ආගම සහ කලාව

“මොකද මේ අරමැක්කෙ මේ උපාසක මහත්තුරු දෙන්නට පන්සල පැත්තෙ එන්න හිතුණේ?” කියා හාමුදුරුවො ඇසුවේ, පෝය දිනයක් නොවූ දිනයක හවස් යා‍මයේ මුදලාලි සහ ඉස්කෝලෙ මහත්තයා විහාරස්ථානයට පැමිණ සිටි නිසාය.

“අපේ හාමුදුරුවනේ අපට බරපතල කාරණයක් නිරාකරණය කර ගන්න තියෙනවා” මුදලාලි උත්තර දුනනේය.

“කාරණාවක් නිරාකරණය කරගන්න පන්සලට ආව කියන එක මට සතුටක්. මේ මහත්තුරුන්ට තියෙන්නෙ ධර්ම කාරණාවක් විසඳ ගන්න නම් මම බොහොම සන්තෝෂයෙන් ඒක කරල දෙනව.පෞද්ගලික ප්‍රශ්නයක් නම් මට පුළුවන් විදිහෙ උපකාරයක් කරන්න බලන්නම්. හාමුරුවෝ කීහ.

“අවසරයි හාමුදුරුවනේ මේක ධර්ම කාරණාවක් ද සාහිත්‍ය කාරණාවක් ද දේශපාලන කාරණාවක් ද කියලත් අපට සැකයක් තියනවා.” යැයි එවිට ඉස්කෝලෙ මහත්තයා කීවේය.

“මට නම් හිතෙන‍්නෙ මේක භාෂා ප්‍රශ්නයක් කියලයි.” කියා කීවේ කඩේ මුදලාලිය.

“භාෂා ප්‍රශ්නයක්, සාහිත්‍ය ප්‍රශ්නයක්, දේශපාලන ප්‍රශ්නයක් නම් ඉතිං ඉස්කෝලෙ මහත්තයට වුණත් විසඳන්න බැරි කමක් නැහැ කියලයි මම නම් හිතන්නේ.” කියා එවිට හාමුදුරුවෝ කීහ.

“අවසරයි අපේ හාමුදරුවනේ! මේ රටේ දැන් ආගමයි දේශපාලනයයි තෝරා බේරා ගන්න බැරි තරමට පැටලිලා කියලයි මට නම් හිතෙන්නේ.” කියා එවිට ඉස්කෝලෙ මහත්තයා කීවේය.

“ඒ කතාවේ යම් ඇත්තකුත් නැතුවාම නෙවෙයි; ඒත් ඉස්කෝල මහත්තයෝ, ඇත්තෙන්ම වෙලා තියෙන්නේ අගමයි දේශපාලනයයි පැටලවීම නෙවෙයි, අපේ සමහර ස්වාමීන් වහන්සේලායි, පූජකවරුයි අනවශ්‍ය විදිහට දේශපාලනයේ පැටලැවීම කියලයි මට නම් තේරෙන්නේ.” කියා කියූ හාමුරුවෝ “දැන් කියමු බලන්න මේ මහත්වරුන්ගේ ප්‍රශ්නය මොකක්ද කියලා”යි කීහ.

මුදලාලි ඉස්කෝලෙ මහත්තයා දෙස බැලුවේ, ඔහු ප්‍රශ්නය හාමුදුරුවන්ට ඉදිරිපත් කරනු ඇතිය යන අපේක්ෂාවෙනි.

“මේකයි අපේ හාමුරුවනේ කාරණාව. මේ දවස්වල මාධ්‍යවල ලොකු ආන්දෝලනයක් යනවා පොතකුයි, රේඩියෝ නාට්‍ය වගයකුයි ගැන…”

“මමත් දැක්කා ඉස්කෝ‍ල මහත්තයෝ, මමත් දැක්කා. මහත්තයා ඔය කියන්නේ බුදුන්ගේ රස්තියාදුව පොතයි, අර කනට පාරක් කියන රේඩියෝ නාට්‍ය එකතුවයි ගැන නේද?” කියා එකවරම හුමුදුරුවෝ ඇසුවේය. උන් වහන්සේ කාලින සිද්ධි සහ තොරතුරු පිළිබඳ මහත් අවධානයෙන් සහ අවබෝධයෙන් සිටින යතිවරයාණ කෙනෙකි.

“අවසරයි! අපේ හාමුදරුවනේ, ඒ ගැන තමයි. බුදුන්ගේ රස්තියාදුව කියන පොතට විරුද්ධව පොලීසියට ලියුමක් යවල තියෙන්නෙ බෞද්ධ සංවිධානයක් කියලයි කියන්නෙ, පැමිණිල්ලක්වත් උසාවි නියෝගයක්වත් නැතුව පොතේ පිටපත් අත්අඩංගුවට ගන්න පොලීසියෙන් ආව කියලත් කියනව.” ඉස්කෝල මහත්තයා ‍කීවේය.

“පොත් අත්අඩංගුවට ගන්න පොලීසියට පුලුවන්ද? බැරිද? කියල නම් ඉස්කෝල මහත්තයා අහන‍්නේ ඒකට පොලීසියට වඩා ගැලපෙන්නෙ නිතිඥ කාර්යාලයක්.” හාමුදුරුවෝ කීහ.

“අවසරයි හාමුදුරුවනේ, ඔය ලියුම යවපු බෞද්ධ සංවිධානය කියල තියෙන්නෙ බුදුන් කියන නම එක්ක රස්තියාදුව යන වචනය එකතු කිරීමෙන් බෞද්ධ ධර්මයට අපහාසයක් වෙනව කියලයි.” ඉස්කෝල මහත්තයා කීවේය.

“ඕව මහත්තයෝ බෞද්ධ ධර්මයවත් බෞද්ධ දර්ශනයවත් දන්න අය කියන කතා නෙමෙයි. බුද්ධ ධර්මයට මුවා වෙලා එක එක ව්‍යාපාර කරන එක එක ප්‍රචාර කරන පිරිසක් අද රටේ ඉන්නවා. ඒ අය නියම බෞද්ධයො නෙමෙයි. නියම බෞද්ධයා අපහාස කළා කියලා සැලෙන්නෙ නැහැ. ඒවට විරුද්ධ වෙන්නෙත් නැහැ.

‘ලාභෝ අලාභෝ අයසෝ යසෝ යසෝච නින්දා ප්‍රශංසා සුඛංච දුක්ඛේ කියලයි බුදුන් වහන්සේ කීවේ; ලාභය පාඩුව යස අයස නින්දාව ප්‍රසංශාව සැප දුක සම සිතින් ඉවසන්න, බුදුහාමුදුරුවෝ උගන්වනවා’ හාමුදරුවෝ කීහ.

“පොතේ පිටපතක් කවුදෝ මටත් ඊ මේල් කරල තිබුණා. මට නම් ඒ පොතේ කිසිම වැදගැම්මක් නැහැ. කියවන්නත් අමාරුයි. මුණු පොතේ සමහරු කියලත් තිබුණේ, බොහොම අමාරුවෙන් පිටු හතළියක් කියෙව්වා.” වගේ අදහස්. ඉස්කෝලෙ මහත්තයා ද කීවේය.

“මහත්තයා දන්නවා ඇතිනෙ නෙගටිව් පබ්ලිසිටි කියල වචනයක්. බැණුම් ඇහීමත් එක්තරා ප්‍රචාරයක්. මට හිතෙන්නේ වෙළඳ වාසියක් ගන්නම පොතට බුදුන්ගේ රස්තියාදුව කියල දැම්ම කියලයි. පොත් කරන මහත්වරුත් සංවර වෙන්න ඕන. කියවන අයත් සිහියෙන් නුවණින් යුතුව කියවන්න වැඩකරන්න ඕන. සාහිත්‍ය වැරදි නම් මිනිස්සු ඒක ප්‍රතික්ෂේප කරයි. ආගම බේරගන්න ආගම ප්‍රචාරය කරන්න ඕන නම්, ආගමික සංවිධාන වලට පොත් තහනම් කරනවට වැඩියෙ කරන්න බොහෝම දේවල් තියෙනව. මේ ආගමික සංවිධානය කළ වැඩෙන් වුණේ, අර පොතට නැති ප්‍රචාරයක් ලැබීම කියලයි මගේ නම් අදහස.” හාමුදුරුවෝ කීය.

“දැන් ඔය කනට පාරක් රේඩියෝනාට්‍යවලත් නිහොන් සැප ලැබේවා, තරුවන් සරණයි, නිර්වස්ත්‍රං පරමං සුඛං වගේ නම් යොදල තියෙනවලුනෙ. ඕමල්පෙ හාමුරුවො විරුද්ධ ඒ නිසා ‍නෙ.” මුදලාලි කීවේය.

“සෝභිත හාමුදුරුවො කියන්න ‘නිහොන් සැප ලැබේවා’ කියන වචනෙ ‘නිවන් සැප ලැබේවා’ යන්නට සමානයි ‘තරුවන් සරණයි’ ‘තෙරුවන් සරණයි’ ‘නිර්වස්ත්‍රං පරමං සුඛං’ ‘නිවන පරම සුවයයි’ යන්නට සමානයි. ඒ යෙදුම් වලින් බෞද්ධ ධර්මයට උපහාසයක් සිද්ධ වෙනවා කියලයි. අපේ හාමුදුරුවනේ; මේක මට මහා පටලැවිල්ලක්” මුදලාලි වැඩිදුරටත් කීවේය.

උන්වහන්සේ කියපු දේට උත්තර කියන්න මම ඉදිරිපත් වෙන්නෙ නැහැ අපේ මුදලාලි; ඒත් මේ ළඟකදි මම දැක්කා ‘භවනා’ කියලා සඟරාවක් විකුණන්න තියෙනවා. ඒක අපේ බෞද්ධ භාවනාව ගැන ලියපු සඟරාවන් නෙමෙයි: කාන්තා සඟරාවක් නැත්නම් යොවුන් පත්තරයක්. භාවනාව බෞද්ධ වතනයක් කියල ඒ සඟරාවට නඩු දැමීම බෞද්ධකම කියල මම අනුමත කරන්නේ නැහැ. මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා ‘බවතරණය’ කියල පොතක් ලීව. ඒක ඒ මහත්තයගෙ නිදහස. ‘භවදුක’ ‘භව කර්ම’ කියල විතරක් නෙමෙයි; ‘තණ්හා රතී රඟා’ කියලත් පසුගිය කාලෙ චිත්‍රපටි ආව නේද? කවුරුත් ඒවට විරුද්ධ වුණෙත් නැහැත විරුද්ධ වෙන්න ඕනෙත් නැහැ.

අපේ ලොවුතුරා බුදුන් වහන්සේ බොහොම ඉහළින් නිදහස අගයකරපු ශාස්තෘන් වහන්සේ නමක්. වචන යෙදුම් නම් ගම් අල්ගෙන, බුද්ධාගම ඉස්සරට දාගෙන කලාවයි අරකයි මේකයි පාලනය කරන්න යාමෙන් මිසක් කලාවනිසා බෞද්ධ ආගමවත් බෞද්ධ දර්ශනයවත් කිළිටිවෙයි කියල මම හිතන‍්නේ නැහැ. ඒක මගේ මතය. ඒ මතයට වෙනස් විදිහට හිතන අයටත් අනුකම්පා කරනවා මිස මම වෛර කරන්නේ නැහැ.” හාමුදුරුවෝ කීහ.

ඉස්කෝල මහතාත් මුදලාලිත් උන්වහන්සේට වැඳ නමස්කාර කර සැහැල්ලු සිතින් නික්ම ආහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *