පාසල්වල ආරක්ෂාව – සිරිසේන රාජපක්ෂ

2019.05.06 සදුදා වසරේ දෙවන පාසල් වාරය 6 ශ්‍රේණියෙන් ඉහල සිසුන් සදහා ආරම්භ කරන ලදී. එහෙත්  2019.05.04 ඉරිදා රාත්‍රී 10.00 රූපවාහිනි ප්‍රවෘත්ති විකාශය අතරතුර ගුරු සංගම්, බෞද්ධ භික්ෂූ නියෝජිතයන් කිහිපදෙනෙකු කියන්න ට යෙදුනේ ආරක්ෂාව සම්පූර්ණයෙන් තහවුරු කරන තුරු පාසල් නැවත ආරම්භ නොකළ යුතු බව ය.

අප්‍රේල් 21 සිදුවීම්වලින් පසුව සති දෙකක් ගෙවන තුරුත් රටේ ආරක්ෂාවට තර්ජනයක් වන කිසිවක් වාර්තා වී නැත. ඒ අනුව පැහැදිලි වන්නේ ප්‍රහාරකයන්ගේ බලය බිඳ වැටී ඇති බව ය. රට පුරා මෙහෙයුම් වලින් විවිධාකාර භාණ්ඩ සොයා ගැනෙමින් තිබේ. ඒ කටයුතු කෙරෙන්නේ සැකකරුවන්ගෙන් සහ සාමාන්‍ය ජනතාවගෙන් ලැබෙන තොරතුරු මතය. එයින් පැහැදිලි වන්නේ එල්ටීටීඊ යුද්ධයේදී මෙන්නොව මෙවර ජනතාව ක්‍රියාශීලීව ත්‍රස්තවාදියා පරාජය කරන්නට සහාය ලබාදෙන බවයි. එහිදී මුස්ලිම් ජනතාවගෙන් ලැබෙන දායකත්වය ඉතා ඉහලය. එකී වටපිටාව මත ත්‍රස්තයනට යළිත් ප්‍රහාරයකට ඇති ඉඩ සීමිත බව පෙනේ.

මෙවර ප්‍රහාරය දේශීය බලවේගයක් විසින් කළ දෙයක් නොවේ. එය අන්තර්ජාතික ජාලයක ක්‍රියාවකි. එසේ හෙයින් ප්‍රභාකරන්ගේ මරණයෙන් එල්ටීටීඊය අවසන් වූ ආකාරයට මෙවර ප්‍රශ්නය නිරාකරණය වූ බව කියන්නට ජීවමාන සාක්ෂි ලබාදීම ද අපහසුය.

එක් භික්ෂුවක් ප්‍රශ්න කළේ පාසලකට ආරක්ෂාව සැපයීමට එක් පොලිස් නිලධාරියෙකු සෑහේද යන්නයි. එල්ටීටීඊ සමයේ හමුදා කඳවුරුවලට පවා ප්‍රහාර එල්ල විය. ඒ අනුව ගතහොත් පාසලකට හමුදා කඳවුරක් බැගින් සැපයුවද ආරක්ෂාව ප්‍රමාණවත් නැතැයි කිසිවෙකුට කියන්නට පුළුවන.

ගුරු සංගමයක් කියනු පෙනුනේ අධ්‍යාපන ඇමතිවරයාගේ නිර්දේශයෙන් කියා ඇත්තේ පාසල්වල ආරක්ෂාව විදුහල්පති, ගුරුමණ්ඩලය, මවුපියන්, ආදි ශිෂ්‍යයන් ආදීන්ගෙන් සමන්විත ව ක්‍රියාත්මක කළ යුතු බව ය. අධ්‍යාපන අමාත්‍යාංශයේ එම ප්‍රකාශයෙන් කියන්නේ පාසලේ ආරක්ෂාව විදුහල්පති, ගුරුමණ්ඩලය, මවුපියන් ආදීන්ට පවරා ආණ්ඩුව නිහඬ වන බව නොවේ.
පාසල් අවට ආරක්ෂාව ආරක්ෂක අංශ විසින් පරීක්ෂා කරන අයුරු ඒ ප්‍රවෘත්ති විකාශය අතරතුර ම පෙන්වන්නට යෙදුණි.

එල්ටීටීඊ ප්‍රහාර සමයේ ඔවුන් මේ ආකාරයට ආරක්ෂාව තහවුරු කරන තුරු පාසල් වසා දමන්න යැයි කීවා නම් ආණ්ඩුවට සිදුවනු ඇත්තේ යුද්ධය පැවති වසර 30 පුරාම පාසල් වසා තබන්නට ය. එසේ වී නම් පාසල් විවෘත කළ හැකි වන්නේ වේලුපිල්ලේ ප්‍රභාකරන් ගේ මරණයෙන් පසුවය.

එල්ටීටීඊ ප්‍රහාර නිසා පාසල් වසා දැමුවේ නැත. මායිම් ගම්මාන වශයෙන් එකල හැඳින්වුණු ප්‍රදේශවල පවා පාසල් පැවැත්වුණි . එසේම විදුහල්පති, ගුරුමණ්ඩලය, මවුපියන් ආදීන්ගෙන් සමන්විත ආරක්ෂක වැඩපිළිවෙලක් ද ඒ දිනවල ක්‍රියාත්මක විය. යුද්ධයේ උච්චත ම අවස්ථාවේ පවා පාසල් වල ආරක්ෂාව සිදුකෙරුණේ එසේය. එකලත් මේ ආකාරයෙන් පාසල් ආරක්ෂාව ගැන මේ තැනැත්තන් තර්ක කළේ නම් පාසල්වල ආරක්ෂාවට හමුදාව යොදවා යුද්ධය නතර කරන්නට ආණ්ඩුවට සිදුවනු ඇත.

සිදු වන සියලු කාරණා අනුව පෙනෙන්නේ අප්‍රේල් 21 ප්‍රහාරයෙන් උපරිම ඵල නෙලා ගන්නට ආණ්ඩු විරෝධීන් විශේෂයෙන්ම ඒකාබද්ධ විපක්ෂය සහ එයට හිතවාදී කණ්ඩායම් හැකි සියලු ආකාරයෙන් කටයුතු කරමින් සිටින බවයි. එහිදී අධ්‍යාපන ඇමතිවරයාගේ කීර්තිනාමය කැළැල් කිරීමටත්, ආණ්ඩු පක්ෂයේ එනම් එක්සත් ජාතික පක්ෂය අපහසුතාවයට පත් කරන්නටත් ඔවුන්ගේ විශේෂ අවධානය යොමු වී ඇති බව පෙනේ.

විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් විශ්‍රාමික හමුදා ප්‍රධානීන්, විශ්‍රාමික පොලිස් ප්‍රධානින් , ගෝඨාභය රාජපක්ෂ ආදීන්ගෙන් යුතුව කුස්සි ආරක්ෂක කවුන්සිලය කැඳවා තිබෙන පෙනේ. ලෝකයේ යම් රටක විපක්ෂ නායකයකු පැන්ෂන් ආරක්ෂක කමිටුවක් කැඳවා රටේ ආරක්ෂාව පිළිබඳ සාකච්ඡා කරන මාධ්‍ය සංදර්ශන පැවැත්වු පළමු අවස්ථාව එය විය හැකිය.

අර්බුද සමයක විපක්ෂයේ පමණක් නොව සියලු දේශපාලන සමාජ සංවිධානවල වගකීම විය යුත්තේ අර්බුදය විසඳීම සඳහා ආණ්ඩුවට සහයෝගය දීම ය.

විපක්ෂ නායකයා ආරක්ෂක කමිටු කැඳවා කියන්නේ පවතින ආරක්ෂක මණ්ඩලය ඔහුගේ කමිටුවටට වඩා නරක එකක් බවද?

එසේ නම් එය පවතින ආරක්ෂකමණ්ඩලයට කෙරෙන අපහාසයකි . අනෙක් අතට ඔවුන් ඒ තරම් ශ්‍රේෂ්ඨයන් නම් විශ්‍රාම නොගන්වා නවතා නොගත්තේ මන්ද යන ප්‍රශ්නයය පැන නගී. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෑතකදී පවසා තිබුණේ හමුදාවල යාන්ත්‍රණය සැකසී ඇත්තේ එක් අයෙකුගේ අඩුවක් සිදු වූ විට තවත් අයෙකුගෙන් එය පිරවිය හැකි වන පරිදි බවය. ඒ මහතාගේ ප්‍රකාශය සත්‍ය බව පෙනෙන්නේ විවිධ තැනැත්තන් මියගියද විශ්‍රාම ගිය ද හමුදාවේ බලය බිඳ නොවැටුණු බැවිනි. එසේ නැතිනම් කොබ්බෑකඩුව, විජය විමලරත්න, ලතිෆ් වැන්නන් මියගිය පසුව ඒ ඒ අංශ ඒ ඒ තැන්වල ගල් ගැසිය යුතුව තිබුණි. එසේනම් විපක්ෂ නායකගේ කමිටුව නැතිව රටේ ආරක්ෂාව තහවුරු කරන්නට පවතින ආරක්ෂණක අංශවලට හැකි බව පිළිගත යුතුය.

පාසල් අනාරක්ෂිත බවට ගෙන යන ප්‍රචාරය ද ඉහත සංදර්ශන මාලාවේ ම කොටසකි. ගැටලු වන්නේ ඒවාට පිළිතුරු දීමට ආණ්ඩුව පාර්ශවයෙන් ශක්තිමත් යාන්ත්‍රණයක් නොමැති වීමය.

අවම වශයෙන් වශයෙන් දෙවන වාරය සඳහා පාසල්වල ආරක්ෂාව තහවුරු කර ඇති ආකාරය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය පාර්ශ්වයෙන් හෝ ආරක්ෂක හෝ පොලිස් අංශවලින් හෝ විශේෂ පැහැදිලි කිරීමක් මා නැරඹූ ප්‍රවෘත්ති විකාශයේදී නම් සිදුවුයේ නැත. පාසල්වල ආරක්ෂාව පිලිබඳ ගැටළු මතු කරන ආකාරය විකාශය කළ නාලිකාව ද ඒ පිළිබඳ වගකිවයුතු අංශවලින් විමසීමක් කිරීමට කටයුතු කළේද නැත. එවන් තත්ත්වයක් තුළ දරුවන් පාසල් යැවීම සම්බන්ධයෙන්

මව්පියන්ට බියක් සැකයක් සාංකාවක් ඇතිවීම වැළැක්වීමට ද හැකියාවක් නැත. ඒ සඳහා බලගතු යාන්ත්‍රණයක් අවශ්‍ය වනු ඇත. ඒ යාන්ත්‍රණය සකස් කරගැනීමට ආණ්ඩුව අසමත් වන තුරු ආණ්ඩු විරුද්ධවාදීන්ගේ පාළු ගෙයි වළං බිඳීම්වලින් ජනතාව නොමග යාමත් රට පරිහානියට යාමත් වැළැක්විය නොහැකිය.

මේ තත්ත්වයට මුහුණ දිය හැකි ආකාර දෙකකි. එකක් විරුද්ධවාදී ප්‍රචාරණයට වඩා ලොකු ප්‍රචාරණයක් කිරීම මගිනි .අනෙක වැඩ කීරීම මගිනි . ආණ්ඩුව කල්පනා කරන්නේ පාසල් විවෘත කර පවත්වාගෙන යාම මගින් ආරක්ෂාව ඇති බව තහවුරු කරන්නට නම් එයද නරක නැත. නමුත් එමගින් පමණක් විරුද්ධවාදීන්ගේ දේශපාලන වැඩසටහන සහ මතවාදී සටන පරාජය වන්නේ නැත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *