කිරිඇල්ලගේ ලිපිය සහ කියවන විට ලිවීම – අකුරැස්සේ වින්සන් ප්‍රනාන්දු

2019 මැයි 4 වෙනිදා පුවත්පත් බොහොමයක මුල් ප්‍රවෘත්තීයෙන් කියා තිබුණේ ලක්ෂ්මන් කිරිඅල්ල අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයට පොලිසිය කඩා පැන්න බවයි. හේතුව වශයෙන් සඳහන් කෙරුණේ ජනාධිපතිවරයාගේ නම සඳහන් කරමින් රාජ්‍ය විරෝධී වචන සමග ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ වචන ඇතුළත් ලිපි 639 ක් සමග කොටුව මධ්‍යම තැපැල් හුවමාරුවේ දී සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට සිද්ධියක් ගැන පරීක්ෂා කරන්නට පොලිසිය එකී අමාත්‍යංශයට ගිය බවයි.

මේ රටේ ජනමාධ්‍ය බොහෝවිට කරන්නේ ප්‍රවෘත්ති වාර්තාකරණය නොවෙයි. කියවන විට ලිවීමක් කිරිඇල්ල ඇමැතිවරයා සම්බන්ධ ප්‍රවෘත්තියත් වාර්තාකරණයක් නොවෙයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ප්‍රකාශයක් උපුටා දැක්වීමක් පමණයි. වාර්තාකරුවන් විසින් සොයාගත් කිසිම කරුණක් එහි නැහැ.

ඒ ප්‍රවෘත්තිය මුල පටන් කියවූ මට නැගුණු මූලික ප්‍රශ්ණයක් වූයේ එක් තැනැත්තෙකුට එක වරකදී තැපැල් කළ හැකි ලිපි ගණන සම්බන්ධ සීමාවක් මේ රටේ තිබෙනවාද යන්නයි.

දෙවනුව ලිපි ලිවීම වරදක් වශයෙන් මෙරට පොලිසිය හෝ ආරක්ෂක අංශ සලකනවද යන්නයි. ලිපි ලිවීම යනු මිනිසාගේ මූලික අයිතියක්. ලිපි තැපැල් කිරීමේදී කිරිඇල්ල ඇමති වරයාගේ මාධ්‍ය අංශයේ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම පැහැදිලි ලෙසම ආරක්ෂක අංශ විසින් ඔවුන්ගේ මානව අයිතිවාසිකම් කඩකිරීමක්. නමුත් ජනමාධ්‍ය කිසිවක් ඒ ගැන මූලික සඳහන් කිරීමක් වත් කර තිබුණේ නැහැ. අපේ මාධ්‍ය සදාචාරය ගැන අනේ අපොයි කියා සිතෙන්නේ ඒ නිසයි.

ලිපි අත්අඩංගුවට ගැනීම සම්බන්ධව කිරිඇල්ල ඇමැතිවරයා නිකුත් කළ නිවේදනයට පුවත්පත් ලබාදී තිබුණේ ඉතා කුඩා ඉඩක්. එයින් පෙනෙන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ කියමන තරමට කිරිඇල්ල ඇමති වරයාගේ කරුණු කීම මාධ්‍යයට වැදගත් නැති බවයි. අප දන්නා තරමින් නම් එවැනි මොහොතක කළ යුතු වන්නේ ප්‍රවෘත්තියේ දෙපැත්තටම සමාන ඉඩක් සහ සමාන වටිනාකමක් ලබාදී පළකිරීමයි. මාධ්‍ය සදාචාරය ගරු කරන විදෙස් මාධ්‍ය මෙවැනි පුවත් කිසිවෙකුට අසාධාරණයක් නොවන ආකාරයට පළ කරන ආකාරය අප දැක තිබෙනවා.

කිරිඇල්ල ඇමති වරයාගේ සිය නිවේදනයෙන් කියා තිබුණේ රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍යවේදීන් සහ නිලධාරීන් සතුව තිබූ ලිපි වල ජාතිවාදී අරමුණක් ,මඩ ප්‍රහාරයක් හෝ රාජ්‍ය විරෝධී කිසිවක් අන්තර්ගත නැති බවයි.

එම මාධ්‍යවේදීන් සහ නිලධාරීන් (පෙර දැන්වීම්කින් තොරව එහිදී ඇමතිවරයා සඳහන් කරන්නේ තමාගේ අනුදැනුමින් තොරව යන්න විය හැකියි.) Colombo telegraph වෙබ් අඩවියේ පළකරනු ලැබූ ලිපියක උපුටාගත් කොටස් සිංහලට පරිවර්තනය කල ලිපියක් විහාරවාසීන් හා දේශපාලන ක්‍රියාකාරීන් දැනුවත් කිරීම සඳහා යැවීමට කටයුතු කර ඇති බව තමාට දැනගන්නට ලැබුණු බවයි. ඇමතිවරයා නිවේදනයෙන් සඳහන් කරන්නේ (එම ලිපිය කියවීමේදී ජාතිවාදය ඇති කරන අන්දමේ කිසිදු අරමුණක් මඩ ප්‍රහාරයක් හෝ රාජ්‍ය විරෝධී කිසිවක් එහි අඩංගු නොවන බව තමාට හැඟෙන අතර එහි අන්තර්ගත වන්නේ පසුගිය අප්‍රේල් 21 ඉරිදා රටේ ඇති වූ බිහිසුණු තත්ත්වය සම්බන්ධව බුද්ධි අංශ වගකිවයුතු පුද්ගලයින් දැනුවත් කලේද යන්න පිළිබඳවද බවද අමාත්‍යවරයා සිය නිවේදනය සඳහන් කරනවා.

ඒ අනුව පැන නගින ගැටලුව ඉහත ලිපි ගොන්න අත්අඩංගුවට ගැනීමට ආරක්ෂකක අංශ වලට අයිතියක් තිබේද යන්නයි. Colombo telegraph වෙබ් අඩවියේ පළවූ ලිපියක් හෝ ඉන් කොටසක් පරිවර්තනය කොට බෙදාහැරීම සම්බන්ධව එම වෙබ් අඩවියට හෝ ලිපියේ රචකයාට ගැටලුවක් නැත්නම් ආරක්ෂක අංශවලට ඒ සම්බන්ධව විශේෂ මැදිහත්වීමක් කරන්නට බැහැ.

දැනගන්නට ලැබෙන කරුණු අනුව එම ලිපිය ඒ වන විටත් යම් යම් පුද්ගලයන් අතට පත්වී තිබුණා. එහි සඳහන් ඇතැම් කරුණු ජනාධිපතිවරයාට යහපත් නොවන බවයි කියන්නෙ. ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබ සිටින ආණ්ඩුකාරවරුන් තිදෙනකු පිළිබඳවත් එහි සඳහන් බවයි කියන්නේ. එම ලිපියේ නම සඳහන් එක් ආණ්ඩුකාරවරයෙකුට සම්බන්ධ වීඩියෝවක් මේ වන විට මුහුණු පොත හරහාත් හුවමාරු වෙමින් පවතිනවා.

අත්අඩංගුවට ගත් ලිපි සම්බන්ධයෙන් ශ්‍රීලනිප ලේකම් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ද කියන්නේ ඒවා ජනාධිපතිවරයා අපහසුතාවයට පත් කරන්නට ගත් උත්සාහයක් බවයි. එම ලිපිවල අඩංගු වන්නේ Colombo telegraph වෙබ් අඩවියේ සඳහන් තොරතුරු වල සිංහල පරිවර්ථනයක් බව ඔවුන් කිසිවකු කියන්නේ නැහැ . හේතුව එසේ කීවොත් එයින් සිදුවන දේශපාලන වාසිය ඔවුන් දන්න නිසා වන්නට පුලුවන්.

කවුරු කෙසේ කීවත් බුද්ධි අංශ තොරතුරු සම්බන්ධව කටයුතු කිරීමේදී ආරක්ෂක අමාත්‍යවරයා සහ නීතිය සාමය පිළිබඳ ඇමති වරයා වශයෙන් ජනාධිපතිවරයා අතින් බරපතළ වරදක් සිදු වී ඇති බව ඉතා පැහැදිලියි. ගැටලුව වන්නේ එය එසේ තිබිය දී එම වරද එනම්, අප්‍රේල් 21 ප්‍රහාරය රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඇතුළු ආණ්ඩු පක්ෂයේ වරදින් සිදුවූවක් ලෙස මවා පාන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් සහ මහින්ද හිතවාදී පිරිස් උත්සාහ දැරීමයි.

ඔක්තෝම්බර් 26 කුමන්ත්‍රණයෙන් පසුව ජනාධිපතිවරයා සහ මහින්දවාදී කණ්ඩායම අතර ගොඩනැඟී තිබෙන සංහිඳයාව නොතිබුණේ නම් අප්‍රේල් 21 සිද්ධිය සම්බන්ධව මහින්දවාදීන් ජනාධිපතිවරයාට ප්‍රතිචාර දක්වනු ඇත්තේ කොහොමද?

මෙරට ජනමාධ්‍ය බොහොමයක් ද මේ වෙලාවේ කටයුතු කරමින් ඉන්නේ අප්‍රේල් 21 ප්‍රහාරය රනිල් වික්‍රමසිංහ මහතාගේ හෝ එක්සත් ජාතික පක්ෂයේ වරදක් නිසා සිදුවූවක් බව කියන්නටයි. අගමැතිවරයාත් ප්‍රහාරය ගැන වගකිව යුතු වුවත් ඔහුට තනිව හෝ එක්සත් ජාතික පක්ෂයට පමණක් වගකීම පවරා ජනාධිපතිවරයාට හෝ විපක්ෂ නායකවරයාට හෝ පාර්ලිමේන්තුවට හෝ පුළුවන්කකමක් නැහැ. රටේ ආරක්ෂාව බිඳ වැටීම පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා නම් විපක්ෂ නායකවරයාට එය පාර්ලිමේන්තුවේදී හෝ ප්‍රසිද්ධියේ හෝ ප්‍රශ්න කරන්නට තිබුණා.

එම වගකීම නිසි පරිදි ඉටු නොකළ අය ම තමන් සුදනන් බව පෙන්වමින් අගමැතිවරයාටත් එක්සත් ජාතික පක්ෂයටත් පමණක් චෝදනා කරන විට ඒ වෙනුවෙන් විහාරස්ථාන දේශපාලන ක්‍රියාකාරිකයන් දැනුවත් කරන්නට කිරිඇල්ල ඇමතිවරයාට හිතවත් පිරිසක් උත්සාහ කළා නම් එය වරදක් හෝ පුදුමයට කරුණක් නොවේ. ඒ ගැන ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා නිවැරදිව කියන්නේ රටේ නායකයන්, දේශපාලකයන් රට තුළ සිදුවන ඕනෑම සිදුවීමක් සම්බන්ධව දැනුවත් කිරීමේ අයිතිය මාධ්‍යවේදීන්ට තියෙනවා කියලයි.

ප්‍රධාන මාධ්‍ය එම වගකීම පැහැර හරින විට විකල්ප මාර්ග ඔස්සේ හෝ ජනතාවට ඇත්ත තත්වය පැහැදිලි කරන්නට ජනතාවාදී මාධ්‍යවේදීන්ට සිද්ධ වෙනවා. පුවත් තහනම් වාරණ ආදියේ දී විකල්ප ප්‍රකාශන බිහිවීම ඊට නිදසුනක්. ඒ අනුව ඉහත මාධ්‍යවේදීන් කර ඇත්තේ තම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ක්‍රියාවට නැංවීම පමණයි.

කිරිඇල්ල ඇමැතිවරයා සිය නිවේදනයෙන් අදාල මාධ්‍යවේදීන්ගේ සහ නිලධාරීන්ගේ විස්තර මාධ්‍යවලට ලබා දෙන ආකාරයට ම සිදුවීමට අදාල ලිපියත් මාධ්‍ය වෙත නිකුත් කරන්න කියා පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා . ඇත්තෙන්ම එය කලයුතුයි. ලිපිය ප්‍රසිද්ධ නොකර එහි ප්‍රතිඵල කීම පිළිගන්න බැහැ. ලිපිය ජනතාවට කියවන්නට ඉඩ සලසා දුන්නා නම් අදාළ මාධ්‍යවේදීන් හරිද වැරදිද යන්න ජනතාවට තීරණය කරන්නට පුළුවනි . වරද ඇත්තේ මෙතෙක් එසේ කිරීමට පොලිසිය කටයුතු කිරීම සහ අදාළ ලිපිය පිළිබඳ ගවේෂණාත්මක වාර්තාවක් සපයනු වෙනුවට ජනමාධ්‍ය විසින් ද පොලිසිය කියන දේම නැවත කියවනු ලැබීමයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *