බලය සොයා කැලේ යාම – සී ජේ අමරතුංග

පසුගිය ජනවාරි අට වැනිදා මේ රටේ සිදුවූයේ සාමකාමී විප්ලවයක් බව බොහෝ දෙනා කියති. විශේෂයෙන්ම එම මතය දරන්නෝ එයට සහභාගී වූ නායක කාරකාදීහුය. මහජන සංවිධාන රාශියක් ඒ අතර වෙයි. ස්වේච්ඡුාවෙන් මහජනයා ක‍්‍රියාත්මක වී ඒකාධිපති බලයක් පෙරළා දැමූ නිසා එම ක‍්‍රියාවලිය විප්ලවයක් ලෙස හැඳින්වීම වරදක් නැති බව බොහෝ දෙනාගේ විශ්වාසය වී තිබේ.

ජනවාරි අට වැනිදා විප්ලවය ගැන සඳහන් කරන විට බොහෝ දෙනාගේ අපේක්‍ෂාව වන්නේ ඉන් පසුව සියලූ දේ යහපත්ව සිදුවිය යුතු බවයි. ජනතාව දුන් තීන්දුව අනුව ජනතා අභිලාෂ ඉටු කිරීමට විප්ලවයෙන් බලයට පත් වූ පාලකයන් හොඳින් ක‍්‍රියා කරද්දී මහජනයාට ගිමන් හරින්නට ඉඩ ලැබෙනු ඇතැයි බොහෝ දෙනා සිතන්නට ඇත. එසේ වූවද දැන් කරුණු සිදුවන ආකාරයට නම් පෙනෙන්නේ සියල්ල යහපත් වනවා වෙනුවට අදහාගත නොහැකි ඇතැම් සිදුවීම් වන බවයි.

දුෂිතයන්ට පාරකැපීම

ජනවාරි අටවැනිදා මහජනයා මෙරට පාලකයා බලයෙන් ඉවත් කළේ එවකට දූෂිත හා භීෂණකාරී පාලනයක් තිබූ නිසාය. ඔහුට හා ඔහුගේ කල්ලියට යළි හිස ඔසවන්නට අවස්ථාවක් දීමට විප්ලවයේ නායකයන්් කටයුතු කරනු ඇතැයි එදා විප්ලවකාරී ජනයා නොසිතන්නට ඇත. එසේ වූවද එය සිදුවීය. දැන් එම දූෂිත කල්ලිය මහජන නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තුවට අරක්ගෙන සිටින්නේ දූෂණ පිටුදැකීමේ අරගලයට සැලකිය යුතු ප‍්‍රතිරෝධයක් දැක්විය හැකි ආකාරයෙනි.

එවැනි තවත් දේ සිදුවෙමින් පවතියි. මැතිවරණයේදී මහජනයා විසින් ප‍්‍රතික්‍ෂේප කරන ලද උදවිය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසී සිටිති. ඔවුන් දැන් නව ආණ්ඩුවේ ප‍්‍රබල ඇමැති තනතුරුද ඉල්ලා සිටින බව වාර්තා වී ඇත. එම හැලහැප්පිලි නිසා තවමත් ඇමැති මණ්ඩලයක් පත්කර ගැනීමටද හැකියාව ලැබී නැත. මහජන අභිලාෂ සඳහා සටන වෙනුවට දැන් ඇමැතිකම් බෙදාගැනීමේ අරගලයක් පවතින බව දැන ගන්නට ඇත.

ජනවාරි අට වැනිදා විප්ලවයේ ප‍්‍රධාන අරමුණු වුයේ විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමය. එසේත් නැතිනම් බලතල සීමාකිරීමය. ඒ සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දහනව වන සංශෝධනයද සම්මත කරනු ලැබීය. එවිට බොහෝ දෙනා විශ්වාස කළේ ජනාධිපතිගේ බලය පාර්ලිමේන්තුවට හා ඇමැති මණ්ඩලයට පැවරෙනු ඇති බවකි.

දහනවය ඇස්බන්දුමක්ද

දැන් සිදුවන දේ දකිනවිට සිතෙන්නේ දහනව වන සංශෝධනය හුදු ඇස් බැන්දුමක් පමණක්ද කියාය. දැන් අපට පෙනෙන්නේ විධායක ජනාධිපතිවරයකු රට පාලනය කරන ආකාරයයි. අගමැති පත්කරන්නේ ඔහුය. ඇමැති මණ්ඩලය පත් කරන්නේ ඔහුය. දැන් පෙනෙන විදිහට විපක්‍ෂ නායක පත් කරන්නේ ජනාධිපතිවරයාගේ සිතැඟි අනුවය. තමන්ගේ පක්‍ෂයේම පිරිසකට විපක්‍ෂයේ වාඩිවීමට ඉඩදී ඔවුන්ට විපක්‍ෂ නායකයා පත්කර ගැනීමට ඉඩදීමක් වශයෙනි. මතුපිටින් ඉතාම ප‍්‍රජාතන්ත‍්‍රවාදීය. එසේ වූවද හරය වශයෙන් මෙය ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදායට ප‍්‍රතිවිරුද්ධ කි‍්‍රියාවලියකි.

මෙහිදී ප‍්‍රශ්නය වන්නේ ජනාධිපතිවරයාගේ අරමුණු හෝ ඔහු කුමක් වෙනුවෙන් කැප වී සිටින්නේද යන්න පමණක් නොවේ. කුමක් සඳහා වූවද ජනාධිපතිවරයා ක‍්‍රියාත්මක වන ආකාරයෙන් ගොඩ නැගෙන දේශපාලන පරිසරය පිළිබඳවය. දේශපාලන සදාචාරය පිළිබඳවය.
වත්මන් පාර්ලිමේන්තුවට පත්වීම සඳහා පක්‍ෂ ගණනාවක් තරග කළ අතර මන්ත‍්‍රීවරුන් පත්වූයේ පක්‍ෂ හයකින් පමණකි. එක්සත් ජාතික පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, මුස්ලිම් කොන්ග‍්‍රසය, හා ඊ.පී.ඞී.පී. සංවිධානය වශයෙනි. මෙයින් දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ හැර අනෙක් සියලූ පක්‍ෂ ආණ්ඩුවේ ඇමැතිධුර භාරගනිමින් එයට සම්බන්ධ වන බව කියති. විපක්‍ෂයේ ඉතිරි වන්නේ දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණයි. ඒ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පිරිසක්ද විපක්‍ෂයේ අසුන්ගන්න බව කියති. දැන් උත්සාහය වී තිබෙන්නේ මෙම එක්සත් ජනනා නිදහස් සන්ධාන කණ්ඩායම අතරින් විපක්‍ෂ නායකවරයකු පත්කර ගැනීමයි.

දෙමළ ජාතික සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කළේ විපක්‍ෂනායක ධූරය තම පක්‍ෂයට හිමිවිය යුතු බවයි. ඒ සඳහා පක්‍ෂ නායක ආර්. සම්පන්දන් මහතාගේ නමද යෝජනා වී ඇත. එසේ වූවද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වැඩ බලන මහ ලේකම් දුමින්ද දිසානායක මහතා නොබෝදා ප‍්‍රකාශ කළේ විපක්‍ෂ නායක ධුරය දෙමළ ජාතික සන්ධානයට ලබාදිය නොහැකි බවයි. ඔහුගේ අදහස වූයේ එම තනතුරද විපක්‍ෂයේ වාඩිවන තම පක්‍ෂයේ මන්ත‍්‍රීවරයකුට හිමිවිය යුතු බවයි.

එක් පක්ෂයකට වරප්‍රසාද

මෙම තත්ත්වය යටතේ පාර්ලිමේන්තුවේ සිටින එක පක්‍ෂයක් විශේෂ වරප‍්‍රසාද හිමිකර ගනියි. එය නම් එක්සත් ජනතා නිදහස් සන්ධානයයි. එය ආණ්ඩුව පිහිටු වීමේ තීරණාත්මක වැඩ කොටසක් ඉටු කරමින් ආණ්ඩුවේ බලගතු ඇමතිධුර ගණනාවක් හිමිකර ගනියි. අනෙක් අතට එම පක්‍ෂයම විපක්‍ෂ නායක ධුරයද හිමිකර ගැනීමට සූදානම්ය. මහ මැතිවරණයෙන් පරාජය වූ මෙම පක්‍ෂයට මෙලෙස හැසිරීමට හැකියාව ලැබී ඇති එකම හේතුව ජනාධිපති බලය ඔවුන් සතුවීම බව තේරුම් ගැනීම අපහසු නැත. මෙය හැඳින්විය හැක්කේ ජනාධිපති බලය විසින් පාර්ලිමේන්තුව විකෘති කිරීමේ අවස්ථාවක් වශයෙනි.

ජනාධිපති පදවියට ජනවාරි අට වැනිදා පත්වීමෙන් පසුව මෛත‍්‍රීපාල සිරිසේන මහතා කීවේ තමන් ජනාධිපති තනතුරේ බලය භාවිතා නොකරන බවයි. එය යහපත් චේතනාවෙන් කළ ප‍්‍රකාශයක් බවට සැකයක් නැත. එසේ වූවද දැන් පෙනෙන්නට තිබෙන්නේ එතුමා දැනුවත්ව හෝ නොදැනුවත්ව ජනාධිපති බලය උපරිමයටම යොදා ගනිමින් සිටින බවයි. පාර්ලිමේන්තුව විකෘතියක් බවට පත් කිරීමටත්, දේශපාලන සදාචාරය නොතැකීමටත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අභියෝගයක් වන තත්ත්වයටත් දැන් එම ජනාධිපති බලය ක‍්‍රියාත්මක වී ඇති බව තේරුම් ගැනීම අපහසු නැත.

මෙබඳුම තත්ත්වයක් පසුගිය කාලයේ වූ තවත් සිද්ධියකදී පෙනී ගියේය. ශ්‍රීලනිප වැඩ බලන මහ ලේකම් දුමින්ද දිසානායක මහතා කීවේ එජාපයෙන් මන්ත‍්‍රීවරුන් පිරිසක් සම්බන්ධ කරගෙන තමන්ටද ආණ්ඩුව පිහිටුවීමේ හැකියාව ඇති බවයි. ඒ මහතා එසේ ප‍්‍රකාශ කළේ එජාප මහ ලේකම් කබීර් හසීම් මහතා කළ ප‍්‍රකාශයට පිළිතුරු වශයෙනි. හසීම් මහතා කීවේ සන්ධානය සහාය නොදෙන්නේ නම් එජාපය ආණ්ඩුවක් පිහිටුවන බවයි. පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාවක් සිටින පක්‍ෂය ලෙස එජාපයට එසේ කීමේ අයිතිය ඇත. වෙනත් කාගේවත් සහාය නැතත් එජාපයට සුළුතර ආණ්ඩුවක් පිහිටුවිය හැකිය. එය නීතිමය තත්ත්වය හා පිළිගැනීමයි. එමෙන්ම ආණ්ඩුවක් පිහිටුවීමට සහාය දෙන්නට තව පිරිසක් ඉදිරිපත් වූ බවද දැන් බොහෝ දෙනා දන්නා කාරණයකි.

පරාජිතයාට බලය කොහින්ද ?

දුමින්ද දිසානායක මහතාගේ ප‍්‍රකාශයේ පදනම ඊට වෙනස්ය. ඔහු නියෝජනය කරන්නේ පරාජිත පක්‍ෂයයි. විපක්‍ෂයේ සිටින දෙමළ ජාතික සන්ධානයේ හෝ ජනතා විමුක්ති පෙරමුණේද එතරම් සහායක් එම පක්‍ෂයට නැත. දිසානායක මහතා කීවේ එජාපයෙන් පිරිසක් රැුගෙන ආණ්ඩුව පිහිටුවිය හැකිය යන්න බවට සැකයක් නැත. ඔහුට එසේ කිරීමට ශක්තිය ලැබුණේ ජනාධිපති බලයෙන් මිස අන් කිසිවකින් නොවන බවද ඒ තරම්ම පැහැදිලිය. විධායක ජනාධිපති බලයේ තවමත් පවතින තත්ත්වය ඒකය. එයට අවශ්‍ය නම් පාර්ලිමේන්තු මැතිවරණයේ පරාජිතයා ජයග‍්‍රාහකයා බවට පත් කළ හැකිය. මේ මොහොතේ එය සිදු කරමින් සිටින බව වාර්තාවන්නේ ජයග‍්‍රාහකයා මත කොන්දේසි පැනවීමයි. ජයග‍්‍රාහකයා පාලනය කිරීමයි. විධායක ජනාධිපති බලය අහෝසි කරන්නට සටන් වැදුණු ජනයා හා ජනතා සංවිධාන දැන් මේ පවතින තත්ත්වය දරා ගන්නේ කෙසේද යන්න ප‍්‍රශ්නයකි.

මේ අතර ආණ්ඩු පිහිටුවීම ගැන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කළ ප‍්‍රකාශයද නොසලකා හැරිය නොහැකිය. ඔහු කීවේ සන්ධානයෙන් මන්ත‍්‍රීවරුන් සම්බන්ධ කරගෙන එජාප ආණ්ඩුවක් පිිහිටුවිය හැකි වූවද එය සදාචාරාත්මක නොවන බවයි. පාර්ලිමේන්තුවේ පක්‍ෂ මාරු කිරීමට තමන් විරුද්ධ බවත්, දහනව වන සංශෝධනයට ඒ සඳහා ගෙන එන ලද විධිවිධාන විපක්‍ෂයේ විරුද්ධත්වය නිසා ඉවත්කර ගත්තද තම ප‍්‍රතිපත්තිය එය බව අගමැතිතුමා ප‍්‍රකාශ කළේය. තමන් නොපිළිගන්නා සහ සදාචාර විරෝධී පියවරක් ගෙන ආණ්ඩුව පිහිටුවීමට තමන් සූදානම් නොවූ බව අගමැතිවරයා ප‍්‍රකාශ කළේය. ප‍්‍රධාන පක්‍ෂ දෙකේ සම්මුතිවාදී ආණ්ඩුවක් බිහිකිරීම වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ යහපත් බව අගමැතිවරයාගේ ස්ථාවරය ලෙස ප‍්‍රකාශ වීය.

රනිල් වික‍්‍රමසිංහ මහතා මෙලෙස ප‍්‍රකාශ කරන්නේ ඔහුට ජනාධිපති බලය නැති නිසා බවත්, බලය තිබුණේ නම් මේ කතා වෙනස් විය හැකි බවත්, කෙනකුට කිව හැකිය. එම කතාවේ සත්‍යයක් තිබිය හැකි වූවද මේ මොහොතේ තම ප‍්‍රතිපත්තිය වෙනුවෙන් පෙනීසිටීම අගය නොකිරීමට එය හේතුවක් නොවිය යුතුය. මෙරට සැබෑ යහපාලනයක් ඇතිවනු දැකීමට නම් මෙරට සියලූ දේශපාලන නායකයන් මෙලෙස සදාචාරවත් දේශපාලනයකට කැපවිය යුතුය. එහිදී වඩාත් වැදගත් වන්නේ බලය ඇති උදවියගේ කැපවීමයි.

නායකයන්ගේ කලකිරීම

වර්ධනය වෙමින් පවතින්නේ යහපත් තත්ත්වයක් නොවන බව නම් පැහැදිලිය. ඒ බව ජනවාරි අට වැනිදා බලපෙරැුළියට පුරෝගාමී වැඩ කොටසක් කළ නායකයෝම කියති. මාදුළුවාවේ සෝභිත හිමියන් ප‍්‍රකාශ කොට තිබුණේ මෙම සිදුවීම්වලින් තමන් කලකිරීමටත් කම්පාවට පත්ව සිටින බවයි. ආණ්ඩුවේ නායකයන් දැන් තමන්ට කන් නොදෙන බවටද උන්වහන්සේ මැසිවිලි නඟා තිබිණි.

පුරවැසි බලය සංවිධානය ඊයේ පෙරේදා වන විට සිටියේ ආණ්ඩුවට බරපතළ විවේචනයක් එල්ල කරන තත්ත්වයටය. ආණ්ඩුව දේශපාලන සදාචාරය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්ම උල්ලංඝනය කරමින් සිටින බව එම සංවිධානයේ ස්ථාවරය වී ඇති බව වාර්තා විය. ‘‘ජනවාරි අට විප්ලවයක්් ගැන කතා කළා මේ මොන විප්ලවයක්ද? අපි මුළාවුණා’’ යන්න එම සංවිධානයේ ඇතැම් නායකයන්ගේ ස්ථාවරය වූ බව කියති.

මෙලෙස බොහෝ දෙනා කම්පනයට පත් වීමට හේතුව නම් ජනවාරි අට සාමකාමී විප්ලවයෙන් පසුව සියල්ල හොඳින් සිදුවනු ඇතැයි විශ්වාසයෙන් සිටීමයි. එසේ වූවද ලෝකයේ ප‍්‍රධාන විප්ලව දෙස බැලූ විට පවා අපට පෙනීයන්නේ එක් බල පෙරැුළියකින් සියල්ල යහපත් වන්නේ නැති බවයි.

විප්ලවයක ඉරණම

එක්දහස් නවසිය දහ හතේ පෙබරවාරි විප්ලවයෙන් රුසියාවේ සාර් අධිරාජ්‍යය පෙරළා නව පාලනයක් ගොඩ නඟා ගත්තද මහජන අපේක්‍ෂා ඉටු වූයේ නැත. ඔක්තෝබර් විප්ලවයේ නායක ලෙනින් කීවේ මහජනයා කැරලි ගැසූවද බලයට පත්වූයේ පැරණි පාලනයට සම්බන්ධව සිටි රදළ හා ධනපති පන්තියේ කොටස් බවයි. ද්විත්ව බලයක් ගොඩ නැඟී ඇති බව ලෙනින් කීවේය. එනම් තාවකාලික ආණ්ඩුව හා සෝවියට් සභායි.

ඔක්තෝබර් විප්ලවය සිදු කළේ සැබෑ මහජන නියෝජිත ආයතනවලට, එනම් සෝවියට් සභාවලට බලය ගන්නටය. එසේ වූවද පසුකාලීනව බලනවිට සිදුව තිබුණේ එක් පක්‍ෂයක් අතට බලය ලැබීමයි. බලයට පත් බොල්ෂෙවික් පක්‍ෂයේ පසුකාලීන නායකයන් කළේ ඔක්තෝබර් විප්ලවයේ නායකයන් බුරුතු පිටින් මරා දැමීමය. චෝදනාව විප්ලවයට ද්‍රෝහිවීමයි.

එලෙස ගොඩනඟන ලද සමාජවාදී යයි කියාගත් පාලනය කලාප ලෝකයට පෙනී ගියේ ආදර්ශමත් පාලනයක් වශයෙනි. එසේ වූවද ඒ පිටුපස තිබූ කූණු කන්දල් එළිියට ආවේ පසුවය. දැන් ඒ ගැන කිසිවෙක් කතා නොකරති.

එසේ වූවද පෙබරවාරි විප්ලවයෙන් මෙන්ම ඔක්තෝබර් විප්ලවයෙන්ද ලොවට හඳුන්වා දුන් ඇතැම් වටිනාකම් හා හර පද්ධති ලෝකයට කළ බලපෑම අති මහත්ය. ඒ අර්ථයෙන් ගත්විට විප්ලවයේ ජයග‍්‍රහණ තවමත් නොනැසී පවතී.

ලෝකයේ ශ්‍රේෂ්ඨතම විප්ලවය ලෙස තවමත් බොහෝ දෙනා සලකන්නේ ප‍්‍රංශ මහා විප්ලවයයි. පුරවැසි සමානාත්මතාව ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය සඳහා වූ බොහෝ මූල ධර්ම ලොවට දායාද කරන්නේ එම විප්ලවය මගිනි. එසේ වූවද ඒ සඳහා විප්ලවය හා ඉන් පසු කාලයේ ප‍්‍රංශයට ඉතා කටුක අත්දැකීම් වලට මුහුණ දෙන්නට සිදුවූ බව ඉතිහාසයේ සඳහන්ය.

විප්ලවයෙන් පසු මුල් කාලය හඳුන්වනු ලබන්නේ අරාජික කාලයක් වශයෙනි. ඒ කාලයේ බොහෝ දෙනා ඝාතනයට ලක් වූහ. මුලින් ඝාතනයට ලක් වූ වැඩි දෙනා රජ පෙළපතේ නැතහොත් රදළ පාලනයේ සාමාජිකයෝ වූහ. ඔවුන් මරා දමන අයුරු දැක මහජනයා ප‍්‍රීති වූ බව කියති. එසේ වූවද වැඩිකල් නොගොස් විප්ලවයේ නායකයන්ටද සිදුවූයේ ගිලටිනයට බිලි වන්නටය. ප‍්‍රංශයේ සැබැවින්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත වූයේ වට වංගු සහිත දිගු ගමනකින් පසුවය. එසේ වූවද විප්ලවය මගින් හඳුන්වාදුන් මූලික වටිනාකම හා ජයග‍්‍රහණ ආපසු හැරවිය නොහැකි වීය.

කම්පනය විය යුතුද ?

එසේ හෙයින් ජනවාරි විප්ලවයෙන් පසුවත් සදාචාර විරෝධී හා පිළිගත නොහැකි බොහෝ දේ සිදුවීම ගැන කිසිවෙක් හෝ කම්පනයට පත්විය යුතු නැත. කළ යුතු වන්නේ මහජනයා අවදියෙන් තබා ගැනීම හා සදාචාර විරෝධී හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී තීරණවලට එරෙහිව දිගටම ක‍්‍රියාකිරීමයි. සැබැවින්ම යහපාලනය ස්ථාපිත වන්නේ එවිටය.

අනෙක් අතට මතක තබාගත යුතු වන්නේ පමණට වඩා බලය සොයා යාම පාලකයකු ශක්තිමත් වීමට හේතුවන බව පෙනී ගියද අවසානයේ එය ඔවුන්ගේම පිරිහීමට හේතුවන බවයි.

1994න් පසුව චන්ද්‍රිකා ජනාධිපතිනිය පොරොන්දු වූ ලෙස වසරක් තුළ ජනාධිපති ක‍්‍රමය අහෝසි කළේ නැත. එදා වාර්තා වුණේ තව ටික කලක් එම බලය තබාගෙන පසුව අහෝසි කිරීමේ අදහසක් ඇති බවයි. එහි ප‍්‍රතිඵලය කුමක් වී දැයි කිසිවකුට අලූතින් කියා දිය යුතු නැත.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දහඅටවන සංශෝධනය සම්මත කළේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා වඩා ශක්තිමත් කිරීමටය. එසේ වූවද ඔහුගේ දේශපාලන විනාශයද එහිම සටහන්ව තුබූ බව කිසිවකුට ඒ මොහොතේ තේරුම් නොගියා විය හැකිය.

හිටපු අගවිනිසුරුවරිය ගෙදර යැවීමට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිගේ හෙන්චයියන් පාරට බැස්සේ ජනාධිපති වඩාත් ශක්තිමත් කිරීමටය. අවසානයේ ඒ නිසා මහින්දට ගෙදර යෑමට පාර කැපිණි.

දේශපාලනයේ මේ යථාර්ථය බලයේ සිටින දේශපාලනඥයන් තේරුම් ගන්නේ නම් ඔවුන් බලය පවත්වා ගැනීමට සදාචාර විරෝධී හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රම මත විශ්වාසය නොතබන්නට පෙළඹෙනු ඇත. නියම යහ පාලනයට පාර කැපෙන්නේ එවිටය. එයම රටේත් පාලකයන්ගේත් යහපත පිණිසම වන බව කවුරු කවුරුත් තේරුම් ගත්තා නම් සැබෑ ජයග‍්‍රහණය වන්නේ එයයි.

සී ජේ අමරතුංග

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *