|

දැන් ඉතින් පිම්ම පනිනු – සී. ජේ. අමරතුංග

 මාස දෙකක පමණ කාලයක් තිස්සේ බලාපොරොත්තුව සිටි ඇමැති මණ්ඩල සංශෝධනය පසුගියදා සිදුවිය. ඇත්ත වශයෙන්ම නම් මෙය එම සංශෝධනයේ දෙවන පියවරයි. එජාපයට හිමිව තිබූ ඇමැති ධුර කිහිපයක සංශෝධන මීට පෙර සිදුකොට තිබිණි. මෙවර දෙපාර්ශ්වයේම ඇමැති ධුර ගණනාවක සංශෝධන සිදුව ඇත. ඇතැම් අමාත්‍යාංශවල වගකීම් සම්පූර්ණයෙන් වෙනස්කොට ඇති අතර ඇතැම් ඇමැතිවරුන්ට තවත් අංශ එකතුකොට ඇත. සම්පූර්ණ අමාත්‍ය මණ්ඩල වෙනසක් නොවුණද කැපී පෙනෙන වෙනස්කම් ගණනාවක් සිදු වී ඇති බව පෙනෙන්නට තිබේ.

එක් අතෙකින් බලන විට මේ මොහොතේ බොහෝ අමාත්‍යාංශ වෙනස් කිරීම ද අවුලකට හේතුවිය හැකිව තිබූ බව තේරුම්ගත යුතුව ඇත. බොහෝ අමාත්‍යාංශවල පසුගිය කාලයේ සිදුවූයේ පවතින වැඩ කරගෙන යන ගමන් නව ව්‍යාපෘති හා වැඩසටහන් සැලසුම් කිරීමයි. ඇතැම් වැඩසටහන් ආරම්භකොට ක්‍රියාවට නංවා ඇත. එම වැඩසටහන් හා ව්‍යාපෘති කරගෙන යාමට ඒවා සැලසුම් කළ ඇමැතිවරුන්ට අවස්ථාව ලබාදීම අවශ්‍යය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් මේ තත්ත්වය තේරුම් ගෙන ක්‍රියාකොට ඇති බව පෙනෙන්නට තිබේ.

සංශෝධනයේ පණිවිඩය

මෙම ඇමැති මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් වැදගත්ම කාරණය වන්නේ කුමන අමාත්‍යාංශය, කුමන ඇමැතිවරයාට හෝ වරියට ලබා දුන්නද යන්න නොවේ. මෙමඟින් රටට දුන් දේශපාලන පණිවිඩයයි. එය නම් යහපාලන ආණ්ඩුව ශක්තිමත්ව ඉදිරියට යන බවයි. ඒ ගැන කා තුළ හෝ සැක සංකා තිබුණේ නම් ඒ සියල්ල මෙම ඇමැති මණ්ඩල සංශෝධනයත් සමඟ අවසන් වනු ඇත. රටේ පසුගිය දිනවල ඇතිව තිබූ යම් ආකාරයක ව්‍යාකූලතාවය නැතහොත් අවිනිශ්චිත බව පහවයාමත් මේ සමඟ සිදුවනු ඇත. එමෙන්ම ආණ්ඩුව නව ජවයකින් ඉදිරියට යාමත් මේ සමඟ අපේක්ෂා කළ හැකිය.

පළාත් පාලන ආයතන සඳහා පැවැති ඡන්දයෙන් පසුව ඒකාබද්ධ විපක්ෂය උත්සාහ දැරුවේ ආණ්ඩුව අස්ථාවර කරන්නටය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීම අරමුණුකොටගෙන විශ්වාසභංගයක් ගෙන ආවේ ඒ සඳහාය. ශ්‍රීලනිපයත්, එජාපයත් භේද කර ආණ්ඩුවත් අවුල් කර දැමීම ඔවුන්ගේ අරමුණ වී තිබිණ.

එක්සත් ජාතික පක්ෂයට හා රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධ විශාල හා බලගතු පිරිසක් විපක්ෂයේ මෙම ව්‍යාපෘතියට කරගසා සිටියහ. පෞද්ගලික ජනමාධ්‍ය බොහොමයක් මෙය තමාගේ දේශපාලන ව්‍යාපෘතිය කර ගත්තේය. ඇතැම් ජනමාධ්‍ය ක්‍රියා කළේ පිළිකුල් සහගත ආකාරයටය. ඒ සියල්ල ඉදිරියේ එක්සත් ජාතික පාක්ෂිකයා තම නායකයා සමඟ හිටගත්තේ මෙය පක්ෂය විනාශ කිරීමේ උත්සාහයක් බව තේරුම් ගත් නිසාය. අවසානයේ එජාපය වඩා ශක්තිමත්ව නැඟී සිටියේ කුමන්ත්‍රණකරුවන්ට අන්ත පරාජයක් අත්කර දෙමිනි.

පොහොට්ටුවේ බලවතුන් එජාපය විනාශ කරන්නට ගෙනා කුමන්ත්‍රණයෙන් සිදුවූයේ එම පක්ෂය ප්‍රතිසංවිධානය වෙමින් නායකත්වය පුළුල් කරමින් ශක්තිමත්ව නැඟී සිටීමයි. එමෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද වඩා බලවත් වූ බව පැහැදිලිව පෙනෙන්නට තිබිණි. මීළඟ ජනාධිපතිවරණයේ තම පක්ෂයේ අපේක්ෂකයා ‍රනිල් වික්‍රමසිංහ මහතා බව පක්ෂයේ නව මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාට කියන්නට හැකිවූයේ එම ශක්තිය නිසාමය.

අනෙක් අතට ආණ්ඩුව අවුල් කළ හැකිවූයේ යයි විපක්ෂයේ උදවිය කියන කතාව ද දැන් පුස්සක් වී හමාරය. අංක ගණිතය අනුව නම් කතාව ඇත්තය. ආණ්ඩුවෙන් 16 දෙනෙක් ඉවත් වී ඇත. එසේ වුවද එම පිරිස ආණ්ඩුවට හා ජනාධිපතිතුමාට දිගටම සහය දෙන බව ද ප්‍රකාශකොට ඇත. එය අමතක කළද මෙහිදී සිදුව තිබෙන්නේ ආණ්ඩුව පිරිසිදුවීමක් බව ද පෙනෙන්නට තිබේ. එනම් ආණ්ඩුවේ සිට කකුලෙන් අදිමින් සිටි පිරිසක් දැන් ඉවත්ව ගොසිනි. එම පිරිස ආණ්ඩුවේ සිටියද ‘යහපාලන’ අරමුණු පිළිගෙන සිටියාද යන්න සැක සහිතය. ජනවාරි 08 පෙරැළියේදී මොවුන් සිටියේ මහින්ද රාජපක්ෂ මහතා සමඟය. ආණ්ඩුවේ සිටියදී ද ඔවුන් ක්‍රියා කළේ විපක්ෂයේ සිටින පිරිසක් හැසිරෙන ආකාරයෙනි. එම පිරිස ඉවත්ව යෑම මඟින් ආණ්ඩුව දුර්වල වීම වෙනුවට වඩා ශක්තිමත් වීම සිදුවිය හැකිය.

එජාපයේ පසුපෙළට වුවමනා වී තිබුණේ පක්ෂයේ තනි ආණ්ඩුවක් හදාගන්නටය. එය එතරම් සාර්ථක ක්‍රියාමාර්ගයක් නොවන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැන සිටි බව පෙනෙන්නට තිබිණි. ජනාධිපතිතුමාගේත්, ශ්‍රීලනිපයේ සිටින යහපාලන වැඩපිළිවෙළට පිළිගන්නා පිරිසගේත් සහය මේ මොහොතේ අවශ්‍ය බව පැහැදිලි කරුණකි. දැන් එක් අතෙකින් එජාප පසුපෙළටද ජයග්‍රහණයක් ලැබී ඇත. ඒ තමන්ට ප්‍රතිවාදී පිරිස ඇමැතිධුරවලින් ඉවත්වීමයි. තනි ආණ්ඩුවක් නැතත් දැන් බිහිවී තිබෙන්නේ එජාපය වඩා ශක්තිමත් වූ ආණ්ඩුවකි. කෙසේ වෙතත් එම වැඩි බලය පරිස්සමින් භාවිතා කිරීම ද ආණ්ඩුවේ පැවැත්ම සඳහා අවශ්‍ය කරුණකි.

දේශපාලනයේදී ඇතැම් පක්ෂවල හැසිරීමෙන් හා උපාය උපක්‍රම තෝරාගන්න ආකාරයෙන් ද බොහෝ දේ තේරුම්ගත හැකිය. මෙහිදී ඒකාබද්ධ විපක්ෂයේ හැසිරීම ද ඉතා වැදගත්ය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජය වීමත් සමඟ ඔවුන්ගේ එක අරමුණක් ව්‍යාර්ථ වී ඇත. එනම් රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන පොර පිටියෙන් ඉවත් කර ගැනීමයි. නැතහොත් දුර්වල කර දැමීමයි. එය අසාර්ථක වී රනිල් වඩාත් බලවත් වී ඇති මේ මොහොතේ ඒකාබද්ධ විපක්ෂය වෙනත් උපාය මාර්ගයකට යෑමට උත්සාහ දරන බව පෙනෙන්නට ඇත. එනම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන යෝජනාවකට සහය දී ඉක්මනින් මහ මැතිවරණයක් ලබා ගැනීමයි. ඊළඟ ජනාධිපතිවරණයක් මඟහැරීම මෙම උපාය මාර්ගයේ ප්‍රධාන කාරණයකි. ඒ ඇයිද යන්න සිතා ගැනීම අපහසු නැත.

මහින්ද රාජපක්ෂ මහතා ගණන් බලා ඇත්තේ ජනාධිපතිවරණයකදී රනිල් වික්‍රමසිංහ මතාට එරෙහිව සාර්ථක සටනක් දිය හැකි අපේක්ෂකයකු තමන් සතුව නැති බව විය යුතුය. ගෝඨාභය ඉල්ලන්නේ ජාතිවාදී සුළු පිරිසකි. ඔහුට මේ රටේ සුළුතර ජනවර්ගවල ආකර්ශනය දිනාගත නොහැකිය. මහින්ද රාජපක්ෂ මහතාට තරග කළ නොහැකිය. ආකර්ශනීය වෙනත් නායකයකු ද නැත. එසේ නම් ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සහය දී එම සටන මඟහැරීම ඥානවන්ත ක්‍රියාවකි. ඔවුන් ‍මේ සැරසෙන්නේ ඒකටය.

ඡන්ද හදිස්සියට හේතු

විමල් වීරවංශලා තවමත් හිතන්නේ ගෝඨාභය යොදාගෙන ගොඩ යා හැකි යැයි කියා විය යුතුය. එසේ වුවද එයට ඒකාබද්ධ විපක්ෂයේ බහුතරයකගේ පවා සහය ලැබී නැත. ඒ අතර සිටින වැඩිදෙනා මහ පොළොවේ දේශපාලනය තේරෙන පරිණත උදවිය බව ද අමතක කළ යුතු නැත.

සතියකට දෙකකට පෙර ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට විරුද්ධව සිටි වාසුදේව නානායක්කාර මහතා ද කරණමක් ගසා ඇති බව පෙනෙන්නට තිබිණි. ඒ මහතා පසුගියදා නිකුත් කළ නිවේදනයකින් කීවේ ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ගෙන එන යෝජනාවට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ද අඩංගු කළ යුතු බවයි. අධිරාජ්‍යවාදීන් අවතක්සේරු නොකළ යුතු බවත් වසර එකහමාරක් ඉන්නට නොදී මේ මොහොතේම මහ මැතිවරණයක් ලබාගත යුතු බවත් වාසු කියයි. එහි ඇති දේශපාලන ගණන් බැලීම ද තේරුම් ගැනීම අපහසු නැත. ඒ කියන්නේ ජනාධිපතිවරණයකට මුහුණදීම පමණක් නොව වසර එකහමාරක් බලා සිටීම ද තමන්ට අවාසිදායක බවයි. ඒ කියන්නේ එම කාලය ගතවන විට ආණ්ඩුව වඩා ශක්තිමත් විය හැකිය යන්නයි.

මහ මැතිවරණයක් ලබාගැනීමේ ඒකාබද්ධ විපක්ෂයේ ඇති තදියමට එක හේතුවක් විය හැක්කේ ඔවුන් අතර බොහෝදෙනෙකුට තිබෙන දූෂණ හා අපරාධ චෝදනා පිළිබඳ අධිකරණ කටයුතු ඉදිරියට යාමට පෙර ආණ්ඩු වෙනසක් කරගැනීමේ වුවමනාව විය හැකිය. එමෙන්ම තවත් පැත්තකින් ඔවුන් ගණන් බලනවා ඇත්තේ ආණ්ඩුව මේ වන විට සැලසුම්කොට ඇති සංවර්ධන කටයුතු ඉදිරියට ගිය විට ඇතිවන තත්ත්වයයි. එම කටයුතු සාර්ථක වුවහොත් විපක්ෂයට යන එන මං නැතිවන බව ඔවුන් දේශපාලන වශයෙන් ගණන් බලා තිබිය හැකිය.

මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පසුගියදා කීවේ මේ වන විට ආර්ථිකය ස්ථාවරකොට අවසන් බවය. එනම් අර්බුදකාරී තත්ත්වය අවසන් බවය. පසුගිය මාස දෙක තුනේ පැවැති දේශපාලන අර්බුදය හමුවේ පවා ඔරොත්තු දීමෙන් ආර්ථිකයේ එම ශක්තිය ප්‍රදර්ශනය විය. එමෙන්ම මෙරටට ලැබුණු වැඩිම විදේශ ආයෝජන ප්‍රමාණය වන ඩොලර් බිලියන 1.7 ක් ගිය වසරේදී ලබාගැනීමට ද හැකි වී ඇත.

අනෙක් අතට ආණ්ඩුව සැලසුම්කොට ඇති මහා පරිමාණ ව්‍යාපෘති බොහොමයක් තවමත් ඇත්තේ ආරම්භක අවදියේය. ඒවා ක්‍රියාවට නැ‍ඟෙන විට රටේ විශාල වෙනස්කම් ඇතිවිය හැකිය. මහ බැංකු අධිපතිවරයා එම ව්‍යාපෘති ගැන පසුගියදා සඳහන් කළේය.

බැංකු අධිපතීන්ගේ ආර්ථික අනාවැකිය

එක අතෙකින් කොළඹ මහ නගර සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මකය. ඒ සමඟ කොළඹ නව ඉදිකිරීම්, ගුවන් මාර්ග, සැහැල්ලු දුම්රිය, ඇළ මාර්ගවල ප්‍රවාහනය, තාක්ෂණික හා අධ්‍යාපනික කලාප, කර්මාන්ත ආදිය සංවර්ධනය කෙරෙනු ඇත. ඒ අතර දුම්රිය සේවය විදුලියෙන් දිවීමේ තවත් ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මකය.

කොළඹ මූල්‍ය නගරය තවත් දැවැන්ත ව්‍යාපෘතියකි. එය සිංගප්පූරුව හා ඩුබායි අතර ඉදිවෙන විශාලතම මූල්‍ය නගරයයි. හම්බන්තොට වරාය ආශ්‍රිතව ඉදිවන කර්මාන්ත කලාපයේද වැඩ ආරම්භ වී ඇත. එහි පදනම් කර්මාන්ත හතරක් මුලින් ආරම්භ කෙරෙයි. එනම් පිරිපහදුවක්, එල්. එන්. ජී. විදුලි බලාගාරයක්, වානේ කර්මාන්තශාලාවක්, සිමෙන්ති කම්හලක් ආදියයි. මෙම කර්මාන්ත මුලින් ආරම්භ කෙරෙන්නේ අනෙක් කර්මාන්ත සඳහා පහසුවක් වන පරිදිය.

මේ අතර මහනුවර කේන්ද්‍ර කරගත් සංවර්ධන වැඩසටහනක් සඳහා සැලසුම් සකස්කොට ඇති අතර එයට ජපාන රජයේ ආධාර ලබාදීමට කැමැත්ත ප්‍රකාශ වී ඇත.

ත්‍රිකුණාමලයේ සංවර්ධනයට සහය දීමට ජපානය, ඉන්දියාව හා සිංගප්පූරුව ඉදිරිපත් වී සිටියි. එම සැලසුම ද ඉදිරි කාලයේදී ක්‍රියාවට නැඟීමට නියමිතය. කළුතර ප්‍රදේශයේ කර්මාන්ත කලාපයක් ආරම්භ කිරීමට තායිලන්ත සමාගමක් ඉදිරිපත් වී ඇත. එහි වැඩ කටයුතු මේ වන විටත් ආරම්භකොට ඇත.

බේරුවල ප්‍රදේශයේ සංචාරක සංවර්ධන කලාපයක් සැලසුම්කොට ඇත්තේ ඉහළ ආදායම් ලබන සංචාරක ව්‍යාපාර සඳහාය.

කුරුණෑගල, බිංගිරිය හා කුලියාපිටිය ප්‍රදේශවල ද කර්මාන්ත කලාප සංවර්ධනය කිරීමට සැලසුම්කොට ඇත.

උතුරේ පරන්තන් ආශ්‍රිතව තවත් කර්මාන්ත කලාපයක් සංවර්ධනය කෙරෙනු ඇත. එමෙන්ම චුන්නාකම් හි දැනටමත් ආරම්භ කොට ඇති කර්මාන්ත කලාපය වැඩිදුරටත් සංවර්ධනය කෙරෙයි. යාපනය වරාය හා ගුවන් තොටුපළ ද සංවර්ධනයකොට වාණිජ කටයුතු සඳහා යොදාගැනීමට මේ වන විටත් කටයුතු සිදුවෙමින් පවතියි.

මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පසුගියදා කීවේ ආණ්ඩුව සැලසුම් කොට ඇති මෙම ව්‍යාපෘතිවලින් අඩක් සාර්ථක කරගත්තත් ශ්‍රී ලංකාව වෙනත් රටක් බවට පත්වන බවයි. ඇත්ත කතාව ද ඒකය. විපක්ෂය තැතිගෙන ඇත්තේ ද මේ තත්ත්වය දන්නා නිසාය. තව කල්යන්න නොදී ආණ්ඩුව වට්ටන ක්‍රම සොයන්නේ ඒකටය.

රනිල් වික්‍රමසිංහ මහතා ද නොසැලී සිටින්නේ මේ සියල්ල දන්නා නිසා විය යුතුය. එසේ වුවද දැන් මේ සැලසුම් ක්‍රියාවට නැඟිය යුතුය. එය සැලසුම් කරනවාට වඩා බරපතළ කටයුත්තකි. එමෙන්ම අපේ ජනතාවට ඉක්මන් ප්‍රතිඵල ද අවශ්‍යය. දැන් ඉතින් ආණ්ඩුව ඒ පිම්ම පැනිය යුතුය. සියලු අභියෝග ජයගත්තා වන්නේ එවිටය.

සී. ජේ. අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *