දේශපාලනයේ කළු පැල්ලම් – සම්පත් අමරසිංහ.
ශ්‍රී ලංකාවේ ඡන්ද ක්‍රමය ගැන කතා කරන්නකුට විවිධ අවස්ථාවන්හි විවිධ ආකාරයට ඡන්ද දූෂණ සිදු වු අවස්ථා මතක්කර ගත හැකිය. අතීතයේ දී අලි ඇතුන් කුලප්පු කර එවිම, ඡන්ද දායකයන් වාහනවල නංවා ඡන්දය භාවිත කළ නොහැකි ආකාරයට දුර ප්‍රදේශවලට රැගෙනයාම ආදිය වාර්තා වී ඇත.
ඉනුත් මෑත කාලයේ දි ජනාධිපති ධුර අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ ඡන්දය හොරට භාවිත කිරීම, වයඹ පළාත් මැතිවරණයේ දී සිදු කළ ඡන්ද කොල්ලය ආදිය මැතිවරණවල කළු පැල්ලම් ලෙස ඉතිහාස ගත වී තිබේ.
මෙරට ඡන්දය ගැන මේ ලේඛකයාට දරුණුතම කලකිරීමක් ඇති වු එක් අවස්ථාවක් වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කළ එස්. බී. දිසානායක ඇතුළු කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂය සමග එක් වී ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළ අවස්ථාවයි. එහි දී එක් පක්ෂයක න්‍යාය පත්රයකට එකඟව එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරවීම පිණිස අදාළ පක්ෂයටත් එහි නායකත්වයටත් සහයෝගය ලබාදෙනු ඇතැයි යන විශ්වාසය මත ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් කළ පිරිසක් ඊට ඊඳුරාම වෙනස් අරමුණක් වෙනුවෙන් වෙනත් පක්ෂයකට එනම් එක්සත් ජාතික පක්ෂයට එකතු වී ආණ්ඩුවක් පිහිටුවීමට සහයෝගය දුන්හ. එම ක්‍රියාව වනාහි එම පිරිසට මැතිවරණයේදී මනාපය ලබා දුන් ජනතාවගේ අභිලාෂය අමු අමුවේ කෙළෙසා දැමීමකි.
යම් පක්ෂයකින් මැතිවරණයකට තරග කොට පාර්ලිමේන්තුවට තේරිපත් වු යම් නියෝජිතයකුට තමා මැතිවරණයට තරග කළ පක්ෂයෙන් ඉවත්ව මන්ත්‍රි ධුරයේ හිඳිමින් වෙනත් පක්ෂයකට සහය පළකිරීමට ඇත්තේ කවර අයිතියක්ද? සැබැවින්ම කිසිවෙකුට එසේ කරන්නට කවර ආකාරයකින්වත් අයිතියක් ඇත්තේ නැත. තමා මැතිවරණ අපේක්ෂකත්වය දරා පාර්ලිමේන්තුවට, පළාත්සභාවට හෝ පළාත් පාලන ආයතනයකට පත්වූ පක්ෂයේ යම් වරදක් අඩුපාඩුවක් දකින්නේ නම් අදාළ නියෝජිතයා ගතයුතු ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාමාර්ගය වන්නේතම නියෝජිකත්වයෙන් ඉවත් වීමය. ඉවත් වී තමන්ට ගැලපෙනවායැයි කල්පනා කරන පක්ෂයකින් මැතිවරණයට ඉදිරිපත්ව ලැබෙන ජය හෝ පරාජය අනුව කටයුතු කිරීමය. නැතිව එක් පක්ෂයකින් ලැබූ ඡන්දයෙන් තේරීපත්ව වෙනත් කණ්ඩායමකට සහය දීම නොවේ.
ඉහත සටහන ලියනු ලැබුණේ ඊයේ පෙරේදා මෙරට දේශපාලනයේ සිදු වූ කටයුත්තක් පිළිබඳ සංවාදයක් සඳහා පදනමක් පාදා ගැනීමටය. ඉහත කී කටයුත්ත අන් කිසිවක් නොව, මහින්ද රාජපක්ෂ මහතා මෙරට අගමැතිවරයා වශයෙන් පත්කරනු ලැබීමයි. මහින්ද රාජපක්ෂ මහතා යනු පසුගිය ජනාධිපතිවරණයේදී ද මහමැතිවරණයේ දී ද පිටපිට දෙවතාවක් මෙරට බහුතර ඡන්දයෙන් පරාජයට පත් වු තැනැත්තා බව අමුතුවෙන් කිවයුතු නොවේ. ඔහුට පක්ෂපාතිත්වය දක්වන පාර්ලිමේන්තුවේ නියෝජිත සංඛ්‍යාවද සුළුතරය මිස බහුතරය වන්නේ ද නැත. එවැනි තත්ත්වයක් යටතේ ඒ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීම විග්රහ කළ හැක්කේ හෝ සාධාරණීය කළ හැක්කේ කවර දේශපාලන දර්ශනයකින් ද කවර දේශපාලන චින්තනයකින් ද න්‍යායකින් ද යන වග පැහැදිලි නැත.
පසුගිය මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ජනතාවට දුන් පොරොන්දුව වුයේ වසරක කාලයක් සඳහා පක්ෂ දෙක එක් වී සම්මුතිවාදී පාලනයක් ගෙනයන බවටය. එහෙත් වසරකින් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජාතික පක්ෂය සන්ධාන ගිවිසුමෙන් ඉවත්වුයේ නැත. යම් හෙයකින් නීත්‍යානුකූලව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංහිඳියා ගමනින් ඉවත් වුයේ නම් ගතයුතුව තිබුණ පියවර වන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය ඇති කවර හෝ පක්ෂයකට ආණ්ඩුව පිහිටුවන්නට ආරාධනා කොට එසේ බහුතරයේ කැමැත්ත දිනාගන්නා පක්ෂයට අගමැතිවරයා පත්කර ගන්නට අවස්ථාව ලබාදීමයි. එහෙත් සිදු වී ඇත්තේ සියල්ලන්ගේ ඇස් වසා කිසිවකු හෝ බලාපොරොත්තු නොවු අයකුට අග්‍රාමාත්‍ය ධුරය බාරදීමයි.
වත්මන් ජනාධිපතිවරයා 2015 ජනවාරි මාසයේ කියු දේ මොනවාද ඔහු කියු ආකාරයට එකල ඔහු සෞඛ්‍ය අමාත්‍ය ධුරය දැරූ ආණ්ඩුව අතිශය දූෂිතය. එම ආණ්ඩුවේ මර්දනකාර පිළිවෙත සම්බන්ධයෙන් ඔහු කළ ප්‍රකාශය වුයේ ජනාධිපතිවරණයෙන් තමා පරාජයට පත්වුයේ නම් ඉන්නට සිදුවන්නේ අඩිහයක් යට බවයි.
එවැනි තත්ත්වයක මෙරට ජනතාව ලක්ෂ හැට ගණනක් මෛත්‍රි මහතාට ඡන්දය ලබා දුන්නේ නැවත රාජපක්ෂ පාලනයක් බලාපොරොත්තුවෙන් නොවන බව අමුතුවෙන් කිව යුතුද? ජනතාව බලාපොරොත්තු වුයේ රාජපක්ෂ පාලන සමයේ සිදු වු බව මෛත්‍රි මහතාම කියු වංචා දූෂණ මිනීමැරුම් ආදිය පිලිබඳ අපක්ෂපාති පරීක්ෂණයන් පැවැත්වීමය. ඒවාට වගකිවයුතු අය වෙත්නම් දඬුවම් පැමිණවීමය. ඒ වෙනුවට දැන් සිදුව ඇත්තේ සොරාය කී තැනැත්තා එසේ සොරාය කී බැවින් ජනතාව අතින් පරාජයටපත් වු තැනැත්තා නැවත කැඳවා ආණ්ඩුව බාර දීමයි.
එක්සත් ජාතික පක්ෂයේ වංචා දූෂණ ඇති බව මෛත්‍රි මහතා නිතර කියනු ඇසේ. එය එසේ නම් කළ යුතුව ඇත්තේ ඒ පිළිබද මැදහත් පරීක්ෂණයක් කොට අදාළ තැනැත්තනට දඬුවම් කිරීමයි. නැතහොත් පක්ෂ දෙක එක්ව සාකච්ඡා කර අදාළ තැනැත්තනට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමයි. එහෙත් සිදුව ඇත්තේ ඊට හාත්පසින් විරුද්ධ කටයුත්තකි.
බැඳුම්කර වංචාව පිළිබද පරීක්ෂා කරන්නට ජනාධිපති කොමිසමක් පත්කිරීමට යෙදුණි. එම කොමිසම මගින් සොයා බැලුණු කරුණු අනුව මේ වන විට ඇතැමුන් රක්ෂිත බන්ධනාගාර ගතකොට ඇති බවද එසේම සත්‍යයකි. එය යහපත්ය. ජනතාව යහපාලන ආණ්ඩුව බලයට පත්කිරීමෙන් බලාපොරොත්තු වූයේ ද එය ම ය.
බැඳුම්කර කොමිසම ක්‍රියාත්මක වූ සමයේදී ම බණ්ඩාරනායක සම්මන්ත්රණශාලාවේ පස්වන ගොඩනැගිලි සංකීරණයේ පළමු මහලේ තවත් ජනාධිපති කොමිෂන් සභාවක් කටයුතු ආරම්භ කළේය. එම ජනාධිපති කොමිෂන් සභාව නම්කර තිබුණේ; “බරපතළ වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද බලය හා අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව” යනුවෙනි. බැඳුම්කර කොමිසම ද පත්කරන්නට යෙදුණේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසිනි.
බරපතල දූෂණ වංචා විමර්ශන කොමිසමේ විෂය පථය වුයේ පසුගිය ආණ්ඩු සමයේ එනම් මහින්ද රාජපක්ෂ යුගයේ සිදුවූයේ යැයි කියන බරපතළ වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද බලය හා අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ෂණය කිරීමයි. එසේ විමර්ෂණය කර ඉහත කොමිසම පිටු 1135 කින් යුතු වාර්තාවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ඉදිරිපත් කළේය.
එම වාර්තාවේ අංක 04 වන පරිච්ඡේදය නම් කර තිබුණේ, “කොමිෂන් සභාව විසින් සිදුකරන ලද විමර්ෂණයන්ගෙන් අනතුරුව පරීක්ෂණ පැවැත්වීමට තීරණය කරන ලදුව එලෙස පරීක්ෂණ ද පවත්වා අවසන්කර කොමිෂන් සභාවේ නිර්දේශ ඉදිරිපත් කර ඇති පැමැණිලි/ පෙත්සම් පිළිබද විග්‍රහය” යනුවෙනි.
එකී කොමිෂන් සභාව විසින් පරීක්ෂණ පවත්වා අවසන් කර නිර්දේශ ඉදිරිපත් කළ පැමිණිලි/පෙත්සම් 34කි. ඒවා පිළිබඳ තොරතුරු එම වාර්තාවේ පිටු අංක 59 සිට 987 දක්වා සටහන් වී තිබේ. එහි 13 වැන්න නම් කර ඇත්තේ, “හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රෝහණ රාජපක්ෂ නමැති අය රාජ්‍ය සම්පත් හා වරප්‍රසා ද අනිසි ලෙස පාවිච්චි කිරීම සම්බන්ධයෙන් පෙත්සම – PCI/549/2015 යනුවෙනි.
කොමිෂන් සභා වාර්තාවේ 04 පරිච්ඡේදයේ 15 වැන්න නම්කර ඇත්තේ නාවලපිටිය දුම්රිය ස්ථානයට අයත් ආරක්ෂිත ඉඩම බදු පදනම මත මහින්දානන්ද පදනම වෙත ලබාදීමේ දී සිදු වී ඇති අක්‍රමිකතා සම්බන්ධ පෙත්සම – PCI/575/561/2015 යනුවෙනි. ඒ ඇතුළුව පෙත්සම් 34ක් පිළිබද බරපතළ වංචා හා දූෂණ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාවේ සටහන් වේ.
එසේ සටහන් වී ඇති සියලුම තොරතුරු අදාළ වන්නේ මහින්ද රාජපක්ෂ පාලන කාලයටය. එහෙත් බැඳුම්කර කොමිසමට මෙන් ඉහත කොමිසමට නඩු නැත. දැන් එම කොමිසමේ නම සදහන් වන බැසිල් රොහණලාට අලුත්ගමගේලාට නඩු වෙනුවට නැවත රාජ්‍යබලය වරවර ළඟට කැඳවා ප්‍රධානය කර තිබේ. ඉතින් මේ රටේ ප්රජාතන්ත්රවාදය ගැන කිය යුත්තේ කුමක් ද කියහැක්කේ කුමක් ද. අනේ අපි කවදාක හිනැහෙමු ද මේ රටේ.
