|

යුග දෙකක සංවර්ධනය

වික්ටෝරියා ජලාශය සහ හම්බන්තොට වරාය

නෙළුම් කුලුන ගැන ද අමතර පැහැදිලි කිරීමක් අවශ්‍ය නැත. වත්මන් ජනාධිපතිවරයා මෑතකදී ප්‍රකාශ කළ ආකාරයට අනුව ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ බදු ආදායමෙන් සෑම වසරකටම රුපියල් බිලියන 2.5ක් බැගින් ඒ සඳහා ගෙවීමට සිදුව ඇත. එය තවත් වසර 10ක් ඉදිරියට කරගෙන යා යුතුව තිබේ. හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩාංගණය (වරාය අධිකාරියෙන් ණය ගෙවන ලදී.), ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා මධ්‍යස්ථානය, රන්මිනිතැන්න ටෙලි සිනමා ගම්මානය ආදී ව්‍යාපෘති වසර 10ක් තිස්සේ අක්‍රියව පවතී. එසේ වුවත් සෑම පුරවැසියකුම යටිතල පහසුකම් සඳහා ගත් ණය ගෙවා දමමින් සිටී.

තමන් උණුසුම් ගිනි කන්දක් මත හිඳගෙන සිටින බව මෙරට මධ්‍යම පන්තික ජනයා තේරුම් ගත යුතුව ඇත. 2005 වසරේ සිට මෙරට පවුලක ජීවන රටාවේ සිදු වූ වෙනස්කම් අවධානයට ගත යුතු ය. ඒ අතර චීනයෙන් ලබා ගත් ණය, චීන ව්‍යාපෘති සහ ඒවායේ ශක්‍යතාවය සාධාරණීකරණය සඳහා ලියැවුණු ලිපි පුවත්පත්වල පසුගිය මාස කිහිපය මුළුල්ලේම පළවිණ. රටවල් ණය ලබාගත යුත්තේ මන් ද යන කාරණය මහජනතාව වටහා ගැනීම වැදගත් ය. ඍජු විදේශීය ආයෝජන ආකර්ෂණීය කර ගැනීම මන්දගාමී වනවිටත්, සංවර්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය ප්‍රාග්ධන රැස් කිරීමේ ගැටලු ඇතිවන විටත් ණය ලබාගැනීම සංවර්ධනය වෙමින් පවතින රටකට අහිතකර දෙයක් නොවන බව මහජනතාව අවබෝධ කරගත යුතුව ඇත.

ප්‍රධාන වශයෙන් යුරෝපීය රටවල සහ ලෝක බැංකු ආධාර මත කෙරුණු කඩිනම් මහවැලි බහුව්‍යාපෘතියට (https://en.wikipedia.org/wiki/Mahaweli_Development_programme) සාපේක්ෂව, චීන අරමුදල් මත මෑත කාලයේදී කෙරුණු බහු ව්‍යාපෘති පිළිබඳව අපි මෙහිදී විමසා බලමු. එම ව්‍යාපෘතිවලින් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභයක් ලැබුණි ද? එසේ ප්‍රතිලාභ ලැබුණි නම් ආයෝජනය මත ලැබුණු ප්‍රතිලාභ සහ වෙනත් නිර්ණායක මොනවාද යන්න මෙහිදී සැලකිල්ලට ගනු ලැබේ.

වගුව බලන්න.

රටේ බොහෝ පුරවැසියෝ ද වත්මන් පරම්පරාවේ උදවිය ද මහවැලි ව්‍යාපෘතිය ගැන නොදනිති. මහවැලි ව්‍යාපෘතියට කෙරුණු ආයෝජනය සඳහා ප්‍රතිලාභ ඉක්මනින් ලැබිණ. එසේම, එම ව්‍යාපෘති රටට අතිශයින් ප්‍රයෝජනවත් වූයේ ය. එම එක් එක් ව්‍යාපෘතිය සම්පූර්ණ කෙරුණු පසු මහජනතාවට ලැබුණු ප්‍රතිලාභ පහත දැක්වේ. ඊට ලබාගත් සමහර ණය අප කිසිවිටෙක ආපසු ගෙවිය යුතු නැති ප්‍රදාන බවට ද පත් කෙරිණ. තවත් සමහර ණය අපට ලැබුණේ ඉතාම අඩු පොලී අනුපාතිකයන් යටතේ, අවුරුදු 35 – 40ක් තරම් දීර්ඝ කාලයකින් ගෙවා නිම කිරීමේ පදනම යටතේ ය.

මහවැලි ව්‍යාපෘතියේ ක්ෂණික ප්‍රතිලාභ

1. ඉතා අඩු පිරිවැයක් දරමින් රටේ ජල විදුලිබල උත්පාදනය වැඩි කිරීම.

2. නව නිදහස් වෙළෙඳ පොළක් සහ ඍජු විදේශීය ආයෝජන යටතේ වෙළෙඳ කලාප පිහිටුවීමට අවශ්‍ය බලය ලැබීම.

3. රටේ බොහෝ ප්‍රදේශවල වගා බිම් ගංවතුරෙන් යටවීම නැත්තටම නැති කිරීමට හෝ අඩු කිරීමට හෝ හැකිවීම.

4. නව වාරිමාර්ග මඟින් වී සහ වෙනත් භෝග වගා කිරීමට අවශ්‍ය ගොවිබිම් සකසා ගැනීමට අවකාශය ලැබීම.

5. නව නගර, පාසල්, රෝහල් සහ මහා මාර්ග සංවර්ධනය කිරීමටත්, නැඟෙනහිර පළාතේ සහ තවත් ප්‍රදේශ කිහිපයක් තුළ යළි පදිංචි කිරීම් කටයුතු සඳහා අවකාශය ලැබීම.

6. කෘෂි කර්මාන්තය සහ මිරිදිය ධීවර කර්මාන්තය පාදක කරගත් රැකියා දහස් ගණනක් ඇති කිරීම.

7. දේශීය සංචාරක ක්ෂේත්‍රය සහ කාර්මිකරණය වැඩි දියුණු වීම.

8. පිරිසුදු පානීය ජලය ලබාදීමට හැකිවීම නිසා ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමට හැකිවීම.

9. ස්වාභාවික නව සංරක්ෂිත සහ වියළි කලාප කළමනාකරණ වැඩපිළිවෙළක් ඇතිවීම.

10. කාර්මිකරණය නිසා රැකියා අවස්ථා වැඩිවීම.

මේ අනුව එම ණය ලබාගෙන තිබෙන්නේ අති දැවැන්ත ව්‍යාපෘති සඳහා බැව් සියලුදෙනාම වටහාගෙන ඇති බව මට විශ්වාස ය. එම ණය ලබා ගත්තේ ශක්‍යතා අධ්‍යයනයන් මඟින් හැට ගණන්වලදී සංකල්පනය කරන ලද දැවැන්ත ව්‍යාපෘති සඳහා ය. ලබාගත් ණය ඉතා කෙටි කාලයක් තුළදී ගෙවා හමාර කළ බවත් සඳහන් කළ යුතු ය. එලෙස ක්‍රියාවට නැංවූ ව්‍යාපෘති, මෙරට ආර්ථික වර්ධනයට උත්ප්‍රේරකයක් විණ. එය මෙරට ජීවත්වන මිලියන ගණනකගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට හේතුවක් වූයේ ය. එපමණක් නොව, ඉන් රටට ලැබුණු බහු කාර්යය ආර්ථික ප්‍රතිලාභ, බැලු බැල්මට එක්වරම නොපෙනෙන බවත් සඳහන් කළ යුතු ය. බදු ගෙවන්නන්ගේ බදු මුදල් ඉතාමත් පලදායී කටයුතු සඳහා යොදා ගැනිණ. එම ව්‍යාපෘති මඟින් ආදායම් උත්පාදනය කෙරුණු බැවින්, ඒවා රට ණය උගුලකට තල්ලු නොකළේ ය. අපනයන වැඩි වූයෙන් නව විදේශ ආදායම් උත්පාදනයන් සඳහා ද එම ව්‍යාපෘති හේතු විණ.

මෙය මෙරට නූතන ඉතිහාසයේ සිදු වූ තිරසාර සංවර්ධනයක් හැටියටත්, ජාත්‍යන්තර ණය ඉතා හොඳින් භාවිතයට ගැනීම පිළිබඳවත් අග්‍රගන්‍ය උදාහරණයකි.

ප්‍රතිලාභ

යටිතල පහසුකම් සංවර්ධනය සඳහා චීනයෙන් ණය ලබාගත් මෑත කාලීන රැල්ල ගැන දැන් සිතන්න.

එම ව්‍යාපෘති කිසිවකින් අද වනතුරුත් ණය ආපසු ගෙවීමට අවශ්‍ය ආදායම ලබාගැනීමට හැකි වී නැත. එම ව්‍යාපෘති රඳා පවතින්නේ පුරවැසියන්ගේ බදු ආදායම මත ය. එක්කෝ ඒ සඳහා කෙරෙන ආයෝජනවලට ලැබෙන ප්‍රතිලාභ ගැන ප්‍රක්ෂේපණය කර නැත; එහෙමත් නැත්නම් ඒ පිළිබඳ සංඛ්‍යා ලේඛන කපා හැර දමා ඇත. ඉන් කිසිවකට විශ්වසනීය ව්‍යාපාර ශක්‍යතාවක් නැත. එකී ව්‍යාපෘති සඳහා ලබාගත් ණය, ඉතා කෙටි කාලීන ගෙවීමේ පදනම මත ලබා ගත් ණය බැව් තක්සේරු කිරීම් මඟින් සාධාරණීකරණය නොකෙරේ.

හම්බන්තොට වරාය 2011 වසරේදී විවෘත කරන ලදී. මෝටර් රථ රැගෙන එන නෞකා කිහිපයකට අදාළ මෙහෙයුම් පමණක් 2013 වසරේදී එහි සිදු කෙරී ඇත. වරායේ පළමු අදියරේ ණය හෝ සේවක වැටුප් හෝ ගෙවීමට ප්‍රමාණවත් තරමේ ආදායමක් කිසිවිටෙකත් ඉන් නොලැබිණ. හම්බන්තොට වරාය නඩත්තු කිරීම සඳහා කොළඹ වරායෙන් මුදල් පොම්ප කිරීමට සිදු විය. එමඟින් සිදුවූයේ කොළඹ වරායේ ආදායම ඍණාත්මක තත්ත්වයකට පත්වීම ය.

පළමු අදියර සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන 350ක චීන ණයක් ලබාගත් රජය, වරායේ දෙවැනි අදියර සඳහා ඊළඟට තවත් අමෙරිකා ඩොලර් මිලියන 800ක චීන ණයක් ලබා ගත්තේ ය. මෙම ණය මුදල් ගත්තේ ජාත්‍යන්තර නාවික ප්‍රජාව සමඟ කිසිදු ව්‍යාපාරික බැඳීමක් නොමැතිව ය.

යටකළ ආයෝජනයට සාධාරණ ආදායමක් හම්බන්තොට වරාය ඉදිකිරීමෙන් වසර 9කට පසු අදවත් ජනනය කෙරෙන්නේ නැත. මේ සඳහා වත්මන් රජයට විකල්පයක් ද නොතිබිණ. ශ්‍රී ලංකා වරාය අධිකාරිය බිඳ වැටීමෙන් වළක්වාගෙන ණය බරෙන් නිදහස් කරගැනීම සඳහා, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ණය බර භාණ්ඩාගාරයට රැගෙන යෑමට රජයට සිදු විය. 

තෙල් ටැංකි ඉදිකිරීමෙන් පසු පිරිපහදු කළ තෙල් තොගයෙන් අමෙරිකා ඩොලර් මිලියන 17ක අලාභයක් ලබාගන්නට සිදුවීම ද අවාසනාවකි.

අභාවප්‍රාප්ත ලලිත් ඇතුලත්මුදලි මහතා කොළඹ වරාය සංවර්ධනය කිරීමට පියවර ගත්තේ අදියරයෙන් අදියර බව මෙහිදී අමතක කළ නොහැකි කාරණයකි. එතුමන් එය සිදුකළේ එකී ආයතනයට ණය ගෙවීමට හැකි වන අන්දමට ගණන් හිලව් බලමිනි. වරාය සංවර්ධනය නිසා රටේ ආදායම නැංවීමටත් මහා භාණ්ඩාගාරයට වාර්ෂිකව ලැබෙන ලාභය ගැනත් එතුමා සතුව සහතිකයක් තිබිණ.

නිෂ්ඵල ණය

චීනය සමඟ එක්ව ණය ගැනීමට රාජපක්ෂ පාලනය ක්‍රියා කළ බැවින් පළමුව කී විධිමත් වැඩපිළිවෙළ උඩු යටිකුරු විය. ඉන් සිදුවුණේ එම ව්‍යාපෘති ශ්‍රී ලංකා රජයට පලදායී නොවන ඒවා බවට පත්වීම ය; එසේම ඉක්මනින් කොමිස් මුදල් ගෙවන, ඉදිරි පරම්පරාවන් මත බදු බර පටවන ඒවා බවට පත්වීම ය.

මත්තල ගුවන්තොටුපොළ ද එයට සමාන ය. එය තාක්ෂණික වශයෙන් යහපත් තැනෙක නොපවත්නා එකකි. එහි ආයෝජන සඳහා අදටත් ප්‍රතිලාභ ලැබෙන්නේ නැත. එහි ප්‍රතිඵලයක් වශයෙන් ජනතාව මත පැටවෙන බදු බර ඉවත් කිරීමට ශ්‍රී ලංකාවට, උපාය මාර්ගික හවුල් ව්‍යාපාරයකට යෑමට සිදුව ඇත.

නෙළුම් කුලුන ගැන ද අමතර පැහැදිලි කිරීමක් අවශ්‍ය නැත. වත්මන් ජනාධිපතිවරයා මෑතකදී ප්‍රකාශ කළ ආකාරයට අනුව ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ බදු ආදායමෙන් සෑම වසරකටම රුපියල් බිලියන 2.5ක් බැගින් ඒ සඳහා ගෙවීමට සිදුව ඇත. එය තවත් වසර 10ක් ඉදිරියට කරගෙන යා යුතුව තිබේ .

හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩාංගණය (වරාය අධිකාරියෙන් ණය ගෙවන ලදී.), ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා මධ්‍යස්ථානය, රන්මිනිතැන්න ටෙලි සිනමා ගම්මානය ආදී ව්‍යාපෘති වසර 10ක් තිස්සේ අක්‍රියව පවතී. එසේ වුවත් සෑම පුරවැසියකුම යටිතල පහසුකම් සඳහා ගත් ණය ගෙවා දමමින් සිටී.

චීන ණය

චීනය, ශ්‍රී ලංකාවේ මිතුරකු නම් ශ්‍රී ලංකාව කරදරයක වැටී සිටින බව දැන අවම වශයෙන් වරාය සඳහාවත් ප්‍රදානයක් ලබා දිය යුතුව තිබිණ. බ්‍රිතාන්‍යය, ස්වීඩනය, ජර්මනිය, මහවැලියට ගත් සමහර ණය, ප්‍රදාන බවට පරිවර්තනය කළ බැව් ඔබට මෙහිදී සිහිපත් කළ හැකි නම් එය වැදගත් ය. වික්ටෝරියා වේල්ල ඊට කදිම නිදසුනකි.

චීනය ලබා දුන් කෙටි කාලීන ණයවල ස්වභාවය ගැන සලකා බලන විට, නිදහසින් පසු ගත් බොහෝ ණය ගෙවීමට කල් පිරෙන්නේ 2015-2025 අතර කාලයේදී ය. රාජපක්ෂ පාලනය විනාශ කළ මේ පද්ධති ස්ථාවර කිරීමට මූල්‍ය කළමනාකරණ ආයතනවල නිලධාරීන්ට සිදුව ඇත. එය ඉතාමත් අසීරු කාර්යයකි.

ජනතාවගේ අයිතිවාසිකම් තලාදමමින්, ඔවුන් වෙස්වලා ගත් ණය බරක වහලුන් කරමින්, ඒකාධිපති හා අන්තනෝමතික ලෙස රට පාලනය කරමින් සිටි රාජපක්ෂවරුනට 2015 ජනාධිපතිවරණය නියමිත කාලයට වසර දෙකකට පළමුව පැවැත්වීමට හේතු වූ රහස ද මෙය ය. ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යයට ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාවට තවදුරටත් ණය ලබා නොදෙන බවත් දේශීය ආර්ථිකය මත බර පටවමින් ණය ලබාගත යුතු බවත් පසුගිය ආණ්ඩුව හොඳින්ම දැන සිටියේ ය. සාර්ව ආර්ථිකය, ඉවසීමෙන් හා විචක්ෂණශීලීව කළමනාකරණය නොකළහොත් එය කඩා වැටීමේ අවදානමක පවතින බව ශ්‍රී ලංකාවේ මහජනයා – විශේෂයෙන්ම මධ්‍යම පන්තික ජනයා තේරුම් ගත යුතුය. 2005ට පෙර කිසි දිනෙක නොතිබුණු අන්දමේ ජීවන රටාවක් ගත කිරීමට රාජපක්ෂ පවුලට මේ තරම් මුදල් ලැබී ඇත්තේ කෙසේදැයි කියාත් සිතා බැලිය යුතුව ඇත.

විශේෂ ලියුම්කරුවකු 2019.11.06දා ඩේලි නිවුස් පුවත්පතට ලියා තිබූ “Trapped by debt for what purpose?” ලිපියේ සිංහල පරිවර්තනයයි.

සිංහලට පෙරලුම මංජුලා විජයරත්න

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *