“විදුලියේ කතාව” ; අනුන්ගේ දරුවෙක් රැගෙන අවදානම් වැල් පාලමෙන් එගොඩ වූ  ඇමැති කංචන – සී ජේ අමරතුංග

 

අගමැති ධුරය භාරගත් රනිල් වික්‍රමසිංහ මහතා කීවේ තමන් හුණුවටයේ ගෘෂා  මෙන් අනුන්ගේ දරුවෙකු රැගෙන අනතුරුදායක වැල් පාලමෙන් එගොඩ වීමේ අවදානම් කාර්යය භාරගත් බව යි.

පසුගිය දා අපට දකින්නට ලැබුණේ අනුන්ගේ දරුවකු රැගෙන අනතුරුදායක වැල් පාලමෙන් එගොඩ වන විදුලිබල ඇමති කංචන විජේසේකර මහතා ය. ඔහු රැගෙන ගියේ ඊට පෙර විදුලිබල ඇමතිවරුන් විසින් සකසා ඔහු ඇමති ධුරය භාර ගන්නටත් පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තිබු විදුලිබල සංශෝධන පනත යි. මුළු රටම ප්‍රාණ ඇපයට ගන්නට සුදානමින් සිටි වෘත්තීය සමිතිවල විරෝධය නොතකා කංචන ඇමතිවරයා වැල් පාලමෙන් එගොඩ ගියේ විදුලිබල පනත විශාල වැඩි ඡන්දයකින් පාර්ලිමේන්තුවේ සම්මත කර ගනිමිනි. රටේ ප්‍රදේශ රාශියකට විදුලිය විසන්දි කළ වෘත්තීය සමිති මාෆියාවට දන ගසන්නට සිදු වුයේ කංචන ඇමතිවරයාගේ නොසැලෙන අධිෂ්ඨෘනය ඉදිරියේ ය. එමෙන් ම මහජන විරෝධය ඉදිරියේ ය.

පනත කල් දමන්නට, සංශෝධනය කරන්නට, නැවත සාකච්ඡා කරන්නට ආ ඉල්ලීම්වලට ඇමතිවරයා නැමුණේ නැත. එසේ නැමෙන්නට ගියහොත් මෙය නොකෙරෙන වෙදකමක් වන බව ඇමැතිවරයා දැන සිටියේ ය. එමෙන් ම මෙය කරන්නට බැරි නම් ඉදිරියේ කරන්නට තිබෙන ප්‍රතිසංස්කරණ කිසිවක් කරන්නට ද බැරිවෙයි. එබැවින් ඇමතිතුමා මේ ජයගත්තේ අත්‍යවශ්‍ය ප්‍රථම සටනකි.

එමෙන් ම, තමන් සර්ව බලධාරී ලෙස සිතා සිටි වෘත්තීය සමිතිවලට ද මෙය හොඳ පාඩමකි. ඒ ගැන වැඩි කතා මේ මොහොතේ අවශ්‍ය නැත.

මතුපිටින් බැලු විට මෙයින් විශාල දෙයක් සිදු වූ බවක් පෙනෙන්නට නැත. සිදුවුයේ කලින් පැවති පනතේ දෝෂයක් උපයෝගී කොටගෙන විදුලිබල මණ්ඩලය ක්‍රියාත්මක නොකර සිටි විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතු තත්ත්වයට පත්වීම යි. එය රටට යහපතකි. වාසියකි. එපමණකට එය වැදගත් වෙයි.

පනත සම්මත වීමේ දේශපාලන වැදගත්කම ඊට වඩා වැඩි ය. ඒ මෙය රටේ දේශපාලන ස්ථාවර බව සහතික කළ අවස්ථාවක් වීම නිසා ය.

අපට දැන් තිබෙන්නේ කණ්ඩායම් ගණනකට බෙදුණු පාර්ලිමේන්තුවකි. එහි කිසිදු තනි කණ්ඩායමකට බහුතරයක් නැත. එය පැහැදිලි යථාර්ථය යි.

එමෙන් ම අපට දැන් සිටින්නේ පාර්ලිමේන්තුවේ එක් ආසනයක් පමණක් හිමි අගමැතිවරයෙකි. ඔහු පත් වී මාසයක් වත් ගෙවී  නැත.

ඒ අතර පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩයාමට අපට දේශපාලන ස්ථාවර බවක් අවශ්‍ය ය. ජාත්‍යන්තර ප්‍රජාව ද බලා සිටින්නේ ඒ පිළිබඳව තක්සේරුවක් ගැනීමට ය. ඒ සඳහා ද මෙය අවස්ථාවක් වී තිබිණි.

පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ වැදගත් සිදුවීම් දෙකක් වී ය. එකක් නම් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ පරිපුරක ඇස්තමේන්තුව ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවෙන් සම්මත වීම යි. එය ද ආණ්ඩුවේ ස්ථාවර බව පෙන්නුම් කළ අවස්ථාවකි.

කෙසේ වෙතත්, වත්මන් ආණ්ඩුව පිහිටුවීමෙන් පසු පාර්ලිමේන්තුවේ බෙදීමක් ඇති වී ඡන්දයකට ගිය  ප්‍රථම අවස්ථාව විදුලිබල සංශෝධන පනත යි. එය සිදුවන්නේ රට ම අඳුරේ තබන්නට ප්‍රබල වෘත්තීය සමිති ගණනාවක් ක්‍රියා කරමින් සිටිය දී ය. විරෝධයක් සහ තර්ජනයක් මැද්දේ ය.

පාර්ලිමේන්තුවේ මෙම ඡන්දය ආණ්ඩුව ජයගන්නේ 120 ට 36 ක් වැනි විශාල වැඩි ඡන්ද ප්‍රමාණයකිනි. එය විශාල වැදගත් කමක් ඇති සිදුවීමකි. බොහෝ දෙනාට එකවර තේරුම් නොගිය ද මෙය වත්මන් ආණ්ඩුව තම බලය තහවුරු කරගත් පළමු අවස්ථාව ලෙස සැලකිය හැකිය.

එමෙන් ම, සැලකිල්ලට ගත යුතු තවත් වැදගත් කරුණක් නම් පාර්ලිමේන්තුව තුළ ද බරපතළ වෙනසක් මේ අවස්ථාවේ පෙනෙන්නට තිබීම යි. මීට පෙර නොයෙක් අවස්ථාවල පෙනෙන්නට තිබු වචන හරඹ සහ බැන ගැනීම් වෙනුවට වැදගත් ප්‍රශ්න ඇසීමක් මෙන් ම ප්‍රශ්නවලට වැදගත් ලෙස පිළිතුරු සැපයීමක් ද මෙම විවාදය තුළ දක්නට ලැබිණි. එය කැපී පෙනෙන වර්ධනයකි.

විදුලිබල පනත සම්මත වීමේ අනෙක් වැදගත් ප්‍රතිඵලයක් වන්නේ රාජ්‍ය අංශයේ අවශ්‍ය ප්‍රතිසංස්කරණවලට එරෙහි මතවාද සහ ව්‍යාපාර පරාජය කිරීමේ අවස්ථාව ශක්තිමත් වීම යි. මෙම රාජ්‍ය ආයතනවල අකාර්යක්ෂමතාවය, දුෂණය, ආදී ප්‍රශ්න ගැන දිගු කාලයක් තිස්සේ කතාකර ඇතත් ඒවා ප්‍රතිසංස්කරණය කිරීමට දරු උත්සාහයන් අල්ප ය. එමෙන් ම, පටන්ගත් උත්සාහයන් ද වෘත්තීය සමිති සහ වෙනත් ව්‍යාපාරවල විරෝධතා හේතුවෙන් අතරමග අත්හැර දමනු ලබී ය. අද අපට මුහුණ දීමට සිදුව ඇත්තේ ඒ සියල්ලෙහි ප්‍රතිඵල ලෙස ඇතිවී තිබෙන අර්බුදයකට ය.

දැන් අප සිටින්නේ එම ප්‍රතිසංස්කරණ තව දුරටත් කල් දැමිය නොහැකි තත්ත්වයක ය. විදුලි බල පනත සම්මත කිරීම ද එම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ මුල් පියවරකි. ඇතැම් වෘත්තය සමිති මෙයට එරෙහිව අවි අමෝර ගත්තේ ඔවුන් ද මෙම කරුණ හොඳින් ම තේරුම් ගෙන ඇති නිසා ම ය..

හුණුවටයේ ගෘශාට තිබුණේ එක ම අරමුණකි. එකම කාර්යයකි . එනම් දරුවා එගොඩ කර ආරක්ෂාව සපයා ගැනීමයි.

කාංචන විජේසේකර ඇමතිවරයාට සහ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට  ඊට වඩා බොහෝ බරපතළ වැඩ ඉදිරියට තිබේ. විදුලි බල පනත ඉතා සුළු පළමු කාර්යයකි. වඩාත් අනතුරුදායක වැල් පාලම් රාශියක් ඉදරියට තිබේ. ඒවා තරණය කිසිසේත් පහසු නැත.

සී ජේ අමරතුංග

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *