ඡන්ද ප්‍රතිඥා – නරලොව සිට නරසිංහ වාර්තා කරයි
පොළොන්නරුවේ සංචාරය අවසන් කර පැමිණි ජනාධිපතිතුමාට සුළු දිය පහකරන්නට වොෂ් රූමයට යන්නට වත් ඉඩ නොදී දුරකතනය නාද වන්නට පටන් ගත්‍තේය. ජනාධිපතිතුමා වහ වහා වොෂ්රූමයට දිව්වේ දුරකථනයට පිළිතුරු දෙන්නැයි නෝනාට අතින් සංඥා කරමිනි.
“ඉන්නවා මේ දැන් ආවා විතරයි. ෆෝන් එක දෙන්න අමාරුයි. එයා දැන් පුංචි පෞද්ගලික රාජකාරි වැඩක” කියා නෝනා කියන විටම ජනාධිපතිතුමා පිටතට ආවේය. නෝනා ජනාධිපතිතුමාට රාජපක්ෂ මහත්තයා කියා කීවේ දුරකථනය අතින් වසා ගනිමිනි.
“රාජපක්ෂ මහත්තයා කොහොමද විස්ත්ර? මෙගේ කාතව හොඳයි නේද?” කියා ජනාධිපති තුමා ඇසුවේ එහා කෙළවරේ ඉන්නේ පොළොන්නරුවේ රාජපක්ෂ මහත්තයා කියා සිතාය.
නමුත් එහා කෙළවරේ සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාය. “පොළොන්නරුවේ කතාව බොහොම හොඳයි. මම කතා කෙළේ ප්‍රතිඥා දෙන්න එන්න වෙලාවක් ඉල්ලගන්න” කියා ගෝඨාභය මහතා කීවේය.
“ප්‍රතිඥා දෙන්න දිනල එන්න එපායැ. ඡන්‍දෙන් පස්සෙ, දිනල තිබුබොත් කතා කරන්න මම වෙලාවක් දෙන්නම්.” කියා ජනාධිපති තුමා කීවේය.
“ඡනදෙ දින්නාම කරන්නේ දිවුරුම් දීම. ප්‍රතිඥා දෙන්‍නෙ ඡන්දෙ ඉල්ල ගන්න. මම වෙලාවක් ඉල්ලන්‍නෙ ප්‍රතිඥා දෙන්න” කියා ගෝඨාභය මහතා කීවේය.
“උප ජනාධිපතිකම ගැනද? අගමැතිකම ගැනද? උප අගමැතිකම ගැනද?” කියා ජනාධිපති තුමා ඇසුවේ වට පිට බලා නෝනා ඇසෙන දුරක නොමැති බව තහවුරු කරගත් පසුවය.
“නැහැ මම කතා කළේ මරණ දඬුවම ගැන” කියා ගෝඨාභය මහතා කීවේය.
“හිටං විහිළු කරනවද?” කියා ජනාධිපතිතුමා ඇසුවේ ඡන්දයට පෙර කී තාජුදින්, ලසන්ත, එක්නැලිගොඩ කතන්දරත්, ඡන්දයෙන් පසුව කී අඩිහයක් යට කතාවත් එකවර මතක් වූ නිසාය.
“විහිළු නෙමෙයි. මරණ දඬුවම දෙනව කියල පොරොන්දු වෙන අයට විතරක් ඡන්‍දෙ දෙන්න කියල පොළොන්නරුවෙදි කීව නේද?” කියා ගෝඨාභය ඇසුවේය.
“මරණ දඬුවම කාටද? මට?” කියා ජනාධිපතිතුමා ඇසුවේය.
“ඔහෙට නෙවෙයි. කුඩු, කසිප්පු විකුණන අයට” කියා ගෝඨාභය මහතා කීවේය.
“එක මිසක්: එත් ඒ ගැන අමුතුවෙන් ප්‍රතිඥා දෙන්න ඕන නැතිවෙයි. මිනිස්සුන්ට තාමත් වැලිකඩ සිද්ධිය අමතක නැතුව ඇති. ඒ නැතත් රනිල් මහත්තයා ඒ ටික ජනතාවට මතක්කරල දෙයි. මටත් ඒ ගැන ටිකක් හිතන්න පුළුවන්. දැනටමත් සමහරුන්ට ලසන්ත, තාජුදින් මතක් වෙලා තියෙන්‍නෙ” ජනාධිපතිතුමා කීවේය.
“එතකොට මට එක ඡන්ද පොරොන්දුවක් අඩු වෙනවා” ගෝඨාභය මහතා කීවේය.
“හිර ගෙවල්වල ඉන්න අපරාධ කාරයො ඔක්‍කොටෝම වැලිකඩ මෙතඩ් එකට දඬුවම් කරනවා කීවම හරි. මගේ එල්ලුම් ගහට දැනට 99%ක් තියෙනවා. වැලිකඩ මෙතඩ් එක දැම්‍මොත් ඔයාට මට වැඩිය හිට් වෙන්න පුළුවනි.”
“කියා කී ජනාධිපතිතුමා ගෝඨාභයගෙන් ඇසුවේ සුගතදාස එකේ ස්ටේජ් එක එක වලව්වෙ හැඩේට හැදුවෙ මොකද?” කියාය.
“හැමදාම මැදමූලන විල් ගොමුවේ ලගින සෙට් එකට වලව්‍වේ මැද සාලේ වාඩි වෙන්න පොඩි චාන්ස් එකක් දෙන්න හිතුණ නිසා” එවිට ගෝඨාභය මහතා කීවේය.
ජනාධිපතිතුමා දුරකතනය තැබූ සැණින් නැවත නාද වෙන්නට පටන් ගත්‍තේය. එවර කතා කළේ දයාසිරිය.
“සර් මාර පිස්සු කතාවක්‍නේ කළේ?” කියා දයාසිරි කීවේය.
මොන පිස්සු කතාව ගැන ද ඔය කියනනෙ? කියා ජනාධිපති තුමා අසුවේය.
පොළොන්නරුවෙදි කීව මරණ දඬුවම් කතාව කියා එවිට දයාසිරි කීවේය.
“මොන පිස්සුවක් ද හිටං?” කියා එවිට ජනාධිපති තුමා ඇසුවේය.
“දැන් රොත්ත බුරුත්තම මරණ දඬුවම දෙන්න පොරොන්දු වුණොත් අපි මොනවද ජනාධිපතිවරනෙට කියන්‍නේ? මොරගහකන්ද නැවත හදනවා කියන්නද? අපරාදෙ අච්චර හොඳට හිට් වෙච්ච සරන් පාඨය” කියා දයාසිරි කීවේය.
“හිට් වුණා කියලා කියන්‍නෙ කොහොමද?” කියා ජනාධිපතිතුමා ඇසුවේය.
“ඇයි අනුරාධපුරේ රේටින් වලින්ම පෙනුනා නේද?” කියා දයාසිරි ඇසුවේය.
“කවුරු කොහොම කීවත් අනුරාධපුරේ රේටින් ගැන මට පොඩි සැකයක් තියෙනවා” කියා ජනාධිපතිතුමා කීවේය.
“ඇයි එහෙම කියන්නෙ?” කියා දයාසිරි ඇසුවේය.
“අනුරාධපුරේ වැඩේ රනිල්‍ගේ නිසා අපු යූඑන්පී කාරයෝ මාව අන්දන්න මනාප දුන්නද සැකයි” කියා ජනාධිපතිතුමා කීවේය.
“ඒ මොක වුණත් අනිත් අයත් මරණ දඬුවම දෙනව. කීවොත් අපිට මාර පාඩුවක් වෙනවා” කියා දයාසිරි කීවේය.
“පාඩුවක් වෙන්‍නේ නැහැ. මකුණො ඉන්න ඇඳක තනියම නිදියනවට වඩා සෙට් එකක් එක්ක නිදියනව වගේ චාන්ස් එකක් එනවා” කියා ජනාධිපතිතුමා කීවේය.
“මකුණු කතාවයි, මේ කතාවයි අතරෙ සම්බන්‍ධෙ මොකක්ද?” කියා දයාසිරි ඇසුවේය.
“ඇඳේ ගොඩ දෙනෙක් ඉන්දි එක්කෙනෙක්‍ගෙ කන මකුණො සංඛ්‍යාව අඩුවෙනවා” කියා ජනාධිපතිතුමා කීවේය.
“මකුණයි, මරණ දඬුවමයි අතරෙ සම්බන්‍ධෙ මොකක්ද?” කියා දයාසිරි ඇසුවේය.
“මරණ දඬුවම ගැන කතාකරල මට පිටරටවලිනුයි, සිවිල් සංවිධානවලිනුයි, මානව හිමිකම්කාරයන්‍ගෙනුයි යූ.එන්.පි. යෙනුයි හැම අතින්ම හිට්වුණු හිට්විල්ල දැක්‍කෙ නැද්ද?” කියා ජනාධිපතිතුමා ඇසුවේය.
“එත් අනිත් හැමෝම මරණ දඬුවම අල්ලා ගත්‍තොත් අපට එල්‍ලෙන්න වැලක් නැතුවම යනවා” කියා දයාසිරි කීවේය.
“දෙදාස් පහළොවේ ඡන්‍දෙ දිනපු මට ඔකත් කජ්ජක් ද කියා ජනාධිපතිතුමා කීවේය.”
“දෙදාස් පහළවයි මේකයි අතරෙ සම්බන්‍ධෙ මොකක්ද?” කියා දයාසිරි ඇසුවේය.
“ඇයි මම ආවේ යහපාලනය කරන්න. ඉතිං මම කළාද?” කියා ජනාධිපතිතුමා කීවේය.
දයාසිරි ඊට පිළිතුරක් දුන්‍නේ නැත. “කළා කීවොත් සිල් පදයක් කැඩෙනවා. නොකළා කීවොත් ලොක්කා තරහ වෙනව.” කියා දයාසිරි කල්පනා කළේය.
“මොකද දයාසිරි කල්පනා කරන්‍නේ?” කියා ජනාධිපතිතුමා ඇසුවේය.
“උන් ඔක්‍කොම මරණ දඬුවම දෙන්න හැදුවොත් අපි කියන්‍නෙ මොකද්ද?” කියල කලපනා කළා යැයි දයාසිරි බොරුවක් කීවේය.
“කලබල වෙන්න දෙයක් නැහැ. ලේකම් තුමා අනිත් අය හැමෝම මරණ දඬුවම දෙනව කී ගමන්ම අහෝසි කිරීමේ සටන පටන් ගන්නවා” කියා ජනාධිපතිතුමා කීවේය.
“එතකොට කුඩුකාරයො? අපරාධකාරයො? පාස්කු බෝම්බකාරයො? උන්ට මොකද වෙන්‍නෙ” කියා දයාසිරි ඇසුවේය.
“පූජිතට ආයෙත් පොලිස්පතිකම බාර දෙනව” කියා ජනාධිපතිතුමා කීවේය.
“සහරාන්ගෙ ටීම් එකට චාන්ස් එකක් දෙන්නද?” කියා දයාසිරි ඇසුවේය.
“පිස්සුද මල්ලි, අපරාධකාරයන්ට මරණ දඬුවම වෙනුවට මෛත්‍රි භාවනාව උගන්වන්න පූජිතට බාර කරනවා. ‘මෛත්‍රි යුගයක් නැවතත් ඔබට’ කියල ඡන්ද සටනට බහිනවා.” කියා ජනාධිපතිතුමා කරුණු පැහැදිලි කළේය.
