බුද්ධියට නිගාකිරීම – සී ජේ අමරතුංග – ලංකාදීප ” ගුරුදා විග්‍රහය” -2015 08 06
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුල්වරට පාර්ලිමේන්තුවට පිවිසුණේ නවසිය හැත්තෑ හතේ පැවැති මහ මැතිවරණයෙනි. එම මැතිවරණයේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වූයේ ජනතාවට ධාන්‍ය ආහාර රාත්තල් අටක් ලබාදෙන බවයි. එක්සත් ජාතික පක්ෂය කීවේ තමන් බලයට පත්වූ විට සැමටම සතියකට ධාන්‍ය රාත්තල් අට බැගින් ලබාදෙන බවයි.
ඒ වනවිට මේ රටේ පැවැති සලාක ක්‍රමය යටතේ සෑම දෙනාටම සතියකට සහල් කිලෝවක් (හෝ සේරුවක්* නොමිලේ ලබාදුන් අතර තවත් සහල් කිලෝවක් ලබාදුන්නේ සහන මිලකටය. ඒ සඳහා සැමටම සලාක පොතක් නිකුත් කරනු ලැබීය. එදා එක්සත් ජාතික පක්ෂය ධාන්‍ය රාත්තල් අටක් දෙන බව කියන විට මහජනයා විශ්වාස කළේ තමන්ට ලැබෙන කිලෝ දෙකේ (නැතහොත් සේරු දෙකේ* සලාකය රාත්තල් අට දක්වා වැඩිවනු ඇතැයි කියාය. අතිශයින් පීඩාවට පත්ව සිටි සාමාන්‍ය ජනයා එදා මෙම පොරොන්දුව මත එජාපයට ඡුන්දය පාවිච්චි කළ බව සිතිය හැකිය.
එම මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය බලයට පැමිණ පසුව කළේ සහල් සලාක ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමය. සලාක පොත ද ඒ සමඟ අහෝසි විය. පිටරටින් සහල් හා පිටි ගෙන්වා වෙළඳපොළට දැමූ ආණ්ඩුව කීවේ රාත්තල් අටක් නොව ඕනෑ තරමක් මිලදී ගත හැකි බවයි. එම ආණ්ඩුව ධාන්‍ය රාත්තල් අටේ පොරොන්දුව ඉටු කළේ ඒ ආකාරයෙනි.
පොරොන්දුවේ කෙරුවාව
නවසිය හැත්තෑවේ සමගි පෙරමුණු ආණ්ඩුව බලයට පත්වීමේදී ද වූයේ මෙබඳුම සිදුවීමකි. ඒ වනවිට නොමිලේ හාල් සේරුවක් සලාකයට ලැබිණි. සමගි පෙරමුණ කීවේ සේරු දෙකක් දෙන බවයි. කියනකොට කීවේ නොමිලේ දෙන බවයි. එසේ වුවද දෙවන හාල් සේරුව දුන්නේ මුදලටය. ඒ මේ රජය පොරොන්දු ඉටුකළ ආකාරයයි.
මෑත කාලය වනවිට නම් මැතිවරණ පොරොන්දු ගැන මහජනයාගේ එතරම් විශ්වාසයක් නැති තරමට එම පොරොන්දු කඩකොට ඇත. රජයේ සේවක වැටුප් වැඩිකිරීම, පාසල් දරුවන්ට කිරි ලබාදීම සහ වෙනත් නොයෙක් සහන ගැන දේශපාලන පක්ෂ පොරොන්දු වුවද බලයට පැමිණීමෙන් පසුව ඒ සියල්ල අමතක කර දැමුවේ කිසිදු ලජ්ජාවක් නැති ආකාරයෙනි.
තරමක් දුරට මෙම තත්ත්වයෙන් වෙනස් වූයේ පසුගිය දින සියයේ ආණ්ඩුවයි. එම සභාවල ප්රතිලාභ ජනතාවට ගලායාම කෙසේ වෙතත් ඛනිජ තෙල් හා ගෑස් මිල අඩුකිරීම, භාණ්ඩ ගණනාවක බදු අඩුකිරීම වැනි පොරොන්දු ක්‍රියාත්මක විය. රජයේ සේවක වැටුප් වැඩිවිය. විශ්‍රාමිකයන්ට සහන හිමිවිය. මේවා මෙසේ වූයේ තවත් මැතිවරණයක් ළඟ එන නිසා විය හැකිය. එයින් රටේ උද්ධමනයේ පහත යාමක් සිදුවූ බව පසුගියදා වාර්තාවිය. ජූලි මාසයේ උද්ධමනයක් වෙනුවට වාර්තා වූයේ සියයට දශම දෙකක අවධමනයකි. මැයි, ජූනි මාසවල උද්ධමනය වාර්තා වූවේ සියයට දශම දෙකක් හා එකක් වශයෙනි.
චන්ද වෙන්දේසි
ඒ සියල්ල මෑත හා ඈත අතීතයේ කතාය. මැතිවරණ පොරොන්දු දෙන හැටි හා ඉටු කරන, නොකරන ආකාරය ගැන එබඳු තවත් තොරතුරු ඕනෑතරම් අපට සිහියට නඟාගත හැකිය. එසේ වුවද මැතිවරණ පොරොන්දු ලබාදීමේ දී මහජනයාගේ බුද්ධියට නිගා නොකර වගකීමෙන් යුතුව කතා කරන්නට මෙරට දේශපාලනඥයන් දැන්වත් සූදානම් ද යන්න අද අපට පෙනන ගැටලූවකි.
දැන් යළිත් පටන්ගෙන ඇත්තේ ඡුන්ද වෙන්දේසියකි. දේශපාලන පක්ෂ ඡුන්ද පොරොන්දු ලබාදෙන්නට ඉදිරිපත්ව සිටින්නේ එකිනෙකා පරාජය කිරීමේ තරගයකට මෙනි. ඡුන්දය ලබාගැනීමේ තරගය පොරොන්දු දීමේ තරගයක් බවට පත්ව ඇති බව පැහැදිලිය. එසේ ලබාදෙන ඡුන්ද පොරොන්දු ඉටුකළ හැකිද යන්න ප්රශ්නයකි.
රජයේ සේවක වැටුප් වැඩිකිරීම දැන් ප්‍රධාන ඡුන්ද පොරොන්දුවකි. පසුගිය ජනාධිපතිවරණයේදී ද මෙම පොරොන්දුව ඉදිරිපත් විය. එදා කීවේ රුපියල් දස දහසක වැටුප් වැඩිවීමක් ගැනය. කෑලි කිහිපයකින් එය ඉටුවුව ද මූලික වැටුපට එක් කළේ නැත. මෙවර පොරොන්දුව එම මුදල් මූලික වැටුපට එකතුකිරීමයි. එවිට අනෙක් පාර්ශ්වයෙන් කියන්නේ මූලික වැටුප රුපියල් විසිපන්දහසක් කරමින් තවත් රුපියල් දස දහසක් ජීවන වියදම් දීමනාව ලෙස ලබාදෙන බවයි. එය ඉටු වුවහොත් නම් රජයේ සේවකයාගේ කල්ල මරේය. එසේ වුවද මෙය නම් ඉටුනොවන පොරොන්දුවක්ය යන්න නොදන්නා කෙනකු නැති තරම්ය.
ඡුන්ද දායකයා සිහින ලෝකවලට කැඳවාගෙන යන්නට සැලසුම් කළ මෙබඳු යෝජනා මැතිවරණ ප්‍රකාශන පුරා දැකිය හැකිය. විවාහ වන සෑම යුවලකටම රුපියල් ලක්ෂ දෙක බැගින් ප්‍රධානයක්, තරුණයන්ට රැුකියා අධ්‍යාපනයට රුපියල් පනස් දහසක්, මහපොළ දීමනාව හයදහසක් ආදී ආකර්ෂණීය යෝජනා එකී මැතිවරණ ප්රකාශනයෙන් පුරවා ඇත. සතිඅන්ත ඉංග්‍රීසි පුවත්පතක ගණන් හදා පෙන්වා දී තිබුණේ මෙම පොරොන්දු ඉටුකිරීමට නම් රුපියල් බිලියන හාරසියයක මුදලක් අවශ්‍ය බවයි. එබඳු මුදලක් කුමන රජයක් වුවත් අලූතෙන් සොයාගත යුතුය. එයද කළ හැක්කේ මහජනයාට බදු ගැසීමෙනි.
ජනතාවට හෙන
ඒ කියන්නේ මේ කියන දිව්‍ය ලෝකයට මහජනයා කැඳවාගෙන යන්නට නම් මහජනයා මතට හෙණයක් පාත් කරවන්නටත් සිදුවන බවයි. කලබල විය යුතු නැත. මේ දෙකෙන් එකක්වත් සිදුකළ නොහැකිය යන්න යථාර්ථයයි.
මේ කියන උදවියම පසුගිය කාලයේ තර්ක කළේ රජයේ සේවක වැටුප් රුපියල් දස දහසකින් වැඩි කිරීම කළ නොහැකි බවටය. ඒ එබඳු මුදලක් සොයාගැනීමේ ක්‍රමයක් නැති නිසාය. වත්මන් ආණ්ඩුව වැටුප් වැඩි කළේ එක වරක් පමණක් ක්‍රියාත්මක සුපිරි බදු පැනවීමෙනි. එවිට ප්‍රශ්න කළේ මේ අවුරුද්දේ එසේ කළත් ඊළඟ වසරේ මුදල් හොයන්නේ කාගෙන්ද කියාය. දැන් සුපිරි වැටුප් වැඩිවීම් දෙන බව කියන්නේ ඒ කටවල් වලින්මද යන්න සිතාගත නොහැකිය.
විවාහ වන සෑම යුවලකගෙන්ම රුපියල් පන්දහසක බද්දක් අයකරන්නට ගත්තේ රජයේ වෙනත් වියදම් පියවාගන්නටය. එසේ ගත් පන්දාහ එකතු කරන්නේ රටේ අයවැය ගැටගසා ගන්නටය. ඒ වෙනුවට දැන් හදන්නේ ලක්ෂ දෙක බැගින් දෙන්නටය. එලෙස ලක්ෂ දෙක දෙක දෙන්නට බදු ගන්නේ කාටද කියා නොකීම අඩුපාඩුවකි.
විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපොළ ශිෂ්‍යත්වය වසර දහයකින් වැඩි කළේ නැත. එය පන්දහසක් කරගන්නට කොතරම් සටන් කළත් ඒවා බීරි අලින්ට වීණා වැයීමක් වී තිබිණි. අන්තිමේ සටන්වල ප්‍රතිඵල ලෙස ශිෂ්‍යත්ව මුදල් පන්දාහ ලැබිණි. දැන් එය හයදාහ කරන්නට සෙනෙහස පහළ වී තිබෙන්නේ පුදුමාකාර අන්දමිනි.
සුරන්ගනා කතා
පොරාන්දු තරගයේ සිටින අනෙක් ප්‍රධාන පක්ෂවල කතා ද සුරංගනා කතා නොවේ යැයි කිව හැක්කේ තරමක සැකයකින් යුතුවය. රජයේ සේවකයන්ගේ වැඩිකළ වැටුප මූලික වැටුපට එකතුකිරීම වැදගත් ක්‍රියාවකි. එසේ වුවද එයට මුදල් සෙවීම පවා පවතින ආර්ථික තත්ත්වය යටතේ පහසු නැත.
රැුකියා දශ ලක්ෂයක් නිර්මාණය කිරීම හොඳ ඉලක්කයකි. එමෙන්ම එය විශාල අභියෝගයකි. නිවාස පන් ලක්ෂයක් ලබාදීම, කෘෂි නිෂ්පාදනවලට ලබාදෙන ඉහළ මිල ආදිය ක්‍රියාත්මක කිරීම පහසු නැත. පොකුරු ගම් වැනි ව්‍යාපෘති ද අද හෙට නොකෙරෙන බව පැහැදිලිය.
රට සංවර්ධනයේ සැලසුම් ගැන කතා කිරීම මැතිවරණයක දී වැදගත්ය. එසේ වුවද ඕනෑම සැලසුමක් ක්‍රියාත්මක කිරීම සඳහා පිරිවැයක් දරන්නට සිදුවන බවත් ඒ සෑම ක්‍රියාවකටම යම් කාලයක් ගතවන බවත් තේරුම් ගතයුතු කරුණුය. ඒ සියල්ල සැලකිල්ලට ගත් සැලසුම් ඉදිරිපත් කරනවා වෙනුවට කෙටි කලෙකින් සුරංගනා ලොවක් ඉදිකරන බව කියන්නේ නම් එය අවසානයේ සුරංගනා කතාවක්ම වීම වැළැක්විය නොහැකිය.
සෑම පවුලකටම නිවසක්, සැමට අධ්‍යාපනය සහ රැුකියා වැනි පරමාදර්ශී යෝජනා පිළිබඳව ඉහත කී සියල්ල අදාළය. මේ සියල්ල රජයකින් කරන්නට අවශ්‍ය බව කීවද ඒ සඳහා රජයට මුදල් ලබාගන්නට වන්නේ මහ ජනයාගෙන්මය යන කාරණය නොතකා හැරීම එක්කෝ නොදැනුවත්කමකි. නැතහොත් කපටිකමකි.
මැතිවරණයකදී ජනතාවට ඉදිරිපත් විය යුත්තේ මෙබඳු මනෝරාජික එනම් මනසෙහි නිර්මාණය කරගත් සොඳුරු වැඩසටහන් නොවේ. ඇත්ත ලෝකයේ පවතින තත්ත්වය තුළ ක්‍රියාත්මක කළ හැකි යථාර්ථවාදී වැඩසටහන්ය. එසේ වුවද අපගේ ඇතැම් ප්‍රධාන පක්ෂ ඉදිරිපත් කොට ඇත්තේ කිසිදු ආකාරයක වැඩසටහන් නොවන පොරොන්දු පත්රයකි. එනම් දන්සල් දීමේ පොරොන්දුවකි.
දෙවියන්ගේ වර
අපේ ගැමි කතාවලට අනුව නම් මෙලෙස සිතූ පැතූ දේ මවා දියහැක්කේ දෙවියන්ටය. දෙවියන්ට ද ඒ සඳහා සීමාවක් ඇත. බොහෝ විට ඇත්තේ වර තුනකි. එනම් අවශ්‍යතා තුනක් මවාදිය හැකිය. ඉන් එහාට යමක් කරන්නට බැරිය.
මෙවර දේශපාලනඥයන් හැසිරෙන්නේ හා මවාපාන්නේ තමන් දෙවියන්ට ද වඩා කෙරුමන්ය යන ආකාරයෙනි. මහ ජනයාට කප්පරක් අවශ්‍යතා කිසිදු අපහසුතාවකින් හා සීමාවකින් තොරව ලබාදෙන්නට මොවුනට හැකියාව ඇති බව කියති. එසේ වුවද කවුරුත් දන්නා කරුණු නම් මේ සියල්ල ඡුන්ද කාලයේ කයිවාරු පමණක් බවයි. මේවා ඉටුකරන්නට බැරි බව පොරොන්දු දෙනවිට කවුරුත් දනිති. එසේ වුවද ඒවා ගැන දිවුරා පොරොන්දු වෙමින් හෝ ඡුන්දය දිනාගැනීම එකම අරමුණයි. ඡුන්දය දිනුවාට පසුව මේ කළ කී දේ ගැන සිතන්නට වුවමනාවක් නැත. එහෙම වගකීමක් ඇති බවක් මේ දේශපාලනඥයන් නොදන්නා බව ඔවුන්ගේ හැසිරීමෙන් පෙනී යන කාරණයයි.
තමන් ඡුන්දයෙන් පරදින බව පෙනීයන්නේ නම් හා ඒ බව තේරුම් ගෙන ඇත්නම් පොරොන්දු දෙන්නට කිසිදු බියක් සැකක් නැතිවීම ද තේරුම් ගතහැකි කාරණයකි. ඒ තමා බලයට පත්නොවන නිසා මේ පොරොන්දු කිසිවක් ඉටුකිරීමේ කුමන හෝ වගකීමක් දැරීමට සිදුනොවන බව දන්නා නිසාය. එබැවින් මේ පොරොන්දු දෙන්නේ ඉටුකරන්නට සිදුනොවන බව හොඳින්ම දන්නා නිසා බව තේරුම් ගැනීම අපහසු නැත.
බංකොලොත් බව
අනෙක් අතට මෙබඳු පොරොන්දු මගින් ඡුන්දය දිනාගැනීමට උත්සාහ දැරීමෙන් පැහැදිලි වන්නේ ජනතාවට ඒත්තු යන රටට ගැළපෙන දේශපාලන ආර්ථික වැඩසටහන් ඉදිරිපත් කිරීමට මෙම දේශපාලන පක්ෂවලට ඇති නොහැකියාවයි. නැතහොත් නොදැනුවත් බවයි. එනම් මේ පක්ෂවල දේශපාලන බංකොලොත් බවයි. ඒ නිසා උපරිම උත්සාහය දරන්නේ මොන මොනවා හෝ දෙන බවට මහා පරිමාණ පොරොන්දු දෙමින් ජනතාව රවටා ගැනීමටය. මෙය දේශපාලන දුප්පත්කම මිස අන් යමක් නොවේ.
එසේ වුවද මෙමගින් ජනතාවගේ බුද්ධියට කරන නිග්‍රහය පිළිබඳව නම් සමාව දිය නොහැකිය. මේ දෙන පොරොන්දු දෙන ආකාරයෙන්ම ඒවායේ ඇති වංචනිකභාවය තේරුම් ගන්නට තරම් අපගේ ඡුන්ද දායකයා බුද්ධිමත් නැතැයි මේ දේශපාලනඥයන් සිතන්නේ නම් එය වැරැුදීමකි. මහ ජනයා ඡුන්දය දෙනවිට මේ පොරොන්දු ගැන තැකීමක් නොකරන බව මෙම ජනතාවගේ ප්‍රතිඵලවලින් කාටත් බලාගත හැකිවනු ඇත. මහ ජනයාගේ බුද්ධියට නිගාකරන පොරොන්දු කාරයන් ගෙදර යවන්නට මහ ජනයා පසුබට නොවනු ඇත.
ඇත්ත වශයෙන්ම සිදුවනු ඇත්තේ මහ ජනයාට මහා පරිමාණ දන්සැල් දීමට පොරොන්දු දී ඡුන්දය බාගන්නට හදන දේශපාලනඥයන්ට මහ ජනයාගෙන් මතක හිටින පාඩමක් ඉගෙන ගන්නට ලැබීමයි. ජනතාව ගොනාට අන්දන්නට හදන දේශපාලනඥයන්ට තමන් ගොනාට ඇන්ද බව තේරුම් යන්නේ ඡුන්දය අවසන්වීමෙන් පසුවය. සුරංගනා කතා පසෙක තබා රටට අවශ්‍ය දේශපාලන වෙනස කරන්නට ජනතාව තම ඡුන්දය පාවිච්චි කරනු ඇත. මෙරට ඡුන්දදායකයාගේ බුද්ධිමත් බවත්, පරිණත බවත් මෙම මැතිවරණයේදී කාටත් දැකගත හැකිවනු නියතය.
