| |

ගෝඨාභයගේ ප්‍රචාරක ව්‍යාපාරයට ඒකාබද්ධය ඇතුළෙන් ඇදපු අංචිය

උතුරු නැගෙනහිර පළාත්වල ජනතාවගේ ප්‍රශ්න විසඳීමට හා එම පළාත් සංවර්ධනය කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ අවධානය යොමුකොට තිබෙනවා. නිතර එම පළාත්වලට යන ජනාධිපතිතුමා ඒ හැම ගමනකදීම සංවර්ධන වැඩසටහන් එකකට හෝ ගණනාවකට හෝ සහභාගි වෙනවා. උතුරේ සංවර්ධනය සඳහා විශේෂ කාර්ය සාධන බළකායක්ද ස්ථාපිත කොට තිබෙන්නේ පක්ෂ භේදයකින් තොරව එම සංවර්ධන කටයුතු කිරීම අරමුණුකොටගෙනයි.

එබඳු දැවැන්ත සංවර්ධන කටයුත්තක් ජනාධිපතිතුමා අතින් පසුගියදා විවෘත වුණා. එය නම් උතුරු වලිකාමම් ප්‍රදේශයේ පිහිටි මයිලඩ්ඩි ධීවර වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියයි. කලින් සාර්ථක ධීවර වරායක්ව පැවැති මෙය යුද්ධයත් සමඟ විනාශ වුණා. එම ප්‍රදේශයේ ඉඩම් නාවික හමුදාව භාරයට ගෙන තිබුණා. දැන් එම ඉඩම් ආපසු ජනතාවට පැවරීමත් කෝටි 40 ක වියදමින් ධීවර වරාය සංවර්ධනය කිරීමත් සිදුවනවා. මීටර් 80 දිග ජැටියක්, ගුවන්විදුලි පණිවිඩ හුවමාරු මධ්‍යස්ථානයක්, ඉන්ධන සැපයුම් පහසුකම්, දියකඩනය, මත්ස්‍ය වෙන්දේසි ශාලාව ආදී සියලු පහසුකම් සංවර්ධනය කෙරෙනවා.

මයිලඩ්ඩි ධීවර වරාය සංවර්ධනය පසුගිය බදාදා අරඹමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම ප්‍රදේශයේ සියලු දේශපාලනඥයන්ට ආරාධනා කළේ පක්ෂ භේදයකින් තොරව උතුරේ සංවර්ධනයට එක්වන ලෙසයි. පසුගිය වතාවේ ජනාධිපතිතුමා පැමිණෙනවිට උද්ඝෝෂණයක යෙදී සිටි සිවාජිලිංගම් මන්ත්‍රීතුමාද මෙම රැස්වීමට පැමිණ සිටීම ජනාධිපතිතුමාගේ විශේෂ අවධානයට ලක්වුණා. ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය විජිතමුණි සොයිසා, රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි, ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, අංගජන් රාමනාදන්, කාදර් මස්තාන්, අමීර් අලි නියෝජ්‍ය ඇමැතිවරුන් විජයකලා මහේෂ්වරන්, මාවෙයි සේනාධිරාජා, එම්. සිද්ධාර්ථන් මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියා.

එහි දී කතා කළ ජනාධිපතිතුමා‍ වැඩිදුරටත් කීවේ යුද්ධය සමඟ මෙම වරාය විනාශ වූවා සේම තවත් බොහෝ දේ විනාශ වූ බවයි. සමාජය තුළ තිබෙන යුක්තිය සාධාරණත්වයද විනාශ වන බවත්, ආයුධවලින් කරන සටනකින් සැබෑ මානවවාදී ජයක් ලබාගත නොහැකි බවත් ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. අප්පාපිල්ලෙයි අමිර්තලිංගම්, නීලන් තිරුචෙල්වම්, ලක්ෂ්මන් කදිරගාමර් වැනි නායකයන් මෙන්ම සිංහල දෙමළ මුස්ලිම් බොහෝ දෙනෙකුට ජීවිත අහිමි වූ බව කී ජනාධිපතිතුමා යුද්ධයෙන් අප සියලු දෙනාට අත්වූයේ විනාශයක් බව පෙන්වා දුන්නා. ඒ නිසා සැමගේ අදිටන විය යුත්තේ යළි යුද්ධයක් ඇති නොවන සේ කටයුතු කිරීම බව ද ජනාධිපතිතුමා කීවා.

එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා, ගම් පෙරලිය හා ඉඩම් ඔප්පු ලක්ෂ 10 ක් බෙදා දීමේ ව්‍යාපෘතිවල නිරත අගමැතිවරයා පසුගිය සතිය පුරාම ඒ වෙනුවෙන් රට පුරා ගියා.

“නුවරඑළියෙන් පටන්ගෙන බද්දේගමට එනකොට දැනටත් ඉඩම් ඔප්පු 10, 000 ක් අපි මේ රටේ මිනිස්සුන්ට බෙදා දී තියෙනවා. ඒත් මහින්දල ඉඩම් බෙදුවේ විදේශිකයන්ටයි. මූල්‍ය නගරයේ හා ෂැංග්‍රිලා ඉඩම් සින්නක්කර දුන් ඒවාත් බදු ක්‍රමයට යටත් කරල ඒවා බේරගත්තෙත් අපියි. ” අගමැතිවරයා බද්දේගම දී කීවා.

ඉඩම් බෙදාදීමේ ව්‍යාපෘතියේ නියමුවා වන ඇමැති ගයන්ත කරුණාතිලකගේ මෙහෙයවීම මත උත්සවය පැවැති අතර වජිර අබේවර්ධන ද ඊට එක් වී සිටියා.

බ්‍රහස්පතින්දා අගමැතිවරයා පාර්ලිමේන්තු ගියේ එජාපෙ කණ්ඩායම් රැස්වීමටයි. ඊට පෙර සිය කාර්යාලයට පැමිණ සිටි පිරිස සමඟ කතාබහ කිරීමටද ඔහු වග බලා ගත්තා.

“ ලක්ෂ්මන්, වජිපායිගේ ෆියුනරල් එකට ගිය ගමන කොහොමද ” අගමැතිවරයා සභානායක ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් විමසුවා.

“ ඒ ගමන රටට හුඟක් වටිනවා. අගමැති මෝදි හමුවුණාම මගේ පැමිණීම ගැන ස්තූති කළා. එතුමා ලංකාවට ආවාම මම පරිවාර ඇමැති ලෙස හිටපු බවත් එතුමාට මතක් වුණා. වජ්පායි හා අගමැති රනිල් අතර තිබූ කිට්ටුවන්තකම මම මෝදිට මතක් කළා. ” කිරිඇල්ල කීවා.

“ වෙන අයට කතා කරන්න අවස්ථාව ලැබුණේ නැද්ද ” අගමැතිවරයා විමසුවා.

“ ඉන්දියාවේ විදේශ ඇමතිනිය එක්ක දෙරටේ වත්මන් තත්ත්වය ගැන බොහෝ දේ කතා කළා. ඇෆ්ගනිස්ථානේ හිටපු ජනපති කර්සායි එක්කත් කතා කළා. ” කිරිඇල්ල කීවා.

“පොහොට්ටුව ඇතුළෙ ගිණි කන්දක් ඇතිවෙලා. ගෝටා බැසිල් ජනපති අපේක්ෂක ගැටුම නිසා එතන කල්ලිවලට බදිලා. ඒ නිසයි 19 හිලකින් රිංගලා මම එනව කියල දැන් මහින්ද කියන්නේ” සජිත් ප්‍රේමදාස මෙන්ම නවීන් දිසානායකද කීවේ එක සමාන අදහසක්.

“මහින්ද රටේ නීති කඩන්න හදනවා” අගමැති කීවා.

“හිලකින් රිංගන්න ඉඩක් තිබුණෙ ජේ.ආර්. ට විතරයි. මොකද එතුමා ඡන්දයෙන් ජනපති වුණේ එක වරයි. ඒත් මහින්ද හා චන්ද්‍රිකා දෙවරක් ඡන්දයෙන් ජනපති වූ නිසා ඒ දෙන්නට රිංගන්න නම් මොන හිලක්වත් නෑ” නීති විශාරදයකු වන විජේදාස රාජපක්ෂ කීවා.

“ඒත් 19 හෝ වෙනත් නීතියක් පැනවීම අතීතයට බලපාන්නෙ නැහැ නේද” දයා ගමගේ ප්‍රශ්න කළා.

“නීතියක් අතීතයට බලපාන්නෙ නැතත් යමෙකුගේ අතීත ක්‍රියාකාරකම් බලපානවා. අනික දෙවරක් ජනපති වුණේ නැති බවට දිව්රුම් ප්‍රකාශයකුත් නාමයෝජනා දෙනකොට දෙන්න වෙනවා. ඒ හරහා බොරු කිව්වොත් දණ්ඩ නීති සංග්‍රහයේ 190 වගන්තිය අනුව වසර 03 ක් හිරේ යන්න වේවි” විජේදාස රාජපක්ෂ පැහැදිලි කළා.

“ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසන්නයි මෙයාල බලන්නේ” සජිත් ප්‍රේමදාස කීවා.

“ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසන්න පුළුවන් ජනපතිට විතරයි. හැම කොල්ලට බල්ලටම ඒක කරන්න බෑ” විජයදාස කීවේ සිනාමැදයි.

ඒත් දිසා අධිකරණයට මේ ගැන පෙත්සමක් ඉදිරිපත් කළාම ඔවුන් ලවා ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමට යම් අවස්ථාවක් තිබෙනවා නේද” නීතීඥයකු වන නවීන් දිසානායක ඇහුවා.

” දෙවරක් ජනපති වූ කෙනකුට යළි බැහැ කියල 19 වන සංශෝධනයේ පැහැදිලිවම තිබිය දී දිසා අධිකරණයට ගියාම ඒ පෙත්සම විසිවේවි. ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මත විමසන්න දිසා අධිකරණවලට ඔල්මාද ඇති කියල මම හිතන්නෙ නෑ”විජයදාස රාජපක්ෂගේ විග්‍රහය එය වුණා.

“ මහින්ද රාජපක්ෂගෙන් සී.අයි.ඩී.ය ප්‍රශ්න කළාම පැය 03ට හය පාරක් ටොයිලට් ගිහින්ලු. එක්කො පරණ පව්වලට බඩ බුරුල් වෙලා. නැතිනම් ටොයිලට් එකේ ඉදන් නීති උපදෙස් ගන්න ඇති. ” චමින්ද විජේසිරි කී විට පිරිස කොක් හඩලන්නට වුණා.

“ මතක නෑ කියන ලෙඩේ මහින්දටත් බෝ වෙලා. බැඳුම්කර කොමිසමට ගිය වෙලාවේ අගමැතිතුමා විතරයි මට මතක නෑ කියන්නෙ නැතුව කෙලින් උත්තර දුන්නේ” විජයදාස රාජපක්ෂ කීවා.

“ කීත් නොයාර් නිදහස් කළ එක වරදක්ද කියල මහින්ද මහත්තය අහනවා. නිදහස් කරන්න කලින් පැහැර ගත්තෙ කවුද කියලයි මිනිස්සු අහන්නෙ” චමින්ද විජේසිරි කීවේද සිනා මැදයි.

“ කීත් නොයාර්ගෙ ඉෂු එක ලොකුවට උඩට ඇවිත්. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරල ඒ ගැන තවත් කරුණු හොයන්න කියල එජාප මන්ත්‍රීවරු රැසක් මට බලකරනවා” අගමැති එළි කළා.

“පළාත් පාලන ඡන්දය පැරදුණු එක ආණ්ඩුවට ආශිර්වාදයක්. දැන් ඉඩම් බෙදලා පවුල් ලක්ෂ 08 කට අලුතින් සමෘද්ධි දීලා උදාගම් පාසල් රෝහල් හදලා ගම්පෙරලිය එන්ටර්ප්‍රයිස් ලංකා, ග්‍රාම ශක්ති ආදිය කළාම ඊළඟ ඡන්දය අපට අමාරු වෙන්නෙ නෑ” ගයන්ත කරුණාතිලක කී දේ අගමැති ඇතුළු සියලු දෙනා අනුමත කළා.

“මම රට පුරා කොට්ඨාස 3923 ක පාක්ෂිකයො 10ක් බැගින් හමුවෙලා වැඩමුළු 150ක් ජාතික සංවිධායක ලෙස තිබ්බා. 40, 000ක් දැනුවත් කළා. ඒ අයට ගමේ ව්‍යාපෘති කරන්න කෘෂි උපකරණ ආදියත් බෙදනවා” නවීන් දිසානායක කීවේ අගමැති ඇතුළු කාගේත් ප්‍රශංසා මැදයි.

“ආණ්ඩුවට වසර 03 පිරීමට උදාගම් 100කට මුල්ගල් තියෙනවා. ගම් 1000ක් හදලයි මම පස්ස බලන්නේ” සජිත් ප්‍රේමදාස කී විටද අගමැතිවරයා ඇතුළු කාගේත් ප්‍රශංසාව සජිත්ටද හිමිවුණා.

“උපාධිධාරීන් 4100 කට ගිය සතියේ පත්වීම් දුන්නා. මහින්ද වසර 09 ට පාරවල් කිලෝමීටර් 183යි හදල තියෙන්නෙ. අපි වසර 3 1/2 ට කිලෝමීටර් 185 ක් හදලා ඉතිරි වසර 02 දී තවත් හදනවා. පාරවල්වලට මහින්ද පවරාගත්ත ඉඩම්වලටත් වන්දි ගෙව්වෙ අපියි. දැනට රු: දශලක්ෂ 40, 000ක් වන්දි ගෙවා තිබෙනවා. හැම ඇමතිලම දැන් තරගෙට වැඩ කරනවා. ඒක වටිනවා” අගමැති කීවා.

“ජපාන ආරක්ෂක ඇමැති ඇවිත් රහස් ආරක්ෂක ගිවිසුමක් ගැහුවා කියල විපක්ෂය කරන චෝදනාව මඩක්ද” චමින්ද විජේසිරි ඇසුවේ අගමැතිගෙන්.

“අපි කිසිම ගිවිසුමක් හොරාට ගහන්නෙ නෑ. අද ලංකාව වටා ඇති ඉන්දීය සාගර කලාපය නාවික හා ආර්ථික මර්මස්ථානයක්. අපේ වැදගත්කම ලෝකයම දකිනවා ජාත්‍යන්තරයම දැන් ලංකාව එක්ක වැඩ කරන්න ඉතා උනන්දුයි. ඉස්සර එහෙම තත්ත්වයක් තිබුණෙ නෑ. ජපන් ආරක්ෂක ඇමැති සින්සො අබේගෙන් පසු ජපන් අගමැති වෙන්නත් ඉඩ ඇති කෙනෙක්. ත්‍රිකුණාමලේ හා හම්බන්තොට දියුණුවට ජපන් උදව් හා අයෝජන ගේන්න ඔහු එකඟ වුණා ඒක ලංකාව ලැබූ විශාල ආර්ථික ජයක්” අගමැතිවරයා විග්‍රහ කළා.

යහපාලන ආණ්ඩුවට වසර 3ක් සපිරීම නිමිත්තෙන් මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව, කොටියාගල දී ජනතා අයිතියට පත් කරනු ලැබුවේ 107 වැනි උදා ගම්මානය වන “දෙව්පුදගම” යි. මෙම ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාගේ විශේෂ ඇරයුම පරිදි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයායි. මොණරාගලට ගොස් සියඹලාණ්ඩුව හරහා කැබිලිත්ත දේවාලයට යන මාර්ගයේ මෙම ගම්මානය පිහිටා තිබෙනවා. පාන්දරින්ම ගම්මානය වෙත ගොස් එහි නිවාස 52 ටම ඇවිද ගිය සජිත් යහපාලන රජයට තෙවසරක් සපිරීම නිමිත්තෙන් “දෙව්පුදගම” සියලු නිවැසියන් වෙත ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ සුබපැතුම් පළකර සිටියා. අනතුරුව සජිත්, අගමැතිවරයාද කැටිව ගම්මානය නිරීක්ෂණය කිරීමට ගිය චාරිකාවට අමාත්‍යවරුන්, නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි ඇතුළු පිරිස එක්වුණා. “බොහොම හොඳයි. ලස්සනයි” කී අගමැතිවරයා අනතුරුව ඇසුවේ “දැන් ගම්මාන කීයක් හැදෙනවාද සජිත්” කියායි. “අද වෙනකොට 1, 119 යි. ඉලක්කය 2019 දෙසැම්බර් 31 වැනිදාට කලින් ගම්මාන 2, 500 ක වැඩ ආරම්භ කරන්නයි” සජිත් කීවාය. “අමාරු ඉලක්කයක් නේද” අගමැතිවරයා අසද් දී සජිත් කීවේ “ඔව් සර්, ඒ ඉලක්කයට යන්නට දිනපතාම ගම්මාන 3ක වැඩ ආරම්භ කරන්න ඕනෑ. දැනටමත් අපි හැම සතියකම ගම්මාන 3ක් ජනතා අයිතියට පත් කරනවා. රජයට තුන් වසරක් පිරීම නිමිත්තෙන් අද දවසේ පැය 24 ඇතුළත පමණක් ගම්මාන 100ක වැඩ ආරම්භ කරනවා” කියායි. නිවාස වැඩපිළිවෙළ පිළිබඳව සජිත්ට සුබපැතූ අගමැතිවරයා ගම්මානයේ ඔබ මොබ ඇවිද යමින්ද, එහි සිඟිති උයනේ දරු-දැරියන් සමඟ විනෝද වෙමින්ද පැය 4 කට වැඩි කාලයක් එහි ගත කිරීමට අමතක කළේ නැහැ.

පසුගියදා ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ ලබන සැප්තැම්බර් මාසයේ සිදු කිරීමට නියමිත සුනාමි පෙරහුරුවකට අදාළවයි. සාකච්ඡාවේ සියලු කටයුතු නිමාවීමෙන් අනතුරුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතාගෙන් විශේෂ ඉල්ලීමක් කළා. එනම් මෙම සුනාමි පෙරහුරුව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා නිසි ලෙස දැනුම්වත් කරන ලෙසයි.

මීට ඉහත දී මාතලේ ප්‍රදේශයේ පැවැති ආපදා පෙරහුරුවක දී නියෝජ්‍ය අමාත්‍යවරයා නොදැනුවත්ව ක්‍රියා කිරීම හේතුවෙන් ඇති වූ සිද්ධිය පදනම් කර ගනිමින් ඔවුන් මෙම ඉල්ලීම සිදු කළා.

එහි දී වැඩියෙන්ම සිනා ගියේ පාලිත රංගේබණ්ඩාර ඇමතිවරයාටයි. ඔහු දුරකතන ඇමතුමක් ගත්තාය. ඒ තෙවරප්පෙරුම නියෝජ්‍ය ඇමැතිවරයාටයි. හෙලෝ මල්ලි වැඩකද යැයි විමසුවේ පාලිත රංගේ බණ්ඩාර මහතායි.අපි ඉතිං නිතරම ඔන්ලයින්නේ අයියා. යැයි පාලිත තෙවරප්පෙරුම මහතාගේ පිළිතුර වුණා.මේ මල්ලි විශේෂ කාරණයකට ගත්තේ.මොකක් ද පාලිත අයියා.පාලිත මල්ලි අපි ළඟදි සුනාමි පෙරහුරුවක් කරන්න යන්නේ. අගමැතිටත් කලින් ඔයාට කියන්නේ යැයි රං‍ගේ බණ්ඩාර මහතා පැවසුවාය.උස් ස්වරයෙන් සිනාසුණු තෙවරප්පෙරුම මහතා පැවසුවේ මමත් එහෙනම් විශේෂ පුද්ගලයෙක් නේද අයියා යැයි කියායි.මේ මල්ලි ඕක දැන්ම දින පොතේ ලියා ගන්න. ඔන්න දවස සැප්තැම්බර් 05 හො‍ඳේ යැයි රංගේ බණ්ඩාර මහතා සිනාමුසු මුවින් අවධාරණය ක‍ළා.

හරි හරි දැන් මොකක්ද මගෙන් වෙන්න ඕන යැයි විමසූ තෙවරප්පෙරුමට රංගේ බණ්ඩාරගේ පිළිතුර වුණේ ගොඩක් දේ තියෙනවා, හමුවෙලා කතා කරමු යන්නයි.

එදා මාර සීන් එකනේ වුණේ. එහෙම දේවලුත් වෙනවා ඉතිං ගණන් ගන්න එපා යැයි කියමින් දෙදෙනා දුරකතන සංවාදය අවසන් කළා. පාලිත රං‍ෙග් බණ්ඩාර මහතා දුරකතන ඇමතුම නතර කළේ හිත හොඳ මනුස්සයා යනුවෙන් කාටත් ඇහෙන පරිදි පවසමින්.

16 වැනි බ්‍රහස්පතින්දා කොළඹ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ දී දිසාපති සමුළුව ආරම්භ වුණේ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ සඳහා ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති ජේ.සී.අලවතුවල මහතාත් සහභාගී වී සිටියා. සියලු දිසාපතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැති මේ රැස්වීම අතරතුර කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද පැමිණියේ ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ සිදුකිරීමට සැලසුම් කර ඇති කෘෂිකාර්මික විප්ලවය පිළිබඳ දිසාපතිවරුන් දැනුම්වත් කළා.

විදෙස්ගත වන ලාංකිකයන් ඒ සඳහා ඉදිරිපත්කළ යුතු අනිවාර්ය ලේඛනයන්හි සත්‍යතාව තහවුරුකර ගැනීමේ ක්‍රියාවලිය ප්‍රාදේශීය ‌ලේකම් කාර්යාලයේ දී කරගැනීමට හැකිවන ”ඉලෙක්ට්‍රොනික ලේඛන සත්‍යාපනය” වැඩසටහන සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය හා විදේශ කටයුතු අමාත්‍යාංශය අතර දිසාපති සමුළුවේ දීගිවිසුමක් අත්සන් කළා. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් මහතා සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ ඒස්.ටී.කොඩිකාර මහතා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඉදිරිපිට දී මෙම ගිවිසුමට අත්සන් තැබුවා.

අමාත්‍යාංශ දෙක ඒකාබද්ධව මෙම ”ඉලෙක්ට්‍රොනික ලේඛන සත්‍යාපනය” වැඩසටහන දීප ව්‍යාප්තව ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332හි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

සෙනසුරාදා ඇමැති වජිර තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ නිල සෙවණ කාර්යාල හයක් විවෘත කළ අතර ඉරිදා දිනයේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ නිල සෙවණ කාර්යාල හතරක් විවෘත කිරීමට එක්වුණා. එම දින දෙකේ දී ම අලුතෙන් ඉදිකර තිබූ නිල සෙවණ කාර්යාලයන්හි ග්‍රාම නිලධාරීවරුන්ට වෙන්කර තිබූ පුටුවේ අසුන්ගත් ස්වදේශ කටයුතු අමාත්‍යවරයා පැමිණ සිටි විශාල පිරිසකගේ ජනතා ගැටලු විසඳීමට ද අමතක කළේ නැහැ. නෙළුවේ දී ජංගම දුරකථනවලින් තම ඡායාරූප ගන්නා දරුවන් පිරිසක් දුටු ඇමැති වජිර ඔවුන් සමඟ කතා කර සමූහ ඡායාරූපයකට පෙනී සිටීම එතැන සිටි මාධ්‍යවේදීන්ගේ ද අවධානයට ලක්වුණා.

සඳුදා අමාත්‍යවරයා අරලියගහ මන්දිරයේ සම්මන්ත්‍රණ ශාලාවට ගියේ සංවර්ධන නිලධාරීන් ලෙස බඳවා ගන්නා උපාධිධාරීන්ගේ පත්වීම් ප්‍රදානයට සහභාගී වීමට. එහි ගිය අමාත්‍යවරයාට විශේෂ කතාවක් පැවැත්වීමේ අවස්ථාව ද හිමිවුණා. රාජ්‍ය පාලනය පිළිබඳවත් රාජ්‍ය පාලනයේ වැදගත්කම හා ජනතාවට සේවය කරන ආකාරය පිළිබඳත් උපදෙස් දුන් ඇමතිවරයා සියලු උපාධිධාරීන්ට සුබ පතමින් කියා සිටියේ බඳවාගත් උපාධිධාරීන් 5000ක් අතරින් 1500ක් ම ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අනුයුක්ත කර තිබීම ගැන විෂය භාර අමාත්‍යවරයා ලෙස තමන් සතුටට පත්වන බවයි. ඒ අමාත්‍යාංශයකට බඳවාගත් විශාලතම පිරිස බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

බ්‍රහස්පතින්දා උදෑසන ගුවන්විදුලි සංස්ථාවේ ඇමතිවරයකු සමඟ කතා බහක් වැඩසටහනට සහභාගී වූ වජිර අබේවර්ධන තම දේශපාලන අතීතය පිළිබඳ කරුණු සිහිපත් කරද් දී අපූරු රහසක් හෙළි කළා. ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් නායකයා ලෙස වසර ගණනාවක් මැතිවරණ රැසක් මෙහෙයවූ තමන් ඉදිරයේ දී මැතිවරණ රහස් පිළිබඳ පොතක් පළකිරීමට බලාපොරොත්තු වන බව ඔහු කීවා.

ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ නායකයින්ගේ සහභාගිත්වයෙන් රට හදන, රට රකින, ජනතාවාදී පාලනයක් මැයෙන් රට පුරා ජනහමු දසදහසක වැඩසටහනක් මේ දිනවල ක්‍රියාත්මක වෙනවා. මෙහි අරමුණ වී ඇත්තේ රට ගොඩනැගීම වෙනුවෙන් ජාතික වැඩපිළිවෙළක අවශ්‍යතාව ජනතාව සමඟ සමීපව සාකච්ඡා කිරීමයි. මෙම ජනහමු මාලාවේ එක වැඩසටහනක් ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත්ගේ සහභාගිත්වයෙන් කෑගල්ලේ දී පැවැත්වුණා. ජනහමුවේ දී මන්ත්‍රීවරයාගේ අදහස් දැක්වීමෙන් අනතුරුව ජනතාව සමඟ අදහස් හුවමරු කර ගැනීමද සිදුවුණා. ”ඇත්තටම මන්ත්‍රීතුමා අපිට තියෙන ප්‍රශ්නය ආණ්ඩුවක් තියෙනවද කියන එකයි.” ජනහමුවට පැමිණ සිටි ව්‍යාපාරිකයෙක් විමසා සිටියා. ”ඒක ඇත්ත ප්‍රශ්නයක්. මේ ආණ්ඩුව යන්නේ හවුල් ආණ්ඩුව කියන ලේබලය ගහගෙන. නමුත් වැඩක් කරන්න ගියාම අගමැතියි, ජනාධිපතියි ගැටුම්; ජනාධිපතියි කැබිනට් එකයි ගැටුම්; කැබිනට් එකයි මුදල් ඇමතියි ගැටුම්. ඉතිං කොහොමද ආණ්ඩුවක් කරන්නේ. අපේ රටේ ආණ්ඩුවක් නැහැ. හැමෝම එකතුවෙලා තමන්ගෙ වැඩ ටිකක් කරගත්තා. ඒ තමයි කැබිනට් මණ්ඩලය හතර පස් වතාවක් වෙනස් කරගත්තා. ඉන්ධන මිල මාසෙන් මාසෙට වැඩි කරන්න මිල සූත්‍රයක් හදාගත්තා. බදු වැඩි කළා. බඩු මිල වැඩි කළා. ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට දීමනා වැඩි කරගත්තා. අයවැයෙන් වෙන් කරගත්ත සල්ලි මදි වුණාම පරිපූරක දාලා සල්ලි වෙන්කර ගත්තා.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට හැකි යැයි ඇතැම් පිරිස් නීතිමය තර්ක ඉදිරිපත් කරමින් සිටිනවා. මේ සම්බන්ධයෙන් ජවිපෙ නායකයින්ගේද අවධානය යොමු වුණා. ”මේ තර්ක ගේන්නේ ජී.එල්. පීරිස් වගේ අය. මේ කට්ටිය නීතිය නොදන්නවා නෙවෙයිනේ. දැන් ඇතුළේ විශාල අර්බුදයක් පැන නැගිලා තියෙනවා රාජපක්ෂ කණ්ඩායමේ ජනාධිපති අපේක්ෂකයා ගැන. ඒ අර්බුදය එළියට එන්න නො දී යට ගහගන්න ක්‍රමයක් තමයි මේ ආයෙත් මහින්ද එන්න පුළුවන් කියලා මාධ්‍ය සංදර්ශනයක් උඩට ගන්න එක. අනෙක් කාරණය තමයි එයාලට තමන්ගෙ ඡන්ද දායකයො පිනවන්න ක්‍රමයකුත් ඕනෑ. මොකද ඒ කණ්ඩායම ගෙනාපු හැම දේශපාලන තර්කයක්ම පහුගිය කාලේ පරාජය වුණා.” ටිල්වින් සිල්වා කියා සිටියා.

”මහින්ද රාජපක්ෂ කණ්ඩායමේ ඇත්තම ප්‍රශ්නය දැන් කවුද ඊළඟ නායකයා කියන එක. රාජපක්ෂ පවුලේ කෙනෙක් නැත්නම් ඔවුන්ට පැවැත්මක් නැහැ. මොකක් හරි විදියකට රාජපක්ෂ කෙනෙක් තමන්ගේ නායකයා කරගන්නම වෙනවා. නමුත් ඒ ප්‍රොජෙක්ට් එක අවුල් වෙමින් යන්නේ. ඒ නිසාම පුහු තර්ක ඉදිරිපත් කර කර කාලය ගෙවාගන්න හදන්නේ. රාජ්‍ය දේපළ, මුදල් කොල්ල කාලා, ඝාතන කරලා මේ රටේ භීෂණයක් ඇති කරපු අයට ආයෙත් මේ රටේ ජනාධිපති වෙන්න සිහින දකින්න පුළුවන් වෙලා තියෙන්නේ මේ ආණ්ඩුවේ බැරි බැරියාව නිසයි, නීතිය හරියට ක්‍රියාත්මක නොවෙන නිසයි.” ලාල්කාන්ත කීවා

විපක්ෂ නායක ධුරය ලබාගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂය දැරූ උත්සාහය තවමත් සාර්ථක වී නැහැ. එහි දී එක් යෝජනාවක් වූයේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන කණ්ඩායමක් විය යුතු බවයි. ඒ ගැන පක්ෂ නායකයන් අතර ඇතිවූ දිගු සංවාදයකින් පසුව වැඩිදුර සාකච්ඡා කර වාර්තා කිරීම සඳහා මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ නායකත්වයෙන් කමිටුවක් පත්කළා. එම කමිටු‍වේ නිර්දේශ තවමත් ලැබී නෑ.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ස්වාධීන වුවත් විපක්ෂ නායක ධුරය ලබාගත හැකිද යන්න සැක සහිත බවයි. අනෙක් අතට මහින්දගේ අරමුණ වූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සිටිමින්ම විපක්ෂ නායක ධුරය ලබා ගැනීමයි.

එවිට එක්සත් ජනතා නිදහස් සන්ධානය සිටින්නේ විපක්ෂයේ බවට පොදු පිළිගැනීමක් ලැබෙන බවත්, ප්‍රධාන පක්ෂ දෙක එකතු වී කරන ආණ්ඩුවක් තවදුරටත් නැති බවත් කීමට නීත්‍යානුකූල තත්ත්වයක් ගොඩනැ‍ඟෙන බවත් මහින්දගේ උපදේශකයන් කියා තිබෙනවා. එවිට මෙය ජාතික ආණ්ඩුවක් නොවන බව කියා ඇමැති මණ්ඩලය නීත්‍යානුකූල නැති බවට පෙත්සමක් අධිකරණයට ඉදිරිපත් කිරීම ඔවුන්ගේ රහසිගත සැලසුමේ තිබූ බව දැනගන්නට තිබෙනවා. කෙසේ වෙතත් එම සැලසුම් ගැස්සුනොත් ඒකාබද්ධ විපක්ෂයේ උදවියගේ මන්ත්‍රී ධුර අහෝසි වනවා. ඒ නිසා එම සැලස්ම අතහැර දමන තත්ත්වයක් දැන් මතුවී තිබෙනවා.

මේ අතර තම පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ මහතාම විය යුතු බවට මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ප්‍රමුඛ කණ්ඩායමක් යෝජනා කොට තිබෙනවා. දහනව වන සංශෝධනය අතීතයට බලනොපාන බවත් ඒ අනුව මහින්දට තරග කළ හැකි බවත් ඔවුන්ගේ තර්කය වී තිබෙනවා. ඒ සඳහා අධිකරණයේ මතය විමසීමේ ක්‍රමවේද ගැනත් ජී. එල්. පීරිස් මහතා මාධ්‍යයට ප්‍රකාශ කළා.

ගෝඨාභය හිතවාදී කණ්ඩායමේ අදහස වී තිබෙන්නේ මෙය ඔවුන්ගේ ප්‍රචාරක ව්‍යාපාරය කඩාකප්පල් කිරීමට බැසිල් ජී. එල්. පාර්ශ්වය ඇටවූ උගුලක් බවයි. ‘වියත්මග’ හා ‘එළිය’ රැගෙන ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම රට වටා යමින් සිටියේ ජනාධිපතිවරණයට මහින්දට තරග කළ නොහැකි නිසා. එම කණ්ඩායමේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය ඉදිරිපත් කිරීමට ජනමතය ගොඩනැගීමටයි. මහින්ද රාජපක්ෂ මහතාම නැවත ඉදිරිපත් වන බව කියනවිට වෙනත් අපේක්ෂකයකු ගැන සලකා බැලීම අවශ්‍ය වන්නේ නැහැ. ගෝඨාභයගේ ප්‍රචාරක ව්‍යාපාරය ඒ අනුව අනවශ්‍ය දෙයක් බවට පත්වනවා. බැසිල් ජී.එල්. කණ්ඩායම හීන් නූලෙන් ගෝඨාභයගේ ‘වියත්මග’ හා ‘එළිය’ අනාථ කොට දැමුවේ ඒ ආකාරයෙනි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *