‘ආඬවනේ මුරුගා මගෙ ඡන්ද මැසිම කැඩුනා’ ‘ආඬවනේ මුරුගා මගේ ඡන්ද මැසිම ඉවරායි’

අ‍ඳෝනාවක් ඇසී පාර දෙස බැලූ ඉස්කෝල මහත්තයා දුටුවේ ගමන් මල්ලක් කරේ එල්ලාගෙන පාරදිග හඬමින් යන ජිල් මහත්තයාය.

‘මොකෝ ජිල් මහත්තයා ප්‍රොපෙසර් කමටවත් නොගැලපෙන තාලෙට සෝ ගී ගයමින් පාරදිග යන්නෙ? පොහොට්ටුවෙ නාමමාත්‍ර නායකකමත් සාටක රජා උදුර ගත්තවද්ද?’ කියා ඉස්කෝල මහත්තයා ඇසුවේය.

‘පිස්සු කතාකරනවද ළමයා සාටක රජා මගේ පොහොට්ටු නායක කම් උදුර ගන්නෙත් නැහැ. දුන්නත් ගන්නෙත් නැහැ. සල්ලි එක්ක දුන්නත් බාර ගන්නෙ නැහැ කියා’ එවිට ජිල් මහත්තයා කී‍වේය.

‘ඒ මොකද මහාචාර්යතුමා පොහොට්ටු නායකකම ඒ තරමටම කුජීත වෙලාද?’ කියා ඉස්කෝල මහත්තයා ඇසූ විට ජිල් මහත්තයා කීවේ, ‘පොහොට්ටු නායකකම කුජීතු වෙලා නෙමෙයි, පොහොට්ටු‍ නායකකම නිසා අපූරුවට හිටපු මම කුජීතු වුණා’ කියාය.

‘මහාචාර්ය තුමා කියන දේ මට තේරෙන්නේ නෑ’ යයි ඉස්කෝල මහත්තයා කීවේය. එවිට ජිල් මහත්තයා ඉස්කෝල මහත්තයාට කීවේ, ‘ඔයාට නෙමේ ළමයා මට වෙන්න යන දේ මටත් තේරෙන්නේ නැහැ’ කියාය.

‘එතකොට මහාචාර්ය තුමා දුක් ගී ගයන්නේ මොන හේතුවකට ද?’ කියා ඉස්කෝල මහත්තයා ඇසුවේය.

‘මුරුගා.., මුරුගා…, ආඬවනේ මුරුගා මගෙ ඡන්ද මැෂිම කැඩුණා වතාවක් නෙමේ මුරුගා, දෙපාරක්ම කැඩුණා.’ කියමින් ජිල් මහත්තයා තවත් හයියෙන් අඬන්නට පටන් ගත්තේය.

‘කියන දෙයක් මටත් තේරෙන්න කියන්න සර්. සර් වගේ කෙනෙක් මේ විදිහට අඬනඑක හරි නෑ. මොකද වුණේ? කැඩුණෙ මොකක්ද? කොහෙදිද කැඩුණෙ?’ ඉස්කෝල මහත්තයා ඇසුවේය.

‘ඔය ඡන්ද මැෂිම කියනදේ විශ්වාස කරලා මට දැන් පාරෙ යන්න බැරි තත්ත්වයක් උදාවෙලා. ගෙදර ගියත් මා නසී. මග හිටියත් මා නසී’ ජිල් මහත්තයා කීවේය.

‘අනේ සර්, කරුණාකරල වෙච්ච දේ කියනවද?’ ඉස්කෝල මහත්තයා කීවේය.

‘අද පාර්ලිමේන්තුවෙ වෙච්ච දේ ළමයා දන්නෙම නැද්ද?’ කියා එවිට ජිල් මහත්තයා ඇසු‍වේය.

‘ඇත්තටම දන්නෙ නැහැ. මොකද මන්ත්‍රිවරු දෙන්නෙක් ආයෙමත් ප්‍රිය වචන කතා කරල ද?’ කියා ඉස්කෝල මහත්තයා ඇසුවේය.

‘ප්‍රිය වචන කතා කරල නෙමෙයි ළමයා, ඇස්.බි.යා අපි නැත්තටම නැති කළා’ කියා ජිල් මහත්තයා කීවේය.

‘හඟුරන්කෙත එස්.බී. කොහොමද පාර්ලිමේන්තුවෙදි ජිල් මහත්තයා නැති කරන්නෙ. ජිල් මහත්තයා පාර්ලිමේන්තුවෙන් විසිවෙලා දැන් බොහොම කල් නේද?’ කියා ඉස්කෝල මහත්තයා ඇසුවේය.

‘ඇයි ළමයා අද අයවැය විවාදෙ අන්තිම දවස කියල දන්නෙ නැද්ද?’ කියා ජිල් මහත්තයා ඇසුවේය.

‘අයවැය විවාදෙ අවසන් වුණාට ජිල් මහත්තයට මොකද, ජිල් මහත්තයට වැය ශීර්ෂයක් කියනවා ද? කියා ඉස්කෝල මහත්තයා ඇසුවේය.

‘මේ ළමයා දන්නවනේ වජිරගෙ වැය ශීර්ෂයයි, චම්පිකගෙ වැය ශීර්ෂයයි පාර්ලිමේන්තුවෙදි පරාජය වුණා කියල?’ ජිල් මහත්තයා ඇසුවේය.

‘දන්නවා. ඉතිං?’ ඉස්කෝල මහත්තයා කීවේය.

‘ඒ පැරදිච්ච වෙලාවෙ ඇස්.බී.ලා, ඩිලාන්ලා කයිවාරු ගැහුවෙ අප්‍රේල් පහට අය වැය පරද්දලා ආණ්ඩුව අල්ලන්නනෙ. ඉතින් මමත් බොහොම සන්තෝසෙන් හිටියෙ. සාටක අගමැති යටතෙ කාර්යභාරයක් නැති ඇමතිකමක් නැත්නම් වයෝවෘද්ධ ඇමතිකමක් හරි ලැබෙයි නේද කියල. ඒ තියා මම පහුගිය දවස්වල ගෙදර ගියෙත් මෙදා පොටේ වැඩේ හරි කාලේ හොඳා කිය කිය’ ජිල් මහත්තයා යළිත් අඬන්නට පටන් ගත්තේය.

දැං ඉතින් මොකද වෙලා තියෙන්නෙ? එස්.බී. මහත්තයා පොහොට්ටුවෙ නායකකම ඉල්ලන්න යනවද?’ ඉස්කෝල මහත්තය ඇසුවේය.

පොහොට්ටුවෙ නායකකමට මම ඇරෙන්න බල්ලෙක්වත් ගන්නෙ නැහැ. ඒත් එයා කයිවාරු ගහලා අය වැය ඡන්දෙන් අපි කුජීතු කළා. ආණ්ඩුව දිනුවා. අපි සල්ලං වුණා. අනේ එකෙක්වත් අනේ කියල හිතලවත් අයවැය පරද්දන්න ඡන්දෙ දුන්නෙ නැහැ. අන්තිමට එස්.බී.යයි, හාලිඇල හාලිකටයි විතරයි. උනුත් ඉවරයි. අපිත් ඉවරයි.’ ජිල් මහත්තයා කීවේය.

‘දැන් එතකොට ජිල් මහත්තයා මල්ලකුත් අරගෙන යන්නෙ කොහෙද?’ කියා ඉස්කෝලෙ මහත්තයා ඇසුවේය.

‘මම යනවා ඇමරිකාවට. ඇමරිකාවෙ කැලිෆෝනියාවලට’ ජිල් මහත්තයා කීවේය.

‘ඒ මොනවට ද? බය ගෝතාට එපා වෙච්ච ද්විත්ව පුරවැසි කම ඉල්ල ගන්නද?’ කියා ඉස්කෝල මහත්තයා ඇසුවේය.

‘මේ ළමයා එහෙනම් ඒ විපත්තියත් තාම දන්නෙ නෑ වගේ’ ජිල් මහත්තයා කීවේය.

‘මොකක්ද විපත්තිය? බයගෝතා ඕනමයි කියල ඇමරිකාව කියනවද?’ ඉස්කෝල මහත්තයා ඇසුවේය.

‘ඕනමයි කියනවා නෙමෙයි. මාකඳුරෙ මධූෂ්ට ඩුබායිවලදි ඇදිච්ච ටිකට් එක ගෝතට ඇමරිකාවෙදි ඇදෙන්න යනවා’ කියා ජිල් මහතා කීවේය.

‘හත්වලාමයි! ඒ කොහොමද?’ ඉස්කෝල මහතා ඇසුවේය.

‘අහිම්සා කීවට ලසන්තගෙ දුව අන්තිම නපුරුයි. අන්න ඇමරිකාවෙ උසාවියක ගෝතට විරුද්ධව නඩුවක් පවරලා.’ ජිල් මහතා කීවේය.

‘අයියෝ ජිල් මහත්තයා, ඕකට ඔච්චර කලබල වෙන්න එපා. “හූ ඉස් ලසන්ත කියල” මෙහෙදි කිව්වා වගේ, හූ ඉස් අහිම්සා කියලා ගෝතා එහෙදිත් කියයි.’ කියයි ඉස්කෝල මහත්තයා කීවේය.

‘මෙහෙදි වගේ හූ ඉස් ගහල බේරෙන්න ලේසි නැහැ’ මතක් වෙනකොටත් මගේ තට්ටේ  රත්වෙනවා.’ ජිල් මහත්තයා කීවේය.

‘දැන් මොකටද ජිල් මහත්තයා මේ හදිස්සියෙ ඇමරිකාවට යන්නෙ?’ ඉස්කෝල මහත්තයා නැවත ඇසුවේය.

‘කැලිෆෝනියාවත් අලුත්කඩේ වගේ ද කියලා ටෙස් කරල බලන්න’ ජිල් මහත්තයා කීවේය.

‘ම‍ටතේරුණේ නැහැ.’ ඉස්කෝල මහත්තයා කීවේය.

‘එහෙදිත් මේ වගේ අත්අඩංගුවට ගැනීම වළක්වා ගන්න වාරණ නියෝගයක් ගන්න පුළුවන්ද බලනවා’ කියා ජිල් මහතා කීවේය.

‘පුළුවන් වුණොත් ගෝත හැරෙන තැපෑලෙන් ලංකාවට එවනවද?’ ඉස්කෝල මහත්තයා ඇසුවේය.

‘නැහැ එයාට ඇම‍රිකාවෙම ඉන්න කියනවා.’ ජිල් මහත්තයා කීවේය.

‘හත්ඉලව්වයි! එතකොට මෙහෙ එළිය ගන්නෙ කවුද? ජනාධිපති ඡන්දෙට ඉල්ලන්නෙ කවුද?’ ඉස්කෝල මහත්තයා ඇසුවේය.

‘ඒ නිසා මෙහෙ පුරවැසිකම අතඇරලා එහෙ ජනාධිපතිකමට ඉල්ලන්න කියනවා.’ ජිල් මහත්තයා කීවේය.

‘එතකොට පොහොට්ටුව?’ ඉස්කෝල මහත්තයා ඇසුවේය.

‘අපි  පොහොට්ටුව අරන් ඇමරිකාවට යනවා.’ ජිල් මහත්තයා උත්තර දුන්නේය.

 

 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *