චන්ද්‍රිකාගේ කැරැල්ල – සම්පත් අමරසිංහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී කණ්ඩායම සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සහයෝගීතාව මේ වන විට දේශපාලන ක්ෂේත්රය තුල මහත් ආන්දෝලනයකට තුඩු දී තිබේ. එය ප්රකාශමාන වන එක් ආකාරයක් වන්නේ පොදු ජන පෙරමුණ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන රැස්වීම් වල වේදිකාවලට ගොඩවන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට සාමාජිකත්වයේ හූ හඬ ගොදුරුවන්නට සිදුවීමෙනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු මෙරට ඉතිහාසයේ ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළ පක්ෂයක් බවට ට විවාදයක් නැත. ලෝකයේ සමාජවාදී සහ ධනවාදී වශයෙන් බල කඳවුරු දෙකක් පැවති සමයේ මෙරට දේශපාලනයේ සමාජවාදයට නැඹුරු දේශපාලන ධාරාව නියෝජනය කරනු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විසිනි. ශ්‍රිලනිපය යනු ආරම්භයේ පටන්ම මැද මාවතේ දේශපාලන ගමනක් ගිය පක්ෂයක් වශයෙන් හැඳින්වීම ද නිවැරදිය. ලෝකය බල කඳවුරු දෙකකට බෙදී පැවති වකවානුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනුදත් මාර්ගය වූයේ කඳවුරු දෙකෙහිම හොඳ හිත පවත්වාගෙන යාමයි. නොබැඳි ජාතීන් සමග එක්ව කටයුතු කරන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියා කරනු ලැබුවේද ඒ ප්‍රතිපත්තියේ පිහිටා ය.
ජනසතු ව්‍යාපාර ආදිය මගින් ප්‍රකාශයට පත්වන්නේ ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනතාවාද වාදී දේශපාලන නැඹුරුවයි. රටේ සංවර්ධනය සඳහා වන ප්‍රතිපත්ති සැලසුම් කිරීමේදී ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිගාමී දැක්මකින් යුතුව කටයුතු කරනු ලැබීය. මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුල පුරනු ලැබුවේ එවැනි අනාගත වාදී දර්ශනයකින් යුතුවය. මෙරට විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වා දීමේ අදහස මුලින්ම දරන ලද කණ්ඩායම වශයෙන් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හඳුන්වාදිය හැකිය. ඒ සිරිමා බණ්ඩාරනායක යුගයේ මුදල් අමාත්‍ය ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා යටතේය. කොළඹ නුවර අධිවේගී මාර්ගයක් සම්බන්ධ අදහසක්ද මුලින්ම හඳුන්වා දුන් පක්ෂය වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හඳුන්වාදිය හැකිය.
සියල්ලටමත් වඩා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැදගත් වන්නේ ප්රජාතන්ත්රවාදී රාමුව තුළ මහත් විශ්වාසය තබා කටයුතු කරනු ලැබූ පක්ෂයක් වශයෙන් 1971 කැරැල්ල සහ ඊට සම්බන්ධ වූ තරුණ පිරිස සම්බන්ධයෙන් ශ්‍රීලනිපයත් එවක එහි නායිකා සහ අගමැතිනී සිරිමා බණ්ඩාරනායක අනුගමනය කළ ක්‍රියා පිළිවෙත ඒ සඳහා නිදර්ශන වශයෙන් පවතී.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නායකත්වය අවසන් වන වනතුරුම මහත් ප්රජාතන්ත්රවාදී ගමනක පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම ගමන් මාර්ගයෙන් වෙනස්ව ප්රජාතන්ත්ර විරෝධී නැඹුරුවකට ලක් වනු ලැබූයේ මහින්ද රාජපක්ෂ පාලන යුගයේදී බව කියන්නට පුළුවන.
රාජපක්ෂ පාලනය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැවැති ප්රජාතන්ත්රවාදි විවෘත හා මධ්‍යස්ථ මතවාදය පැහැදිලි වෙනසකට ලක් කරනු ලැබුණි. රාජපක්ෂවරුන්ගේ උත්සාහය වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදු ජන පදනම අතුගා දමා පවුල්වාදයන් ගොඩ ගොඩනඟා ගැනීමයි.
රාජපක්ෂවරුන්ගේ අවශ්‍යතාව වූයේ ශ්‍රිලනිපය හරහා තමන්ට එතෙක් නොතිබුණු ප්‍රභූ තත්ත්වයක් ආරෝපණය කරගැනීම බව පෙනේ. එහි මුල් පියවර වශයෙන් සැලකිය හැක්කේ රාජපක්ෂ චරිතයට එතෙක් නොතිබුණ වැදගත්කමක් ආරෝපණය කිරීමට මහින්ද, බැසිල්, ගෝඨාභය ඇතුළු රාජපක්ෂවරුන් ගන්නා ලද උත්සාහයයි. ඩි. ඒ රාජපක්ෂ මහතා යනු බණ්ඩාරනායක මහතා සමග එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වී ගිය පිරිස අතරින් එක් අයකු පමණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භකයන් වන එච් ශ්‍රී නිශ්ශංක වැන්නන්ට සාපේක්ෂව ඩි . ඒ රාජපක්ෂ මහතා ඉතාම වැදගත් චරිතයක් වශයෙන් කැපී පෙනුනේද නැත.
මහින්ද රාජපක්ෂ පාලනය යටතේ ඉතිහාසයේ නොතිබුණු වැදගත්කමක් ඩි. ඒ රාජපක්ෂ මහතාට ආරෝපණය කිරීමට බලවත් උත්සාහයක් ගන්නා ලදී. හම්බන්තොට ඩි. ඒ රාජපක්ෂ අනුස්මරණ ගොඩනැගිලි ඉදි කිරීම ආදිය සැලකිය යුතු වන්නේ එකී නැති ප්‍රභූත්වය බලහත්කාරයෙන් ගොඩනඟා ගැනීමේ උත්සාහයක් වශයෙනි.
ඩි . ඒ රාජපක්ෂ අනුස්මරණ ඉදිකිරීම් යනු අත්තනගල්ලේ බණ්ඩාරනායක සමාධියට සමාන යමක් ඩි .ඒ රාජපක්ෂ මහතා වෙනුවෙන් ගොඩ නැගීමට තිබූ කැමැත්ත සංකේතවත් කරන්නකි. වෙනස වන්නේ බණ්ඩාරනායක සමාධිය බණ්ඩාරනායක මහතාගේ අභාවයත් සමග ඉදිකෙරුණක් වෙද්දි ඩී. ඒ රාජපක්ෂ මහතා වෙනුවෙන් එවැනි සිහිවටනයක් ගොඩනැගීමට එම මහතාගේ මරණයෙන් පසුව බොහෝ කාලයක් ඔහුගේ පුතුන් බලයට පත්වන තුරු ගත වීමයි.
තවත් ආකාරයකින් ගත්කල බණ්ඩාරනායක සමාධිය ගොඩනැගීම සඳහා රජයේ දේපල අවභාවිතයක් සිදුවී නැත. එහෙත් ඩි .ඒ රාජපක්ෂ අනුස්මරණය සඳහා ඔහුගේ පුතුන් කටයුතු කරනු ලැබුවේ රාජ්‍ය දේපළ මංකොල්ල කෑමේ ප්රතිපත්තියයක් හරහාය . මෙය එක්තරා ආකාරයක හීනමානයක් මගහරවා ගැනීමේ උත්සාහයක් වශයෙන් ද පෙන්වා දෙන්නට පුළුවන. රාජ්‍ය නායකයන් වෙනුවෙන් අනුස්මරණ සිහිවටන ගොඩනැගෙනුයේ ජනතාව විසින් ස්වේච්ඡාවෙනි. එවැනි සිහිවටන වලින් පෙන්නුම් කරනු ලබන්නේ ජනතාවගේ සිත් වල අදාල නායකයන් කෙරෙහි පවතින ආදර භක්තියයි. තමන්ගේ පිළිම තමන් විසින්ම නෙළා ගැනීම යනු එහි ප්රතිපක්ෂයයි. එනම් ඔවුන් වෙනුවෙන් පිළිම නෙළන්නට ජනතාව ස්වකැමැත්තෙන් ඉදිරිපත් නොවන බවයි. අවසාන වශයෙන් ඔප්පු වනු ලැබූවේ වක්කඩෙන් මඩසෝදා නාමයෝජනා අත්සන් කළ තැනැත්තෙකුගේ දරු පරම්පරාවට ඇඟපුරා මඩ තවරාගෙන දේශපාලනයෙන් සල්ලම් වන්නට සිදුවූ බවයි .
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහි කිරීම මගින් රාජපක්ෂවරු දරන උත්සාහය බව පෙනෙන්නේ බණ්ඩාරනායකවරුනට සමපාත වෙමින් පක්ෂය ගොඩනඟා ගත් පිරිසක් බවට පත්වීමේ බාල අපේක්ෂා මුදුන් පමුණුවා ගැනීමට බව පෙනේ. ඒ සඳහා තම මුල් පදනම වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවා දීමට ඔවුන් දෙවතාවන් සිතතන්නන්නේ නැත. එය ද එක්තරා ආකාරයක හීනමානයෙන් ප්රතිඵලයකි.
සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පදනම වෙනුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ ගොනු වී සිටින්නේ මිලිටරි මානසිකත්වයකින් යුතු ආත්මාර්ථකාමී පිරිසකි. බුද්ධිමතුන් යැයි තමන් හඳුන්වා ගන්නා පිරිසක් ද පොදුජන පෙරමුණ තුළ එක්රැස් ව සිටිති. එහෙත් ඔවුන් කිසිවිටෙකත් රටේ හෝ ජනතාවගේ පොදු යහපත සඳහා පෙනී සිටින හෝ කටයුතු කරන පිරිසක් නොවේ. ඒ වෙනුවට එම පිරිස උත්සාහ දරනු ලබන්නේ යහපාලන ආණ්ඩුව බලයට පත්වීම නිසා තමන් අතින් ගිලිහී ගිය රාජපක්ෂ සමයේ භුක්ති විඳිමින් සිටි වරප්‍රසාද නැවතත් අත්පත් කරගැනීමටය.
චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ නායකත්වයෙන් යුතුව මේ මොහොත වන විට ගොඩනැඟීමෙන් ඇති සංවිධානයන් එහි වැදගත්කමත් අප වටහා ගත යුතු වන්නේ ඉහත තත්ත්වයන් ද සිහියේ තබා ගනිමිනි. පොදුජන පෙරමුණ සමඟ එක්ව කටයුතු කරන ශ්‍රීලනිප පිරිසගේ අභිප්‍රාය වන්නේ ඇමතිධූර, රජයේ තනතුරු ලබා ගැනීම වුවත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සමඟ එක්ව කටයුතු කරන පිරිසගේ එකම අරමුණ රටේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කර ගැනීම වේ.
ඔවුන් පෙන්වා දෙන සත්‍ය වන්නේ යම් හෙයකින් ඉදිරි ජනාධිපතිවරණය ගෝඨාභය මහතා ජයගහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැවැත්ම අවසන් කර දමන්නට රාජපක්ෂවරුන් දෙවරක් නොසිතනු ඇති බවයි. එපමණක් නොවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ රට යොමු කරනු ඇත්තේ ද ඒකාධිපති පවුල් පාලනයක් වෙතට බව ද චන්ද්‍රිකා මහත්මිය ඇතුළු ශ්රිලනිීලනිප පිරිස පෙන්වාදෙති.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ සමග ගැටගැසීමට විරුද්ධව ශ්‍රීලනිපයේ ආසන සංවිධායකවරු පළාත් සහ ප්‍රාදේශීය මට්ටමේ නායකයන් රැසක් විරෝධය දක්වන හේතුව ද එයයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් රටේත් ජනතාවගේත් අනාගතය තහවුරු වන්නේ ගෝඨාභය මහතාගේ පරාජය මත බව වටහා ගනිමින් ඔවුහු ගෝඨාභය මහතා පරාජය කිරීම වෙනුවෙන් පෙනී සිටීම පිළිබඳ ප්රජාතන්ත්රවාදය අගයන සැමගේ ගෞරවය ඔවුනට හිමි විය යුතුව තිබේ.
