දූෂිතයන් අතුගා දැමීම

පසුගිය ජනාධිපතිවරණ මැතිවරණ දිනය ආසන්නව තිබියදී දිනක් මා මහරගම පැත්තේ වෙළෙඳ සලකට ගියේ නිවසට අවශ්‍ය යම් කිසිවක් මිලදී ගැනීම සඳහාය. එම ගනුදෙනුව කරන අතරතුර වෙළෙඳ සල් හිමියාට අවශ්‍ය වුයේ මා හා යම් කතාබහක යෙදීමටය. එය මැතිවරණ උණුසුමට සම්බන්ධය.

“මොනවාද? වෙන්නේ මහත්තයෝ” ඔහු විමසුවේ එහෙමය මේ අහන්නේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය ගැන බව සිතාගැනීමට මට එතරම් කාලයක් ගතවුයේ නැත.
“වෙනසක් වේවි වගේ නේද?” යි මම පිළිතුරු දුනිමි.
එවිට මොහොතක් මා දෙස බලා සිටි වෙළෙද සල් හිමියා කීවේ මෙබඳු කතාවකි.
‘වෙනසක් වෙන්නේ නෑ මහත්තයෝ වෙනසක් වෙනවාට මම නම් කැමැතිත් නෑ. හොරකම් නොකළේ කවුද මහත්තයෝ’
මෙහිදී මට ඉතාම වැදගත් වුයේ අවසානයට ඔහු කී වදන් කොටසයි. එනම් හොරකම් නොකළේ කවුද? යන්නයි. දේශපාලන වශයෙන් ඔහු සහායදුන් නායකයාට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව මහජන මුදල් සොරකම් කිරීම බව දැන සිටි ඔහු එය සත්‍ය බව පිළිගන්නා බව මෙම ප්‍රකාශයෙන් පෙනී යයි. එසේ වුවද ඔහු කියන්නේ අන් සියලූ දෙනා සොරකම් කරන නිසා එය එතරම් ගණන් නොගත යුතු බවකි. එනම් එය සමාව දියහැකි වරදක් බවයි. නැතහොත් දේශපාලනයේ සාමාන්‍ය තත්ත්වය එය නිසා නොතකා හැරිය යුතු බවයි.
ඉහතකී අත් දැකීම එම ආකාරයෙන්ම නැතත් මෙරට දේශපාලනය ගැන දන්නා හා කතා බහ කරන බොහෝ දෙනා මෙම මහජන ආකල්පය ගැන දැන සිටිය යුතුය. දූෂණ චෝදනා ලැබුවන් සුදනන් ලෙස පෙන්වීමටත්. දේශපාලන පළිගැනීමට ලක්වූවත් ලෙස හුවා දැක්වීමටත් දරන උත්සාහයක් පිටුපසද මෙම ආකල්පය දැකිය හැකියි. දූෂිතයන් වෙනුවෙන් ඉදිරිපත් වන බොහෝ දෙනා එසේ කරන්නේ ඔවුන් වරදක් සිදුකොට නැතැයි යන විශ්වාසයෙන් විය නොහැකිය. ඇතැම් චෝදනා සම්බන්ධයෙන් හරි වැරැද්ද තේරුම් ගැනීම එතරම්ම දුෂ්කර කටයුත්තක් නොවේ. එයට විශාල බුද්ධියක්ද අවශ්‍ය නොවේ. එසේ වුවද තර්ක ඉදිරිපත් වන්නේ කිතුලට ගිය මිනිහාගේ ප්‍රකාශ ආකාරයෙනි. උත්සාහය නම් වරද යට ගැසීමයි. එසේ කරන්නේ ඒවා එතරම් ගරුත් ගත යුතු ලෙස නොසලකන නිසා විය හැකිය. අනෙක් හේතුව නම් ඒ වරද සිදුකර තිබෙන්නේ තමන්ගේ මිනිසකු වීමයි. එනම් තමන් සහාය දෙන පාර්ශවයේ වීමයි. එවිට පරම යුතුකම වන්නේ ගොරක දඩමස් කර හෝ දූෂිතයා බේරා ගැනීමයි. මෙරට අද පවතින දේශපාලන පරිහානියේ තත්ත්වය එබඳුය.
c-j-amarathungaකෙසේ වෙතත් පසුගිය කාලයේ සිදුවීම් මගින් පෙන්නුම් කළේ එසේ නොතකා හරින්නට බැරි තරමට ලෙඬේ බරපතළ වී ඇති බවකි. අපට දැනගන්නට ලැබුණේ සාමාන්‍ය ප්‍රමාණයේ දූෂණ, වංචා හෝ හොරකම් ගැන නොවේ. එය හඳුන්වන ලද්දේ මහජන ධනය කොල්ලකෑමක් වශයෙනි. ඒ තරමටම තත්ත්වය බරපතළ වී තිබිණි. එසේ වුවද එම දූෂණ, වංචා ගැන සොයන්නට ගියවිට කියන්නේ මේවා දේශපාලන පළිගැනීම් බවයි. එම පරීක්ෂණ, බකල් කරන්නට කළ හැකි සියලූ දේ කිරීමට ඇතැම් පිරිස් සැදී පැහැදී සිටින බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහ නව වන සංශෝධනය ගෙන ඒම වළක්වන්නට පාර්ලිමේන්තුවේ වාඩිලාගත් උදවියද හඬ නැඟුවේ දූෂණ ගැන පරීක්‍ෂණ නවත්තන්නටය. ඉන් පසුවද දිගින් දිගටම ගේම් ගහන්නේ එම අරමුණමම ඇතිව බව පෙනෙන්නට තිබේ.
දැන් මෙම දේශපාලනය පිරිහී තිබෙන්නේ ප්‍රසිද්ධියේ කුණු හරුපයෙන් බැණ වදින වෛරී හැසිරීමක තත්ත්වයටය. එකිනෙකාට ප්‍රහාර එල්ල කරන්නේ වෛරයෙනි. ඒ අතර බොරුකීම, කරුණු විකෘති කිරීම ආදියද කරන්නේ ලැජ්ජාවක් හෝ හිරිකිතයක් නැතිවය. එයට හේතුව නම් දේශපාලනය දැන් ප්‍රතිපත්ති පිළිබඳ සටනකට වඩා ධනය හම්බකිරීමේන්, හම්බකරගත ධනය රැක ගැනීමේත්, සටනක් බවට පත්ව තිබීමයි. එවිට මහත්මා දේශපාලනයක් තිබිය නොහැකිය. තිබිය හැක්කේ වනචාරී ක්‍රමවේද හා හැසිරීම්ය. දැන් අපට දකින්නට ලැබෙන්නේ එම තත්ත්වය බව අමුතුවෙන් කිව යුතු නැත. යම් තැනක එය ඉතා නිරුවත්ව පෙනෙන්නට තිබේ. එසේ වුවද බොහෝ විට එය පවතින්නේ සැඟවුණු ස්වරූපයෙනි. එසේ වුවද හොඳින් නිරීක්ෂණය කළවිට එය හඳුනාගැනීම එතරම්ම අපහසු නැත.
පසුගිය ජනවාරි අටවැනිදා ජනතාව දුන් පණිවිඩය නම් මෙම තක්කඩි දේශපාලනය අවසන් කළයුතු බවයි. සදාචාරවත් දේශපාලනයක් මේ රටේ ඇති කළ යුතුය යන්න එදා ජනතාව හඬ නගා දුන් පණිවිඩයයි.
පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රධාන ලෙස මතුවූ සටන්පාඨය නම් රටේ යහපාලනයක් ඇතිකිරීමය. එනම් මෙම දූෂිත දේශපාලන ක්‍රමය අවසන් කිරීමයි ඒ සඳහා ක්‍රියාමාර්ග ගණනාවක්ද එම මැතිවරණයට පොරොන්දු ලෙස ඉදිරිපත්වීය. දින සීයක වැඩ පිළිවෙළ තුළ එම පොරොන්දු අඩංගුව තිබිණි. එයින් ඇතැම් කාරණා අඩු වැඩි වශයෙන් සාර්ථකව ක්‍රියාවට නැගී ඇතත් තවත් කරුණු ගණනාවක් ක්‍රියාවට නැගීමට ඉතිරිව ඇති බව පෙනෙන්නට තිබේ.
පාදඩ දේශපාලනය අවසන් කිරීම සඳහා ප්‍රධාන කාර්යය ලෙස ඉදිරිපත් වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි. බලාපොරොත්තු මට්ටමින් නොවුණද එය දැන් ප්‍රමාණවත් ලෙස ඉටුකරගෙන අවසන්ය. එසේ වුවද මනාප ඡන්ද ක්‍රමය වෙනස් කරන නව මැතිවරණ ක්‍රමයක් සඳහා එකඟත්වයක් ඇතිකර ගැනීමට තවමත් හැකිවී නැත. පසුගිය කාලයේ සිදු වූ දූෂිත ගනුදෙනු ගැන කරන පරීක්‍ෂණද ඉබි ගමනේ වුවත් ඉදිරියට යන බවක් පෙනෙන්නට ඇත. ඒ සියල්ල අතර එතරම් අවධානයට ලක්ව නැති කරුණක් නම් දේශපාලනඥයන් සඳහා ආචාර ධර්ම මාලාවක් ක්‍රියාවට නැගීමයි. එබඳු ආචාර ධර්ම මාලාවක් තිබීම අත්‍යවශ්‍ය බව බොහෝ දෙනා පිළිගෙන ඇතත් එය ක්‍රියාවට නැගීම නම් පහසුබවත් පෙනෙන්නට නැත.
දේශපාලනඥයන් සඳහා වන ආචාරධර්ම මාලාවක් සකස් කිරීම වත්මන් පාලනයේ දින සියයේ වැඩ සටහනට ඇතුළත්ව තිබු කාරණයකි. ඒ අනුව යම් යෝජනාවක් සැකසු බවද වාර්තාවීය. එසේ වුවද එය ප්‍රබලව ස්ථාපිත කිරීම දක්වා ඉදිරියට යන බවක් දක්නට නැත.
දැන් යළිත් මෙම ප්‍රශ්නය කතාබහට ලක්වන්නට පටන්ගෙන තිබෙන්නේ මහ මැතිවරණයකට සියල්ල සුදානම් වෙමින් පවතින පසුබිමකය. දේශපාලනඥයන්ට තිබිය යුතු ආචාර ධර්ම පිළිබඳව අවධාරණය එකකි. ඒ සමඟ දැන් සිවිල් සමාජයෙන් දේශපාලන නායකත්වයට කෙරෙන ඉල්ලීමක් වී තිබෙන්නේ. දූෂණ වංචා, මත් ජාවාරම් සූදු ආදියට සම්බන්ධ හෝ චෝදනා ලත් හෝ උදවිය මහ මැතිවරණයට ඉදිරිපත් නොකළ යුතු බවටය. මහජන සංවිධාන හතළිහකට වැඩි ප්‍රමාණයක් මෙම ඉල්ලීම සඳහා පෙරටවිත් ඇති බව පසුගියදා වාර්තාවිය. ඒ සඳහා මහනායක හිමිවරුන්ගේද අනුමැතිය, ආශිර්වාදය ලැබී ඇති බව කියති. සියල්ල එසේ තිබියදී බරපතළ අභියෝගය වන්නේ මෙය ක්‍රියාවට නගා ගැනීමයි. එය පහසුවේ යැයි සැලකිය නොහැක්කේ මෙය දැන් දේශපාලන සංස්කෘතියක් ලෙස ශක්තිමත්ව ගොඩ නැගී ඇති හෙයිනි.
කලෙකට පෙර දේශපාලනය සලකන ලද්දේ ගරු සේවයක් වශයෙනි. එම සේවයේ යෙදෙන උදවිය මන්ත්‍රී තනතුරු හෝ ඇමැති තනතුරු ලැබුවද ඔවුනට හිමිවන්නේ දීමනාවකි. එනම් වියදම් පියවාගැනීම සඳහා වූ ප්‍රදානයකි. එය වැටුපක් ලෙස සැලකුණු බවත් පෙනෙන්නට නැත. පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් හඳුන්වනු ලබන්නේ ගරු මන්ත්‍රීවරුන් වශයෙනි. එමෙන්ම ඇමැති, අගමැති තනතුරු ධාරීහුද ගරු ඇමැති, ගරු අගමැති වශයෙන් අමතනු ලබති. එහි තේරුම නම් ඔවුන් ගරු සේවයක් කරන බවයි. එනම් මුදල් සඳහා ශ්‍රමය නොවිකුණන බවයි. වැටුප් නොලබන බවයි. ඒ කලෙකට ඉහත දේශපාලනය ගැන තිබු පිළිගැනීමයි.
එකල දේශපාලනයට පැමිණි බොහෝ දෙනා එසේ පැමිණියේ මහජන සේවය සඳහාය. නැතහොත් යම් ප්‍රතිපත්තියක් වෙනුවෙන් පෙනී සිටීමටය. පිරිසක් ආවේ රට සංවර්ධනය කරන්නටය. තවත් පිරිසක් අධිරාජ්‍ය වාදින්ගෙන් රට බේරා ගැනීමටය. එමෙන්ම සමාජවාදී රාජ්‍යයක්, සම සමාජයක් ගොඩ නැගීමට කැප වූ පිරිසක්ද පාර්ලිමේන්තුව තම සටන්බිම කර ගත්තෝය. එවිට තවත් පිරිසක් සටනට වැදුණේ රට කොමියුනිස්ට්වාදී ඒකාධිපති වාදයකට ගොදුරුවීම වැළැක්වීමටය. ඒකාලයේ මෙම ප්‍රතිපත්ති වෙනුවෙන් සටන්කළ උදවිය විශාල වරප්‍රසාද වැටුප් හා ධනය බලාපොරොත්තු වුයේ නැත.
දැන් සිටින දේශපාලඥයන් ඇතැම්විට ප්‍රශ්න කරනු ඇත්තේ එදා දේශපාලනඥයන් එසේ ක්‍රියා කළේ කුමක් සඳහාද යනුවෙනි. ඇතැම් විට එය කීර්තිනාමය සඳහා විය හැකිය. එසේත් නැතහොත් හුදෙක් තමන්ගේ ආත්ම තෘප්තිය සඳහා පමණක් වීමටද ඉඩ ඇත. එනම් තමන් රටට යහපත් යමක් කළාය යන හැඟීම පමණක් ප්‍රමාණවත් වූවා විය හැකිය.
මෙය තේරුම් ගැනීමට නම් එකල සිටි ඇතැම් ධනවතුන් ක්‍රියා කළ ආකාරයද තේරුම් ගැනීම වැදගත්ය. ඔවුහු තම ධනය වැය කොට පන්සල්, පාසල්, රෝහල් ඉදිකළහ. දාගැබ් අලූත් වැඩියා කළහ. තම ඉඩම් පොදු කටයුතු සඳහා පවරා දුන්හ. ඒ බව අපගේ මෑත ඉතිහාසයේ සඳහන්ය. ඔවුන් එසේ කිරීමේ අරමුණත් එකල දේශපාලනය කළ උදවියගේ අරමුණත් බොහෝදුරට සමාන වන්නට ඇත.
අනෙක් අතට තම පෞද්ගලික ලාභ ප්‍රයෝජන නොතකා දේශපාලනයේ යෙදෙන සුළු පිරිසක් හෝ තවමත් සිටින බවද අමතක කළ යුතු නැත. දැන් එය දකින්නට ලැබෙන්නේ වාමාංශික හා එවැනි ඉතා සුළු පිරිසක් අතර පමණකි. ඒ අතර තම තක්කඩි දේශපාලනය සඳහා රතු කමිසය යොදාගන්නා පිරිසක්ද සිටින බව පෙනෙන්නට තිබේ. මේ දෙපිරිස වෙන්කර හඳුනා ගැනීම ජනතාවට එතරම් අපහසු කරුණක් නොවනු ඇත.
දේශපාලනයේ මෙම පිරිහීමේ පළමු පියවර නැතහොත් අවධිය ලෙස සැලකිය හැක්කේ දේශපාලනඥයන් ජනතා මුදලින් තමන්ගේ වරප්‍රසාද තර කර ගැනීමේ අවස්ථාවයි. වැඩි වැටුප් ලබා ගැනීම, ඉන්ධන දීමනා. ගෙවල් කුලී දීමනා විශ්‍රාම වැටුප් ආදී බොහෝ වරප්‍රසාද දේශපාලනඥයන් අත්පත් කරගන්නා ලද්දේ පසුගිය දශක කිහිපයේදීය. මෙය ඇත්ත වශයෙන්ම කිවහොත් වරප්‍රසාද පොදියකි. මෙබදු වරප්‍රසාද හා වැටුප් ලබාගන්නා මැති ඇමැතිවරුන් තවදුරටත් ගරු මන්ත්‍රී ගරු ඇමැති ලෙස හැඳින්විය හැකිද යන්න ප්‍රශ්නයකි. මෙම තනතුරු දැන් වැටුප් ලබන රැකියා බවට පත් කරගෙන අවසන්ය.
තම වැටුප හා දීමනා පොදු කටයුතු සඳහා යොදවන බව කී දේශපාලනඥයකුගේ මෑත කාලීන කතාවකින් හෙළි වුණේ එමගින් ඉතිරිවන මුදල ලක්ෂ හතරකට ආසන්න බවයි. එනම් මැති ඇමැතිවරුන්ට එම වැටුප් හා දීමනා හිමි බවයි. මෙය නම් සුපිරි රැකියාවක් බව අමුතුවෙන් කිව යුතු නැත.
ඒ සමඟ තීරුබදු රහිත වාහන සහනයක්ද මැති ඇමැතිවරුන්ට ලබාදී තිබේ. එය දී තිබෙන්නේ විකුණාගෙන මුදල් කරගන්නට බව දැන් කවුරුත් දන්නා කතාවකි මෙයද නීතිගත කළ දූෂණයකි. දේශපාලනඥයන්ට හම්බකර ගන්නට දී තිබෙන තවත් අවස්ථාවකි.
මේ අප කීවේ දේශපාලනඥයන්ට අතට උඩින් දී තිබෙන මුදල් ඉපැයිමේ අවස්ථාව පිළිබඳවයි. පසුගිය කාලයේ දේශපාලනඥයන් කෝටි ගණනින් හම්බ කරන්නට ගත්තේ මේ ආදායම් මාර්ගද ප්‍රමාණවත් නැති ආකාරයෙනි. ඒ සඳහා ක්‍රම වශයෙන් ක්‍රියාත්මක වුයේ විවිධ ආකාරයෙන් ලැබෙන කොමිස් කුට්ටි බව මෙරට බොහෝ දෙනා දන්නා රහසකි. මෙබඳු ගනුදෙනු සිදු වූ බව බොහෝ දෙනා දනිති. එසේ වුවද ඒවා නිශ්චිත ලෙස හඳුනා ගැනීම හා සොයාගැනීම පහසු නැත දුෂ්කර පිටුදැකීම බරපතළ ප්‍රශ්නයක් වී තිබෙන්නේද ඒ නිසාය.
ජනවාරි අටවැනිදා මෙරට ජනයා රටේ යහපාලනයක් වෙනුවෙන් ඡන්දය දී නව පාලනයක් බලයට පත්කළ නිසා දැන් සියල්ල වෙනස් වනු ඇතැයි කවුරුන්හෝ සිතනවා නම් එය මිථ්‍යාවක් විය හැකිය. ජනාධිපතිතුමාද පසුගියදා ප්‍රකාශ කළේ යහපාලනය දෙසට හැරීම පමණක් ආණ්ඩු වෙනසත් සමඟ සිදු වූ බවයි. එනම් යහ පාලනයක් ඇතිවීමක් දේශපාලන සංස්කෘතිය සම්පූර්ණයෙන් අලූත් වීමෙන් එක රැයකින් සිදුවන්නේ නැති බවයි.
මෙම දූෂිත පාලන ක්‍රමය දිගට ගෙන යන්නට පෙරමුණගෙන සිටින ප්‍රධාන පිරිස පැහැදිලිය. මෙම ක්‍රමයේ නියමුවන්ව සිටි උදවිය යළි බලයට ගෙනෙන්නට උත්සාහ දරන්නෝ ඔවුහුය. එම බලවේග පරාජය කිරීම මහජනයාට පහසුවෙන් කළ හැකි කටයුත්තකි.
එසේ වුවද මෙම ක්‍රමයම වෙනත් මුහුණු දමාගෙන ක්‍රියාවට නැඟීමට බලවේග හඳුනාගැනීම හා පරාජය කිරීම පහසු නැත. ඒ සඳහා වඩා වැඩි සෝදිසියෙන් සිටීමත් අවශ්‍ය වෙයි.
පසුගිය දිනවල අසන්නට ලැබුණේ මෙතෙක් කල් බලයේ සිටිමින් විවිධ අපචාරවල යෙදුණු බවට චෝදනා ඇති උදවිය ඉදිරි ආණ්ඩුවකටද රිංගා ගැනීමට දරන උත්සාහය පිළිබඳවය. එමෙන්ම ඊළඟ මැතිවරණය සඳහා අපේක්ෂකත්වය ඉල්ලන දිගු පෝලිම් ගැනද වාර්තා පළ වී ඇත.
තේරුම් ගත යුතු කාරණය නම් මේ සියලූ දෙනා එන්නේ මෙරට යහපාලනය සඳහා නම් නොවියහැකි බවයි. එක අතෙකින් මේ එන්නේ විශාල වරප්‍රසාද ඇති සුපිරි රැකියා බවට පත්ව තිබෙන මන්ත්‍රීධුර හා ඇමැතිධුර ලබා ගැනීම සඳහාය. එමෙන්ම එම තනතුරුවල බලය යොදාගෙන තවත් හම්බ කරන්නට හිතාගෙන එන පිරිසක්ද සිටිය හැකිය. ඉදිරි කාලයේ රටේ යහපාලනයට සතුරු ප්‍රධාන බලවේගය මොවුන්ගෙන් නිර්මාණය විය හැකි බවද තේරුම් ගත යුතුව ඇත.
මෙයින් පෙනෙන්නේ ජනවාරි අටවැනිදා ජනතා ජයග්‍රහණය ආපසු හැරවිය නොහැකි ප්‍රබල ඉදිරි පියවරක් වුවද එහි කාර්යභාරය අවසන් නැති බවයි.
දැන් සටන තිබෙන්නේ ඉදිරියේ පෙනෙන්නට සිටින සතුරා සමගය. එසේ වුවද හෙට සටන තිබෙන්නේ අලූතින් නිර්මාණය විය හැකි සතුරකු සමගය. ඒ සියලූ සතුරන් වැනසිය හැක්කේ රටේ තිබෙන දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමය. දූෂිත දේශපාලනය ඉතා ප්‍රබලව සිටියදී නැඟීසිට ජයගත් ජනතාවට ඉදිරි සතුරා ජයගැනීමද අපහසු වීමට හේතුවක් නැත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *