|

මිල අධික හදිසි විදුලි මිල දී ගැනීම් මඟහරවා ගැනීම සඳහා සරල විසඳුම් – සියලු පාර්ශව වලට ප්‍රතිලාභ ගෙනදෙන බලශක්ති වෙළඳපොල – සුජීව අබේවික්‍රම

පවතින නියං කාල සීමාව සඳහා විදුලිය සැපයුම ස්ථාවර කරනු වස් මේ දිනවල හදිසි විදුලි මිල දී ගැනීමක් සඳහා ටෙන්ඩර් කැඳවීම් ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) විසින් සිදුකර ඇත.

මෙම හදිසි විදුලි මිල දී ගැනීම් අධික පිරිවැයක් යටතේ සිදුවන බව නොරහසකි. අනෙක් අතට මෙය බොහෝ විට වර්ෂයකට වතාවක් නියං කාලයට සිදුවන බව දැන සිටියද මේ සඳහා මිල අඩු විකල්පයක් සොයාගැනීමට ලංවිම උනන්දු වන බවක් නොපෙනේ.

මේ සඳහා සරල විසඳුම් ඇතතත් ඒ සඳහා උනන්දු වනවා වෙනුවට බොහෝ ලාබදායි ක්‍රමවලින් ලබාගත හැකි විදුලි උත්පාදන ක්‍රම මේ වනවිට අවහිර කර ඇත. උදාහරණයක් ලෙස, අඩු වියදම් පුනර්ජනනීය විදුලිය ලබාගැනීමට (වහල මත සවිකරන සූර්ය කෝෂ හැර) ඇති සියලුම ක්‍රම මේවන විට අවලංගු කර ඇත. සංසන්ධනාත්මකව බලන කල ලංවිම පැත්තෙන් ඇති ඉතාම පහසු අකාරය මෙම හදිසි විදුලි මිලදීගැනීම් බව පෙනෙන්නට ඇත. මේ සඳහා ඔවුනට ගනුදෙන් කරන්නට වන්නේ එක් සපයන්නෙක් සමඟ පමණි. එහෙත් ඒ සඳහා ගෙවන මුදල ගැන ඒ තරම් තැකීමක් කරන බවක් පෙනෙන්නට නැත. එය ඒකකයකට රු.35/-කට වැඩි අගයකි.

මෙහි ඉදිරිපත් කරන විසඳුම යටතේ දැනට තොග පාරිභෝගිකයින් යටතේ ඇති අතිරේක (විකල්ප) ජනක යන්ත්‍ර අවශ්‍ය අවස්ථා වලදී ලංවිම පද්ධතියට සම්බන්ධ කර භාවිත කිරීමට යෝජනා කෙරේ.

ලංවිම පද්ධතියට සම්බන්ධ තොග පාරිභෝගිකයින් සංඛ්‍යාව 10,000 ඉක්මවයි. අපගේ සංගණනයට අනුව එම ධාරිතාවය (වෙන්වෙන් වශයෙන් ඇති ජනක යන්ත්‍රවල ධාරිතාවයේ එකතුව) මෙ.වො.1500 ඉක්මවයි.

මෙම පාරිභෝගිකයන්ගෙන් කොටසක් (කර්මාන්ත) සහන අයක්‍රම යටතේ විදුලිය ලබා ගන්නා අතර කොටසක් ඊට වැඩි අයක්‍රමයකට යටත්ය. දැනට මේ සියලුම පාරිභෝගිකයන් සුහුරු මනු හරහා සම්බන්ධකර ඇති නිසා ඔවුන්ගේ පාරිභෝජනය හා සැපයූ විදුලිය මැන ගනීමේ හැකියාව සහිතය.

මෙම පාරිභෝගිකයන් සතු ජනක යන්ත්‍ර වලින් වැඩි ප්‍රමාණයක් නොකඩවා විදුලිය සැපයීමේ හැකියාවෙන් යුත් continuous rated වන අතර ස්වක්‍රීය මාරුකිරීමේ පේනු automatic transfer switches (ATS)   සහිතය. එබැවින් ඒවා අවශ්‍ය අවස්ථාවන්හි පද්ධතියට සම්බන්ධ කර ගැනීම ගැටළුවක් නොවේ. මේ සඳහා අමතර ආරක්ෂක ක්‍රමවේද අවශ්‍ය නම් ඒවා සවිකර ගැනීමට සාකච්ඡා කර එය අවශ්‍ය පරිදි සිදුකරවා ගත හැකිය.

මෙහිදී සැලකිල්ලට ගත යුතු කාරණයක් වනුයේ ඉන්ධන දහන අගය (Full consumptions Rate) හෙවත් FCR අගයයි. මෙම යන්ත්‍රවල කි.වො. පැය 1ක් නිපදවීම සඳහා ඩීසල් ලීටර් 0.25 සිට 0.28 අතර ප්‍රමාණයක් අවශ්‍ය වේ. ඒ අනුව කි.වො. පැය1ක් සඳහා රු.25.50 සිට රු.28.50 මිලක් වැය වනු ඇත. යෝජිත ක්‍රමය යටතේ තොග පාරිභෝගිකයින් සතු ජනක යන්ත්‍ර ඔවුන්ගේ අභ්‍යන්තර පාරිභෝජනය සඳහා භාවිත කිරීමට යෝජනා කෙරේ. කර්මාන්ත සඳහා සහන අය ක්‍රම යටතේ විදුලිය ලබා ගන්නා පාරිභෝගිකයන්ට මෙය අලාභ සහගත ක්‍රියාවක් වුවද එම අලාභය ලංවිම විසින් ප්‍රතිපූර්ණය කිරිමෙන් හෝ අදාල යන්ත්‍රය මගින් තම පරිභෝජනය නොමැති අවස්ථාවල විදුලිය පද්ධතියට සැපයීම හරහා අලාභය පියවා ගැනීමට කටයුතු කළ හැකිය.

මෙහිදී අතිකර ගතහැකි අනෙකුත් ප්‍රතිලාභ වනුයේ ලංවිම බෙදා හැරීමේ පද්ධතිය හරහා බල ශක්තිය ප්‍රවාහනය කිරීමේ දී ඇතිවන බලශක්ති හානිය එය භාවිත කරන ස්ථානයේදීම නිපදවීම හරහා (මෙය7%ක් බව ලංවිම පෙන්වා දෙයි)  ඉවත් කරගත හැකි වීමයි. එම ලාභය අදාල පාරිභෝගිකයා වෙත ලබාදීමට කටයුතු කිරීම හරහා අදාල යන්ත්‍රයේ නඩත්තු කටයුතු සඳහා අමතර මුදලක් ද එම පාරිභෝගිකයාට ලැබේ.

අමතර වශයෙන් හදිසි මිල දී ගැනීම් වලදී ගෙවන ධාරිතා ගාස්තුව (Capacity cost) (විදුලි සැපයුම් කරුගේ ප්‍රාග්ධන ස්ථාවර වියදම් – මෙය විදුලිය සැපයුවත් නොමැති වුවත් ගෙවිය යුතු මුදලකි.) මෙම ක්‍රමය හරහා වලක්වා ගත හැකි බැවින් එය ලංවිමට සහ රටට ඉතිරියකි.

මේ සඳහා මහජන උපයෝගිතා කොමිසමේ අවසරය ලබාගත යුතු හෙයින් එම ආයතනය සහභාගිත්වයෙන් අයක්‍රමයක් පිළියෙල කර ගැනීමේ හැකියාවද පවතී.

මෙය තාවකාලික විසඳුමක් පමණක් නොව සාමාන්‍ය තත්ත්වයක් යටතට පත් කර ගැනීම හරහා සියලු පාර්ශව වලට ප්‍රතිලාභ ගෙනදෙන බලශක්ති වෙළඳපොලක් නිර්මාණය කරගැනීමට මහඟු අත්වැලක් වනු ඇත.

  සුජීව අබේවික්‍රම

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *