කකුල් මාට්ටු දාන උදවිය නැති ජාතික ආණ්ඩුවකට යලි කතාබහක්
පසුගිය 24 වැනි ඉරිදා අගමැතිවරයාට විශේෂ දිනයක් විය. ඒ ඔහුගේ 70 වෙනි ජන්ම දිනය එදිනට යෙදී තිබීමය. සාම්ප්‍රදායික උපන්දින සැමරුම් වෙනුවට ඔහු එදින හම්බන්තොටදී ඉතිහාසයේ මෙරටට ලැබුණු ඩොලර් බිලියන 4ක දැවැන්ත ආයෝජනය සඳහා මුල්ගල් තැබීය. ඕමාන් සහ සිංගප්පූරු රජය සහ සමාගම් එක්ව එකී ආයෝජනය දියත් කළ අතර 1967න් පසු මෙරට බිහිකරන තෙල් පිරිපහදුව හා විශාල සිමෙන්ති කම්හලක් ඊට අයත් වේ. ඇමති සජිත් ප්‍රේමදාස එම දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ශක්තිමත් පදනමක් දමා තිබිණ.
“ඕමාන් රජය මේකට සම්බන්ධ නෑ කියල පොහොට්ටුවේ අය මඩ ගැහුවත් එරට ඛණිජතෙල් හා ස්වාභාවික ගෑස් අමාත්‍යවරයා උත්සවයට ඒමෙන් ඔවුන්ගේ කට වැහුණා” සජිත් ප්‍රේමදාස එහිදී කීවේ එවැන්නකි.
එම උත්සවය නිමකල අගමැතිවරයා හා ඕමාන් ඇමති කොළඹ පැමිණ තීරණාත්මක සාකච්ඡා වටයක්ද නිමකළේය. අනතුරුව විශේෂ අවශ්‍යතා ඇති දරුවන් රැසක් අරලියගහ මැදුරට කැඳවූ අගමැතිවරයා ඔවුන්ගේ අවශ්‍යතා රාශියක් ඉටුකිරීමට පියවර ගත්තේය. එසේම එදින රාත්‍රියේ තම පවුලේ හිතවතුන් සමග උපන්දිනය සැමරීමටද ඔහු අමතක කළේ නැත. සඳුදා උදෑසන විශේෂ ආරාධිතයන් රැසකට තම උපන්දිනය වෙනුවෙන් කැවුම් කිරිබත් සංග්‍රහයක් අරලියගහ මැදුරේදී පැවැත්වීමටද කටයුතු යොදා තිබිණ. තවද එදින රාත්‍රියේ ආණ්ඩුවේ මැති ඇමතිවරු, උසස් රාජ්‍ය නිළධාරීන්, තනාපතිවරුන්, ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසකට රාත්‍රී භෝජන සංග්‍රයක්ද අරලියගහ මැදුරේ ප්‍රධාන ශාලාවේදී සංවිධානය කොට තිබිණි.
“අගමැතිතුමා මනාප ලක්ෂ 5 ඉක්මවූ එකම දේශපාලකයායි. පස්වරක් අගමැති වූ අගමැතිතුමා ලංකා විශ්ව විද්‍යාලයකින් උපාධිය ගත් එකම නායකයායි. ගුරු විද්‍යාපීඨ, තරුණසේවා සභාව, ආයෝජන කලාප වගේ විශාල සේවා රැසක් කරලා පක්ෂ නායකයා ලෙස දීර්ඝම කාලයක් සිටියේත් රනිල් අගමැතිතුමායි. ඔහු හොරකමට හා මැරකමට විරුද්ධ හා ප්රජාතන්ත්රවාදය ජනමාධ්‍ය නිදහස හා සියළු ජාතීන්ගේ මානව හිමිකම් රකින්න වගේම ජාත්‍යන්තර සබඳතා තර කරන්නත් කැපවූ ප්‍රධානතම ලාංකිකයායි” ලක්ෂ්මන් කිරිඇල්ල කළ විග්රහයට කාගේත් උණුසුම් ප්‍රතිචාර ලැබිණ.
බ්‍රහස්පතින්දා උදේ ආරක්ෂක රාජ්‍ය හා ජනමාධ්‍ය ඇමති රුවන් විජයවර්ධන ඇතුළු නිළධාරින් සමග විශේෂ සාකච්ඡාවකට එක්වූ අගමැතිවරයා අනතුරුව පැමිණ සිටි සෙසු මැති ඇමතිවරුන් සමගද කතාබහ කළේය.
“ගහෙන් ගෙඩි එන්න වගේ විදුලිය කපපු එක හරි ප්‍රශ්නයක්. රවීටත් මේකෙන් ගැලවෙන්න විදියක් තිබුණෙ නෑ. ඔහුගේ ඔඩොක්කුවට සියල්ල කඩාපාත් වුණා.” දයා ගමගේ කීවේය.
“පහුගිය වසර 4 ම විදුලිය තිබුණේ ශ්‍රීලනිප ඇමතිකෙනෙක් අතේ. මේක ගැටගගෙන ගියා මිසක් දිගුකාලීන කිසි දෙයක් අපි කියපුව කෙරිල නෑ. ඒත් වගකීම ශ්‍රීලනිපයට පවරල අපිට අත හෝදගන්න බෑ. ආණ්ඩුවක් හැටියට අපිට වගකීම භාරගන්න වෙනවා” අගමැතිවරයා කීවේ බැරෑරුම් ලෙස නලළ රැළි ගන්වමිනි.
“හැබැයි මේ ඇමතිකම බැරිවෙලාවත් එජාපෙ කෙනෙකුට තිබුණනම් ශ්‍රීලනිප ඉහල සිට පහල අය අද කතාකරන හැටි බලන්න තිබුණා. ඒත් එජාපෙ අපි ඒ සාමූහික වගකීම බාරගන්නා බව අගමැතිතුමා කියන එක ඉතාම වැදගත්” චමින්ද විජේසිරි කීවේය.
“අමාත්‍යාංශය හා විදුලිබල මණ්ඩලය ක්ෂණිකව එන්න තිබුණු විදුලි හිඟය ගැන බැලුවෙ නැති එක අඩුපාඩුවක්. ජෙනරේටර් තියන අයට ඒවා පාවිච්චිය දිරිමත් කරන්න මණ්ඩලය ගෙවීම් කරන බවට මීට වඩා රට දැනුවත් කරන්න ඕනෑ. අමාත්‍යාංශයේ හා මණ්ඩලයේ නිළධාරීන් කියන දේම අහල මේක කරන්න බෑ.” දයා ගමගේ කී දේ අගමැතිවරයා ඇතුළු සියළුදෙනා අනුමත කළහ.
“බැදුම්කරයට අදාලව තව කීපදෙනෙක් ඇතුලට ගත්තා. ඔවුන් ඒ සමාගම් වල සාමූහික වගකීම් දරපු නිළධාරීන්. ජනතාව කැලබෙනවා කියලා ඔවුන්ට ඇප නොලැබීම ගැන නීති ක්ෂේත්රය මවිත වෙනවා. පොහොට්ටුවේ මහ හොරුන්ට ඇප දෙනකොට ජනතාව කැලබෙන්නෙ නැද්ද දන්නේ නෑ” හේෂා විතානගේ කීවේ සිනා මැදය.
“එල්.එන්.ජී ප්ලාන්ට් 3ක් ඉන්දියාව චීනය හා ජපානයෙන් එන්න තිබුණා. ඒත් ඒවා වෙලාවට නොකිරීමත් විදුලි අර්බුදයට හේතුවක්. සූර්ය බල ශක්තියටත් මීට වඩා අවධානය නොකෙරුවේ ඇයි. විදුලිබල මණ්ඩලයේ රස්සාවල් දීලා විතරක් විදුලි අර්බුද විසදන්න බෑ.” යැයි කී අගමැතිවරයා ඉවත බලාගත්තේය.
“ජිනීවා අල්ලලා ජනාධිපතිතුමා එක පාරට ලොකු ප්‍රහාරයක් දුන්නා. වසර 2ක් අපට නිදහසේ වැඩකටයුතු කරගෙන යන්න ඉඩදීපු එක එතුමා මතක් නොකිරීම පුදුමයි.” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ එවැන්නකි.
“2001 එජාප ආණ්ඩු කාලෙදී රෝම ප්රඥප්තිය රනිල් අගමැතිතුමා අත්සන් නොකළ නිසා මේ රටේ රණවිරුවන් හා දේශපාලකයින් කිසිමකෙනෙකුට ගැටලු ඇතිවෙන්නෙ නෑ කියල ශ්‍රීලනිපයේ මහින්ද සමරසිංහ මතක් කරපු එක කවුරුත් හිතට ගන්න ඕනෑ” මුජිබර් රහුමාන් කී දේ සියළුදෙනා අනුමත කළහ.
“ජනාධිපතිතුමාට තමන්ගෙ ස්ථාවරය කියන්න අයිතිය තියනවා. ජිනීවා තානාපති අත්සන් කළේ යෝජනාවටයි. වැදගත් වෙන්නෙ ඒ යෝජනාව නෙවෙයි. ජිනීවා වාර්තාවයි. ලංකාව ඒකට අත්සන් කරල නෑ. වාර්තාවයි යෝජනාවයි පටලවාගන්න නරකයි.” එජාප නීති නිළධාරීයෙක් කීය.
“ශ්‍රීලනිපයේ අති බහුතරයක් ආපහු ජාතික ආණ්ඩුවක් හදන්න උනන්දුයි.” දයා ගමගේ කීවේ අගමැති දෙස බලාය.
“ඔව් ඒ ගැන නිල නොවන මට්ටමේ සාකච්ඡා යනවා. අපි බලමු. වඩාත් හොද දේට ප්‍රමුඛත්වය දෙමු.” අගමැතිවරයා කීවේය.
“හැබැයි ඉස්සර වගේ මැති ඇමතිකම් හා වරප්‍රසාදත් භුක්තිවිදිමින් ආණ්ඩුවට කකුල් මාට්ටු දාන බොරු විවේචන කරන අයත් එක්ක නම් ඔය ජාතික ආණ්ඩු වැඩක් නෑ. සාමූහික වගකීම් දරමින් හදවතින්ම ආණ්ඩුවේ කටයුතු වලට හා ජනතා සේවයට කැපවෙන ජාතික ආණ්ඩුවකූයි යලිත් බිහිකරනවානම් බිහිකළ යුත්තේ” දයා ගමගේ කී කතාව අගමැති ඇතුළු සියළුදෙනාම අනුමත කළහ
