| |

බදු පැනවීමේ අරමුණ සමාජ සුබසාධනයයි – මහාචාර්ය සමිත හෙට්ටිගේ – ක්වාලාලම්පූර් විශ්වවිද්‍යාලය

බදු සම්බන්ධ කතා බහ අලුත් දෙයක් නොවේ. එයට දිගු ඉතිහාසයක් තිබේ. එදා රජ දවස පටන් විවිධාකාර බදු පැනවූ බව ඉතිහාසයෙන් ද පෙන්වා දෙයි. එහෙත්, මේ දිනවල රාජ්‍ය බදු පිළිබඳ සමාජයේ විවිධ කතා බහ පැතිරේ. ඉහළ ආදායම් ලබන විද්වතුන් සඳහා පනවන ලද බදු ක්‍රමය සහ ඒ බදු මත පනවා තිබූ සමහර කොන්දේසි ලිහිල් කිරීම, කාලීන සමාජ හා ආර්ථික වාතාවරණය ඇතුළු කරුණු කාරණා රැසක් පිළිබඳ ක්වාලාලම්පූර් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සමිත හෙට්ටිගේ මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

ඉහළ වැටුප් ලබන වෘත්තිකයන් වෙත පනවා තිබෙන නව බදුවල යම් යම් කරුණු සංශෝධනය කිරීමට රජය අලුත් තීරණයක් ගෙන තිබෙනවා. මේ තීන්දුව ගැන ඔබේ අදහස පැහැදිලි කළ හැකිද?

බදු පැනවීම කියන්නේ ලෝකයේ සෑම රටකම සමාජ සුබසාධනය සහ සෙසු කාර්යයන් සඳහා එකතු කරන මුදල්වලින් තමයි සිදු කරන්නේ. ඒ දේ අපේ රටේ කියලත් වෙනස් වෙන්නේ නැහැ. බදු පැනවීම කියන්නේ නරක දෙයක් හෝ කලබල විය යුතු දෙයක් නොවෙයි. බදු මුදල් එකුතු කිරීමෙන් තමයි රටේ බොහෝ සුබසාධන කටයුතු සිදු කරන්නේ. ඒ නිසා කාටවත් බැහැ බදු අය කරන්න එපා කියලා විරෝධය පළ කරන්න. එ්ක නොවෙයි සිදු විය යුත්තේ.

අද රට පත්ව තිබෙන්නේ විශාල ආර්ථික අර්බුදයකයි. එහෙත්, අපි මේ අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ යා යුතුමයි. රජය මේ තත්ත්වය ගැන විශේෂයෙන් අවධානය යොමු කර කටයුතු කරන බවක් දකින්න පුළුවන්. ඒත්, මේ වගේ මහා අර්බුදයකදී සියලු දෙනාට එක විදිහට සතුටු වෙන්න පුළුවන් තීන්දු ගන්න බැහැ. සමස්තයක් විදිහට සලකා බලා මේ අර්බුදය ජය ගැනීමට හැකි වැඩපිළිවෙළක් පිළිබඳයි අවධානය යොමු කර තිබෙන්නේ. බදු ප්‍රතිපත්තිය තුළ “මල නොතලා රොන් ගැනීම” කියලා අදහසක් තිබෙනවා. අද අපි රටක් විදිහට කටයුතු කළ යුත්තෙත් එයාකාරයටයි. අද අපේ රටට තිබෙන ලොකුම අර්බුදය තියෙන්නේ, වෙනත් විදිහකට කියනවා නම්, ආර්ථික ගිනි කන්දක් උඩයි අපේ රට තියෙන්නේ. එතැනදී රජයකට එක් පැත්තක් ගැන සලකා බලා වැඩ කරන්න බැහැ. සෑම අංශයක් දෙසම සලකා බලා තමයි රජයකට වැඩ කරන්න සිදු වෙන්නේ. එතැනදී එක පැත්තක් ගැන සලකා බලා වැඩ කරන්න බැහැ. සාමාන්‍ය සේවකයන්, කම්කරුවන් සහ කෘෂිකාර්මාන්තයෙන් යැපෙන පිරිස් සුළු ව්‍යාපාරිකයන් මේ ආර්ථික අර්බුදය නිසා ලොකු පීඩනයකයි ඉන්නේ. ඒ නිසා තව දුරටත් ඒ පිරිස් පීඩාවට පත් කරන්න බැහැ කියන ස්ථාවරයේයි සිටින්නේ. එහෙත් සමාජයේ සිටින වෘත්තිකයන් ඔවුන්ට වඩා ඉහළ තැනකයි සිටින්නේ. ඒ වගේම ඔවුන් ඉහළ ආදායමක් ලබනවා. ඒ නිසයි ඔවුන්ට බදු පැනවීමක් කළේ. ඒ බදු ප්‍රමාණය අය කරනු ලබන්නෙ ඉහළ වැටුප් ලබන පිරිසකගෙනුයි. ඒක සමහරුන්ට අසාධාරණ දෙයක් විදිහට දැනෙන්නත් පුළුවන්. හිතෙන්නත් පුළුවන්. ඒත්, මේ කාලයේදී කළ යුතු එකම දේ මෙය පමණයි.

ඒත්, මේ මොහොතේදී සමහර වෘත්තිකයන් වෙත සාධාරණ දුක් ගැනවිලි අපහසුතා තියෙන්න පුළුවන් ඒ ගැන ආණ්ඩුව නැවත සලකා බැලීමක් විදිහට තමයි පැන වූ බදු මත නැවත සහන කිහිපයක් ලබා දී තිබෙන්නේ. ආණ්ඩුව වෘත්තිකයන්ගේ පාර්ශ්වයෙන් ලැබුණු සාධාරණ දුක් ගැනවිලි ගැන අද තත්ත්වය තුළ උපරිම සාධරණ සහ නම්‍යශීලි විදිහට කටයුතු කර තිබෙන බවක් පෙනෙනවා. උපරිම ආකාරයේ නම්‍යශීලී පිළිවෙතකයි රජය කටයුතු කරන ආකාරයක් පෙනෙන්නේ. වැටුපට අමතරව ලබන දීමනා පිළිබඳ පනවා තිබූ බදු යම් සහනයක් යටතෙයි ලබා දීමට කටයුතු කර තිබෙන්නේ.

අද ආණ්ඩුවට සුබසාධන කටයුතු, දිළිඳු සහ වැඩිහිටි දීමනා, අධ්‍යාපනය, සෞඛ්‍ය වගේ අංශ වෙත මුදල් යොදවනු ලබන්නේ එකතු කරන බදු මුදල් මඟිනුයි. මේ අවස්ථාවේදී ප්‍රායෝගිකව රට තිබෙන අවුල අනුව බහුතරයක් වූ අඩු ආදායම් ලාභීන් රැක ගන්න ඕනෑ. ඔවුන් රැක ගැනීම ආණ්ඩුවට තනිව කරන්න බැහැ. ඒ නිසයි මෙවැනි බදු ක්‍රමයක් ඇති කර තිබෙන්නේ. රටේ මේ තත්ත්වය අනාගතයේදී කෙමෙන්, කෙමෙන් සමනය වීමත් සමඟ පනවා තිබෙන බදු පිළිවෙත්වලත් සහනයක් ලබා දීමට ආණ්ඩුවට හැකියාව තිබෙනවා.

ආණ්ඩුව විසින් වෘත්තිකයන් වෙත පැන වූ බදු ක්‍රමය පිළිබඳ සහන කිහිපයක් ලබා දෙමින් නම්‍යශීලී පිළිවෙතක් අනුගමනය කළත්, වෘත්තිකයන් නියෝජනය කරන කණ්ඩායම් ඒ තීන්දුව පිළිබඳ ධනාත්මක ප්‍රතිචාරයක් පළ කරන්නේ නැහැ. ඒ ගැන ඔබේ අදහස කුමක්ද ?

මේ පිරිස්, මේ තත්ත්වය තේරුම් නොගෙන මස් රාත්තලම ඉල්ලන පිළිවෙතක් අනුගමනය කරන බවකුයි පෙනෙන්නේ. මම කලිනුත් සඳහන් කළා වගේ මේ විදිහේ දේවල් ගැන ආණ්ඩුවකට එක පැත්තකට වාසියක් වෙන්න වැඩ කරන්න බැහැ වෘත්තිකයන් සාමාන්‍ය ජනතාවට වඩා යහපත් ජීවිත තත්ත්වයක සිටින්නේ එනිසයි. මේ අවස්ථාවේ ඔවුන් වෙත බදු පැනවීමක් කළේ ඒත් රජය ඔවුන්ටද යම් සහනයක් නැවත ලබා දීමට කටයුතු කර තිබෙනවා. එනිසා බදු පිළිවෙත තුළ රජය හැකි උපරිම මධ්‍යස්ථ ප්‍රතිපත්තියකයි සිටින්නේ. මේ අවස්ථාවේ ඉන් එහා ගිය සහනශීලි පිළිවෙතකට රජයට යොමු වීමට හැකියාවක් නැහැ. කිසිම විටෙක ආණ්ඩුවක් තමන්ට සහනයක් දෙන්න පුළුවන් කමක් තියෙනවා නම් නොදී ඉන්නේ නැහැ. ඒත්, අද රට පත්ව තිබෙන තත්ත්වය තුළ රජයට කෙටි කාලීන ජනප්‍රිය තීරණ ගන්න බැහැ. අද වන විට රට මෙතරම් පහළට වැටෙන්න හේතුව බවට පත්ව තිබෙන්නේත් පසුගිය කාලයේදී පැවැති ආණ්ඩු දුර දිග නොබලා ජනප්‍රිය තීන්දු ගැනිමයි. එහෙත් අද ජනාධිපතිවරයා සෘජුවම කියා සිටිනවා තමන් ජනප්‍රියවාදී තීරණ නොගෙන රට නැවත ගොඩ නඟන තීන්දු තීරණ ගන්නා බව. සමහරු අද ගන්නා මේ තීන්දු දැඩි විදිහට විවේචනය කරනවා. ඒත්, තව අවුරුදු විස්සකින්, විසි පහකින් ඔවුන් අද ගත් තීන්දු තීරණ නිවැරැදියි කියලා ප්‍රකාශ කරාවි.

ඔබ ගැටුම් කළමනාකරණය පිළිබඳ අදහස් දක්වන්නෙක්. ඒ වගේම ඒ පිළිබඳ විශේෂ දැනුමක් තිබෙන වෘත්තිකයක්. දැන් මෙරටේ ආර්ථිකය කෙමෙන් ස්ථාවර වෙමින් තිබෙන මොහොතක රට තුළ අස්ථාවර භාවයක් ඇති කිරීමට උත්සාහයක් තිබෙන බව සමහරු කියනවා. මේ ගැන ඔබේ අදහස පැහැදිලි කළ හැකිද?

රට යම් ස්ථාවර මට්ටමකට එද්දී ගැටුම් ඇති කර අස්ථාවර භාවයක් ඇති කිරීමට සමහර පාර්ශ්ව කටයුතු කරන්න ඉඩ තිබෙනවා. අපට ඒ කණ්ඩායම කවුද කියල නිශ්චිතවම නම් කරන්න බැහැ. ඒත්, එවැනි දේවල් පසුපස ඉන්න අයගේ අරමුණ වෙනව ඇත්තේ රට අස්ථාවර කර තම අරමුණු ජයගැනීම විය හැකියි. රට ස්ථාවර නොවී දිගින් දිගටම ගැටලු සහගත තත්ත්වය ඇදගෙන යාම මඟින් ඒ අය අපේක්ෂා කරන්නේ කුමක්ද කියන එක අපට පැහැදිලි වෙනවා.

බදු මුදල් අය කරනු ලැබුව ද ඒවා නිසි ලෙස අවශ්‍ය කටයුතුවලට යොදා නොගන්නා බවට ඇතැම් පාර්ශ්ව චෝදනා එල්ල කරනවා. මේ ගැන ඔබට කුමක් පැවසිය හැකිද?

ඔව්. මේ ගැන අවධානය යොමු කිරීම ගොඩක් වැදගත් දෙයක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. ඇත්තෙන්ම, බදු ගෙවීම වගේම බදු මුදල් නිසි විදිහට වියදම් වෙනවාද?, ඒවා නිසි විදිහට භාවිතයට ගන්නවාද? යන්න සලකා බැලිය යුතුයි. විද්වත් වෘත්තිකයන්ට වුවද බදු ගෙවීම ගැන ලොකු සදාචාරාත්මක වගකීමක් තියෙනවා. ඒ අය අද ඉහළ සමාජ තත්ත්වයන් තුළ සිටිනවා විය හැකියි. එහෙත් ඒ අය මේ තැනට ආවේ නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය වැනි සුබසාධන කටයුතු නිසයි. එනිසා අද මේ කියන විද්වතුන් රට නැවත ගොඩනැඟීම සඳහා දායකත්වය ලබා දිය යුතුයි. බදු ගෙවීම තුළින් සිදු වෙන්නේත් නැවත තමන් නිර්මාණය වීමට ඉඩ ලබා දුන් නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යට අවශ්‍ය කරන සහාය ලබා දීමයි. ඒ වගේම බදු මුදල් ගෙවීම වගේම ඒවා වියදම් වෙන්නේ කුමක් සඳහාද කියන දේද සොයා බලන්න ඕනෑ.

පසුගිය කාලය පුරාම විද්වතුන් රැසක් විදෙස් ගත වුණා. මේ තත්ත්වය රටේ අනාගතයට සිදු කරන්නේ මොනවාගේ බලපෑමක්ද ?

එක් විද්වතෙකු වුණත් මෙරටින් පිටවෙනවා නම් රට අතැර යනවා නම් ඒක හොඳ දෙයක් විදිහට පෙන්වා දෙන්න බැහැ. අපි විශ්වාස කරන විදිහට රටේ සෑම පුරවැසියකුම රටට අවශ්‍ය කරන අය. විද්වතුන් රට හැරයාම මඟින් රට සම්පූර්ණයෙන් අකර්මණ්‍ය වීමක් සිදු වෙන්නේ නැහැ.රට හැර යාමට තීරණය කළ කෙනා කුමන හේතුවක් පෙන්වා හෝ රට අතැර යනවා. රට හැර යාම රටින් පිට රැකියා අවස්ථා සඳහා යාම අද පමණක් නොවෙයි එදත් තිබුණා. ඒ නිසා මේක විශේෂ දෙයක් විදිහට සලකා කතා කරන්න තරම් වැදගත් දෙයක් කියලා මම හිතන්නේ නැහැ. ඇත්තෙන්ම මේ හැරයාම් ගැන වැඩියෙන් කතා කරන්නෙ ප්‍රශ්නය විසඳීම ගැන බලාපොරොත්තු වන අය නෙමෙයි. ප්‍රශ්න වැඩි කිරීමට කටයුතු කරන හිතන අය. මේ වෙලාවේ රට හැර නොගොස් රටට සේවය කිරීම වෙනුවෙන් කැප වෙන කණ්ඩායමකුත් ඉන්නවා. මම කියන්නේ නැහැ විදේශයන් වෙත ගිහින් තමන්ගේ වෘත්තීය කටයුතු කරන්න එපා කියලා. ඒ අයට පුළුවන් යම් කාලයකට විදෙස් ගතව තමන් හම්බ කරන මුදල් මෙරටට එවීමට. එමඟින් ඒ අයට වගේම රටටත් සේවයක් කරන්න පුළුවන්.

ඒත්, විදෙස් ගතවන වෘත්තිකයන් සඳහන් කරන්නේ ආණ්ඩුව අය කරනු ලබන බදු නිසා තමන් රට හැර යන බවයි. ඒ අදහසේ බැලූ බැල්මට සාධාරණත්වයක් තිබෙන බවයි පෙනෙන්නේ ?

ඕනෑ කෙනෙකුට තමන් ගන්නා ක්‍රියා මාර්ගය සාධාරණීකරණය කිරීමට විවිධ හේතු දක්වන්න පුළුවන්. ඒත්, ඇත්ත දෙය එයම නොවන්නම පුළුවන්. බදු පැනවීම නොකළ යුතු බවට කියන අය ඉන්න පුළුවන්. ඒත්, සාධාරණ විදිහට කල්පනා කරන අය විදිහට අප නම් කල්පනා කරන්නේ යම් බදු ප්‍රමාණයක් පැනවීම නුසුදුසු දෙයක් නොවෙයි. රජයද ඉල්ලීම සළකා බලා නම්‍යශීලීව සමහර සහන ලබා දී තිබෙනවා. ඒ නිසා රට හැර යාම සහ බදු පැනවීම අතර සෘජු සම්බන්ධයක් ඇතැයි මට නම් පෙනෙන්නට නැහැ.

පනවන ලද බදු නිසි විදිහට යෙදවීමක් නොවන බවට ඇතැම් පාර්ශ්ව සඳහන් කරනවා. ආණ්ඩුව අය කරනු ලබන බදු මුදල් නිසි විදිහට නොයෙදවීම කියන චෝදනාවට ඔබේ අදහස කුමක්ද?

ඔව්. ඒ අදහස වැදගත්. බදු මුදල් යොදා කරන දේවල් මොනවාද කියල අපට දැන ගැනීමට හැකියාව තිබෙන්න ඕනෑ, ඒ දැන ගැනීමට අපට අයිතියක් තිබෙනවා වගේම, ඒ මුදල් යොදවන්නේ මොනවාටද කියල පෙන්වා දීමට රජය ද කටයුතු කළ යුතුයි. එහෙම වුණොත් අය කරනු ලබන බදු පිළිබඳ ඇති වන දුර්මත නැති කිරීමට හැකියාව ලැබේවි.

මහාචාර්ය සමිත හෙට්ටිගේ

ක්වාලාලම්පූර් විශ්වවිද්‍යාලය

 

උදිත ගුණවර්ධන

දිනමිණ 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *