට ඡන්දය දීමට මහින්ද රාජපක්ෂ මහතාට නම් දෙගිඩියාවක් තිබූ බව පෙනෙන්නට තිබිණි. මුලින් වාර්තා වූයේ එම යෝජනාව ගෙනඒමට ඒ මහතා විරුද්ධ වූ බවයි. කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් තීරණයක් ගෙන එය භාර දී ඇත. එය අස්සන් කරන ස්ථානයේ සිටි බව කියන ඇතැම් මන්ත්‍රීවරුද යෝජනාවට අස්සන් නොකළ බව වාර්තාවීය. මහින්ද රාජපක්ෂ මහතා පස්වැනිදා බේරුවලදී කීවේ යෝජනාවට තමන් ඡන්දය නොදෙන බවකි. පසුවදා ගාල්ලේදී කීවේ ආණ්ඩුවටම එරෙහිව දෙන ඡන්දයක් ලෙස තම ඡන්දය පාවිච්චි කරන බවකි.
මහින්ද රාජපක්ෂ මහතාගේ මෙම දෙගිඩියාවට හේතුව තම පවුලට තිබෙන චෝදනාවලින් ගොඩයන්නට යම් ඩීල් එකක් සඳහා සූදානම යැයි කෙනෙකුට සිතිය හැකිය. අනෙක් අතට මෙරට බොහෝ දේශපාලනඥයන් ව්‍යාපාරිකයන්ගෙන් උදව් උපකාර ලබාගන්නා බවත් එය මේ රටේ දේශපාලන සංස්කෘතිය බවත් රාජපක්ෂ මහතා දැන සිටීමද විය හැකිය.
කලකට ඉහත තිබූ ක්‍රමය නම් මුදලාලිලා පක්ෂ දෙකට බෙදී සිටීමයි. තම පක්ෂයේ ආණ්ඩුව ගෙනෙන්නට මෙන්ම එම දේශපාලනඥයන් නඩත්තු කරන්නටද එම මුදලාලිලා සැදී පැහැදී සිටියහ. ඒ එම පක්ෂය බලයට පැමිණිවිට තම ව්‍යාපාරවලට දේශපාලන බලයෙන් වාසි අත්කර ගැනීමටය. ඒ කලකට ඉහත පැවැති තත්ත්වයයි. පසු කලෙක සිදු වුණේ ඇතැම් ව්‍යාපාරිකයන් ප්‍රධාන පක්ෂ දෙකේම දේශපාලනඥයන් තම ග්‍රහණයට ගැනීමයි. නඩත්තු කිරීමයි. ඔවුන්ගේ භාෂාවෙන් එයට කියන්නේ ‘බලාගන්නවා’ යනුවෙනි. එම සංස්කෘතිය හොඳට හුරු මහින්ද රාජපක්ෂ මහතා හිතන්නට ඇත්තේ ‘ඇලෝසියස්’ රවී ව බලාගත්තට කමක් නැත කියාය. එමෙන්ම ‘රවී ව බලාගන්නා ගමන් ඇලෝසියස් විපක්ෂයේ ප්රබලයින්ද බලාගත් බවද රාජපක්ෂ මහතා දැන සිටියා විය හැකිය.
සීයට දහ ෙය් මහත්වරු
කෙසේ වෙතත් අතීතයේ පැවැති මෙම බලාගැනීම් වංචා දූෂණ තත්ත්වයට පත්වූවාද යන්න එතරම් පැහැදිලි නැත. මෑත කාලයේ නම් මේ කටයුතු බොහොමයක් සිදුවන්නේ අල්ලස් හෝ දූෂණ වශයෙන් බව පෙනෙන්නට තිබේ. එම නිසාම එය තිත තැබිය යුතු දේශපාලන සංස්කෘතියකි. නවතා දැමිය යුත්තකි.
පසුගිය කාලය වනවිට දේශපාලකයන් හා ව්‍යාපාරිකයන් අතර ‘බලාගැනීමේ’ සම්ප්රදාය වෙනුවට ඍජු මුදල් ගනුදෙනු තත්ත්වයද වර්ධනය විය. එවිට කෙලින්ම ගාණ කතා කරන්නේ වැඩේ හැටියටය. අර වැඩේ කරන්නට මෙච්චරයි යනුවෙනි. එයට පක්ෂ සම්බන්ධතාද නැත. පසුගිය කාලයේ මිස්ටර් ටෙන් පසන්ට්ලා බිහිවී සිටියේ එහෙමය. ටෙන් පසන්ට් පසුව ෆිෆ්ටීන් පසන්ට් බවට පත් වූ බවද කියති.
ජනවාරි අට දේශපාලන පරිවර්තනය කළේ මේ රටේ තවත් ටෙන් පසන්ට්ලා, ෆිෆ්ටීන් පර්සන්ට්ලා බිහි කරන්නට නොවේ. එවැන්නන් ඇතිවීම වළක්වන්නටය. ඒ සඳහා මේ වනවිට බොහෝ දේ සිදුවෙමින් පවතියි. දූෂණ හෙළි කරන්නට මාධ්‍යවේදින්ටත් මාධ්‍යයටත් නිදහස ලැබී තිබේ. ඔවුන් සොයා සුදු වෑන් පැමිණෙන්නේ නැත. පොලිසිවලට දේශපාලනඥයන් කඩා වදින්නේ නැත. නීතිපතිලාට තර්ජන ගර්ජන නැත. විනිසුරුවන්ට දුරකතන පණිවිඩ ලැබෙන්නේ නැත. මේවා සුළු පටු කාරණා ලෙස සලකන්නට බැරිය.
තොරතුරු – දැනගැනීමේ අයිතිය තහවුරුකොට ඒ සඳහා පනත් හඳුන්වා දී තිබෙන්නේ දූෂණ නවත්තන්නටය. දැන් දැන් මහජනයා එම අයිතිය භාවිත කරන්නට පටන්ගෙන තිබේ. එය තවදුරටත් වර්ධනය වූ විට දූෂණ සඳහා තිබෙන ඉඩකඩ අවම වනු ඇත.
දූෂණ සොයන්නට නීතිය ක්‍රියාත්මක වීමේ අනෙක් ප්‍රධාන කාරණයයි. මහ බැංකු බැඳුම්කර ප්රශ්නය ගැන කෝප් පරීක්ෂණයෙන් සියලු තොරතුරු හෙළි නොවන විට පරීක්ෂණ කොමිසම් පත්කරන්නේ ඒකටය. බලගතු ඇමැතිවරුන් කැඳවා ප්‍රශ්න කරන්නට නීතිපතිට ඉඩ දී තිබෙන්නේ මෙතෙක් නොතිබූ තත්ත්වයක් පෙන්නුම් කරමිනි.
මේ සියල්ල මෙසේ සිදුවෙමින් පවතින්නේ අඩුපාඩුකම් නොමැතිව නොවේ. එසේ වුවද යහපාලනය ගොඩනැඟූ ජනතාව තවමත් අවදියෙන් සිටින්නේ එම අඩුපාඩු හදා ගන්නටය. මෙහිදී විපක්ෂයට බොරුවට දඟලන්නට දෙයක් නැත. තමන්ගේ අසූචි කඳුවල ගඳ වහන්නට තවත් අයකුගේ වාතයක් ගැන ඝෝෂා කිරීම විපක්ෂයේ දේශපාලනය වී තිබේ. මේ දේශපාලනයෙන් මෙරට ජනයා නොමග යැවීම කළ නොහැක්කකි. බල්ලන් බිරුවාට හඳ කඩා වැටෙන්නේ නැත. යහපාලන ක්‍රියාවලිය දිගටම ඉදිරියට යනු නියතය.
සී.ජේ.අමරතුංග
දිනමිණ

