විදුලි මාෆියාව ජයගනී! සුනිත්‍ය බලශක්තියට දුන් ගේම උපයෝගිතා කොමිසමටත් දෙයි.

ලංකා විදුලි බල මණ්ඩලය ක්‍රියාත්මක කළ විදුලිය කැපීම හුදෙක් නියගය නිසා සිදුවූවක් නොව මහජන උපයෝගිතා කො‍මිසමේ බලය බිඳ දැමීමට විදුලි මාෆියාව සැලසුම් සහගතව ක්‍රියාත්මක කළ වැඩපිළිවෙලක් බව විදුලි ක්ෂේත්‍රයේ අපගේ ආරංචි මාර්ග කියයි.

මහජන උපයෝගිතා කොමිසන් සභාවත් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරයත් පිහිටුවා ඒවාට බලතල බෙදා දෙන ලද්දේ විදුලිබල මණ්ඩලය ඒකාධිකාරි නිලධාරිවාදී ආයතනයක් ලෙස ක්‍රියාත්මක වීම පාලනය කොට පාරිභෝගිකයන්ට හා විදුලි ක්ෂේත්‍රයේ ව්‍යපාරිකයන්ට සෙත සැලසීමටය. එමෙන්ම විදුලිබල මණ්ඩලය අතගගා සිටි හා නිලධාරිවාදී ලෙස අකාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කළ සුනිත්‍ය බලශක්ති ව්‍යාපෘති කඩිනම් කිරීම සුනිත්‍ය බලශක්ති අධිකාරිය පිහිටුවීමේ අරමුණ විය.

ලංකා විදුලිබල මණ්ඩලය මේ ආයතන දෙකට මුලසිටම විරුද්ධ විය. විදුලිබල පනතේ දුර්වලතාවයන් උපයෝගිකොට ගනිමින් සුනිත්‍ය බලශක්ති ව්‍යපෘති අනුමත කිරීම ඔවුහු සියතට ගත්හ. එනම් කුඩා ජල විදුලි බලාගාර, සුළං විදුලි බලාගාර, සූර්ය බලශක්ති ව්‍යාපෘති, ඩෙන්ඩ්‍රෝ ආදායම් මීට වසර තුනහමාරකට පෙර මේ සියලු අංශවල ව්‍යාපෘති අනුමත කිරීම ලංකා විදුලිබල මණ්ඩලය සියතට ගත් අතර සුනිත්‍ය බලශක්ති අධිකාරිය බල රහිත සුදු අලියෙක් බවට පත් කළේය.

වසර තුන හමාරකට පෙර මෙම බලය සියතට ගත්තද මේ දක්වා නව සුනිත්‍ය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාවට නැඟීමට ඔවුන් ක්‍රියාකො‍ට නැත. ක්‍රියාත්මක වී ඇත්තේ දේශපාලන බලය මත ක්‍රියාවට නැගුණු ව්‍යාපෘති පමණකි.

කුඩා ජල විදුලි බලාගාර සඳහා අනුමැතිය දීම ලංවිම ය විසින් නතර කොට ඇත්තේ නීති ප්‍රශ්නයක් මතු කරමිනි.  වසර තුන හමාරක කාලයක් තිස්සේ නීති ප්‍රශ්නද  විසඳාගෙන නැත. මෙග වෝට් සියයකට වැඩි ධාරිතාවක් ඇති ව්‍යාපෘති අතරමග නතර කොට ඇත.

සුළං හා සූර්ය විදුලි ව්‍යාපෘති ගැන අධ්‍යයනයට වසර දෙකක් ගත කළ මණ්ඩලය පසුව ඒවාට ඉල්ලුම් හා කැඳවද එම ක්‍රියාවලියට ද තවත් විශාල කාලයක් ගත කළේය. තවමත් එම බලාගාර කිසිවක් පද්ධතියට එක් වී නැත. එම ධාරිතාවය මෙගවොට් 150කට වැඩිය.

සාම්පූර් ගල් අඟුරු බලාගාරය නැවැත්වීම ලංවිමේ විරෝධය මැද ජනධිපතිතුමාගේ තීරණයකින් සිදුවූවකි. එයට මණ්ඩලයේ වගකීමක් නැති වුව ද ඒ‍ වෙනුවට විකල්ප බලාගාරයක් ඉදිරිකිරීමට වූ යෝජනාව ලංවිම ය තුට්ටුවකට ගණන් ගත්තේ නැත.

ලංවිම යේ විදුලි මාෆියාව ඊළඟට ගේම ඉල්ලුවේ මහජන උපයෝගිතා කොමිසන් සභාව සමඟය. මෙබඳු කොමිසමක් පිහිටුවන ලදදේ විදුලිය ජලය වැනි ස්වභාවික ඒකාධිකාරි ආයතනවල නිලධාරිවාදි ක්‍රියාමාර්ග පාලනයටය. ලංවිම දිගින් දිගටම කළේ මහජන උපයෝගිතා කොමිසමට හරස් කැපීමයි. ඔවුන්ට නොදන්වා වැඩි මිලට විදුලිය ගැනීමට ද ඇතැම් ගිවිසුම්වලට එළඹීමට ද ලංවිමය කටයුතු කළේය. ඒවා නීති විරෝධිබව දැන් තීන්දු වී තිබේ.

අන්තිමට කළේ උපයෝගිතා කොමිසමට නොදන්වා අවසරයකින් තොරව හදිසි විදුලි මිල දී ගැනීමකට උත්සාහ දැරීමයි. උපයෝගිතා කොමිසම එය වළකන විකල්ප යෝජනා ඉදිරිපත් කළේය. ලංවිම එම විකල්පය තුට්ටුවකට ගණන් ගත්තේ නැත. එක විකල්පයක් නම්, දැනට පෞද්ගලික ආයතන සතු ජනන යන්ත්‍ර පද්ධතියට ක්‍රියාකාරි ලෙස සම්බන්ධ කර ගැනීමයි.

ලංවිම ය ඒ කිසිවක් කළේ නැත. කළේ විදුලිය කැපීමයි. දැන් නැවතත් හදිසි විදුලිය ගැනීමේ යෝජනාව ඉදිරිපත් කර ඇත. මෙය ක්‍රියාවට නැගුවහොත් මහජන උපයෝගිතා කොමිසම ද බල රහිත ආයතනයක් බවට පත්වෙයි. ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියට දැන් සිදුව තිබෙන්නේ ද එයයි.

මහජන උපයෝගිතා කොමිසමේ තීන්දු වැරදි වන්නට පුළුවන. එසේ නම් කළ යුතු වන්නේ බලධාරින් දැනුවත් කරමින් නිවැරදි ක්‍රියා මාර්ගයකට යොමුවීමයි. මේ කරන්නේ එය නොවේ. තමාගේ ඒකාධිකාරි බලය යළි ගොඩනගා ගැනීමට උත්සාහ දැරීමයි. එය ඉදිරියේ රජය ද අසරණ වී ඇති බව පෙනෙන්නට තිබේ.

දැන් ඉතින් තීන්දුවක් ගන්නට සිදු වන්නේ මහජනතාවටය. ඒකාධිකාරියට හැමදාම යටවනවාද නැත්නම් මේ මාෆියාවට පාඩමක් උගන්වමු ද? තීන්දුව ඔබේය.

ජයවීර සේනවිරත්න

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *