19ට දෝස මොකද? – අනුර සූරිය බණ්ඩාර

“19 කෙටුම්පත් කළ අය බලාපොරොත්තු වූ දේ සම්පූර්ණයෙන්ම අසාර්ථක වුණා. 19 කෙටුම්පත් කරපු අය නීති විශාරදයෝ ද එහෙම නැත්නම් දේශපාලන නීති පණ්ඩිතයෝද කියන එකයි මට ප්‍රශ්නය තිබෙන්නේ. ඒක එතරම් අසාර්ථකයි. රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වුණේ 19 න්”

ඉහත උපුටා දක්වන ලද්දේ පසුගිය දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනමාධ්‍ය ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදී කළ ප්‍රකාශයෙන් කොටසකි. එහිදී ජනාධිපතිවරයා උත්සාහ කර තිබුණේ රට තුළ දැනට පවතින අස්ථාවර තත්වයේ වගකීම් සම්පූර්ණයෙන්ම දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය මත පට්වන්නටය එසේම සියළු වැරදි ව්‍යවස්ථා සම්පාදකයින් මතටම පවරා තමා නිදහස් වන්නටය.

මෙහිදී කල්පනා කළ යුතු කරුණක් වන්නේ රටේ දැනට යම් ව්‍යාකූල භාවයක් ඇති වී තිබේ නම් එයට හේතුව දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය ද නැතිනම් දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට හෙවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විධායකයත් ව්‍යවස්ථාදායකයත් කටයුතු නොකිරීම ද යන්නය.

නිදර්ශනයක් වශයෙන් දක්වන්නේ නම් 19 වැනි සංශෝධනය අනුව කවර හේතුවක් නිසා හෝ පාර්ලිමේන්තුවේ කැමැත්තෙන් තොරව ජනාධිපතිවරයාට ආණ්ඩුව විසුරවිම කල නොහැකිය. එහෙත් ජනාධිපතිවරයා තමාට හිමි නැති බලයක් ක්‍රියාවේ යෙදවීමට උත්සාහ දරමින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීය. එපමණක් නොවේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන්නට යෙදුණු තැනැත්තෙකු සහ පක්ෂයක් ව්‍යවස්ථා විරෝධී ආකාරයෙන් බලයේ පිහිටුවන්නට ද කටයුතු කරනු ලැබිණි. එම කාරණය සඳහා බලපෑවේ ව්‍යවස්ථා අර්බුදයක් නොවේ. විධායකය වන ජනාධිපතිවරයාත් ව්‍යවස්ථා ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා වන අගමැතිවරයාත් අතර ගැටුම්යි.

සරත් විජේසූරිය වැනි සමාජ ක්‍රියාකාරීන් වෙතින් පවා නිතර රනිල් වික්‍රමසිංහ මහතාගේ දුර්වලතා පිළිබඳ විවේචන එල්ල වෙයි. ඒ කවර තත්ත්වයක් යටතේ වුව මේ වන විට ජනතාව විසින් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුවට රට කරවීමේ බලය වසර පහකට ලබා දී තිබේ. එම කාලය ඇතුළත රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව වරදක් කරන්නේ නම් එයට දඬුවම් දීමේ බලය ජනතාවට ම මිස තනි පුද්ගලයෙකු වන ජනාධිපතිවරයාට නොවෙයි. වසර හතරහමාරක් ගෙවුණු තැන ආණ්ඩුව විසුරවන්නට බලයක් ජනාධිපතිවරයාට ලබාදී තිබුණද එම බලය පවා ක්‍රියාවේ යෙදවිය යුතු වන්නේ දේශපාලන කෝන්තර පිරිමසා ගැනීමට නොව විනිවිදභාවයෙන් යුතුව රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ යහ පැවැත්ම ආරක්ෂා කිරීම් සඳහාය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්වූයේ ව්‍යවස්ථා වෙනසක් සඳහා පොරොන්දු දෙමින් බව ඒ මහතාට අමතක වුවද, ජනතාවට අමතක නැත. ගැටලුව වන්නේ ජනතා අපේක්ෂා ජනතාව අපේක්ෂා කළ ව්‍යවස්ථා වෙනස ඒ ආකාරයෙන්ම ඉටු නොවීම ය. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා පුරෝගාමීව කටයුතු කළ ජයම්පති වික්‍රමරත්න එම්ඒ සුමන්දිරන් වැන්නන් පවා 19 වන සංශෝධනයේ අඩුපාඩු පවතින බව බැහැර කරන්නේ නැත. ඔවුන් පෙන්වා දෙන්නේ දහනව වන සංශෝධනය ක්‍රියාවේ යොදවනු ලැබුවේ වහාම විසිවන සංශෝධනයක් හෝ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එනු ලබන බවට ඇති විශ්වාසය සමග බවයි.

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්වක් තැනීමේ කටයුත්ත මේ වන විට බොහෝ දුරක් ගමන් කර ඇති කටයුත්තකි. එහෙත් එක්සත් ජාතික පක්ෂයෙන් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෝ එය සාර්ථකත්වය සඳහා ගෙන යාමට අවශ්‍ය ජවය ශක්තිය අනුග්‍රහය මෙතෙක් ලබාදී නැත. අලුත් ව්‍යවස්ථාව අතරමග නතර වී ඇත්තේ එකී හේතුව නිසාය. එසේම පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටු පක්ෂය වෙතින් අළුත් ව්‍යවස්ථාවක් සඳහා අවශ්‍ය සහයෝගය ලැබෙනු ඇතැයි විශ්වාස කරන්නට හැකියාවක් නැත. ඔවුන්ගේ කැමැත්ත ඇත්තේ 19 හෝ 20 හෝ අලුත් ව්‍යවස්ථාවක් ගැන නොව, 18 වැනි සංශෝධනයට නැවත යාම නිසාය

එවැනි වටපිටාවක 19 සංශෝධනය අඩුපාඩු මඟ මගහරවා ගැනීමේ වගකීම ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ය. එම දෙපිරිස අතරින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාය. එසේනම් 19ට බනින බැනුම් වලින් කොටසක් තමාටද හිමි බව ඒ මහතා තේරුම් ගත යුතුය

ජනාධිපතිවරයාගේ දැන් මතය අනුව 19 යනු එන්ජීඕ අවශ්‍යතාවක් වේ. නැවතත් ජනාධිපතිවරයාට මතක් කළ යුත්තේ ඔහු පසුගිය ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරවන්නට ජනතාව තීරණය කළේ ව්‍යවස්ථා වෙනසකට ඔහු දුන් පොරොන්දුව නිසාය. එම පොරොන්දුව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් නොව මාදුළුවාවේ සෝභිත හිමි ඇතුළු සමාජ ක්‍රියාකාරීන් විසින් ඉදිරිපත් කරන ලද්දකි. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත් වූයේ මාදුළුවාවේ සෝභිත හිමියන් ඇතුළු සමාජ ක්‍රියාකාරිකයන් විසින් ඔහුට භාර කරනු ලැබූ ව්‍යවස්ථා වෙනස ඉටු ඉටු කිරීමට පොරොන්දු දීම මගිනි

එසේ නම් ඔහු දැන් කියන එන්ජීඕ යනු අන් කිසිවකු නොව මාදුළුවාවේ හිමි ප්‍රමුඛ සමාජ ක්‍රියාකාරීන්ය. එසේම මාදුළුවාවේ හිමියන්ගේ එම වැඩපිළිවෙලට එක්සත් ජාතික පක්ෂය, ජවිපෙ TNA, මුස්ලිම් කොංග්‍රසය ආදී වශයෙන් වූ දේශපාලන පක්ෂ සහ සංවිධාන රැසක ද සහයෝගය ලැබුණි. එසේනම් එම දේශපාලන පක්ෂ ද අද සිරිසේන මහතා කියන එන්ජීඕ ගොන්නට අයත් විය යුතුය. 19 NGOවැඩක් නම් මෛත්‍රීපාල මහතාට තිබුණේ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවී ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රතික්ෂේප කරන්නට ය, ඒ මහතා එදා එසේ නොකළේ මන්ද යන්න ගැනත් n.g.o වන 19 පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නට එතරම් උනන්දුවකින් කටයුතු කළේ මන්ද යන්නත් පැහැදිලි කළ යුතුය

ඩ්‍රයිවර්ලා දෙන්නෙකු රට පාලනය කරන බවත් ඊට හේතුව 19 බවත් ජනාධිපතිවරයා මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේ කියා තිබුණි. දහනවවැනි සංශෝධනය ගෙන එනු ලැබුවේ විධායක ජනාධිපතිවරයාගේ ඒකාධිපති බලතල අඩු කිරීම සඳහා බව රටම දන්නා කරුණකි. ඒ අනුව වත්මන් ජනාධිපතිවරයාට බලය ඇත්තේ පවා අමාත්‍යාංශ දෙකක් සඳහා පමණි. එම බලය පවා හිමිවනු ඇත්තේ මෛත්‍රී මහතාගේ ජනාධිපති ධුර කාලය අවසන් වන තුරු පමණි. ඒ අනුව සිරිසේන මහතාගේ වගකීම් වන්නේ රට කරවීමේ වගකීම් අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව හෙවත් ව්‍යවස්ථාදායකයට බාරදී විධායකයේ කොටස නිසි පරිදි ඉටු කිරීමට කටයුතු කිරීමයි. නමුත් සිරිසේන මහතා මේ වනවිට වැඩි කැමැත්තක් දක්වන බව පෙනෙන්නේ පාර්ලිමේන්තුවට රට භාර දී නිහඩ වීමට නොව රාජ්‍ය පරිපාලන කටයුතුවලට අනවශ්‍ය පරිදි මැදිහත් වන්නට ය.

තමන්ට ව්‍යවස්ථාවෙන් බලයක් නොමැති නීතිය හා සාමය අමාත්‍යාංශය පවරාගැනීම. බලයක් නොමැති අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, නීතිවිරෝධී ආකාරයෙන් අගමැතිවරයෙකු පත් කිරීම ආදී සියල්ල මගින් ඒ මහතා ඔප්පු කරන්නේ එයයි. මෛත්‍රීපාල මහතා බලය ඉල්ලුවේ ජනාධිපති ධූරයේ විධායක බලය අහෝසි කරන්නටය. ජනතාව ඒ මහතා බලයට පත් කළේ ද විධායක බලය අහෝසි කරන්නට ය.ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල මහතා ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන්නේ නම් ඩ්‍රයිවර්ලා දෙන්නෙක්ගේ ප්‍රශ්නයක් මතු වෙන්නේ නැත. දැන් ගැටලුව වන්නේ සුක්කානම අතහරින්නට පොරොන්දු වී බලයට පැමිණි මෛත්‍රීපාල මහතා සුක්කානම කරකවන්නට පමණක් නොව, ගියර් දමන්නටත් බ්රේක් ගසන්නටත් උත්සාහ කිරීමයි. පසුගිය ඔක්තෝම්බරයේ ඒ මහතා උත්සාහ ගත්තේ වාහනයේ ගමන සම්පූර්ණයෙන් ආපසු හරවා තිබුණු තැනටම රට ආපසු ගෙන යන්නටය. ඒ උත්සාහය ව්‍යාර්ථ වූයේ 19 වැනි සංශෝධනය ක්‍රියාත්මක වූ නිසාය. දැන් ඒ මහතා ස්වාධීන කොමිෂන් සභා, මානව හිමිකම් කොමිසම ආදියට දොස් කියන්නේ ඔහු සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී නොවන නිසා බව ජනතාව වටහා ගත යුතුය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *