කළු සල්ලි – එම් ඕ ඒ ද සොයිසා
අල්ලස හා දුෂණය සමඟ එකට බැඳී තිබෙන තවත් අපරාධකාරී ක්‍රියාවක් ලෙස කළු සල්ලි හඳුන්වා දිය හැකිය. කළු සල්ලි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ රටක ආර්ථික ක්‍රමයට සමාන්තරව පවතින තවත් ආර්ථිකයක් ලෙසය. නැතිනම් නිල නොලත් ආර්ථිකයක් ලෙසය. කළු සල්ලි ආර්ථික වශයෙන් මෙන්ම සමාජීය වශයෙන්ද අතිශය බරපතළ ප්‍රශ්නයක් ලෙස සලකනු ලබයි. හේතුව එය සමස්ත ආර්ථිකයට මෙන්ම සමාජ ක්‍රමයටද ඉතා දැඩි අහිතකර බලපෑම් කරන බැවිනි. නිදසුන් ලෙස යම් අයකු සේවා වියුක්තිකයකු වන්නේ නම් එම ප්‍රශ්නයෙන් පීඩාවට පත් වන්නේ එයට මුහුණ දී ඇති පුද්ගලයා පමණි.
යම් පුද්ගලයකු දුගියකු වන්නේ නම් එම ප්‍රශ්නයෙන් පීඩාවට පත් වන්නේ එම දුගී පුද්ගලයා පමණි. නමුත් කළු සල්ලි ප්රශ්නය එසේ තනි පුද්ගලයකුට පමණක් බලපාන හුදකලා ප්‍රශ්නයක් නොවේ. කළු සල්ලි එය සමස්ත සමාජ ක්‍රමයට මෙන්ම සමාජයේ ජීවත් වන සෑම පුද්ගලයකුටම ද අහිතකර ලෙස බලපාන සමාජ ව්‍යසනයක් වේ.
කළු සල්ලි යනුවෙන් අදහස් කරන්නේ රජයේ මූල්‍ය නීතිරීතිවලට හා රෙගුලාසිවලට පටහැනිව අයථාකාරයෙන් උපයා ගත් මුදල්ය. නැතිනම් නියමිත ආකාරයට රජයට ගෙවිය යුතු බදු ගෙවීම පැහැර හැරීමෙන් වංචා කරන ලද මුදල්ය. කළු සල්ලි ඉපයීම ඕනෑම ආර්ථික ක්‍රමයක් තුළ නිරන්තරයෙන් සිදුවන දෙයක් වේ. මෙසේ උපයන මුදල් ප්‍රමාණය රුපියල් කිහිපයක් වැනි සුළු මුදලක් විය හැකිවාක් මෙන්ම රුපියල් කෝටි ගණන් ඉක්මවන මහා ධනස්කන්දයක් වියහැක.
කළු සල්ලි උපයන ආකාරය හා උපයන ක්‍රමය එය කරන පුද්ගලයා දරන බලය, තත්ත්වය, නිලය, සමාජ සම්බන්ධතා, බලපෑම් කිරීමේ හැකියාව යනා දී සාධක අනුව වෙනස් වේ. මෙයින් පෙනී යන්නේ අල්ලස හා දුෂණය මෙන්ම කළු සල්ලි ව්‍යාපාරයද බලය සමඟ ඉතාම කිට්ටුවෙන් බැඳී තිබෙන බවය. එම නිසා සාමාන්‍ය මිනිසුන්ට වඩා දේශපාලනඥයින් හා බලවත් ව්‍යාපාරිකයින් වැනි අය කළු සල්ලි ඉපයීමේ අපචාර ක්රියාවේ ප්‍රමුඛයින් බවට පත්ව සිටියි. කෙසේ වූවද කළු සල්ලි ඉපයීමේ හොර ජාවාරමට මීට ඉහතින් සඳහන් කළ පරිදි සමාජයේ ඕනෑම පුද්ගලයකු සම්බන්ධ විය හැක.
නිදසුන් ලෙස ඇමතිවරයෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නැතිනම් විධායක මට්ටමේ රාජ්‍ය සේවකයෙක් යම් කාර්යයක් ඉටුකර දීම සඳහා යම් අයකුගෙන් යම් මුදල් ප්‍රමාණයක් අයථා ලෙස ලබා ගැනීම අයත් වන්නේ කළු සල්ලි ජාවාරම් ගණයටය. යම් ව්‍යාපාරිකයෙක් හෝ වෙළෙන්දෙක් නියමිත ආකාරයට ගණන් හිලව් සඳහන් නොකොට නැතිනම් වාර්තා නොකාට යම් පාරිභෝගිකයකුට නියමිත මිලට වඩා වැඩි මිලකට යම් භාණ්ඩයක් විකුණා අයථා ආකාරයට උපයා ගන්නා මුදල් අයත් වන්නේ ද කළු සල්ලි ගණයටය.
එමෙන්ම යම් රාජ්‍ය සේවකයකු රාජකාරී කටයුත්තක් සඳහා දුම්රියේ දෙවන පන්තියේ ගමන්කොට පළමු පන්තියේ ගමන් කළ බව පෙන්වමින් නියමිත මුදලට වඩා වංචනිකව ලබා ගන්නා මුදල අයත් වන්නේද කළු සල්ලි ඝනයටය. මෙයින් පෙනී යන්නේ ආර්ථික ක්‍රමයක් තුළ කළු සල්ලි උපයන ආකාරය විවිධාකාර අයුරින් ක්‍රියාත්මක වන බවය. බැලූ බැල්මට පෙනී යන්නේ අල්ලස සහ කළු සල්ලි ඉපයීම අතර එතරම් කැපී පෙනෙන වෙනසක් නොමැති බවත් සහ ඒ දෙක අන්නෝන්‍ය වශයෙන් එකිනෙකට සමාන වන බවත්ය.
මෙහි යම් සත්‍යයක් තිබුණද ඒ දෙක එකක් නොවේ. අල්ලස හා සම්බන්ධ මූලික ලක්ෂණය වන්නේ ඉල්ලීම සහ ගැනීමය. නැතිනම් දීම සහ ගැනීමය. මේ කුමන ක්‍රමයකට ලබා ගත්තද අවසානයේ දී අල්ලස් මගින් ලබා ගන්නා මුදල් කළු සල්ලි බවට පත්වේ. නමුත් කළු සල්ලි ඉල්ලීම සහ ගැනීම මෙන්ම දීම සහ ගැනීම යන ද්විත්ව ක්‍රියාවන් ඉක්මවා ගොස් තමන් විසින් වංචනිකව උපයා ගැනීම හරහා ද අයත් කරගත හැකි දෙයක් වේ. ඉහත දැක්වූ දෙවන හා තුන්වන නිදසුන් මගින් පෙන්වන්නේ එම තත්ත්වයයි.
දෙවන ලෝක යුද්ධ සමයේ නිදහස් වෙළඳාමට පැනවූ විවිධ මිල පාලන ක්‍රම, කෝටා ක්‍රම, කූපන් ක්‍රම යනාදිය හේතුකොට ගෙන බිහිවන කළුකඩ ක්‍රමය ආශ්රයෙන් කළු සල්ලි ජාවාරම පටන් ගැනුණි. නමුත් අද කළු සල්ලි යන පදයෙන් අර්ථවත් වන දෙය කළුකඩ හරහා කරන අයථා ඉපයීම් ඉක්මවා ගොස් ඇත. අද කළු සල්ලි යන්නෙන් අදහස් කරන්නේ ගණන් නොතැබූ නැතිනම් ප්‍රකාශයට පත් නොකළ අයථා ආකාරයෙන් උපයා ගත් මුදල් සහ මුදල් වෙළඳපොලේ විවෘත සංවරණයට නොදමමින් සඟවා ගෙන තිබෙන මුදල්ය. ඉතාම කෙටියෙන් කියනවා නම් කළු සල්ලි යනුවෙන් අදහස් කරන්නේ බදු වංචා කිරීම මගින් සඟවා ගෙන තිබෙන මුදල්ය. කළු සල්ලි ඉපයීම නීත්‍යානුකූල අයුරින් මෙන්ම නීති විරෝධීව ද කළ හැක.
නීත්‍යානුකූල කළු සල්ලි ලෙස අදහස් කරන්නේ නීත්‍යානුකූල මාර්ගවලින් ඉපැයූ නමුත් බදු ගෙවීම පැහැර හරිමින් වංචා කරන මුදල්ය. මේ ආකාරයට කළු සල්ලි ඉපයීමේ ප්‍රමුඛයින් වන්නේ වෛද්‍යවරුන්, නීතිවේදීන්, ගණකාධිකාරීවරුන්, නිවාස සැළසුම් ශිල්පීන්, පෞද්ගලික උපකාරක පන්ති පවත්වන්නන් වැනි වෘත්තීය කොටස්ය. නීති විරෝධී අයුරින් කළු සල්ලි උපයන මාර්ග රාශියක් තිබේ. අල්ලස් ගැනීම, කළුකඩ, හොරබඩු ආනයනය හා අපනයනය, පාලිත මිලට වඩා වැඩි මිලකට විකිණීම යනාදිය ඒ සඳහා නිදසුන් ලෙස දැක්විය හැක.
ආර්ථික ක්රමයක කළු සල්ලි ජාවාරම ඇති වන්නේ හේතු සාධක කිහිපයක බලපෑමෙනි. මෙයින් සමහරක් සාධක අල්ලස් හා දුෂණ ඇතිවීම කෙරෙහි බලපාන සාධකවලට බෙහෙවින් සමාන වේ. මෙම සාධක අතුරින් ඉතාම වැදගත් එකක් වන්නේ රට තුළ පවතින බදු ව්‍යුහයයි. බදු ව්‍යුහය යථාර්ථවාදී නොවන සහ අක්‍රමවත් ආකාරයට විටින් විට බදු වැඩි කරන කළ මිනිසුන් බදු ගෙවීම පැහැර හැරීමට නිතැතින්ම පෙළඹේ. එම නිසා යථාර්ථවාදී මට්ටමක බදු ව්‍යුහයක් පවතින විට මිනිසුන් මුදල් සැඟවීමට දැඩි උනන්දුවක් නොදක්වන බවටත් එම හේතුවෙන් වැඩි වැඩියෙන් බදු ගෙවීමට පෙළඹෙන බවටත් සමහරු තර්ක කරති. රටක ආයාත හා නිර්යාත සඳහා තීරුබදු පනවන හා අයකරන ආකාරය කළු සල්ලි ජාවාරම ඇතිවීම කෙරෙහි බලපාන තවත් හේතු සාධකයක් වේ.
තීරුබදු ඉහළ අගයක් ගන්නා විට ආනයන හා අපනයන භාණ්ඩවල මිල අඩුවෙන් සඳහන් කරමින් නියමිත තීරු බදු ගෙවීම පැහැර හැරීමට ආනයන-අපනයනකරුවන් කටයුතු කරයි. එය කළු සල්ලි ඇතිවීම කෙරෙහි බලපායි. කළු සල්ලි බිහිවීම කෙරෙහි බලපාන තවත් හේතුවක් ලෙස ආණ්ඩුව පනවන මිල පාලන ක්‍රම පෙන්වා දිය හැක. මිල පාලන ක්රමයේ පවතින ප්‍රධානම දුර්වලතාව වන්නේ වෙළඳපොලේ ක්‍රියාත්මක වන ඉල්ලූම් හා සැපයුම් බලවේග ගැන සැළකිලිමත් නොවීමය. මිල පාලනය නියත ලෙසම භාණ්ඩ සැඟවීම, කෘතීම හිඟවීම් නිර්මාණය කිරීම, වැඩි මිලට රහසේ විකිණීම යනා දී දුෂණ ක්‍රියා ඇතිවීම කෙරෙහි බලපාන අතර එම දුෂණයන් කළු සල්ලි බිහිවීම කෙරෙහි බලපානු ලැබේ.
ආණ්ඩුව සමහර අවස්ථාවල දී අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් ක්‍රියාවට නංවන කෝටා ක්‍රම කළු සල්ලි බිහිවීමේ තවත් මූලාශ්‍රයක් වෙයි. කෝටා ක්‍රමය ක්‍රියාවට නංවන්නේ භාණ්ඩ සැපයුමේ හිඟයක් පවතින විටය. මෙවැනි අවස්ථාවන්හි දී නියමිත මිලට වඩා වැඩියෙන් අයකරමින් හොර රහසේ භාණ්ඩ විකිණීමට වෙළඳුන් ක්‍රියා කරන අතර පාරිභෝගිකයන්ට කළහැකි වෙනත් දෙයක් නොමැති බැවින් වැඩි මිලට භාණ්ඩ මිල දී ගැනීමට ඔවුන් ද පෙළඹේ. මෙම ක්රියාදාමයේ අවසාන ප්‍රතිඵලය වන්නේ කළු සල්ලි බිහිවීමය. මැතිවරණ කළු සල්ලි උත්පාදනය වීමේ තවත් මූලාශ්‍රයක් ලෙස පෙන්වා දිය හැක.
මෙය අදාළ වන්නේ ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්‍රමයක් පවතින රටවල්වලට පමණි. මැතිවරණ අතිශය වියදම් සහගත දෙයක් වන අතර සෑම දේශපාලන පක්ෂයක් පමණක් නොව සෑම ඡන්ද අපේක්ෂකයෙක්ම නීතියෙන් නියම කොට ඇති මුදල් ප්‍රමාණයට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් මැතිවරණවල දී වියදම් කිරීම සාමාන්‍ය සිරිත වේ. මැතිවරණ සඳහා ව්‍යාපාරික කොටස් දේශපාලන පක්ෂවලට මෙන්ම අපේක්ෂයන්ටද මුදල් ආධාර සැපයීම මැතිවරණ ආශ්‍රිතව දැකිය හැකි සාමාන්‍ය දෙයක් වන අතර ව්‍යාපාරිකයන් සහ දේශපාලඥයන් අතර පවතින මෙම ශූද්ධ සන්ධානය නියත ලෙසම කළු සල්ලි භාවිතය කෙරෙහි බලපානු ලැබේ.
දේශපාලඥයන් සඳහා ව්‍යාපාරිකයන් තමන් සතු කළු සල්ලි වියදම් කරන අතර එසේ කරන්නේ දේශපාලඥයන් බලයට පත්වූ පසු ඔවුන්ගෙන් විවිධ ආර්ථික ප්‍රතිදාන සහ වෙනත් අනුග්‍රහ ලබා ගැනීම ඉලක්ක කර ගෙනය. මෙම ක්‍රියාදාමය ව්‍යපාරිකයන්ට තව තවත් කළු සල්ලි උපයා ගැනීම සඳහා උපකාරී වේ. දේපල වෙළඳාම කළු සල්ලි ඉපයීම කෙරෙහි උපකාරී වන තවත් මූලාශ්‍රයක් ලෙස පෙන්වා දිය හැක. හේතුව නියම මිලට වඩා අඩුවෙන් මිල ගණන් දැක්වීම මගින් කරන වංවනික ක්‍රියා මගින් කළු සල්ලි ඉපයීමට මග පෑදීමය. අවසාන වශයෙන් කළු සල්ලි ඉපයීම කෙරෙහි බලපාන ඉතාමත්ම ප්‍රබල මූලාශ්‍රයක් වන්නේ දේශපාලඥයින් සම්බන්ධව කෙරෙන්නාවූ මහා පරිමාණ කොමිස් මුදල් ලබා ගන්නා රාජ්‍ය ව්‍යාපාරයන්ය.
කළු සල්ලි රටක ආර්ථික ක්‍රමයට මෙන්ම සමාජ ක්‍රමයට ද ඉතාම බරපතළ අහිතකර ප්‍රතිඵල අයත් කර දෙන්නක් වේ. කළු සල්ලි මගින් පෙන්වන්නේ රජයට බදු වශයෙන් අයවිය යුතු මුදල් නොලැබී යාමය. මෙහි ප්රථිඵලය වන්නේ රජයට මුදල් හිඟවීම හේතුවෙන් රජයේ සංවර්ධන ව්‍යාපෘති අඩපණ වීමය. අනෙක් අතට මිල උද්ධමනය ඉහළ යාම කෙරෙහිද කළු සල්ලි බලපාන අතර එම හේතුවෙන් ආර්ථිකය අස්ථාවර වීම කෙරෙහිද කළු සල්ලි බලපානු ලැබේ. සමාජීය වශයෙන් කළු සල්ලි සමාජ කොටස් අතර අසමානතාව ඇතිවීම කෙරෙහි මෙන්ම යහපත් යුක්තිගරුක අවංක මිනිසුන් අධෛර්යමත් වීම කෙරෙහි බලපානු ලැබේ. එමෙන්ම විවිධ හොරබඩු ජාවාරම් සහ අල්ලස් දීම හා ගැනීම වැනි අපරාධ ඇතිවීම කෙරෙහිද එය බලපානු ලැබේ. කළු සල්ලි ජාවාරම දුගී ජනතාව වෙනුවෙන් රජය ක්‍රියාවට නංවන සමාජ සේවා ව්‍යාපෘති අඩපණ වීම කෙරෙහි සෘජුව බලපාන අතර එහි එක් අහිතකර ප්‍රතිඵලයක් වන්නේ රටේ සේවා වියුක්තිය වර්ධනය වීම සහ දුගීභාවය වර්ධනය වීමය.
ඉහත දැක්වූ කරුණුවලින් පෙනී යන්නේ කළු සල්ලි සංසරණය රටක ආර්ථික හා සමාජ ක්රමයේ යහ පැවැත්මට කිසිසේත්ම හිතකර නොවන බවය. කළු සල්ලි දුප්පතුන් හා සම්බන්ධ ප්‍රශ්නයක් නොවේ. එය පෙහොසතුන් හා සම්බන්ධ ප්‍රශ්නයක් වේ. එම නිසා කළු සල්ලි සංසරණය වීම පාලනය කළ නොහැකිය. නමුත් එය පාලනය කළ යුතුය. එය කළ හැකි ආණ්ඩුවටය. නමුත් ආණ්ඩු කරන අයත් කළු සල්ලි ජාවාරමට සම්බන්ධ වන්නේ නම් කළු සල්ලි පාලනය කිරීම තවත් දේශපාලන මිත්‍යාවක් වනු ඇත.

