එයාර් ලංකා සමාගමට කළයුත්තේ කුමක් ද?- මහාචාර්ය රොහාන් සමරජීව

මෙහි සරළ ම කතාන්තරය වන්නේ අපි ආණ්ඩුවක් ලෙස ප්‍රතිපත්ති සකස් කරන විට අපේ අරමුණ කුමක් ද යන්න තේරුම්ගත ගැණිම ය. මෙහි දි අප ගේ අරමුණ වෙන්නේ රටක ගුවන් සේවාව පිළිබඳව ය. උදාහරණයක් ලෙස කිසියම් රටකට පැමිණි පසු දවසකින් දෙකකින් නැවත ආපසු යන්නට රටක ගුවන් සේවයක් නැති නම් අපිට ඒ රටේ සතියක් දෙකක් නැවතී සිටින්නට සිදු වේ. වෙනත් ආකාරයට කියනවා නම් ගුවන් යානය අවිනිශ්චිත ය. ශාන්තිකර සාගරයේ එහෙම රටවල් තිබේ. ඒ වගේ රටවලට ජාත්‍යාන්තර ආර්ථිකයට සම්බන්ධ වෙන්නට අපහසු ය. ඒ නිසා ගුණාත්මක, නැතිනම් නියමිත දිනට හා වෙලාවට යන, ලෝකයේ වැදගත් නගරවලට මග නතර නොවී සෘජු ලෙස සම්බන්ධ වී ඇති, සාධාරණ මිලකට යන්නට ගුවන් සේවාවක් පැවතීම ව්‍යාපාර පැත්තෙන් අවශ්‍ය ය.
මේ රටේ ජනතාවගෙන් මිලියනයකට අධික සංඛ්‍යාවක් වෙනත් රටවල සේවය කරති. හදිසියකට ඒ අයටත් යන්නට සහ එන්නට පහසු සාධාරණ මිලට, හොඳ ගුවන් සේවාවක් තිබිය යුතු වේ. ඊ ළගට අපිට සංචාරක ව්‍යාපාරය දෙස බැලිය හැක. සංචාරක කර්මාන්තය ගත් කළ රැකියා උත්පාදනය හා ආදායම ඉපැයීම අතින් ලංකාවට වැදගත් ය. ඒ නිසා සංචාරකයෝ පැමිණෙන කලාපවල සිට ගුවන් සේවා ද තිබිය යුතු වේ. බොහෝ දෙනෙක් නොදන්නා පැත්තකුත් මෙහි තිබේ. ඒ තමයි ගුවන් භාණ්ඩ ප්‍රවාහණ සේවය. ඒක ඉතා අමුතු ක්‍රියාවකි. ගුවන් භාණ්ඩ ගැන කථා කිරිමේ දී ප්‍රවාහණය කරන්නේ අඩු ධාරිතාවයක් සහිත වටිනාකමින් වැඩි භාණ්ඩ ය. උදාහරණයකට බෙහෙත් වැනි දේ, නරක්වෙන දේවල්, හදිසි අවශ්‍යතාවයකට උවමනා වෙන අමතර කොටස් ගෙන්වා ගැණිම වැනි දේ එයට අයත් ය. ඇගලුම් කර්මාන්තයේ දී ඒම භාණ්ඩ නිශ්චිත දිනවලදී භාර දිය යුතු වේ. ඒක ඒ ආකාරයට ඉටු නොකළේ නම් යම් දඬුවමක් විදින්නට ඒ කර්මාන්තකරුවන්ට සිදු වේ. ඇනවුම භාර නොගැනීම, ගෙවීම් නොකිරීම වැනි බොහෝ ප්‍රශ්න එතන ඇත. උදාහරණයක් ලෙස සුවිශේෂ රෙදි වර්ග අවසන් වී නැවත ගෙන්වා ගැනීමට සිදුවීම වැනි දෙයකට මුහුණ දෙන්නට සිදුවුවහොත් එය ගෙනෙන්නේ නැව් වලින් නොව ගුවන් යානා වලිනි. එවැනි අවශතාවයක් ගත්විට පොඩි ප්‍රමාණයක් ඉතා ඉක්මනට ගෙන්වා ගැනිමට සිදු වේ. ඒවා තිබෙන්නේ ද ලෝකයේ ප්‍රධාන නගර වල ය. මීට අමතරව ඉහළ වටිනාකමක් ඇති කෘෂි භාණ්ඩ පිළිබඳව කාගේත් උනන්දුවක් ඇත. උදාහරණයකට මල් ගතහැක. ඉහළ වටිනා කමක් ඇති නමුත් මල්වලට තිබෙන්නේ ඉතා කොටි ජීවන කාලය කි. එහෙයින් මල් ප්‍රවාහනය කරන්නේ ද ගුවන් යානා වල ය. ඒ අයට අවශ්‍ය වන්නේ ද මගීන් ගෙන යන ගුවන් යානාවල මේ භාණ්ඩ ප්‍රවාහනය කර ගැනීමට ය. අපිට හොඳ ගුවන් සේවයක් අවශ්‍යවන්නේ එම සේවාව ලබාගැනීමට ය.
ඊ ළග ප්‍රශ්නය වන්නේ එකි අවශ්‍යතාවයන් සපුරා ගන්නේ කෙසේ ද යන්න ය. එතන දී උත්තරය වන්නේ ආණ්ඩුව සතු ගුවන් සේවයක් වෙන්නට පුලවන. නමුත් අනිවාර්යයෙන්ම ඒක නිවැරදි උත්තරය නොවේ. එතන දී රජයේ භාණ්ඩාගාරයට බරක් නොවී මේක ලබාගන්නේ කෙසේ ද යන්න අපි කල්පනා කළයුතු වේ. පෙර කී ලෙස විවිධ ගමනාන්තයන්, පහසු ගමන, හොඳ කාල සටහනකට වැඩකරන, අඩු මිළකට, ගුණාත්මක සේවයය යනාදී දේ ගැන මෙතන දී අපිට කථා කළ හැක.
ලෝකයේ සිතියම දෙස බැලූ විට ලංකාවේ ගුවන් තොටුපල පිහිටා ඇති ස්ථානය ඉතා වැදගත් බව බොහෝ දෙනා කියති. එය ඇත්තටම පිහිටා ඇත්තේ ඉතා හොඳ තැනක ය. උතුරට තිබෙන්නේ ඉන්දියාව ය. එතන විශාල වෙලඳ පොලක් ඇති අතරම දකුණට කිසිම දෙයක් නැත. ඒක එතරම් ම හොඳ නැති නමුත් ඉන්දුනීසියාව යාන්තමින් ඒ පැත්තට බරව ඇත. ඒ අනුව ශ්‍රි ලංකාව ගුවන් ගමන් මෙන්ම නාවික කටයුතු වලට සාමාන්‍යයෙන් හොඳ තැනකි. මේ අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමට මූලික විධික්‍රම දෙකක් අපිට ඇත. එකක් තමයි අපේ ගුවන් තොටුපලවල් ඉතාමත්ම ඉහළ මට්ටමට දියුණු කිරීම. ඒ මගින් ඉතාමත්ම තරගකාරි ලෙස ගුවන් තොටුපල ගොඩනගා, අපිට ගුවන් සේවාවන් ආකර්ශණය කරගත හැක. එසේ ආකර්ශනය කළහොත් ඒ අය හේතු දෙකක් සඳහා මෙතැනට පැමිණෙති. මේ රට මිලියන් 20ක් පමණ කුඩා ජනගහනයක් සිටින කුඩා රටක් බව අපි අමතක නොකල යුතුව ඇත. මිලියන 20ක් යනු නව දිල්ලිය වටා සිටින ජන සංඛාවට සමාන ජණගහනයකි. බොම්බායේ නාගරික දුම්රිය සේවයේ දිනකට මිලියන 20ක් පමණ ගමන් කරති.
ඒ නිසා ලංකාවටම කියා මිනිසුන් මෙතෙන්නට එන්නේ ඉතා සුළු ප්‍රමාණයකි. අර ට්‍රාන්සිට් කියන සංකල්පය මෙතන දි අපිට ප්‍රයෝජනවත් ය. මේ රට කොපමණ පොඩි වූවත් වෙන තැනකින් පැමිණි මගින් සහ භාණ්ඩ තවත් තැනකට යන්නට මාරුවෙන මධ්‍යස්ථානයක් ලෙස මේ ගුවන් තොටුපල ආකාර්ශනිය කරගත හැකි වේ. එහි දි සාමාන්‍යයෙන් විශාල ගුවන් යානා පොඩි ගුවන් යානාවලට වඩා ලාබ සහගත ය. ඒ වගේම එම ගුවන් යානා ආර්ථික වශයෙන් කාර්යක්ෂම ය. හැබැයි විශාල ගුවන් යානා මගීන්ගෙන් සහ භාණ්ඩ වලින් පිරෙන්නට අවශ්‍ය ය. එසේ නොපිරෙන්නේ නම් විශාල ගුවන් යාන එන්නේ නැත. තවත් පැත්තකින් ගුවන් සේවය ගතහොත් ඒක සරල වෙලඳාමකි. ගුවන් යානයක් ඒ රටේ සිට බී රටට යන බව උදාහරණයකට ගත හැක. එම දුර ප්‍රමාණය යන්නට ඉන්ධන වියදමක් ඇත. ඒ තොටුපොල් මෙන්ම බී තොටුපොලේ ගාස්තු ද ගෙවන්නට සිදුවේ. සේවකයින්ගේ වැටුප් ගෙවිය යුතු වේ. ගුවන් යානය පිරුනාද නැත්ත යන මත මේ වියදම් වෙනස් වෙන්නේ නැත. කෑම වැනි අල්ප දෙයකට තමයි වියදම අඩු වෙනවා නම් අඩුවන්නේ. මෙතන දී වියදම 5%ක් වත් වෙනස් වෙන්නේ නැත. එහෙම කල්පනා කළහොත් ගුවන් යානා නැතිනම් මේ ඇළුමිනියම් බටයට මිලක් ගෙවා මිනිසුන් හා භාණ්ඩ පටවාගෙන ගියහොත් මුදල් ආදායමක් ලබාගත හැක.
උදාහරණයක් ලෙස අපි නාට්‍යයක් කරන විට ශාලාවක් කුලියට ගෙන මිනිසුන් පිරෙයි ද නැති ද යන්න බලාගෙන සිටිමු. සමහර වෙලාවට අපි පාඩු ලබන අතර සමහර වෙලාවට ලාභයක් ලැබේ. මේකත් ඒ වගේ වැඩකි. මේ අය ද දවස පතා මේ දුක විඳිති. එහෙම කල්පනා කළ විට මේ ගුවන් ප්‍රවාහනය අවදානම් සහිත ව්‍යාපාරයකි. විශාල ලාභ මෙන්ම විශාල පාඩු ද දරන්නට සිදුවේ. මේ ව්‍යාපාරයේ ඇති විශාලම වියදම වන්නේ ඉන්ධන වියදම ය. අපි දන්නා ආකාරයට ඉන්ධන බැරැල් එක ඩොලර් 50 යන මෙන්ම 250ට යන අවස්ථා තිබේ. එසේ ඉන්ධන 250 ගියාට පසු රෙදිත් නැතිව තමයි ගෙදර යන්නට වෙන්නේ. එතන දි මෙවැනි අවදානම් සහගත ව්‍යාපාරයකට ආණ්ඩුවක් කරගැසිම සුදුසු ද යන්න කල්පනාකර බැලිය යුතු ය. එහෙම නැති නම් අර මා කියු අරමුණු ඉටුකර ගැනීමට පෙර කී පහසුකම් සහිතව ගුවන් තොටුපලක් ගොඩනගා සාධාරණ මිලකට, තරගකාරීව, ඉතාම හොඳ සේවවක් සැපයිම සුදුසු ද යන්න සැලකිල්ලට ගතයුතු වේ. මේ සේවා සැපයීමට ඉන්ධන සැපයීම, කෑම බීම සැපයීම, සුද්ධ පවිත්‍ර කටයුතු යන සියලුම දේ ඇතුලත් ය. එහෙම කළොත් අපිට අවදානමක් දරන්නට සිදුවන්නේ නැත. මෙය සාර්ථක කරගන්නට නම් සිංගපුර්ව හා චෙන්නායි ගුවන් තොටුපලවල් සමග අපිට තරග කිරීමට සිදු වේ. ඒ නිසා අපේ සේවාවන් ඉතා හොඳ මට්ටමකට දියුණුකර ගැනීම අනිවාර්ය ය. ඒ සමගම ආකාර්ශනය වැඩි වන විට ඒ ගුවන් යානාවලට වැඩි වැඩියෙන් මගීන් සහ භාණ්ඩ ලැබෙන විට ඒ අයගේ ආදායම ද විචල්‍ය වේ. ඒ අයගේ වියදම් අඩු වී ආදායම් වැඩි වන්නේ නම් තව තව ගුවන්යානා මේ ගුවන් තොටුපලට පැමිණෙනු ඇත. ඒ වගේම අපේ රටේ මිනිසුන්ට ද මේ මගින් අඩු මිලට යහපත් ගුවන් සේවා පහසුකම් ලබාගැනීමට හැකියාව ලැබේ.
අනික් එක, යම් අයෙකුට රටකට යන්නට ගුවන් සේවා කිහිපයක් තිබේ නම්, අඩුම මිල දෙන ගුවන් යානයෙන් තමන්ට තෝරාගත හැක. ඒ වගේ ම නම්බුකාර ආකාරයට මට සේවා සපයන අයගේ ගුවන් යානයේ යන්නට ද හැකියාව ඇත. මගේ භාෂාවෙන් මට කථා කරන්නේ කවුද යන්න ද මා සැළකිල්ලට ගන්නා කරුණකි. උදාහරණයක් ලෙස අද ලෝකයේ තිබෙන සුපිරි ගුවන් සේවයක් වන එමිරේට් ගුවන් සේවයේ අපේ රටට එන ගුවන් සේවාවේ සියලු සන්නිවේදනයන් සිංහළ භාෂාවෙන් සිදු කෙරේ. කැතේ ෆැසිපික් ගුවන් සේවය කාලයක් තිස්සේ සිංහල භාෂාවෙන් අදහස් හුවමාරු කරගත්තේ ය. ඒ අය විදේශිය නමුත් යානය ගමන්කරන්නට ප්‍රථම තම ගුවන් යානයේ භාෂා මෙපමන සාඛ්‍යාවක් කථා කරන අය සිටින බව ප්‍රකාශ කරති. ඒ අනුව ඒ අය කථාකරන භාෂා ප්‍රමාණය ද දැණුම් දෙති. ඒ අනුව අපිට කැමති භාෂාවකින් ඒ අයට කථා කළ හැක. ඒකෙන් කියන්නේ ඒ අය අපේ අවශ්‍යතාවය ඉටුකරන්නට උත්සහා දරණ බව ය.
එහෙම බැලුවා ම මියගිය සිංගපූර් නායක ලී ක්වාන් යූ මහතා ජේ. ආර්. ජයවර්ධනට කීවේ මොනවා ද යන්න සිහිපත් කිරීම වටි. අපිට තිබෙන්නේ බංකොලොත් ගුවන් සමාගමක් නිසා ඒක වසා දමා අලුත් ගුවන් සමාගමක් පටන් ගන්නට උපකාර කරන්නට යැයි ජේ. ආර්. ඔහුගෙන් ඉල්ලුවේ ය. මම උදව් කරන්නම් නමුත් කරන්නට තිබෙන්නේ ඒක නොවන බව ලී ක්වාන් යූ එතන දී පැවසුවේ ය. ඔහු පැවසුවේ ඒකට අත නොගසා හොඳ ගුවන් තොටුපලක් ගොඩනැගීම අපිට වාසි දායක වන බව ය. නමුත් ඒක පිළිනොගෙන ජේ. ආර්. එයාර් ලංකා සමාගම ආරම්භ කළේ ය. ඔය එයා ලංකා සමාගමට මුල් වසර දෙක තුළ ගුරුහරුකම් ලබාදුන්නේ සිංගපූර් එයාර් සමාගම විසිනි. නමුත් ලී ක්වාන් යූ දුන්නු උපදේශය වන්නේ ඒක නොකරණ ලෙස ය. මේක තමයි අපේ ගුවන් සේවාව ගැන අද කථා කරන්නට තිබෙන සන්දර්භය. ඒ ගැන ඊ ළග කොටසින් අපි සාකච්ඡා කරමු

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *