බිලියනයක මුදලක් සති 03ක් ඇතුළත ගෙවන ලෙස දොස්තර රාජිත සේනාරත්නගෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට එන්තරවාසියක්

රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ප්‍රකාශ හේතුවෙන් සමාජයට වැරදි මත ඉදිරිපත් වීම නිසා තම කීර්ති නාමයට සිදු වූ හානියට වන්දි වශයෙන් රුපියල් බිලියනයක මුදලක් සති 03ක් ඇතුළත ගෙවන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සින්නදොරේ සුන්දරලිංගම් සහ බාලේන්ද්‍ර නීතිඥ සමාගම මගින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වෙත එන්තරවාසියක් යොමු කර ඇත.

2019 ජනි මස 24 දාතමින් යොමුකර ඇති මෙම එන්තරවාසියේ, සති 03ක් ඇතුළත අදාළ මුදල නොගෙවන්නේ නම් වැඩිදුර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද නියමිත බව එම එන්තරවාසියේ සඳහන් කර තිබේ.

1994 වසරේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත පීඨයේ උපාධිධාරියෙකු වෙයි. වසර 25ක කීර්තිමත් දේශපාල ඉතිහාසයක් ඇති තම සේවාදායකයා කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන බව ද එන්තර වාසියේ සඳහන් වේ. විවිධ රජයන් යටතේ ඉඩම්, ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා, ධීවර හා ජලජ සම්පත්, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය යන අමාත්‍යධුර රාජිත සේනාරත්න මහතා විසින් දරා ඇත. යහපාලන රජය ස්ථාපිත කිරීමට වගකීමෙන් යුතුව කටයුතු කළ තම සේවාදායකයා ජාතික මට්ටමේ ජනප්‍රිය හා ඉහළ පිළිගැනීමක් සහිත පුද්ගලයකු බව ද එන්තරවාසියේ සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා දන්ත වෛද්‍යවරුන්ගේ සංගමයේ වසර 14ක් පුරා විවිධ නිලතල හොබවා ඇති රාජිත සේනාරත්න මහතා ජාතික වශයෙන් ගෞරවයක් අත්පත් කර දෙමින් ලොක සෞඛ්‍ය සංවිධානයේ ඇගැයුමට ද ලක්වී එහි උප සභාපති ධුරයෙන් ද පිදුම් ලැබීය.

2019 ජුනි 17 හෝ ඊට ආසන්න දිනයක දී රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පුළුල් මාධ්‍ය ආවරණයක් සහිතව මාධ්‍ය හමුවක් පවත්වා සිදු කළ ඇතැම් ප්‍රකාශ හේතුවෙන් තම කීර්තිනාමයට හානියක් සිදු කළ ඇතැම් ප්‍රකාශ හේතුවෙන් තම කීර්තිනාමයට හානියක් සිදු වූ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එන්තරවාසියක් යවමින් දැනුම් දී තිබේ.

වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් ඖෂධ ආනයනය කිරීමේ දී රුපියල් බිලියන 20ක මුදලක් රජයට අහිමි කළ බව ප්‍රකාශ කිරීම, ගුණාත්මකභාවයෙන් තොර ඖෂධ ආනයනය කිරීම, ශ්‍රී ලාංකිකයන්ට එරෙහි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම, සුවපති කිරුළ සඳහා රජයේ මුදල් අවභාවිතා කිරීම වැනි වටිනාකමකින් තොර වගකීම් රහිත ද්වේෂ සහගත අසත්‍ය ප්‍රකාශ සිදු කර ඇති බව එම එන්තරවාසියේ සඳහන් වෙයි.

එම ප්‍රකාශ මාධ්‍යයේ පළවීම හේතුවෙන් තමන් කම්පාවට පත් වූ බවත්, තම කීර්තිනාමයට හානියක් සිදු වී ඇති බවත් සෞඛ්‍ය ඇමතිවරයා එන්තරවාසියෙන් පෙන්වා දෙයි. ජාතික මැතිවරණ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත වකවානුවක සෞඛ්‍ය ඇමතිවරයාගේ චරිතයට හානි කිරීමේ වැඩපිළිවෙලක් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දියත්කර ඇති බව ද එන්තරවාසියේ සඳහන් වෙයි.

මැතිවරණවලදී සෞඛ්‍ය ඇමතිවරයා ප්‍රබල කථිකයෙකුද වෙයි. තම කීර්තිනාමයට සිදු වූ හානියට වන්දි වශයෙන් රුපියල් බිලියනයක මුදලක් සති තුනක් ඇතුළත ගෙවන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා එන්තරවාසිය මගින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට දැනුම් දී තිබේ.

තවදුරටත් අසත්‍ය ප්‍රකාශ සිදුකිරීමෙන් වළකින ලෙසත් අදාල වන්දි මුදල ගෙවීමට අපොහොසත් වුවහොත් වැඩිදුර නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් එම එන්තරවාසියෙන් අවධාරණය කර සිටියි.

මනෝජ් රූපසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *