සයිටම් ප්‍රශ්නය විසඳුනත් දෙමුහුන් කිරීමෙන් අලුත් ප්‍රශ්නයක් නිර්මාණය වුණා – සයිටම් දෙමාපිය සංගමයේ සභාපති – ගැමුණු විජේරත්න

 

සයිටම් ප්‍රශ්නය දීර්ඝකාලයක් ඇදුණු ප්‍රශ්නයක්. එය විසඳී ඇති බවයි පෙනෙන්නේ. ඔබලා ජනාධිපති තුමාටත් රජයටත් ස්තූති කර පුවත්පත් දැන්වීමක් පවා පළ කර තිබුණා.

සයිටම් ප්‍රශ්නය 75% ක් පමණ විසඳිලා තියෙනවා. තව සියයට 25% ක් පමණ ඉතිරිවෙලා තියෙනවා. එක ඉතිරිවෙලා තියෙන්නේ දේශපාලඥයන්ගෙ නිලධාරින්ගෙ කඹ ඇදීම් මතයි. ජනාධිපතිතුමාත් යම් යම් ආකාරයේ අපහසු තාවයන්ට පත්වෙලා තිබෙන බව පේනවා. ඉතිරි ටිකත් අපි විසඳා ගැනීමට සාකච්ඡා කළා. අපි බලාපොරොත්තු වෙනවා සයිටම් සිසු ප්‍රශ්නය ඉක්මනට විසඳෙයි කියල.

කොතනද දැන් ගැ‍ටළුව හිරවෙලා තියෙන්නේ? එයට හේතුව කුමක්ද?

දැනට ගැටළුව වෙලා තියෙන්නෙ, සයිටම් එකේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට යොමු කළත්, ඒ වෙනුවෙන් නිකුත් කළ කැබිනට් පත්‍රිකාවේ වරහන් ඇතුළෙ සඳහන් වෙලා තියෙනවා, කොතලාවල වෛද්‍ය පීඨය යන්නට අමතරව සයිටම් කියලා. ඒක අපිට බරපතල ප්‍රශ්නයක්. අපි කියන්නේ සයිටම් නම ආදේශ නොකර කොතලාවල වෛද්‍ය පීඨයේ වෛද්‍ය උපාධිය විතරක් ලබාදෙන්න කියලයි.

උදෘත තුළ සටහන් වෙලා තියෙන ‘සයිටම්’ කියන කොටස ඉවත් කළොත් පුශ්නය විසඳෙනවද?

සයිටම් එක දැන් අසාදු ලේඛන ගතවෙලා තියෙන්නේ. 2015 සැප්තැම්බර් මාසේ 4 වෙනිදා වෛද්‍ය සභාව විසින් සයිටම් අසාදු ලේඛනයට ඇතුළත් කර තියෙනවා. ඒක මුළු ලෝකෙටම බලපානවා. දැනට වෛද්‍ය සභාවේ අනුමැතිය නැති නිසා තමයි වෛද්‍ය උපාධියට ති‍යන ගැටළුව. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් උපාධිය සඳහා අවසරය ගත යුතුයි. සයිටම් ආයතනය මේ වෙනතෙක් එය ලබාගෙන නැහැ. ඒකෙන් තමයි ‍සයිටම් ප්‍රශ්නය පැන නැගුණෙ. කොතලාවල පීඨයට වෛද්‍ය සභාවේ අනුමැතිය තියනව. එයට 2014 වර්ෂයේ ම, එනම් වර්තමාන ජනාධිපති සෞඛ්‍ය ඇමති වෙලා හිටපු කාලයේ දී ම ඒකට අනුමැතිය ලබා දී තිබෙනව. එය පාර්ලිමේන්තුවෙ පනතකින් සම්මත වෙලා තියෙනව. කොතලාවල වෛද්‍ය පීඨය කියන්නෙ එකක්, සයිටම් එක කියන්නේ තව එකක්. ඒදෙකම ඒකාබද්ධ කරනව නම් නැවත පාර්ලිමේන්තු පනතකින් සම්මත කරගැනීමට අවශ්‍යයි. ඒක ප්‍රායෝගික නැහැ. ඒකට සියිටම් විරෝධි කණ්‍ඩායම් ඉඩදෙන්නේ නැහැ. සයිටම් එකේ තියන ප්‍රමිතිය මත වෛද්‍ය සභාවේ අනුමැතිය ලබා දෙන්නෙ නැහැ. එ‍තකොට මේක දෙමුහුන් කිරීම ප්‍රශ්නයක්.

ප්‍රශ්නය විසඳන්න ජනාධිපතිවරයාට සැබෑ වුවමනාවක් තිබුණ නම් එවැනි තත්ත්වයක් මතු වෙයිද?

පෙරවාරි මාසෙ 20 වෙනිදා ජනාධිපතිවරයාට අපේ ගැටළුව පිළිබඳව දැනුම් දුන්නා. ඒ අනුව තමයි ජනාධිපතිතුමා 21 වෙනිදා තීන්දුවක් ගත්තේ මේක ඒකාබද්ධ කරන්න. මේ පිළිබඳව කමිටුවක් දාලා තිබුණා. මේ කමිටුවෙන් තමයි සයිටම් යන්න මෙයට ඇතුළත් කරල තියෙන්නේ. එයින් ආයෙමත් ප්‍රශ්නයක් ඇති වුණා.

සයිටම් කොතලාවල පීඨයට අනුබද්ධ කිරීම නිසා කොතලාවල වෛද්‍ය පීඨයේ සිසුන්ගේ විරෝධතාවයක් නැද්ද? සයිටම් සිසුන්ටත් එය ප්‍රශ්නයක් නැද්ද?

කොතලාවල වෛද්‍ය පීඨයේ අවසන් විභාග‍යට අපේ සිසුන් පෙනී සිටිනව නම් එතන කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක උදාහරණයක් කියනව නම්, පහුගිය යුද්ධය කාලේ යාපනේ ළමයි, කොළඹ විශ්වවිද්‍යාලය ඇතුළු දිවයිනේ අනෙක් විශ්වවිද්‍යාලවල ඉගෙන ගත්තා. නමුත් යාපනේ ළමයි යාපනේ විශ්ව විද්‍යාලෙයි විභාගෙට වාඩි වුණේ. ඒ ළමයින්ට ලැබුණේ යාපනේ විශ්ව විද්‍යාලෙ උපාධිය. ඒ වගේ සයිටම් එකේ ඉගෙන ගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ, විභාගය කරන්නේ කොතලාවල වෛද්‍ය පීඨයේ ප්‍රමිතියට අනුව නම් ප්‍රශ්නයක් නැහැ. ළමයින්ගේ දක්ෂතාවය අනුව ළමයි සමත් වෙන එක අසමත් වෙන එක ළමයින්ගෙ වැඩක්. දක්ෂ අදක්ෂ බව මනින්නේ විභාගයෙන්.

මෙයට ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා දෙමාපිය සංගමය එකඟද?

ඔව්. ඒ පිළිබඳව ගැටළුවක් නෑ. දක්ෂ අදක්ෂ තාවය අනුව ළමයි පාස් ෆේල් වෙයි.

සයිටම් විරෝධි සටනේ පෙරමුණේම සිටි කණ්ඩායමක් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය. අන්තරය මේ තීන්දුව සමඟ සටන අතඇරියද? ඔවුන් කියන්නේ කුමක්ද?

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය කියන්නේ, රජයේ ‍විශ්ව විද්‍යාල පද්ධතියේ වෛද්‍ය පීඨවලට මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළත් කරන්න කියලයි. එහෙම කරන්න ‍ගියොත් ආයෙත් යම් යම් ගැටළු නිර්මාණය වෙන්න පුළුවන්. අපි හැම තිස්සෙම කළ යුත්තේ ප්‍රායෝගික ගැටළු නොඑන සාධනීය දේවල්. අධිකරණයට නොගොස් විසඳාගත හැකි ක්‍රියාමාර්ගයි අපි ගත යුත්තේ.

දැනටමත් පිටරටවල පදිංචි අපේ රටේ දරුවො ලන්ඩන් ඒ ලෙවෙල් කරලා වෛද්‍ය විද්‍යාව හදාරන්න කොතලාවල වෛද්‍ය පීඨ‍යට එනවා. ඒ පදනමෙන් තමයි සයිටම් ළමයින්ව එයට ඇතුළත් කරගන්නේ. හමුදාවේ ඉන්න කැඩෙට් නිලධාරින් එයට බඳවා ගන්න පදනම වෙන එකක්.

කොතලාවල වෛද්‍ය පීඨය රජයේ වෛද්‍ය විද්‍යාල මට්ටමේ ම එකක් ද?  ගෙවීම් කළ යුතු පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ද?

මා දන්නා තරමින්, විදේශ වල පදිංචි ලාංකියන්ගෙ දරුවො, ලන්ඩන් ඒ ලෙවෙල් පාස්වෙලා  එන ළමයි, ගෙවීමක් කරලයි ඉගෙන ගන්නේ. ඒ පදනමේ තමයි සයිටම් ළමයින්වත් එයට ගන්නේ. මේක පටන් ගත්තේ ගෝඨාභය රාජපක්ෂ මහත්තායා ආරක්ෂක ලේකම් වශයෙන් ඉන්න කාලේ. ත්‍රිවිධ හමුදා සාමාජිකයන් කැඩෙට් නිලධාරින් වශයෙන් බඳවාගෙන වෛද්‍ය උපාධිය ලබා දුන්නා. ඊට අමතරව පිටරට පදිංචි ලාංකික පුරවැසියන්ගේ දරුවන්ට ලංකාවට ඇවිල්ලා වෛද්‍ය උපාධිය ගන්න පහසුකම් සලසා දුන්නා.

විදේශිය ළමයින්ටත් එහි ඉගෙන ගන්න හැකියාවක් තියෙනවද?

දැනට නැහැ. විදේශයන්හි පදිංචි ශ්‍රී ලංකික පුරවැසියන්ගෙ දරුවන්ට පමණයි කැඩෙට් නිලධාරින්ට අමතරව ඉගෙන ගන්න හැකියාව තියෙන්නේ.

මේ ආකාරයෙන් ප්‍රශ්නය නිරාකරණය වේගෙන යන විට සයිටම් එක පැත්තෙන් පුවත් පත් දැන්වීමක් දානවා එහි දේපළ විකිණීමට තිබේ කියල. රජය කලින් ප්‍රකාශ කළා සයිටම් දේපළ රජයට පවර ගත්තා කියල. මොකක්ද ඒ ඇතිවී තිබෙන ගැටළු සහගත තත්ත්වය?

සයිටම් එක විකුණනවා කියන්නේ නෙවිල් ප්‍රනාන්දු මහත්තයගෙ දේපළ ප්‍රශ්නයක් උඩ කරන දෙයක්. රජය පාර්ශ්වයෙන් මේක පවරගත්තා කියල ප්‍රකාශ කළත් මෙය තවම නෙවිල් ප්‍රනාන්දු සතු දේපළක්. එයා මේකට බිලියන 2.5ක් ණයක් අරගෙන තියෙනව. ණයක් තියෙද්දී මොනම දේපළක්වත් පවරාගන්න හැකියාවක් නැහැ. ඒ පවරා ගැනීම ප්‍රායෝගික නෑ. ඒක සම්පූර්ණයෙන්ම මුදල් ගෙවලා රජයට පවරා ගත්ත නම් ආරවුලක් නැහැ. පවරා ගැනීමේ දී කරපු වැරැද්ද නිසා තමයි ඔහුට විකිණීමට හැකියාව තියෙන්නෙ. මුදල් ගෙවා පවරා ගැනීමේ කොන්දේසිවලට අනුව තමයි පවරා ගත්තේ. සෞඛ්‍ය ආමාත්‍යාංශයෙන් ඒ‍ කොන්දේසි ඉටු කෙරුවෙ නෑ. නෙවිල් ප්‍රනාන්දු මහත්තයා හිරවෙලා ඉන්නේ ණය ගෙවා ගන්න බැරුව. ඔහුට සයිටම් සිසුන්ගෙ ආදායම නෑ. ඔහු බරපතල මූල්‍ය අර්බූදයකට පත් වෙලා තියෙනව. ආණ්ඩුව ඔහු පිළිබඳව සානුකම්පිතව බැලිය යුතුයි.

එය පවරා ගැනීමේ දී තිබෙන නීතිමය පැත්ත ගැන රජය කල්පනා කෙරුවෙ නැද්ද? රජයේ නීති අංශ මේවා ගැන නොදැනුවත්ද?

ඒක තමයි එතන තියන ප්‍රශ්නය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වරයා එහි වගකීම ගතයුතුයි. දැනටමත් මාසයකට මිලියන 300ක් විතර නෙවිල් ප්‍රනාන්දු රෝහලට රජය ‍දෙනවා. මෙසේ මුදල් දීම අනාගතයේ ප්‍රශ්නවලට තුඩු දෙන හේතුවක්. රජයක් මීට වඩා දූරදර්ශීව කටයුතු කළ යුතුයි.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *