ගෝඨාභය ,කේ පී නිදහස්කිරීම් සක සහිතයි – සමන් රත්නප‍්‍රිය

saman rathnapriyaපසුගිය ආණ්ඩු කාලයේ දූෂණ චෝදනා ලක්වුවන් ද නීතිපති විසින් හෙමින් සීරුවේ නිදහස් කෙරෙන බව පෙනේ. ඇවන්ට්ගාඞ් සිද්ධිය මෙයට හොඳ උදාහරණයකි. ගෝඨාභය රාජපක්ෂට පාවෙන අවිගබඩාව සම්බන්ධයෙන් බරපතල චෝදනාවක් එල්ලවී තිබුණි.  එම පාවෙන අවිගබඩාවේ ලියාපදිංචි නොකළ අවි තිබෙන බවට ද වාර්තා වී ඇත. රටක ආරක්ෂාවට ද අනතුරක් විය හැකි මෙවැනි අවිගබඩාවක් පවත්වාගෙන යා හැකිද යන ප‍්‍රශ්නය ද පුරවැසියන් ඉදිරියේ පවතී.

එම අවිගබඩාව සම්බන්ධයෙන් නඩු පැවරීමට ප‍්‍රමාණවත් කරුණු ඇති බවට නීතිපති දෙපාර්තමේන්තුවේ නිළධාරිහූ ඒ දිනවල ප‍්‍රකාශ කළ හ. එහෙත් පාවෙන අවිගබඩාව සම්බන්ධයෙන්  නඩු පැවරීමට තරම් දෙයක් නොමැති බව පසුගිය දා නීතිපතිවරයා පැවසුවේ ය. මෙය විශ්මය දනවන කාරණයකි. කෙසේ නමුත් මෙයට අදාලව නඩුවක් පැවරීමට අපි අදහස් කරගෙන සිටිමු.

ප‍්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් මරාදෑමූ බව දැන් හෙළිවී ඇත. ඒ අනුව චූදිතයින් මේ වනවිට අත්අඩංගුවේ පසුවේ. තවදුරටත් ප‍්‍රශ්න කිරීම සඳහා රහස් පොලීසිය රඳවාතබා ගැනීමට අවශ්‍ය බව ලිඛිතව ඉල්ලා සිටියේ ය. ආරක්ෂක ලේකම් වරයාගෙන් එම නියෝගය ලබාගැනීමට ජනාධිපතිවරයා සහ අගමැත්වරයා දැණුවත් කිරීමට අපිට සිදු විය. රාජපක්ෂගේ මිණිමරු සංස්කෘතිය තුළ හැදී වැඩුණු මොවුහූ දැන් එක්නැළිගොඩට කොටි ලේබලය අලවමින් සිටිති.

ගවේෂණාත්මක මාධ්‍යවේදියෙක් වන එක්නැළිගොඩට කොටි සංවිධානය සමග සම්බන්ධකම් තිබෙන්නට බැරිකමක් නැත. සිවිල් යුද්ධයක් පවතින අවස්ථාවක  ඕනෑම රටක මාධ්‍යවේදින් තොරතුරු වාර්තා කරන්නේ ඔවුන් හරහා ලබාගන්නා තොරතුරු මත ය. සැබවින්ම ඔහු එසේ සම්බන්ධතා පැවැත් වූයේ නම් ඔහුගේ වෘත්තිය අනුව එය වරදක් වන්නේ කෙසේ ද ?

කෙසේ නමුත් කොටි සංවිධානය සමග ප‍්‍රගීත් පවත්වාගෙන ගිය සම්බන්ධතා සැකසහිත නම්  ඔහුව අත්අඩංගුවට ගතහැකිව තිබුණි. තව ද අධිකරණයට ඉදිරිපත්කර නඩු විභාගයකින් අනතුරුව ඔහු වැරදිකරුවෙකු වී දණ්ඩණයට යටත්වූයේ නම් ඒක පිළිගතහැකි ය. මෙතන සිදුවී ඇත්තේ පැහැරගෙන ගොස් ඝාතනය කිරීමකි. එසේ නම් ඝාතකයින් නීතිය ඉදිරියට පැමිණ වියයුතු නොවේ ද?

අනික් අතට කේ. පී හෙවත් කුමරන් පද්මනාදන්  එල්. ටී ටී. ඊ සංවිධානයේ වත්කම් භාරකරු විය. ඔහු ට නැව් ගනනාවක් තිබුණු බව පැවසුවේ ද ආරක්ෂක අංශ ප‍්‍රධානීන් ය. නීතිපති දෙපාර්තමේන්තුව දැන් පවසන්නේ ඔහුට ද නඩු පැවරීමට තරම් කරුණු නැති බව ය. මැලේසියාවට ගොස් කුදලාගෙන ඒමට තරම් වැදගත් වූ නායකයෙකුවන  පද්මනාදන් නිදහස් වන විට තවදුරටත් රැුඳවුම් කඳවුරුවල දුක්විඳින කොටි තරුණයින් අත්අඩංගුවේ පසුවන්නේ මන් ද? රටක නීතිය සියළුම දෙනාට එක ආකාරයට ක‍්‍රියාත්මක විය යුතු ය.

ජනාධිපතිවරයා පත්කළේ මේ අසාධාරණය නැති කිරීමට ය. නව ආණ්ඩුව පත් කළේ ද මේ අසාධාරණය නැති කිරීමට ය. එහෙත් තවම ඒ අසාධාරණය අවසන් වූ බවක්  පෙනෙන්නට නැත. අප ඉල්ලා සිටින්නේ නීතිය සියල්ලන්මට සමාන ලෙස ක‍්‍රියාවේ යොදන ලෙස පමණි.

රට මුහුණ දී ඇති සමාජ  ආර්ථික ප‍්‍රශ්න විසද ගැනීමට සම්මුතිවාදී ආණ්ඩුවක් අවශ්‍ය බව අපි ද පිළිගනිමු. අප අකැමැති වූවත් ඒ අනුව ඇමති මණ්ඩලය විශාලවීම ද තර්කානුකූල ය. කෙසේ නමුත් මැතිවරණයෙන් පසුව සිදුවෙමින් පවතින දේශපාලන ක‍්‍රියාදාමය පිළිබඳව අපිට සතුටු විය නොහැක.  මක් නිසා ද යත් වැඩි කරගන්නා අමාත්‍යාංශ ප‍්‍රමාණයට සරිලන ප‍්‍රතිසංස්කර සිදුවන්නේ ද යන ප‍්‍රශ්නයක් දැන් අප ඉදිරියේ ඇත. විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන්ම ඉවත් කරණ බවට ජනාධිපතිවරයා දිගින් දිගටම පැවසූ නමුත් පක්ෂ දෙක අතර අත්සන් කළ ගිවිසුම තුළ එවැන්නක් සඳහා එකගතාවයක් දක්නට  නැත.

මහින්ද රත්නායක

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *