ලෝකෙ අනෙක් රටවල් ඉස්සරහට යනකොට අපේ රට ගිහින් තියෙන්නේ ආපස්සට – ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් මාන්නම්පෙරුම

Ajith-Manaperumaඅපි ඉන්දියාව එක්ක පමණක් නෙමෙයි ලෝකෙත් එක්කම ගිවිසුම් හදාගන්න  ඕනෙ.  සිංගපූරුව, වියට්නාමය, කොරියාව වගේ රටවල් ඉස්සරහට ගිහින් තියෙනව. අපේ රට ගිහින් තියෙන්නේ ආපස්සට. අදට ගැලපෙන ආර්ථිකය මේ රජය මගින් හදන්න කටයුතු කරනව.

අපි ජනවාරි 8 වෙනිදා ලොකු විප්ලවයක් කෙරුව. කාටවත් හිතාගන්න බැරි වුනා ඉන් ප‍්‍රතිඵල ලබාගන්න පුළුවන් වෙයි කියල. රට විනාශ කරන මහින්ද රාජපක්‍ෂව ඉවත් කරන්න අපි සියලූදෙනාම අත්වැල් බැූඳගත්ත. ඒක ලේසිවුනේ නැහැ. සීගිරි පර්වතය පෙරළනව වගේ අමාරු වැඩක් කරන්න අපි සියලූදෙනාම උත්සාහ ගත්ත. නමුත් අපි නොහිතපු විදිහට ඒක පෙරළුනා. එදා මහින්ද රාජපක්‍ෂ අපේ උපක‍්‍රමය බලාපොරොත්තු වුනේ නැහැ අපේ උපක‍්‍රමය. එයා ලෑස්ති වුනේ ප‍්‍රධාන ප‍්‍රතිවාදියා වන රනිල් වික‍්‍රමසිංහ තලලා, පොඩි කරල විනාශ කරල දාන්නයි. එයා බලාපොරොත්තු නොවූ ක‍්‍රමවේදයක් තුළින් අපිට ඒක ඉෂ්ට කරගන්න පුළුවන් වුනා. දැන් අපි බලාපොරොත්තු කන්දක් තියාගෙන ඉන්නවා. ඒක ඉෂ්ට කරගන්න පුලූවන් වෙන්නෙ කවදද කියල බලාගෙන ඉන්නව.

1977 දි ජේ.ආර්. ජයවර්ධන මේ ව්‍යවස්ථාව හදලා නමවෙනි පාර්ලිමේන්තුව ක‍්‍රියාත්මක කෙරුවෙ. ජේ.ආර්. ජයවර්ධනගෙන් පස්සෙ ආව හැම ජනාධිපතිවරයෙක්ම කිව්වෙ මේ ඒකාධිපති ක‍්‍රමය නැති කරනව කියල. හැම දෙනෙක්ම බලය දෙන්න කියල ඉල්ලූවෙ ඒක කරන්න. නමුත් බලය ගත්ත කිසිම කෙනෙක් ඒකාධිපති ක‍්‍රමය නැති කෙරුවෙ නැහැ. නමුත් මහින්ද රාජපක්‍ෂ විතරක් ඒකාධිපති ක‍්‍රමය තවත් තහවුරු කරගන්න විදිහට 18 වෙනි ව්‍යවස්ථා සංසෝධනය ඇති කෙරුව. අනිත් අය බලය නැති කරන්න උත්සාහ කෙරුවෙ නැතත්, මහින්ද රාජපක්‍ෂ ජීවිත කාලයක් බලයෙ ඉන්න පුළුවන් විදිහට ව්‍යවස්ථාව වෙනස් කෙරුව. මම හිතන්නෙ එහෙම කෙරුව ලෝකෙ ඉන්න එකම රාජ්‍ය නායකයා මහින්ද රාජපක්‍ෂ වෙන්න ඇති. ඇමරිකාවෙ ජනාධිපතිවරයටත් දෙපාරක් පමණයි බලයෙන ඉන්න පුළුවන්.

රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා බලාපොරොත්තු ළ`ග නමන කෙනෙක් නෙමෙයි. බොහොම දීර්ඝ සැලසුම් ඇතුව මේ රට ස්ථිර සාර සැලසුමකට රට ගෙනියන කෙනෙක්. ජේ. ආර්. ජයවර්ධනත් එහෙම නායකයෙක්. මේ නායකයන්ගෙ වෙනස ඒකයි. ඔවුන් රට ශක්තිමත් කරන නායකයන්.  මෙතෙක් කල් ආණ්ඩු බිහිවුනේ එක එක විදිහට. හාල් සේරු දෙකක් දෙනව කිව්වම තමන්ගෙ කතිරෙ ගහල බලය දුන්නා. ඇට අටක් දෙනව කිව්වාමත් කතිරෙ ගහල, ධාන්‍ය රාත්තල් අටක් දෙයි කියල බලා සිටියා. ඊට පස්සෙ පාන් රාත්තල 3.50ට දෙනව කිව්වාම පාන් රාත්තල අඩුවට ගන්න කතිරෙ ගහල ආණ්ඩු වෙනස් කෙරුව. මොනව හරි දෙනව කිව්ව දේ ගන්න තමයි ආණ්ඩු වෙනස් කෙරුවෙ. දුන්නද කියන එක නම් ප‍්‍රශ්නයක්. වර්තමාන ආණ්ඩුව වෙනස් කෙරුවෙ මොනවත් දෙනව කියල නෙමෙයි.  යහපාලනයක් රටට හදල දෙනව කියල කිව්ව නිසා. ඒක අතට අහුවෙන්නෙ නැති දෙයක්. අද ඒ අභියෝගෙ රජය ඉදිරියේ තියෙනව. ඒ සඳහා කටයුතු කරන්නෙ කොහොමද කියන අභියෝගය අපි ඉදිරියෙ තියෙනව. අපි කිව්වෙ අලූත් රටක් හදනව, වෙනස් රටක් හදනව කියල. අලූත් රටක් හදන්න, වෙනස් රටක් හදන්න පාර්ලිමේන්තුව තුළ 2/3ක බලයක් තිබිය යතුයි. මහින්ද රාජපක්‍ෂ මහත්ය නම්, ජනතාව ඡුන්දෙ දීල පාර්ලිමේන්තු ඇරිය එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ව සල්ලි දීල, ඇමතිකම් දීල, වරප‍්‍රසාද දීල 2/3 බලය මහින්ද රාජපක්‍ෂ හදාගත්ත. මහින්දට 2/3ක බලයක් ලැබුනෙ නැහැ. 1977 පස්සෙ පාර්ලිමේන්තු 3 යි බහුතරයක් දිනා ගන්න පුළුවන් වුනේ. ජේ.ආර්. 1977 5/6ක බලයක් ලබාගත්ත. 2/3ක ඉක්ම වූ බලයක් ජේ.ආර්. ජයවර්ධනට තිබුණ. ඊට පස්සෙ පේ‍්‍රමදාස ජනාධිපතිතුමා 1/2ක බහුතරයක් දිනා ගත්ත.  ඒ ඡුන්දය තිබුනෙ ජනතා විමුක්ති පෙරමුණේ අරගලය තිබුන කාලෙ. ඡුන්දෙ දැම්මොත් අත කපනව, බෙල්ල කපනව කියපු කාලෙ. කොහෙම නමුත් බහුතර පාර්ලිමේන්තු බලයක් දිනා ගත්ත. ඊට පස්සෙ බහුතර බලයක් ලබාගන්න ලැබුනෙ නෑ. ඒ හැකියාව ආපහු ලැබුනෙ යුද්දෙ දිණුවට පස්සෙ මහින්ද රාජපක්‍ෂට විතරයි.

9 වෙනි පාර්ලිමේන්තව දක්වා එන කාලෙදි අවස්ථා 3යි මේ රටේ බහුතර බලයක් දිනා ගන්න පුලූවන් වුනේ. අවස්ථා 6ක්ම බහුතරයක් නැති පාලනයක් තමයි පාර්ලිමේන්තුව පාළනය කෙරුවෙ. වෙන වෙන පක්‍ෂ අල්ලගෙන, පුද්ගලිකව යම් යම් උපක‍්‍රමවලින් කට්ටිය අල්ලගෙන තමයි බහුතරය හදා ගත්තෙ. අපි කිව්ව රටක් වෙනස් කිරීම සඳහා ප‍්‍රධාන විපක්‍ෂත් සමග අත්වැල් බැඳගෙන 2/3ක අභිබවා යනව කියල. ඉතිහාසේ ප‍්‍රථම වතාවට ප‍්‍රධාන පක්‍ෂ දෙක මේ ශ‍්‍රී ලංකාව තුළ එකතු වුනා. ඉතිහාසයේ ප‍්‍රථම වතාවට මේ ප‍්‍රධාන විපක්‍ෂ දෙක එකට අත්වැල් බැඳගෙන ඉදිරි ගමනක් යන්න ඉදිරිපත් වෙලා තියෙනව. අපිට මේක නුහුරුයි. ජර්මනිය වගේ රටවලත් මෙහෙම ඒකාබද්ධ වෙලා වැඩ කරල තියනව. ඇයි මෙහෙම තත්ත්වයක් ඇති කරගත්තෙ? රනිල් වික‍්‍රමසිංහ කියන දුර දක්නා දේශපාලඥයා මේ රට ගොඩනගන්න අවශ්‍ය පිළිවෙල ගැන හිතුව.

උගත් මිනිස්සු රට දාලා ගියාට පස්සෙ ආපහු ආවෙ නැහැ.  ඉංජිනේරුවෙක් නිර්මාණය කරන්න දුප්පත් මිනිස්සුන්ගෙ සල්ලි වලින් ලක්‍ෂ 100කට වැඩිය වියදම් කරනව. ඒ අයගෙන් 50% අද ලංකාවෙ නැහැ. ඒ අය වෙනත් රටවල්වල සේවය කරනව. දොස්තර මහත්තයෙක් හදන්න කෝටියක් විතර වියදම් කරනව. දෙමව්පියන්ගෙ සල්ලි නෙමෙයි. රටේ ජනතාවගෙ සල්ලි. දුප්පත් ජනතාවගෙ සල්ලි. එහෙම හදපු දොස්තර මහත්තවරුන්ගෙන් 50%ක් රට ඇතුළෙ නෑ. ඉගෙන අයත් කොහොමද වැඩ කරන්නෙ. දුප්පත් මිනිස්සුගෙන් සල්ලි වලින් තමයි මම ඉගෙන ගත්තෙ කියල හිතනවද? දුප්පත් ගෘහසේවිකාවො විතරයි තමන් හම්බකරපු සල්ලි ටිකත් අරගෙන ආපහු ලංකාවට එන්නෙ. අනිත් අය පිටරට ගියහම පවුලෙ කට්ටියත් මේ රටෙන් අරගෙන යන්න හදනව මිසක්, ‘‘මේ රට අපේ රට’’ කියල කියන්න ලෑස්ති වෙන්න නෑ. ඇයි එහෙම වෙන්න හේතුව?

සුමනදාස මහත්තය මහින්ද රාජපක්‍ෂට ඡුන්දෙකට යන්න කියන්න අවුරුද් දෙකකට ඉස්සර රනිල් වික‍්‍රමසිංහ මහත්තය මහින්ද රාජපක්‍ෂට කිව්ව 2014 දි මහින්ද රාජපක්‍ෂට ඡුන්දෙකට යන්න වෙනව කියල. බලය තහවුරු කරගන්න බලාගෙන මහින්දට ඡුන්දෙකට යන්න සිද්ධ වුනා. සුමනදාස මහත්තය ග‍්‍රහයො බලලා ගත්ත තීන්දුව රනිල් වික‍්‍රමසිංහ මහත්තයා අවුරුදු දෙකකට ඉස්සරවෙලා රටේ ආර්ථිකය දිහා බලලා කිව්වා. ඇයි එහෙම කිව්වෙ 2013 මේ රටේ සියලූ රාජ්‍ය ආයතනවල ආධායම එකතු කරපුවහම ණය ගෙවන්න ප‍්‍රමාණවත් නෑ. රාජ්‍ය ආයතන වල ආදායම එකතු කරන්නෙ කොහොමද සී.ටී.බී, ගුවන් යානා, තැපැල් කන්තෝරු මේ හැම එකකම ආදායම බැලූවාම 10%යි. මේ සේරගෙම ආදායම රුපියල් බිලයන 1500යි. ඒ කියන්නෙ රුපියල් කෝටි ලක්‍ෂ 15ක් වගේ ප‍්‍රමාණයක්. ඒකෙන් 10%යි රටේ ආදායම. 90%ක් බදු මුදල් වලින් ගන්න ආදායම. මෙයින් 20ක් ධනවත්තුන් ගෙවන බදු, 80%ක් දුප්පත් මිනිස්සු ගෙවන බදු. රටේ බදු බර වැටිල තියෙන්නෙ දුප්පත් මිනිස්සුනගෙ කර උඩට. දුප්පත් හි`ගන්නෙක් කන පාන් බාගෙටයි, පරිප්පු ටිකටයි. පේලේන් ටී එකටයි මේ බදු මුදල එකතුවෙලා තියෙනව. තේ කොළටිකට, පාන් පිටිවලට, සීනි ටිකට, ලූණු ගෙඩියට ගහල තියෙන බද්ද දුප්පත් මිනිහගෙ පිට තමයි වැටිල තියෙන්නෙ. දුරකථන ඇමතුමකට බද්දක් ගෙවන්න  ඕන. එහෙම එකතු කරන ටික ණය ගෙව්වට පස්සෙ තවත් ණය ගෙවන්න සල්ලි  ඕනෙ. ආණ්ඩුවේ වාර්ෂික ආධායමෙන් 98% ණය ගෙවනව. ආණ්ඩුවක් ගත්ත කියල මේව එකපාර වෙනස් කරන්න බෑ. යන රැුල්ලෙ යන්න වෙනව. ටික ටික ප‍්‍රතිපත්ති තුළ තමයි අපිට මේක වෙනස් කරන්න සිද්ධ වෙන්නෙ. කවදහරි දවසක මේකෙන් ගොඩවෙන්න වෙනව. කොහොමද අපි මේකෙන් ගොඩ වෙන්නෙ? නිදහස ලැබිල අවුරුදු 5 කට පස්සෙ ලංකාව දිහා බලල සිංගප්පූරුවෙ අගමැති ඒ රටේ ජනතාවට කිව්ව මම ලංකාව වගේ රටක් හදනව මට ඡුන්දෙ දෙන්න කියල. ඊට අවුරුදු 38කට පස්සෙ ජේ.ආර්. ජයවර්ධන සිංගප්පූරුවට ගිහින් ඇවිත් කියනව මමත් ලංකාව සිංගප්පූරුව වගේ කරනව කියල. ජනතාවත් එතුමට කතිරෙ ගැහැව්ව. ඊට අවුරුදු 20කට පස්සෙ සිංගපූර්ව කොහෙද තියෙන්නෙ? ලංකාව කොහෙද තියෙන්නෙ? මට ඉගෙන ගන්න කාලෙ සතියකට කොරියාවට යන්න අවස්ථාවක් ලැබුණ. මම තාත්තාගෙන් ඇහුව සතියකට කොරියාවට ගිහින් එන්න යන්නද කියල. තාත්තා කිව්ව. පිස්සුද පැත්ත පළාතෙ යන්න එපා කියල. අර එහා පැත්තෙ තියෙන කොරියාව දැකල නැද්ද. අපි වැරදිලාවත් පැයකටවත් ඒ පැත්තට යන්නෑ කියල. කොහොම හරි මම ඇවිටිලි කරල කොරියාවට යන්න අවස්ථාව ලබා ගත්තා. මම කොරියාවට ගියා. තාත්තා හිතාගෙන ඉන්න කොරියාවක් නෙමෙයි තිබුණෙ ජපානෙට විතරක් දෙවෙනි වෙන ඉතා දියුණු රටක්.

මේ රට අපි ගොඩගන්නෙ කොහොමද? පිටරට සල්ලි ලංකාවට ගේන්න වෙයි. උගත්තු හදල රට ඇරියම ලංකාවට සල්ලි එන්නෙ නෑ. කාන්තාවො විතරක් මැදපෙරදිග ගිහිල්ල සල්ලි ගේනව. එහෙම නම් කොහොමද ලංකාව දියුණු කරන්නෙ. අපේ අපනයන වැඩි කරන්න වෙයි. වෙන රටවල් වලට අපේ බඩු විකුණන්න වෙනව. චීනය නූල් හදනව. ඉන්දියාව රෙදි හදනව, ඒවා ලංකාවට ගෙනල්ල මහල වටිනාකම වැඩි කරල අපනයනය කරන්න වෙනව. නැත්නම් වෙන රටවල්වල කොම්පැනි ලංකාවට ඇවිල්ලා ආයෝජනය කරන්න අවස්ථා දෙන්න සිද්ධවෙයි. ජපානෙ වැඩිහිටියන්ට ඇවිල්ල නවතින්න ජපන් වැඩිහිටි නිවාසයක් යක්කල නිර්මාණය කරනව. ආයෝජකයො ලංකාවට එන්න විශේෂත්වය මොකක්ද? අපේ රටේ බඩු පිටරටට යවන්න තියෙන විශේෂත්වය මොකක්ද? අපි හැමෝමත් එක්ක සම්බන්ධතාවය ඇති කරගෙන අපේ භාණ්ඩ යවන්න ලෑස්තිවෙලා ඉන්නවෙයි. ඉස්සර වගේ වෙළඳාම ලේසි නෑ සංකීර්ණයි. ඒකට ගිවිසුමකට යන්න වෙනව.

2015 දි තමයි ලංකා රජය වැඩිම වී ප‍්‍රමාණයක් මිල දී ගත්තෙ. ඒත් නිෂ්පාදනයෙන් 10% ගත්තෙ නෑ. නමුත් ගබඩා පිරුණ. ගබඩා මදිවෙලා මත්තල ගුවන් තොටුපලේ ගබඩාවලත් වී ගබඩා කෙරුව. අපේ පිටරටක් එක්ක ගිවිසුමක් තිබුණ නම්, අපේ වී ටික ගන්න. ඒකට අපිට ඔය ගොල්ලන්ගෙ නිෂ්පාදනයක් දෙන්න කියල. එහෙම නම් ගොවියාගෙ ආර්ථිකයත් දියුණු වෙනව. රටට මුදලූත් ලැබෙනව.
අද වෙළඳාම කියන්නෙ බඩු භාණ්ඩවලට සීමාවෙච්ච දෙයක් නෙමේ. ඉතිහාසයේ ලෝකයේ විප්ලවයක්, පරිවර්තනයක් ඇති වුනේ කර්මාන්ත වලින්. එක එක නව නිෂ්පාදන ඇති වුනා. කර්මාන්ත ශාලා බිහිවුනා. ඒ භාණ්ඩ අපනයනය කිරීමට තවත් රටවල් සොයාගැනීමට හැකි වුනා. දෙවෙනියට ජලයෙන් ලෝකෙ විප්ලවයක් ඇති වුනා. ජල වාෂ්පයෙන් දුම්රිය, කර්මාන්ත ශාලා යන්ත‍්‍ර පණ ගැන්වුනා. ඊළග විප්ලවය විදුලියෙන් ඇති වුනා. කර්මාන්ත ශාලා විදුලියෙන් ක‍්‍රියාකරන්න පටන් ගත්ත. ඊළග විප්ලවය ආවා ඉලැක්ට්‍රොනික්. පරිගණක ඇතුළු නිෂ්පාදන. ඊළ`ග විප්ලවය සයිබර් විප්ලවය. ඇමරිකාවෙ කොම්පැනියක පඩි හදන්න පුලූවන් ලංකාවෙ ඉඳගෙන. අපි ඉදිරියෙදී භාණ්ඩ පමණක් නෙමෙයි සේවාවන්ද විකිණිය යුතුයි.

අපේ ආණ්ඩුව බලයට එන්න පෙර පොරොන්දු වුනා රැුකියා ලක්‍ෂ 10ක් හදනව කියල. කොහොමද රැුකියා ලක්‍ෂ 10 නිර්මාණය කරන්නෙ? රට ණය වෙලා. ණය ගෙවාගන්න විදිහක් නෑ. ණය ගෙවාගන්නත් ණයක් ගන්න සිද්ධ වෙලා. පසුගිය කාලෙ සිදුවූ ඉදිකිරීම් කෙරුවෙත් ණය වෙලා.

ගිවිසුම ගැන කතාකරනකොට කියන්නෙ ‘‘චන්ද්‍රිකා නෝනාත් ඉන්දියාවත් එක්ක ගිවිසුමක් ගැහුව කියල. ඒක අසාර්ථක වුනා. අපි හිතන තැනට යන්න බැරි වුනා. ගිවිසුම් ගැහුවොත් වෙන්නෙ එහෙම තමයි’’ කියලයි විවේචනය කරන කට්ටිය කියන්නෙ. අපි ගණනයක කරනව ලංකාවෙන් ඉන්දියාවට යන බඩුවල ප‍්‍රමාණය හා ඉන්දියාවෙන් ලංකාවට එන ප‍්‍රමාණය කොපමණද කියල. ඩියුටි නැතිව යවන භාණ්ඩ හා ගෙන්වන භාණ්ඩ ගැන ගිවිසුමක් ඇති කරගන්නව. එට්කා ගිවිසුම එන්නෙ මේ පිළිබඳ ප‍්‍රමිතීන් ඇති කරගන්න. එට්කා ගිවිසුම ඇති කරගන්න ඉස්සර මේ වෙනුවෙන් ‘පේ‍්‍රම් වර්ක්’ රාමු ගිවිසුමක් ඇති කරගන්නව. චන්ද්‍රිකාගෙ කාලෙ ගහපු ගිවිසුමේ වැරදි නිවැරදි කරගන්න ගිවිසුමක් තමයි ගහන්න යන්නෙ. එට්කා ගිවිසුම අත්සන් කරන්නෙ ඊට පස්සෙ. පේ‍්‍රම් වර්ක් ගිවිසුම කියන්නෙ පැරණි ගිවිසුම්වල වැරදි නිවැරදි කරගන්න ගහන ගිවිසුමක්.

හම්බන්තොට වරායට දිනකට ලක්‍ෂ 60ක පොලියක් ගෙවනව. පඩි ගෙවන්න කෙසේ වෙතත් අවුරුද්දකට සැරයක් හුණු ටිකක් ගාගන්නවත් ආදායමක් ඒකෙන් නෑ. එහෙම නම් අපි උත්සාහ කරනව හම්බන්තොට වරායෙන් නැව් හදන්න බැරිද ලෝකෙට අලෙවි කරන්න කියල. නැව් හදන ආයතන ඇවිල්ල හම්බන්තොට වරාය තුළ ආයෝජනය කරන්න  ඕනෙ. එතකොට ලංකාවේ නැව් හැදීමේ විශේෂඥයන් නැත්නම්, අපිට සිද්ධ වෙනව නැව් හදන විශේෂඥයන් මේකට ගෙන්න ගන්න. ඒකට ඩොලර් විවෘත කරන්න වෙනව. එතකොට තමයි ආයෝජකයන් මෙහ එන්නෙ. උදාහරණයකට ගත්තොත් හැම ගාමන්ට් එකකම මහන්න කාන්තාවන්ට ඇබෑර්තු 100ක් විතර තියෙනව. මහන්න කාන්තාවො නෑ. ජී.එස්.පී. සහනය ලැබුණම යළිත් ඇ`ගලූම් කම්හල්වල නිෂ්පාදන ධාරිතාවය වැඩිකරන්න සිද්ධ වෙනව. ඒත් මහන්න ගැහැණු උදවිය කෝ? එතකොට සිද්ධවෙනව ඉන්දියාවෙන් හා බංගලාදේශයෙන් ගැහැණුන්ට රැුකියා අවස්ථා විවෘත කරන්න. ඒ වසර දෙකකට වගේ කාලයකට වීසා බලපත‍්‍ර මත. ඒ වගේ තීරණවලට යන්න වෙනව. අයි.ටී. තාක්‍ෂණය වගේ ක්‍ෂේත‍්‍රවල දක්‍ෂයන් අපිට ඉන්නවා. ලංකාවේ ඉන්න දක්‍ෂයන්ට හානි වෙන විදිහට කිසිම සේවකයෙකුට ලංකාවට එන්න අවස්ථාව ලබා දෙන්නෙ නෑ. එක දක්‍ෂයෙක් ආවොත් එයා යටතෙ තව කීදෙනෙකුට රස්සාවල් ලැබෙනවද කියල බලලා. එහෙම කෙනෙකුට අවස්ථාව ලබල දෙනව.

මේ පිළිබඳ ඇත්ත තත්ත්වය රටතුළට ගියේ නෑ. මීට විරුද්ධව මත පලකරන අයගෙ හඬ ඉස්මතු වුනා. ජනතාව මේ පිළිබඳව නිවැරදිව කරුණු වටහා ගත්තෙ නෑ. අපේ කට්ටිය අපි කරන්නෙ මොනවද කියන එක පැහැදිලි කරල දෙන්නෙ නෑ. විමල් වීරවංශ හිතට එන එන ඒවා කියවගෙන යනව. ජනතාව හිතන්නෙ ඒව තමයි ඇත්ත කියල. දැන්ටත් ඉන්දියානු දොස්තරල ඇපලෝ එකට ඇවිල්ල ඔපරේෂන් කරල යනව. හෙටටිවීදියෙ රත්තරන් බඩු සාප්පුවලට රත්තරන් බඩු හදන්නෙ ඉන්දියානු රන්කරුවො. අපි කරන්න යන්නෙ මේ අය එන එක නවත්වන්න නෙමේ. නීත්‍යානුකූල ක‍්‍රමවේදයක් හදන්න.

දැනට ලෝකෙ එක එක රටවල් සමග ඇති කරගත්ත ගිවිසුම් 625ක් පමණ තියෙනව. අපි ඉන්දියාව එක්ක පමණක් නෙමෙයි ලෝකෙත් එක්කම ගිවිසුම් හදාගන්න  ඕනෙ. ඒ ගිවිසුම් හදාගත්තහම නීත්‍යානුකූලව සමාගම් ලංකාවේ ආයෝජනය කරන්න එනවා. එදා 1977 ඇ`ගලූම් ක්‍ෂේත‍්‍රයෙන් ලබා ගත්ත ප‍්‍රගතියට වඩා වැඩි ප‍්‍රගතියක් මේ මගින් ඇති වෙනව. ලෝක වෙළඳාමෙන් අපි අත්පත් කරගෙන තියෙන් .06යක වගේ පුංචි ප‍්‍රමාණයක්. සිංගපූරුව, වියට්නාමය, කොරියාව වගේ රටවල් ඉස්සරහට ගිහින් තියෙනව. අපේ රට ගිහින් තියෙන්නේ ආපස්සට. අදට ගැලපෙන ආර්ථිකය මේ රජය මගින් හදන්න කටයුතු කරනව.

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *