පෝරුවෙ නගින්නත් කලින් හබක් වෙන ශ්රීලනිපය පොහොට්ටු දීගය
පසුගිය සෙනසුරාදා බත්තරමුල්ල රෙජිස්ටාර් ජනරාල් කාර්යාලයට ගිය අගමැතිවරයා එහිදී ඉඩම් ඔප්පු හා උප්පැන්න ලියාපදිංචි කිරීමේ එක්දින සේවාවට එක්වී පැමිණ සිටි විශාල පිරිසකගේ එම අවශ්‍යතා සපුරාලීමට පියවර ගත්හ. වේයන්ගොඩ නව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීමද එදින සවසම සිදුවිය. පසුදා මාවනැල්ල නගරයට ගිය අගමැතිවරයා ඇමති කබීර් සමග එක්ව අලුතින් ඉදිකළ මාර්ග රැසක් ජනතා අයිතියට පත්කළේය. පස්වරුවේ කොච්චිකඩේ මාඔය පාලම විවෘත කිරීමද සිදුවිය. කැකිරාව දේවතිස්ස රජමහා විහාරයේ නව ගොඩනැගිල්ලද විවෘත වූයේ අගමැති අතිනි.
බ්‍රහස්පතින්දා අරලියගහ මැදුරට පැමිණි අගමැතිවරයා සුපුරුදු ලෙස එහි පැමිණ සිටි මැති ඇමතිවරුන් ඇතුළු හිතවතුන් සමග සතියේ සුපුරුදු දේශපාලන කතිකාවටද එක්විය.
“ජිනීවා වලදී ආණ්ඩුව රට පාවල දෙනකන් විපක්ෂයයි කළු මාධ්‍යයි බලන් හිටියා. අන්තිමට ආණ්ඩුව විපක්ෂයටත් වඩා එඩිතරව රට වෙනුවෙන් පෙනී හිටියා” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.
“හයිබ්‍රිඩ් අධිකරණයටයි නිත්‍ය නියෝජිත කාර්යාලයටයි විරුද්ධ වෙලා අපේ පැත්තේ කරුණුත් පැහැදිලි කරලා රටත් බේරගෙන ඉතිරි වැඩ ටික කරන්න වසර 2ක් කල් ගන්න සමත් වීම ආණ්ඩුව වගේම රටත් ජනතාවත් ලබපු ජයක්.” නවීන් දිසානායක කළ විග්රහයට කාගේත් එකඟත්වය පළවිය.
“සාමාන්‍යයෙන් ජිනීවා වාර්තාවක කෙනෙක් නම් කරන්නෙ කලාතුරකින්. ඒත් අපේ හමුදාවේ ඉහළ කෙනෙකුගෙ නමක් මේ පාර කියවුණා. ඔහු දිගටම තියාගන්නවද නැද්ද කියන එක තීරණාත්මක තීන්දුවක් වෙන්න බැරි නෑ.” චමින්ද විජේසිරි කීවේ එවැන්නකි.
“ඔය කියන කෙනා හමුදාවේ ඉහළම තනතුරට පත් කරන්නෙ නෑ කියල ප්‍රබලම රටක ලංකාවේ තානාපතිට ජනාධිපති පාර්ශවයෙන් පොරොන්දුවක් දීලා කියලා ආරංචියක් යනවා. ඒක ඇත්තද?” හේෂා විතානගේ ඇසුවේ අගමැති රනිල්ගෙනි.
අගමැතිවරයා නලළ රැලි ගන්වා ඉවත බලාගත්තා මිසක කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නැත.
“පාර්ලිමේන්තුවේදී විජේදාස රාජපක්ෂ බ්‍රිතාන්‍යයේ ජිනීවා යෝජනාවට විරුද්ධව කතා කළා මිසක් ලංකාව ඊට සම අනුග්‍රහය දක්වනවා කියලත් ප්‍රහාර දුන්නා මිසක් යෝජනාවෙ තියන දේවල් කිව්වෙ නෑ. මම් ඒකට හොඳ උත්තරයක් දුන්නාම ඒ වෙලාවෙ පාර්ලිමේන්තුවේ තමන්ගෙ කාර්යාලයේ ඒ කතාව අහගෙන හිටපු ජනාධිපතිතුමා මට එන්න කියල පණිවුඩයක් එව්වා. මම ගිහින් බ්‍රිතාන්‍ය යෝජනාවේ ගෙවුණු වසර 4 ලංකාවේ ප්‍රගතිය වර්ණනා කරලා තැන් 7 ක ස්තූති කරලා තියනවා කියල මම ඒ යෝජනාවෙ පිටපතකුත් එතුමාට දුන්නා. හයිබ්‍රිඩ් අධිකරණ හෝ අපේ ව්‍යවස්ථාවට නොගැලපෙන කිසිම දේකට ආණ්ඩුව එකඟ වෙන්නෙ නෑ කියල මම පැහැදිලි කළාම ජනාධිපතිතුමා ඒක පිළිගත්තා.” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.
“මම අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන මගේ ඇමතිකම දුර්වල වීම ගැනත් කතාකළා. 56% කින් මාව ගිය ජනාධිපතිවරණයේදී නුවරදි දිනවන්න ඔබ කටයුතු කළ හැටි මට මතකයි. ඕනෑම විෂයක් අගමැතිතුමා හරහා එවන්න. මම ඒක කරන්නම් කියලා ජනාධිපතිතුමා මට කිව්වා.” කිරිඇල්ල එය ඍජුවම ප්‍රකාශ කළේ අගමැති රනිල්ටය.
“ඇමතිධූර බෙදීමේ අඩුපාඩු සියල්ල ඉක්මනින් විසදේවි. රිෂාඩ්ට දෙන්න කියල නොදී ඉදපු දේවලුත් ලඟදී ජනාධිපතිතුමා ලබාදුන්නා. අනිත් ඒවත් ඒ විදියටම වේවි කියල මම හිතනවා.” අගමැතිවරයා කීවේ මද සිනහවක්ද පාමිණි.
“ජනාධිපතිතුමා පොහොට්ටු කාරයන් පස්සෙ යන්න ගිහින් දැන් ඔවුන්ගේ අවස්ථාවාදීකම වගේම එජාපෙ අපේ හිතවත්කම හා අවංකකම හොඳට තේරුම් අරගනිමින් ඉදීම ඉතා වටිනවා.” නවීන් දිසානායක කී දේ සියලුදෙනාම අනුමත කළහ.
“ජනාධිපතිතුමා සතිය පටන්ගත්තෙ සිංගප්පූරු අගමැතිට බැනලයි. ඊළඟට මොන රටේ නායකයට බනීද දන්නෙ නෑ. හැබැයි මට එකක් ෂුවර්. මෙතෙක් කල් දිගටම බැනපු අපේ අගමැතිතුමාට නම් එතුමා ආපහු බනින එකක් නෑ යාළුවෙනවා මිසක්.” චමින්ද විජේසිරි කීවේ කාගේත් සිනා මැදය.
“සිංගප්පූරුවට දොස් කිව්වාම සිංගප්පූරුව උත්තර දීල තියෙන්නෙ ලංකාවෙන් කිසිම ලියවිල්ලක් අර්ජුන මහේන්ද්‍රන් ගැන එයාලට ඇවිත් නැහැ කියලයි. ලියවිලි තියනවනම් අපේ ආණ්ඩුව යැව්වෙත් නැත්නම් දැන් පොලීසිය සීඅයිඩී එක මාස 4ක් තිස්සෙ ජනාධිපතිතුමා යටතෙ නිසා තිබේනම් දැන් ලියවිලි යවන්නෙ නැත්තෙ අයි කියලයි මිනිස්සු අහන්නෙ” හේෂා විතානගේගේ තර්කය එය විය.
“බැදුම්කර කලේ ඇලෝසියස්ලයි. ඥාතිකම නිසා මහේන්ද්‍රන් ඒකට උදවු කළාද කියලා ඔප්පු වෙන්න ඕනෑ. මොකද කෙනෙක් මිනියක් මැරුවහම නඩු දාන්න පුළුවන් මරපු කෙනාට විරුද්ධවයි. එතන හිටපු මිනිහෙක් ඒකට අනුබල දුන්නාද නැද්ද කියලා ඔප්පු කරන්න ඕනෑ. බැදුම්කරේ ගැන මහේන්ද්‍රන්ගෙ සම්බන්ධයක් තියේනම් එය ඔප්පු විය යුත්තේත් ඒ න්‍යාය අනුවයි” එජාප නීති නිළධාරීයෙක් විග්රහ කළේය.
“ටොප් 10 කියලා නඩු දුසිම් ගානක් තියන පොහොට්ටුවේ මහ හොරෙක් අපේ ආණ්ඩුවේ හොරකම් ගැන පොතක් ලියලා. ඒකනම් මාර ජෝක් එකක්” රංජන් රාමනායක කීවේ කාගේත් සිනා මැදය.
“මේ රටට කිසිම නැවක් ගන්න ගෙවුණු වසර 4 කිසිම කැබිනට් පේපර් එකක් ඇවිත් නෑ. ඇමෙරිකාව නොමිලේම අපිට නැවක් දුන්නා ඒක දැන් හවායි වල ඉඳන් ලංකාවට ඒවි. අපි සල්ලිවලට ඉන්දියාවෙන් තව නැව් 2ක් ගන්නවා. ඒවා ගෝවේ හදනවා. ඒ අතරේ චීනය අවි ගලවල ඉවත්කරපු ප්‍රහාරක හා වෙරළ සංරක්ෂක නැවක් අපිට නොමිලේ දෙන්න සූදානම්. ඒක ආවහම අපිට අව්ශ්ය අවි හයි කිරීම හෝ හෙලිකොප්ටර් අංගන ඉදිකිරීම කළහැකියි.” අගමැතිවරයා පැහැදිලි කලේය.
“රුසියාවේ නිෂ්පාදිත ප්‍රහාරක ගුවන් යානා 2ක් ගන්න ලගදී කැබිනට් පත්‍රිකාවක් ආවා. ඒත් ඊට වඩා හොද ඔෆර් එක ස්වීඩනයෙන් ලැබිච්ච නිසා අපි ඒ ගැනත් සලකා බලන්න වෙනවා” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.
“ශ්රීලනිපය පොහොට්ටු දීගය පෝරුවෙ නගින්නත් කලින් හබක් වෙන ලකුණුයි තියෙන්නෙ. පොහොට්ටුවේ අය ශ්රීලනිපය ගාවාගන්න කැමති නෑ. ඔවුන් එල්ටීටී කාරයෝ වගේ විශ්වාස කරන්න බෑ කියල දිලුම් අමුණුගම ප්‍රසිද්ධියේ කිව්වා. පොහොට්ටු කාරයො ඊටත් වඩා ආත්මාර්තකාමී අවස්ථාවාදීන් බව ශ්‍රීලනිප අයත් පොහොට්ටුවට බැට දෙනවා. මේ දෙගොල්ල කාගෙන කාගෙන අන්තිමට ජනාධිපතිවරණය වෙනකොට දෙගොල්ලගෙම වලිග දෙක විතරක් ඉතුරුවේවිද දන්නෑ.” මුජිබර් රහුමාන් පැවසුයේ කාගේත් කොක්හඩලෑම් මධ්‍යයේය.
