අපරාධය සහ දඬුවම
නරලොව සිට නරසිංහ වාර්තාකරයි :
පොහොට්ටු පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් අමතමින් ජනතාවගේ බොටුව මිරිකා හෝ ලබා ගනනා මුදල් තමන්ගේ මැතිවරණ කටයුතු වෙනුවෙන් වියදම් කිරීමට ආණ්ඩුව කිසිම ලජ්ජාවකින් තොරව කටයුතු කරන බව ඩලස් මහත්තයා කීවේය.
එවිට මාධ්‍යවේදියෙක් ඩලස් මහත්තයාගෙන් ඇසුවේ, ‘ඩලස් මහත්මයාලගේ ආණ්ඩුව කාලයේ ලිත් ගහන්නට කැලැන්ඩර් ගහන්නට සිල් රෙදි බෙදන්නට මුදල් ගත්තේ ජනතාවගේ කොතන මිරිකලාද?’ කියාය.
‘එහෙම කතා කරන්න එපා සහෝදරයා, අපේ කාලේ අපි ඒ වගේ වැඩ කළේ මැතිවරණ වලට වියදම් කරන්න නෙමේ’ කියාය.
‘ලිත්, කැලැන්ඩර්, සිල්රෙදි බෙදුවේ ඡන්ද කාලයේ නෙමේද?’ කියා එවිට මාධ්‍යවේදියා ඇසුවේය.
‘නෑ සහෝදරයා අපි ඒවා බෙදුවේ ඡන්ද කාලේ නෙමෙයි ඡන්දය ආසන්න කාලයේ’ කියා එවිට ඩලස් මහත්තයා උත්තර දුන්නේය.
‘ඡන්ද කාලයේ බෙදුවත් ඡන්ද කාලයට ආසන්න කාලයේ බෙදුවත් ඒ කාලෙ ඔබතුමන් කළෙත් මේ කාලෙ මෙතුමාල කරන දේම නේද?’ කියා මාධ්‍යෙව්දියා ඇසුවේය.
‘සහෝදරයට වැරදිලා. මේ ආණ්ඩුව කරන දේත් අපේ ආණ්ඩුව කරපු දේත් සම්පූර්ණයෙන්ම වෙනස්. පැහැදිලි ලෙසම අරමුණු දෙකක්,’ ඩලස් මහත්තයා කීවේය.
‘ඇයි ඔබතුමාල
ලිත්, කැලැන්ඩර්, සිල් රෙදි බෙදලා උත්සාහ කළේ ජනතාවගේ ඡන්දෙ ගන්න නෙමේද
?’ කියා මාධ්‍යවේදියා
ඇසුවේය.
‘සහෝදරයට මම කීව දේ තේරුණේ නැහැ. අපේ අරමුණ මේ අයගේ අරමුණට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්.’ කියා ඩලස් මහත්තයා කීවේය.
‘ඔබතුමාලගෙ වෙනස් අරමුණු පැහැදිලි කරන්න පුළුවන්ද?’ කියා මාධ්‍යවේදියා කීවේය.
‘අරමුණු එකින් එක වෙන වෙනම පැහැදිලි කරන්න වෙනවා.’ කියා ඩලස් මහත්තයා කීවේය.
‘කරුණාකරල පැහැදිලි කරන්න’ කියා මාධ්‍යව්දියා කීවේය.
‘ඔබතුමා ලිත් බෙදීම ගැන කතා කළා. අපි ලිත් බෙදුවෙ ඡන්දය ගන්න බලාපොරොත්තුවෙන් නෙමෙයි. ජනතාවට රාහු කාලය මගහැරලා ඡන්ද පොළට යන්න වෙලාව බලා ගන්න. නමුත් ජනතාව අපේ අරමුණු වටහා ගත්තෙ නැහැ. රාහු කාල නොබලා ඡන්ද පොළට ගියා. ඡනතාව පොල්ලෙන් උණ්ඩයෙන් ස්වයං පෝෂණය කළ අපේ ආණ්ඩුව වැටිලා යහපාලන ආණ්ඩුව පත්වුණේ ජනතාව ඒ වරැද්ද කළ නිසා’ ඩලස් මහත්තයා කීවේය.
‘එතකොට කැලැඩර් බෙදුවෙත් රාහුකාලය බලා ගන්න?’ කියා මාධ්‍යවේදියා ඇසුවේය.
‘කැලැන්ඩර් බෙදුවේ ජනතාව මැතිවරණ දින පටලවා ගන්න ඉඩ තිබුණ නිසා. දිනයට කලින් හරි දිනයට පස්සෙ හරි ජනතාව ඡන්ද පොළට යයි කියන බයට. අපි ජනතාවට නියම දවසට ඡන්ද පොළට යන්න දිනය බලාගන්න කැලැන්ඩර් විතරක් නෙමෙයි අපි ජනතාවට ඔර්ලෝසු පවා දුන්නා. රාහු කාලය මඟහැරලා සුබ වෙලාවක් බලලා පරක්කු නොවී ඡන්ද පොළට යන්න.’ කියා ඩලස් මහත්තයා කීවේය.
‘එතකොට සිල් රෙදි බෙදුවේ ඡන්ද පොළට යනකොට ඇඳගෙන යන්නද?’ කියා මාධ්‍යවේදියා ප්‍රශ්න කළේය.
‘අන්න සහෝදරයා ආයෙමත් වරද්ද ගත්තා. ලංකාවේ උපාසක අම්මල උපාසක මහත්වරු දෑවැන්ත සිල් රෙදි හිගයකින් පසුවන බව අපට දනගන්න ලැබුණා. ඇත්ත වශයෙන්ම කියනවා නම්, සමහර උපාසක අම්මල ඒ දවස්වල සිල් සමාදම් වෙන්න පන්සලට ආවේ පටාචාරා වගේ ඇඳුම් නැතුව. ඒ පින්වත් පිරිස ගැන අනුකම්පාවෙන් අපි සිල්රෙදි දානයක් දුන්න මිස ඡන්ද අරමුණක් අපට තිබුණෙ නැහැ.’ ඩලස් මහත්තයා පැහැදිලි කළේය.
‘එතකොට ඒ ලිත් වලට, කැලැන්ඩර්, ඔර්ලෝසු, සිල්රෙදි වලට ගත්තේ ජනතාවගේ මුදල් නෙමේ?’ කියා මාධ්‍යවේදියා ප්‍රශ්න කළේය.
‘සමහරවිට ඒවා ජනතාවගේ මුදල් වෙන්න පුළුවනි. අපේ ආණ්ඩුව ජනතා ආණ්ඩුවක්. ඒ නිසා ජනතා මුදල් වියදම් කරන්න ඒ ආණ්ඩුවට ශුද්ධ වූ අයිතියක් තිබුණ. වැදගත්ම දේ මේ සහෝදරයට පැහැදිලි කරන්න ඕන. අපි ජනතාවගේ බොටුව මිරිකලා සල්ලි ගත්තෙ නැහැ’
‘එතකොට ඔබතුමන්ලා සල්ලි ගත්තෙ ජනතාවගේ කොයි තැන මිරිකල ද?’ කියා මාධ්‍යෙව්දියා ඇසුවේය.
‘පැහැදිලි ලෙසම අපි අපේ ආණ්ඩුව කාලෙ ජනතාවගේ කිසිම තැනක් මිරිකුවේ නැහැ. රතුපස්වලදි අපි බොටුව මිරිකුවද? නැහැ. කටුණායකදි මීගමුවෙදි අපි බොටුව මිරිකුවෙ නැහැ. අඩුම තරමේ අපි වැලිකඩ හිගෙදරදිවත් කාගෙවත් බොටුව මිරිකුවෙ නැහැ’ කියන එක අපට ආඩම්බරයෙන් කියන්න පුළුවන්. ඩලස් මහත්තයා කීවේය.
‘දිවි නැගුමෙ සල්ලි ඉඩම් ගොඩකිරීමෙ සල්ලි ගත්තු ආකාරය පැහැදිලි කරන්න පුළුවන්ද?’ කියා ජනමාධ්‍යෙව්දියා ඇසුවේය.
‘දිවිනැගුමෙ සල්ලි පාවිච්චි කළේ ජනතාවගේ බොටුව මිරිකලා නෙමෙයි. පනතට විරුද්ධ වුණු අගවිනිසුරුවරියට ඔළුව අතගාලා බොහොම කරුණාවෙන් අපි යන්න කියල ආයාචනා කළා. අපි පාර්ලිමේන්තුවට ගෙනල්ලා නඩු ඇහැවද? නැහැ. අපි එයාට අපහාස වෙන විදිහට කතා කළෙත් නැහැ. එයාට විරුද්ධව උද්ඝෝෂණ කළෙත් නැහැ. ඉතාම සාමකාමී විදිහට එයාව අයින් කරල ජනතාවගේ සල්ලි ජනතාවගේ ආණ්ඩුවේ ජනතාවගේ ජනාධිපති වෙනුවෙන් ප්‍රයෝජනයට ගත්ත.’ ඩලස් මහතතයා කීවේය.
‘ඉඩම් ගොඩකිරීමේ මුදල් ගැන මොනවද කියන්නේ?’ යැයි මාධ්‍යවේදියා ප්‍රශ්න කළේය.
‘ඒ ගැන කියන්න අපේ ගෝඨාභය මහත්තයා උසාවි එන්න හරිම උනන්දුවෙන් ඉන්නවා. එත් උසාවිය ඒ මහත්තයට එන්න දෙන්නෙම නැතුව නඩුව කල්දානවා’ යැයි ඩලස් මහත්තයා කීවේය.
‘පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සියලුම දෙනා නිදහස් වන බවත් ප්‍රහාරයට සම්බන්ධ අපරාධකරුවන් සම්බන්ධයෙන් ආණ්ඩුව මීට වඩා වැඩි වගකීමකින් කටයුතු කරන්නට ඕනැ’ බවත් ඩලස් මහත්තයා කීවේය.
‘පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලුම දෙනා පුපුරවාගෙන මළා කියල ඔබතුමා දන්නෙ නැද්ද?’ කියා එවිට මාධ්‍යෙව්දියා ඇසුවේය.
‘මම කියන්නේ අත්අඩංගුවට ගත් අය සම්බන්ධයෙන් ආණ්ඩුවට මීට වඩා වැඩි වගකීමෙන් කටයුතු කරන්න ඕන කියන එක’ යැයි ඩලස් මහත්තයා කීවේය.
‘ඒ අයගෙන් කටඋත්තර ගන්නවා. ඒ අය සම්බන්ධව පරීක්ෂණ කරනවා. සමහරු රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන ඉන්නවා. ඊටත් වඩා වගකීමෙන් කටයුතු කරන්නෙ කොහොමද?’ කියා මාධ්‍යවේදියා ඇසුවේය.
‘වත්මන් ආණ්ඩුවට ත්‍රස්තවාදින් ගැන කටයුතු කරන්න පැහැදිලි පූර්වාවාදර්ශ තියෙනවා. ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධව අපේ ආණ්ඩුව කටයුතු කළ ආකාරයෙන් මේ ආණ්ඩුවට ආදර්ශ ගන්න පුළුවනි. ලසන්ත වික්‍රමතුංග, තරුණයන් පස්දෙනා ඇතුළු එකොළොස් දෙනා සම්බන්ධව අපේ ආණ්ඩුව වගකීමෙන් කටයුතු කරපු ආකාරයෙන් මේ ආණ්ඩුවට පුර්වාදර්ශ ගන්න තිබුණා’ කියා ඩලස් මහත්තයා කීවේය.
‘ඒත් ඒ අය ත්රස්තවාදීන් නෙමෙයි.’ මාධ්‍යවේදියා තර්ක කළේය.
‘එහෙනම් කරුණා අම්මාන් පිල්ලෙයාන් කේ.පී. වගේ අය සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරයෙන් ආදර්ශ ගන්න තිබුණා’ යැයි ඩලස් මහත්තයා කීවේය.
‘උත්තරය පැහැදිලි නැහැ’ මාධ්‍යවේදියා කීවේය.
‘අපි කළා වගේ සහරාන් කණ්ඩායමටත් ඇමතිකම් මහ ඇමතිකම් උපදේශකකම් දෙන්න තිබුණා.’ ඩලස් මහත්තයා උත්තරය පැහැදිලි කළේය.
නරලොව සිට නරසිංහ වාර්තාකරයි
