ආණ්ඩු විරෝධීන් එකතු කරන්න ඒකාබද්ධය එකිනෙකා සමඟ සටනක
රටට ඒකාධිපතියකු අවශ්‍ය බවට මතුව තිබෙන අදහස ගැන සඳහන් කරමින් ජනාධිපතිතුමා කීවේ ‘එහෙම කියනවා නම් අපි වරද්දාගන්න තැන එතනයි’ කියායි.
“2015 ජනවාරි මාසයේ මෙරට ජනතාව මාව ජනාධිපති ලෙස පත්කරගත්තේ ආහාර ඉල්ලා නොවේ. රැකියා ඉල්ලා නොවේ. මේ රටේ ජනතාව වෙනසක් කරලා පරිවර්තනයක් කරලා ඉල්ලුවේ ප්රජාතන්ත්රවාදය හා නිදහසයි. බියෙන්, සැකෙන් තොරව ජීවත්වීමේ නිදහසයි. අද ඒවා සියයට සීයක්ම ශක්තිමත් කර තිබෙනවා.” ජනාධිපතිතුමා එහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළා.
රජයේ 2018 අය-වැය ලේඛනය මගින් ඉදිරිපත් කළ යෝජනාවක් වූ එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ උත්සවය පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වුණා. මෙරට දේශීය ව්‍යාපාරික ප්‍රජාව ශක්තිමත් ලෙස ගොඩනැගීම හා නව ව්‍යවසායකයින් බිහි කිරීම අරමුණු කොටගෙන තිබෙන මෙම වැඩසටහන ණය යෝජනා ක්‍රම 15කින් සමන්විතයි. එම ණය සඳහා සම්පූර්ණ පොලිය හෝ ඉන් විශාල කොටසක් ගෙවීම රජය භාරගෙන තිබෙනවා. සංකේතාත්මකව ණය ප්රදානය කිරීම ජනාධිපතිතුමා, අගමැතිතුමා හා මුදල් ඇමැතිතුමා අතින් සිදුවුණා.
පිටරටින් නවීන දැනුම, තාක්ෂණය හා උපදේශනය අවශ්‍ය වන නමුත් දේශීය ව්‍යවසායකයන් ගැන විශ්වාසය තබා කටයුතු කළ යුතු බව ජනාධිපතිතුමා එහි දී ප්‍රකාශ කළා. මෙම ණය යෝජනා මගින් රුපියල් මිලියන හැටදාහක ප්‍රාග්ධන ආයෝජනයක් කළ හැකි වනු ඇතැයිද ජනාධිපතිතුමා කීවා.
පොසොන් දිනය ජනාධිපතිතුමා ගතකළේ ශාසනික කටයුතු රාශියකට දායක වෙමින්. ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ අභිනවයෙන් ඉදිකළ පිරිවෙන් ශාලා ගොඩනැගිලි සංකීර්ණය හා සංඝාවාසය සඟ සතුකොට පූජා කිරීම එදින ජනාධිපතිතුමා අතින් සිදුවුණා. බුද්ධශාසන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ද උතුරු මැද හිටපු ප්‍රධාන ඇමැති පේෂල ජයරත්න මහතා ද එම අවස්ථාවට එක්ව සිටියා. ආරණ්‍ය සේනාසනයේ නව වාහල්කඩ හා ප්‍රාකාර බැම්මද ජනාධිපතිතුමා අතින් සඟසතු කෙරුණා.
පොසොන් සමයේ මිහින්තලා පුදබිමේ ආලෝක පූජාව වසර 58ක් තිස්සේ කරගෙන එන්නේ ලේක්හවුස් අනුග්‍රහයෙන්. පොසොන් දිනයේ එය විවෘත කරන ලද්දේ ජනාධිපතිතුමාගේ සහභාගීත්වයෙන්. අගමැතිතුමා ද විදුලිබල ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ද එම අවස්ථාවට එක්ව සිටියා. ලංකා විදුලිබල මණ්ඩලය ද ආලෝක පූජාවට සම අනුග්‍රහය දක්වනවා. පුදබිම් සඳහා විදුලිය ලබාදීමට විදුලි භාරයක් ඇතිකිරීමට යෝජනා කොට තිබෙන බව රංජිත් සියඹලාපිටිය ඇමැතිතුමා එහි දී ප්‍රකාශ කළා.
පොසොන් පොහොය තිබූ බදාදා පස්වරුවේ අගමැතිවරයා මිහින්තලේ ගියේ විජේවර්ධන පරපුර විසින් ආරම්භ කොට වසර 58 ක් පුරා ලේක්හවුස් ආයතනය සිදු කරන ආලෝක පූජාවට එක්වීමටයි. ජනපති මෛත්රීද ඊට එක් වුණා.
“මිහින්තලේ දී දේශපාලනයයි රටේ සංවර්ධනයයි කතා කරන්න බැහැ. ධර්මාශෝක රජුයි මිහිදු හිමියි ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. මොකද එතන කතා කළ නිවේදකයායි හිමිවරුයි ඇමතිවරුයි ඒවා ඔක්කොම කිවුවානේ. අපි ආලෝක පූජාව විවෘත කළාම ඇති නේද” ජනපති අගමැතිටත් අගමැති ජනපත්ටක් කීවේ එකම කතාවක්.
එහෙත් ජනපති හා අගමැතිගේ එකඟත්වය නොදත් නිවේදකයා අගමැතිවරයාට කතාවට ආරාධනා කළ විට අගමැති හා ජනපති දෙදෙනාම අසුන්වලින් නැගිට උත්සවයෙන් ඉවත්ව ගිහින්. ඒ ඇමැති සියඹලාපිටිය කතා කරන අතරතුරයි.
අනතුරුව අගමැතිවරයා මිහින්තලා පුදබිමේ දී අරඹා තිබු දන්සැලට ගොඩවී පැමිණ සිටි පිරිසට ආහාර බෙදා දීමටද හවුල් වුණා.
“ අර ටී.වී. චැනල් එකක කෙනෙක් කතා කරනකොට මට හිතුනේ මේ ආලෝක පූජාව පටන් අරන් තියෙන්නේ විජේවර්ධනලා නෙමෙයි මහාරාජලා කියලයි.” පී. හැරිසන් කී විට අගමැතිවරයා සිනාසුණේ බඩ අල්ලාගෙනය.
මිහින්තලේ උත්සවයෙන් පසුව ජනපති පොලොන්නරු ගිය අතර අගමැතිවරයා අනුරාධපුරේ නවාතැන් ගත්තා. බ්‍රහස්පතින්දා උදේම යළි කොළඹ පැමිණි ඔහු කෙලින්ම ගියේ අරලියගහ මැදුරටයි. රටේ ප්‍රබලම ව්‍යාපාරිකයකු හා ඔහුගේ උපදේශකයන් දෙදෙනකු හමු වු අගමැතිවරයා අනතුරුව පැමිණ සිටි මැති ඇමතිවරු සමගද කතා කළා.
“හම්බන්තොට වරාය හා අනෙකුත් ව්‍යාපෘති ලංකාවේ කරන්න චීන රජයට අනුබද්ධ සමාගම්වලට ඉඩ දෙන්නත් රාජපක්ෂලා ඩොලර් මිලියන 7.6 ක පගා අරන් බව “ නිව්යෝර්ක් ටයිම්ස් ” පත්තරේ කියන තෙක් ආණ්ඩුව මේක දන්නේ නැද්ද” සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල කීවා.
“ඒ ඩොලර් ගණන රුපියල්වලින් කෝටි 112 ක මනා මුදල් තොගයක්. උදයංග ගෙන්නනවා කියලා කයිවාරු නොගහා රාජපක්ෂලා දැන් මේ පගාව ගැන රටට පැහැදිලි කළ යුතුයි.” කවදත් දූෂණයට එරෙහිව වෙඩි පත්තු කරන රන්ජන් රාමනායක කීවා.
“ආණ්ඩුව මේ සිද්ධිය ගැන දැනගෙන හිටියා. ඉහළ අයගේ උපදෙස් මත ගිය පෙබරවාරි 10 දා මම එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ ආණ්ඩුවේ ප්‍රධානින්ට මේ ගැන කතා කළා. ඔවුන් තමයි මේ ගනුදෙනුවේ අතරමැදියන් ලෙස ක්‍රියා කරලා තියෙන්නේ. ඒත් ඔවුන් පැහැදිලි උත්තරයක් දුන්නේ නෑ. නමුත් අපි මේ ගැන අවධානයෙන් ඉන්නකොටයි නිව්යෝර්ක් ටයිම්ස් එක මේකෙ සියලුම විස්තර පල කරලා තියෙන්නේ ” තිලක් මාරපන කීවා.
“ චීනයෙන් පගාව අරන් රටේ සම්පත් හා ව්‍යාපෘති ඔවුන්ට ලබා දීම ගැන කන වැටුනාම ඒ චීන සමාගම්වල මේ ගනුදෙනුවලට හවුල් අය ඉන්නවා නම් පියවර ගන්න ඔවුන් ලංකාවේ වැඩවලින් ඉවත් කරන්න කියන පණිවිඩය අපි චීනයට දුන්නා.එහෙම නැත්නම් පෝට් සිටි එකත් ආපහු කරන්න ලැබෙන්නෙ නෑ කියලත් ඇඟෙව්වා.” අගමැතිවරයා පැහැදිලි කළා.
“චීනය අප්රිකාවේද ආසියාවේද වෙනත් රටකට බැස්සාම ඒ ඒ රටවල්වලට ගැළපෙන විදියටයි වැඩ කරන්නේ. ලංකාවේ දී වැඩ කරලා තියෙන්නේ රටට ගැළපෙන විදියට නෙවෙයි රාජපක්ෂලාට ගැළපෙන විදියටයි” චමින්ද විජේසිරි කීවිට සියලු දෙනාම කොක්හඩ ලෑවා.
“අනික පගාව විදියට ලබාගත් කෝටි 112 ක සල්ලි කන්ද ජනතාව ගෙවන ණය ගොඩටත් එකතු කරලා. මේවා කාට කියන්නද” රන්ජන් තවදුරටත් කීවා.
“හාමුදුරුවරු දුසිම් ගාණක් රාජපක්ෂලාට කඩේ ගියාට එක හිමි නමකට විතරක් චීන පගාවලින් ඩොලර් 38000 ක් එනම් රු.ලක්ෂ 60 ක විතර මුදලක් දීලලු. තනියම කාපු ඒ හාමුදුරවෝ කවුද කියලා කඩේ යන අනිත් හාමුදුරුවරු දැන් හොයනවලු“ වජිර අබේවර්ධන කීවේ සිනා මැද.
“අනුරාධපුරේ ප්‍රධානම සෑයට එකතු වන මුදල්වලින් දිනකට ලක්ෂ 02 කට වඩා කාන්තාවකගේ ගිණුමට බැර වෙනවා කියලා අනුරාධපුරෙන් ආරංචියි.ආණ්ඩුව මේවා ගැනත් හොයන්න ඕනෑ. තායිලන්තෙ තිබුණු මේ වගේ පහත් වැඩ ඒ රජය නැති කළා” චමින්ද විජේසිරි කීවා.
“වන්නියේ දරුණු ආයුධ එක්ක කට්ටියක් හමුවුණා. අලුත්ම තත්ත්වය මොකක්ද” දයා ගමගේ ඇසුවේ අගමැතිගෙන්. “ඒ ගැන දැඩි පරීක්ෂණ කරනවා. එවැනි නැගිටීම්වලට කිසිසේත් ඉඩ දෙන්නේ නෑ” අගමැති කීවේ දැඩි සවරයෙන්.. “ව්‍යවසායකයන්ට”එන්ටර්ප්රයිස් ශ්‍රීලංකා” හරහා කෝටි 500ක් ණය දීමත් “ගම් පෙරළිය “ හා “ග්රාමශක්ති” හරහාත් රටපුරා විශාල වැඩ කොටසක් කරනවා. ඒක වටිනවා” ලක්ෂ්මන් කිරිඇල්ල කීවා. “මහා පරිමාණ ව්‍යාපාරිකයන්ටත් කෝටි 1000ක සහන මුදල් දෙනවා. රටේ ණය ගෙවාගන්න බැරි රටක් බාරගත්ත අපි අද අනිත් අයටත් ණය දෙනවා. සමෘද්ධිය හා ඒ බැංකුවත් ශක්තිමත් කරනවා. ඒක විශාල ජයක්” අගමැතිවරයා කීවා.
“අලුතින් එක්ලක්ෂ පනස්දාහකට සමෘද්ධි දෙනවා. ඒකත් ලොකු ජයක්. පළාත් පාලන ඡන්දයට අපි ගියේ අතපය විසිකරකරයි ඒත් ඊළග ඡන්දයට යන්නේ ජනතාවට සලකලා රටට විශාල වැඩ කොටසක් කරලයි” පී හැරිසන් කීවා.
“උපාධිධාරී පත්වීම් 5000ක් ජනාධිපතිතුමා නවත්වල කියල ප්‍රවෘත්තියක් පළවුණේ ඇයි” චමින්ද විජේසිරි විමසුවා.
“කෙලින්ම කැම්පස් ගිය අයට පත්වීම් දෙන්න කියලයි ඉල්ලල තියෙන්නේ. ඒකෙ “මිනිට්” අනුව භාහිර උපාධිධාරීන්ටත් පත්වීම් දෙන්න පුළුවන්. දැන් නීතිපති උපදෙස් පතල තියනවා. ලකුණු මතයි පත්වීම් දීල තියෙන්නේ” අගමැති කීවා.
“බඳවා ගැනීමේ ක්‍රමවේදයෙන් පිට ගිහින් නෑ. පුහුණු කරන අය ලෙස එජාප පිරිසකුත් බඳවාගන්න අපි උත්සාහ කරනවා. මේ ආණ්ඩුවෙන් එජාප අයට මෙහෙම දෙයක්වත් කරන්න බැරිනම් ඇති වැඩේ මොකක්ද” අගමැතිවරයා කීවේ නළල රැලි ගන්වමින්.
” උසස් අධ්‍යාපනයේ මුදල් බැඳුම්කරේට ගිහින් කියන කතාව අමුතු එකක්. මහින්ද එදා පත්කළ කමිටුවකින් මේකට තීන්දු අරන් තියෙන්නෙ කියල කබීර් පැහැදිලි කළා. ඒ කාලෙ ඇමතිත් එජාප කෙනෙක් නෙවෙයි කියල ආරංචියි” ලක්ෂ්මන් කිරිඇල්ල කීවා.
“පාසල් දරුවන්ට “ටැබ්” දීම ආපහු හිර වෙලා. ඒකෙන් පිරිහෙන්නේ හිර කරන අයයි. සියලු ළමයි “ටැබ්” අපේක්ෂාවෙන් ඉන්නේ’ චමින්ද විජේසිරි කී දේ සියලු දෙනා අනුමත කළා.
ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පසුගිය සෙනසුරාදා වාර්තාගත වැඩසහටනකට සහභාගී වුණේ මහනුවර දිස්ත්‍රික්කයේ හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දී. උදෑසනම හතරලියද්දට ගිය ඇමැතිවරයා අමාත්‍යාංශයේ ප්‍රතිපාදනවලින් ඉදිකරනු ලබන නිල සෙවණ කාර්යාලය 16ක් ඒකම දිනක දී විවෘත කළා. මෙතෙක් ඒකම දිනක දී විවෘත කළ වැඩිම නිල සෙවණ කාර්යාලය සංඛ්‍යාවයි ඒ.
නිල සෙවණ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට සරත් අමුණුගම ඇමතිවරයා ද එක්වුණා.
”මමත් වජිර අබේවර්ධන ඇමතිවරයාත් දීර්ඝ කාලයක් පාර්ලිමේන්තුවේ බොහොම හොඳින් එකට කටයතූ කළා විතරයක් නෙවෙයි එකම තැන එක ළඟ වාඩිවෙලා හිටියේ” යැයි කීවේ අතීතය සිහිපත් කරමින්.
සෙනසුරාදා ඇමැති වජිර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වුණා. රුපියල් ලක්ෂ 400ක වියදමින් ඉදිකරන ලද මේ ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව අගමැතිවරයා ගාල්ල කොටුව සමුද්‍ර කෞතුකාගාර ගොඩනැගිල්ලේ පැවැති ගාලු උරුමය සම්බන්ධ රැස්වීමකට සහභාගී වුණා.
මේ රැස්වීමේ දී ගාල්ල කොටුවේ ඇති රාජ්‍ය ආයතන එම ස්ථානවලින් ඉවත්කිරීමේ ප්‍රගතිය පිළිබඳවත් ගාල්ල නගර සංවර්ධන ව්‍යාපෘතියට අදාලව ඉවත්කළ යුතු ගොඩනැගිලි හා අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් ද සාකච්ඡා කළා. මෙම රැස්වීමට සාගල රත්නායක, ගයන්ත කරුණාතිලක, පියසේන ගමගේ ඇමැතිවරු ද සහභාගී වී සිටියා.
එක් එක් ආයතනවලින් පැමිණි නිලධාරීන්ගෙන් කොටුවෙන් ආයතන ඉවත්කිරීමේ ප්‍රගතිය පිළිබඳ ඇමතිවරයා විමසා සිටියා. එහි දී ගාල්ල ඕල්සන්ට්ස් විද්‍යාලයේ විදුහල්පතිවරයා කියා සිටියේ තම පාසල මෙරට ඉතා අඩුම භූමියක පිහිටි පාසල විය යුතු බවයි. ඉතා දැඩි අපහසුතා මධ්‍යයේ මේ පාසල පවත්වාගෙන යන බව ද හෙතෙම කියා සිටියා.
”පාසල තිබෙන්නේ ඉතා අඩු පහසුකම් යටතේ. එය වැඩිදියුණු කරන්නත් බැහැ. අපි නගරය ආසන්නයෙන්ම පාසලට හොඳ තැනක් ලබාදීලා දියුණු පාසලක් ඉදි කළොත් පාසල් ප්‍රජාව එතැනට යන්න කැමති කරවා ගන්න. ” යැයි ඇමැති වජිර කීවා.
”මේ කාරණය සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. පාසලේ ආදි සිසුන්, මාපියන් සාකච්ඡා පටන් ගන්නේ වෙන තැනකට පාසල රැගෙන යමු කියලා. නමුත් සාකච්ඡාව අවසන් වෙන්නේ තියෙන තැනම පාසල තියන්න ඕන කියලා. මට මේක තනියම තීරණය කරන්න බැහැ.” විදුහල්පතිවරයා කියා සිටියා.
” ගාල්ලේ ලෝක උරුමය ගැන අපි කතා කරනවා. නමුත් මිනිසුන්ට විවේකයෙන් ගත කරන්න. තරුණයන්ට ක්‍රීඩා කරන්න තිබුණු පොදු ක්‍රීඩාංගණය නගර වැසියන්ට පාසල් දරුවන්ට නැති කරලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හැදුවා. ඒක දැන් හැමෝටම තහනම් කරලා. කිසිම ප්‍රමිතියක් නැතිව අනවසර ඉදිකිරීම් කළා. මේවා කඩලා මුහුදට දාන්න වෙනවා. අපි නීතිය ක්‍රියාත්මක කළ යුතුයි” යැයි වජිර අබේවර්ධන ඇමතිවරයා පවසද් දී අගමැතිවරයා කියා සිටියේ ගාල්ලේ අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කළ යුතු බවයි. මේ අවස්ථාවේ දී නාගරික සංවර්ධන අධිකාරියෙන් අගමැතිවරයා විමසා සිටියේ ක්‍රීඩාංගණයේ ගොඩනැගිලි ඉදිකිරීමේ දී අවසරයක් ලබාගත්තා ද යන්නයි.
එයට නිවැරදි පිළිතුරක් ලැබුණේ නැහැ.
බ්‍රහස්පතින්දා උදෑසන දිසාපති සමුළුව ශ්‍රී ලංකා සංවර්ධන පිරිපාලන ආයතනයේ දී වජිර අබේවර්ධන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. රජයේ සංවර්ධන ව්‍යාපෘති කොතරම් ක්‍රියාත්මක කළ ද රජයේ මාධ්‍යවලින් ද ප්‍රමාණවත් ප්‍රචාරයක් නොලැබෙන බවත් රජයේ අඩුපාඩු සොයා එම රජයේ මාධ්‍යමගින් ද වාර්තා කරමින් ස්වාධීන වීමට ගන්නා උත්සාහය බරපතළ ගැටලුවක් බවත් දිසාපතිවරු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාට කියා සිටියේ මේ සඳහා සුදුසු පිළියමක් යොදන ලෙස ඉල්ලමින්.
නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා මෙන්ම ඉඩම් ඇමතිවරයා වුයේද මහාමාන්‍ය ඩි.එස්. සේනානායක මහතායි. වත්මන් ඉඩම් ඇමැති ගයන්ත කරුණාතිලක මහතාගේ ඉඩම් අමාත්‍ය නිල කාමරයේ ඩි.එස්. සේනානායක මහතාගේ රාමු කරන ලද ඡායාරූපයක් කැබිනෙට්ටුවක් උඩ තබා තිබෙනවා.
මාන්‍ය ඩි.එස්. සේනානායක මහතාගේ පෞරුෂය මෙන්ම තේජසද, මැනවින් විදහා පානවා. ඩි.එස්. සේනානායක මහතා මේ ඡායාරූපයේ සිටින්නේ කුඩා දරුවකු ද වඩාගෙනයි.
බොහෝ දෙනකුගේ කුකුසට කරුණක් වුයේ ඩි.එස්. සේනානායක මහතා වඩාගෙන සිටින මේ දරුවා කවරෙක් ද යන්නයි. ඒ දරුවා කවුදැයි ඇමතිවරයාවත් මෙතෙක් දැන සිටියේ නැහැ.
මේ අතර කිසියම් කටයුත්තක් සඳහා ඉඩම් අමාත්‍යවරයාගේ නිල කාමරයට පසුගිය දිනක රුක්මන් සේනානායක මහතා පැමිණියා. ඇමැති කාමරයේ ඔබ – මොබ බලද් දී රුක්මන් සේනානායක මහතාගේ නෙත ගැටුනේ ඩි.එස්. සේනානායක මහතාගේ පෙර කි ඡායාරූපයයි.
සිනහවකින් මුව සරසා ගත් රුකමන් සේනානායක මහතා ඡායාරූපය තැන්පත් කර තිබූ කැබිනෙට්ටුව දෙසට ගොස්
“ගයන්ත ඩි.එස්. සේනානායක මහත්තයා මේ වඩාගෙන ඉන්නේ කවුදැයි දන්නව ද ? විමසුවා.
“ඒක තමයි මගෙනුත් හුඟ දෙනෙක් අහනවා එත් ඒ දරුවා කව්ද කියා මමත් දන්නේ නෑ ? ගයන්ත කිව්වා.
“මේ ඩි.එස්. සීයා වඩාගෙන ඉන්නේ මාව රුක්මන් සේනානායක මහතා කීවා”
මෙතෙක් කාටත් කුතුහලයක් වී තිබූ ඩි.එස්. සේනානායක මහතා වඩාගෙන සිටින දරුවා කාගේ කවුදැයි, යන රහස විසඳුනේ එලෙසින්.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙත සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාගෙන් විශේෂ ඇරයුමක් ලැබී තිබුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටියේ කොටවෙහෙර ඉදි වූ “වෙහෙරපුර” උදා ගම්මානය විවෘත කිරීමට පැමිණෙන ලෙසය. නිකවැරටිය යනු ඉන්දික බණ්ඩාරනායක නිවාස හා ඉදිකිරීම නියෝජ්‍ය ඇමැතිවරයාගේ මැතිවරණ කොට්ඨාසයද වනවා. ජනාධිපතිවරයා පිළිගැනීමට ඔහු හෙලිකොප්ටරයෙන් බසින ස්ථානයට ගොස් සිටි සජිත් උත්සව භූමිය වෙත පැමිණියේද ජනාධිපතිවරයාගේම මෝටර් රථයෙන්. පිළිසඳරක යෙදෙමින් සිටිය දී සජිත් එකවරම ඇසුවේ “සර් දන්නවාද 2016 අවුරුද්දේ මේ රෙට් දේශීය ආයුර්වේද ඖෂධ නිපදවන්න රුපියල් ලක්ෂ 8, 090 ඔසු පැළ සහ ඖෂධ අමුද්‍රව්‍ය මේ රටට ගෙන්වලා තිබෙන බව? මේවායින් වැඩි හරියක්ම මේ රටේ ඉතා පහසුවෙන් වැවෙන කටුවැල්බටු, ඉඟුරු, පත්පාඩගම් වගේ විවිධ වර්ගවල පැළෑටි සහ ඒවායින් හදන ඖෂධ අමුද්‍රව්‍ය” කියාය. ජනාධිපතිවරයා කුතුහලයෙන් බලා සිටියේ සජිත් ඊළඟට කීමට යන්නේ කුමක්දැයි කියාය. “සර් මං අලුත් වැඩක් පටන් ගත්තා” සජිත් කතාවේ වැදගත්ම කොටසට අවතීර්ණ වුණේ අනතුරුවය. අපි ඇති කරන උදා ගම්මාන 2, 500ම පොදු භූමිවල වගේම ගෙවතුවල දේශීය ඖෂධ පැළෑටි රෝපණය කිරීමේ වැඩපිළිවෙළක් පටන් ගත්තා. ඒක සාර්ථක වුණොත් අවුරුද්දකට පිටරට යන අර ලක්ෂ 8, 090ක මුදල මේ රටේ රඳවා ගන්න පුළුවන් වෙයි. “වවන අයගේ අත- මිටත් සරුවෙයි.” සජිත් කියද් දී එතෙක් මේ පුවත කුතුහලයෙන් අසා සිටි ජනාධිපතිවරයා කීවේ “ෂා බොහොම හොද වැඩක් නෙ. මම කැමතියි එහෙම වගා කරල තියෙන තැනක් බලන්න” කියා යි. සජිත් “වෙහෙරපුර” උදා ගම්මානයේම ඔසු පැළ වවා ඇති භූමිභාගය වෙත ජනාධිපතිවරයා කැඳවාගෙන ගියා. සරුවට ඔසු පැළ වවා ඇති බිම් කොටස දැකීමෙන් ජනාධිපතිවරයා පුදුමයටත්, ඉමහත් සතුටටත් පත් වුණා. “ෂා හරිම අපූරුයි නේ. මම මේ වැඩේට උපරිම මට්ටමින් උදව් ලබා දෙන්නම්” ඔහුට කියැවුණා.
ජවිපෙ නායක අනුර දිසානායක පසුගිය 22වැනි දා සිට ග්‍රීසියේ හා එක්සත් රාජධානියේ වැඩකටයුතු ගණනාවකට සම්බන්ධ වී සිටිනවා. පසුගිය 23වැනි දින ඇතැන්ස්හි දී එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සමුළුවකට සහභාගි වූ ඔහු 24වැනි දින ග්‍රීසියේ එතෙර අපි සංවිධානය පිහිටුවීමේ සමුළුව සඳහාද එක්වුණා. මේ සඳහා ග්‍රීක කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයකුද එක්ව සිටීම විශේෂත්වයක් වුණා. මේ අතර ඉදිරි දිනවල දී ජවිපෙ නායකයා එක්සත් රාජධානියේ ශ්‍රී ලාංකිකයන් හමුවීමටද ජවිපෙ කමිටුව මුණගැසීමටද නියමිතයි.
හවුල් ආණ්ඩුව අලූතින් රජයේ සේවය සඳහා බඳවා ගන්නා පිරිස්වලට එතෙක් පැවැති විශ්‍රාම වැටුප අහෝසි කිරීමට තීරණ කර තිබූ අතර ඔවුන් වෙනුවෙන් දායක විශ්‍රාම වැටුප් අරමුදලක් පිහිටවනු ලබන බව කියා තිබුණා. ”දැන් ආණ්ඩුව රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප කපලා සද්දයක් නැතුව යනවා. මහ ලොකුවට හදනවා කියපු විශ්‍රාම වැටුප් අරමුදල ගැනත් කතාවක් නැහැ. මේකෙන් වෙන්නෙ රාජ්‍ය සේවකයින්ට අනාගතේ විශ්‍රාම වැටුපක් නැතිවෙන එක. මේකට විරුද්ධව අපි පක්ෂයක් විදිහට මැදිහත් වෙන්න ඕනෑ.” මේ පිළිබඳව අදහස් දැක්වූ ජවිපෙ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත කීවා. මෙම අදහසට සියලූ දෙනාගේ එකඟත්වය පළ වූ අතර ඉදිරි ක්‍රියාමාර්ග යෝජනා කිරීම ලාල්කාන්ත වෙත පැවරුණා.
ජනතා විමුක්ති පෙරමුණ, ලංකා බැංකු සේවක සංගමය සමඟ ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ දී සාකච්ඡාවක් කරන ලද අතර සුනිල් හඳුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ ඊට සහභාගි වූණා. මෙහි දී බැංකු සේවක සංගමය පෙන්වා දුන්නේ ඔවුන් බංකු පෞද්ගලීකරණය, ඊපීඑෆ්/ඊටීඑෆ් කොල්ලය ඇතුළු කරුණු ගණනාවක් ගැන එළඹෙන 04වැනිදා සම්මන්ත්‍රණයක් කරන බවයි. එසේම ඊට ජවිපෙටද ආරාධනා කරන බව ඔවුහු කීවා. ”ඔබලා විසින් සංවිධානය කරන සම්මන්ත්‍රණයේ මාතෘකා සියල්ලටම අපේ එකඟත්වය තිබෙනවා. අරාධනා කිරීම ගැන ස්තූතියි. මේ ගැටලූ ඔබට හෝ අපට හුදෙකලාව බලපාන දේවල් නෙමෙයි. රටට බලපාන දේවල්. මේ ගැටලූවලට එරෙහිව ඒකාබද්ධ සටනක් කරන්න ඕනෑ.” හඳුන්නෙත්ති පෙන්වා දුන්නා.
ඒකාබද්ධ විපක්ෂයේ පැහැදිලි බෙදීමක් ඇති බව වාසුදේව නානායක්කාර මහතා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සඳුදා ප්‍රකාශ කළා. ජනාධිපතිවරණයට හිට්ලර් කෙනකු ගෙන එන්නට සුදානම් වන පිරිසක්ද සිටින බව කී වාසුදේව මහතා තමන් නම් කිසිසේත්ම හිට්ලර් කෙනෙකුට සහාය නොදෙන බව ප්‍රකාශ කළා. ආණ්ඩු විරෝධී පුළුල් පෙරමුණකට සියලු දෙනා එක්සත් කිරීමේ අවශ්‍යතාවයද ඒ මහතා අවධාරණය කළා.
හිට්ලර් කෙනකු වී රට හදන්නැයි තම ජන්ම දිනයේ දී අස්ගිරි අනුනාහිමි වෙඬරුවේ උපාලි ස්වාමින්වහන්සේ කළ ප්‍රකාශය ගැන ගෝඨාභය රාජපක්ෂ මහතා කරුණු පැහැදිලි කළේ සඳුදා එෆ්.සී.අයි. ඩීයට කට උත්තරයක් දී පැමිණි අවස්ථාවේදීයි. ඒ මහතා කීවේ එය අනු නාහිමියන් තමන්ට කළ පෞද්ගලික අනුශාසනාවක් බව හා ඒ ගැන කිසිවකු කරදර නොවියයුතු බවයි.
ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ගැන ගෝඨාභය කීවේ මහින්ද රාජපක්ෂ මහතා තවමත් තමාට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දී නැති බවයි. අපේක්ෂකත්වය ලබාදෙන්නේ නම් ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන ජනාධිපතිවරණයට සූදානම් වන බව ද ඔහු කීවා.
ආණ්ඩුවට එරෙහිව රටපුරා උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂය තීරණය කොට දැන් මාස දෙකකට වැඩි කාලයක් ගතවී තිබෙනවා. කෙසේ වෙතත් දැන් එම කණ්ඩායම අභ්‍යන්තරයේ ඇතිවී තිබෙන ගැටුම නිසා උද්ඝෝෂණ සංවිධානය නිසිලෙස කිරීමට නොහැකි වී තිබෙනවා. උද්ඝෝෂණ වෙනුවට දැන් අභ්‍යන්තරයේ මත ගැටුම් හටගෙන තිබෙන්නේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ගැන හා ශ්‍රීලනිප 16 කණ්ඩායම ගැන ගන්නා පියවර ආදිය පිළිබඳවයි. මෙම මත ගැටුම් නිසා ඒකාබද්ධ විපක්ෂය කණ්ඩායම් ගණනාවක් ලෙස බෙ දී යමින් පවතිනවා.
ගෝසිප්ලන්තය
දිනමිණ

