අර්ජුන් මහේන්ද්‍රන් ඉල්ලූ ලේඛන මුදා හැරීමට නීතිමය බාධාවක් නෑ

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එරෙහිව ඇති චෝදනා හා වරෙන්තුවේ පිටපත් ඇතුළු ඔහු ඉල්ලා තිබු කාරණා හතර ඇතුළත් ලේඛන ඔහු වෙත ලබාදීමට නීතිමය බාධාවක් නැතැයි රහස් පොලිසියට නීතිපතිවරයා දැනුම් දුන් බව නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණයට ඊයේ (30) දැනුම් දුන්නාය. ඒ අනුව හිටපු මහ බැංකු අධිපතිවරයා ඉල්ලා ඇති ලේඛන ඔහු වෙත මුදාහැරීමට නෛතික බාධාවක් නැති බවත් එම ලේඛන මුදා හැරීමට විරුද්ධත්වයක් නැති බවත් ජාත්‍යන්තර පොලිසිය වෙත දැනුම් දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළ බවද නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

බැදුම්කර වංචා සිද්ධිය සම්බන්ධ පළමු සැකකරු වන හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරු ජාත්‍යන්තර පොලිසිය හරහා මෙරට ජාතික සම්බන්ධීකරණ කාර්යාලයෙන් 2018.08.16 දින ඉල්ලා තිබූ ලේඛන හතර ලබා දීමේ නෛතික බාධාවක් නැතැයි නීතිපති දෙපාර්තමේන්තුව රහස් පොලිසියට කළ දැනුම් දීමට අනුව සැකකරුට එරෙහිව ඇති චෝදනාව, වරෙන්තුවේ පිටපතක්, ඔහුට එරෙහිව ඇති සාක්ෂි ඇතුළු ‍කාරණා හතර ඇතුළත් ලේඛන 2018.08.28 දින එරටට යොමු කර ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ (30) කොටුව අධිකරණයට දැනුම් දුන්නේය.

එමෙන්ම අර්ජන් මහේන්ද්‍රන් මහතා උදර්පන නීතිය යටතේ මෙරටට ගෙන්වා ගැනීමට අදාළව 2018.04.27 නිකුත් කළ රතු නිවේදනය ප්‍රකාරව කටයුතු සිදු කරමින් පවතින බවද මේ වන විට ඔහු සිංගප්පූරුවේ පදිංචිව සිටින බවට 2018.05.09 සිංගප්පූරුවේ ජාත්‍යන්තර පොලිසිය මෙරට ජාතික සම්බන්ධීකරණ කාර්යාලයට ඊමේල් පණිවිඩයක් හරහා දැනුම් දී ඇති බවත් නීතිපති දෙපාර්තමෙන්තුව අද දැනුම් දුන්නේය.

එරට ජාත්‍යන්තර පොලිසිය ඔහු උදර්පනය කිරීමේ නීතිය සම්බන්ධයෙන් ඇතුළු කරුණු පහක් සම්බන්ධයෙන් විමසීමක් 2018.08.22 දින සිදු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් වන සවිස්තරාත්මක වාර්තාවක් 2018.08.23 එනම් ඊට පසු දිනම යවා ඇති බවත් නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

බැදුම්කර වංචාව සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන් ලබන (13) දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (30) නියෝග කළාය. මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය සිදු කළේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයට කරුණූ දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ගුණසේකර මහත්මිය සිදු කළ දීර්ඝ කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

මේ සිද්ධියට පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අදාළ දත්ත ඇතුළත් බැක්අප් (දත්ත ගබඩාවක්) ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ පරිශ්‍රයේ ඇති පරිගණකයක පවතින බැවින් එහි ක්ලෝන පිටපතක් ලබා නොදීමේ සිද්ධිය සම්බන්ධයෙන්කරුණු විමසීමට අදිකරණයට ඉදිරිපත්වන ලෙස දැනුම් දී තිබු රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සේනාරත්න මහතා අසනීප තත්ත්වයෙන් සිටින බවට නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන් අතර එම සිද්ධිය සම්බන්ධයෙන් එහි රැදී කටයුතු කළ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනාට සහ ඉන්ටර්නැෂනල් ෆයිනෑන්ස් ආයතනයේ නිලධාරින්ට ඉදිරි දින අධිකරණයේ පෙනි සිටින ලෙසට මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නාය.

එම දත්ත ගබඩාවේ ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගමට අදාළ ගැනුම්කරුවන් සැපයුම්කරුවන් ඇතුළු ඉතාමත් රහස්‍ය තොරතුරු ඇතුළත් බවත් එම සියලු දත්ත ලබා දීමට නොහැකි බවත් පරිගණකයේ ඇති සියලු දත්තවල පිටපතක් ලබා ගෙන එහි ඇති ගෙවීම්වලට අදාළ දත්ත ලබා දීමට කටයුතු කළ බවත් එම සමාගම වෙනුවෙන් ජනාධිපති නීතිඥ කෝලිත ධර්මවර්ධන මහතා අධිකරණයට කියා සිටියේය.

එකම පරිගණකයේ ගෙවීම් විස්තර මෙන්ම සියලු දත්ත ඇතුළත් බවත් අදාළ ගෙවීම් පද්ධිතයේ පිටපතක් ලබා ගෙන ‍අනෙක් රහස්‍ය ඉවත් කර පිටපතක් රහස් පොලිසියට ලබා දුන් බවත් නීතිඥවරයා අධිකරණයට කියා සිටියේය.

මේ සිද්ධියට අදාළව එම පරිගණක දත්ත පරීක්ෂා කර බැලු රහස් පොලිසියේ පොලිස් පරීක්ෂක සේනාරත්න මහතා ඉදිරි දින අධිකරණයට ඉදරිපත් කරන ලෙස රහස් පොලිසියට මහේස්ත්‍රාත්වරිය නියෝග කළ අතර ඊට සම්බන්ධ අයි එම් එෆ් සමාගමේ නියෝජිතයකු ගෙන්වන ලෙසට ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගම සිදු කළ ඉල්ලීමටද අවසර ලබා දුන්නාය.

ඉකුත් දින නිකුත් කළ නියෝග වලට අනුව පර්පෙචුවල් ටෙෂරීස් සමාගම සහ ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගම පර්පෙචුවල් කැපිටල් මැනේජ්මන්ට් සමාගම, පර්පෙචුවල් ඇසෙට් මැනේජ්මන්ට් සමාගම සහ හෝල්ඩින්ග්ස් සමාගම ඉල්ලා සිටි ඇතැම් වාර්තා කිහිපයක් අද නිතිඥ ජීවන්ත ජයතිලක මහතා අධිකරණයටඉදිරිපත් කළ අතර සකස් කිරිමට ඇති ඇතැම් වාර්තා සකස් කිරීමට මාසයක කාලයක් අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඒ සඳහා මහේස්ත්‍රාත්වරිය අවසර ලබා දුන්නාය.

එමේනම් ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගමේ විගණනය සිදු කිරීමට එම සමා‍ගමේ හිමිකරු වන දෙවන සැකකාර අර්ජුන් ඇලොසියස් මහතා එම විගණණ නිලධාරීන්ට හමුවීමට අවසර ලබා දෙන ලෙසට එම සමාගම සිදු කළ ඉල්ලීමට අවසර ලබාදුන් මහේස්ත්‍රාත්වරිය එම නියෝගය බන්ධනාගාගර අධිකාරිවරායට යොමු කරන ලෙස නියෝග කළාය.

පැමිණීල්ල සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ රහස් පොලිසියේ නිලධාරීන් පෙනි සිටි අතර විත්තිකරුවන් සහ සැකකාර සමාගම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කොලිත ධර්මවර්ධන, නීතිඥ ජීවන්ත ජයතිලක මහතා ඇතුළු නීතිඥ මඩුල්ලක් අධිකරණයේ පෙනි සිටියේය.

සුභාෂිණී සේනානායක සහ රිද්මි අමෝදා

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *