උනුත් එකයි මුනුත් එකයි – උදිත මංගල යටියන්තොට

ලොකුගේ ගේ කම්මුල් පහරට මරික්කාර් ගෙන් බෙල්ලට පහරක්. චමින්දට වටකරගෙන ගහලා. කාවින්දට සිහි නැති වෙයි. දිනේෂ් නාමල් සෙංකෝලය උත්සන්න වලිකාලා. ප්‍රසන්න රනවීරට කම්මුල් පහරක්. ප්‍රසන්න රණතුංගගෙන් චමින්ද විජේසිරිට කනේ පහරක්. ගාමිණී ලොකුගේ පුටුවක් මත ඇද වැටෙයි. රෝහිණී කවිරත්න ගුටිකෙළියට හිරවෙයි.

ඒ ගමේ චණ්ඩි දෙපිරිසක් අතර ඇති වූ ගුටි කෙළියක් පිළිබඳ වාර්ථාවක් හෝ නගරයේ සංගීත සංදර්ශනයක දී තරුණ රස්තියාදුකාරයන් දෙපිරිසක් අතර සිදු වූ ගැටුමක වාර්තාවත් හෝ නොව 2018 පළමු පාර්ලිමේන්තු සැසිය පිළිබඳ වාර්තාවකින් උපුටාගත් කොටස් කීපයකි.

ගැටුම ඇති වූයේ බැඳුම්කර වාර්තාව පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් නොහොත් පැහැදිලිකිරීමක් කළ අවස්ථාවේ දී බව මේ වන විට නොදන්නා කෙනෙක් නැත. මෙරට පමණක් නොව විදෙස් රටවලට පවා සමාජ ජාල වෙබ් අඩවි ආදිය ඔස්සේ එකී ලජ්ජාසහගත සිදුවීම ප්‍රවාරය වී අවසන්ය. සිදුවීම් පෙළ අනතර්ජාලය ඔස්සේ නරඹන පිටරැටියකු ශ්‍රී ලංකාව පිළිබඳ කුමක් සිතනවා ඇද්ද? මෙරට පාර්ලිමේන්තුව පිළිබඳ ඔවුන් කවර තක්සේරුවකට පෙළඹෙනවා ඇත්ද? කලෙක මෙරට මිනී කන්නන්ගේ දේශය ලෙස පිටරැටියන් අතර මතයක් පැතිරි තිබුණාසේ මෙරට උත්තරීතර පාර්ලිමේන්තුව පිස්සන් කොටුවක ශාඛාවක් ලෙසත් මෙරට පොදු ජනතාව පිස්සන් පාර්ලිමේන්තුවට තෝරා යවන මෝඩයන් පිරිසක් ලෙසත් පිටරැටියන් සිතනවාට සැකයක් නැත. ශ්‍රී ලංකාව නමැති දිවයින විදේශිකයන් හමුවේ සැහැල්ලුවටත් අපකීර්තියටත් ගර්භාවටත් ලක්වන්නට එම සිද්ධිය හොඳටම පුමාණවත්ය.

දැන් අප කල්පනා කළ යුත්තේ මෙරට යහපාලනය ගොඩනැගීමට අප විසින් තෝරාපත්කර පාර්ලිමේන්තුවට යැවූ පිරිසත් පැරණි දූෂිතයන් කියා අප විසින් පරාජය කරන්නට යෙදුණු මහින්දවාදීන් අතරින් පාර්ලිමේන්තුවේ ඉතිරිව සිටින පිරිසත් අතර වෙනස කුමක් ද යන්නය.

බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසමේ වාර්තාව, සිද්ධිය ඇති වූ දිනය වනවිට පාර්ලිමේන්තුවට ලැබී නොතිබුණි. ගැටුම ඇති කරගන්නට ඒකාබද්ධ විපක්ෂය යොදාගනු ලැබුවේ ද පාර්ලිමේන්තුවට ඒ වනවිට බැඳුම්කර ජනාධිපති කොමිසමේ වාර්තාව නොලැබී තිබීමය.

බැඳුම්කර කොමිසමේ වාර්තාව සභාගතකර නොතිබුණ වුවද රනිල් වික්‍රමසිංහ මහතා සභාවට ඉදිරිපත් කර තිබුණේ ඉතා වැදගත් මෙන්ම බලවත් කාරණා රැසකි. බැඳුම්කර සිද්ධිය පිළිබඳ මුලින්ම කතිකාවත ඇරඹුණේ 2015 මාර්තු මාසයේ දී බවත් ඒ වහාම අගමැති වරයා විසින් නීතිඥ ගාමිණි පිටිපන මහතා ගේ සභාපතිත්වයෙන් යුතුව නීතිඥයන් තිදෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කළ ආකාරයත් එහිදි වික්‍රමසිංහ මහතා පැහැදිලි කර දුන්නේය.

එකී කමිටුව, බැඳුම්කර සිද්ධි පිළිබද වැඩිදුර විමර්ශනයක් අවශ්‍ය බව නිර්දේශ කළ බවද එම වාර්තාව 2015 මැයි 19 අගමැතිවරයා විසින් සභාගත කෙරුණු බව හා 2015 මැයි 31 ඒ පිළිබද පාර්ලිමේන්තුවේ විවාද කළ බවත් සිය පැහැදිලිකිරීමේ දී අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

කෝප් කමිටුව හරහා ද ඒ පිළිබද පරික්ෂා කළ බව, කෝප් කමිටු වාර්තාව 2016 ඔක්තෝම්බර් 28 පාර්ලිමේන්තුවේ සභාගත කළ ආකාරය. 2017 ජනවාරි 24 පාර්ලිමේන්තුව කෝප් කමිටු වාර්තාව පිළිබද විවාද කළ බව පෙන්වා දුන් ඔහු,

ඒ අතරතුර 2016 ඔක්තෝම්බර් 31 එම වාර්තාව සහ විගණනාධිපතිවරයා කෝප් කමිටුවට ඉදිරිපත් කර තිබූ විශේෂ විගණන වාර්තාව තමා විසින් පාර්ලිමේන්තුවේ සභානායක ලේකම් මාර්ගයෙන් නීතිපතිවරායාට යොමු කළ බවද පාර්ලිමේන්තුවට පෙන්වා දී තිබුණි.

එපමණක් නොව තමා,

  • ශ්‍රී ලංකා මහබැංකුවේ නිලධාරින් වරදක් කර තිබේද?
  • නියමිත කාර්ය පටිපාටියෙන් බැහැරව කටයුතු කර තිබේද?
  • ඊට බැංකු අධිපති අර්ජූන් මහෙන්ද්‍රන් මහතා වගකිව යුතුද?
  • එසේ නම් ඔවුනට විරුද්ධව ගත හැකි නීතිමය පියවර මොනවාද?

යන්න පිළිබද අග්‍රමාත්‍ය ‍ලේකම් වරයා මාර්ගයෙන් නීතිපතිවරයාගෙන් උපදෙස් විමසූ බවද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයේ සඳහන් විය.

  • නීතිපතිවරයා ඉල්ලා සිටින සියලුම වාර්තා සහ ලිපි ලේඛන කතානායකවරයාගේ අවසරය මත නීතිපතිවරයාට ලබා දෙන ලෙස දැන් වූ බව,‍
  • ඒ අනුව නීතිපතිතුමා විසින් වෙනම නීතිඥ මණ්ඩලයක් පත්කර කටයුතු කරමින් සිටින බව,
  • සේවක අර්ථසාධක අරමුදලේ අවභාවිතයන් පිළිබද සැකයක් මහබැංකු අධිපතිවරයා දැන් වූ බව,
  • නීතිපතිගේ උ‍පදෙස් ලබාගෙන ඒ පිළිබද විමර්ශනයක් කරන්නට මහබැංකු අධිපතිවරයාට දැන් වූ බව,
  • මහබැංකු අධිපතිවරයා සිය විමර්ශන වාර්තාව 2017 ජුනි 9 විගණකාධිපතිවරාට යොමු කළ බව,
  • බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රමවේදය, ක්‍රියාපටිපාටිය ගැනත් බැඳුම්කර නිකුත් කිරීමෙන් අලාභයක් සිදු වී ඇති ද යන්න සොයාබැලීම පිළබදත් තමා ලෝක බැංකුවෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලිඛිතව කරුණු විමසූ බව,
  • බැඳුම්කර වෙන්දේසියක අලාභය තක්සේරු කිරීමේ ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයන් පිළිබද ඔවුන් දැනුවත් නැති බව එම ආයතන දෙක දැන් වූ බව ආදි වශයෙන් බැඳුම්කර සිද්ධිය පිළිබදව අග්‍රාමාත්‍යවරයා එනම් එදා – මෙදාතුර ගත් සියලු ක්‍රියාමාර්ග අග්‍රාමාත්‍යවරයා සිය විශේෂ ප්‍රකාශය මගින් ඉතා පැහැදිලිව පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කර තිබුණි.
  • 2016 ‍නොවැම්බර් 07 මහබැංකුවේ මුදල් මණ්ඩලය විසින් පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ මෙහෙයුම් කටයුතු සීමා කමින් සහ සමාගම සතු මුදල් බැහැර කිරීම වළක්වාලමින් නියෝග නිකුත් කළ බව,
  • 2017 ජුලි 06 එම සමාගමේ සියලු ව්‍යපාරික ක්‍රියාකාරකම් තහනම් කළ බව, 2018.01.05 දින සිට එම තහනම දීර්ඝ කර ඇති බව,
  • එම සමාගමේ ගිණුම් ගත රුපියල් බිලියන 12ක් ශ්‍රී ලංකා මහබැංකුව බාරයේ රඳවාගෙන ඇති බව,

ආදි වශයෙන් පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම සම්බන්ධයෙන් ආණ්ඩුව මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග ද ඒ ප්‍රකාශයේ ගැබ්විය.

ගැටුම ඇති වූ බව සඳහන් වන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බැඳුම්කර පරීක්ෂණය පිළිබඳ වි‍ශේෂ ප්‍රකාශය කරමින් සිටියදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් විරෝධතා ‍පෝස්ටර් රැගෙන සභාව මැදට පැන උද්ඝෝෂණය කළ අවස්ථාවේ දීය.

තමන්ගේ කාලයේ එනම් 2008 – 2014 කාලයේ බැඳුම්කර නිකුතුව පුද්ගලික ඍජු නිකුතු මගින් බවත් එහි විනිවිදභාවයක් නොතිබු බවත් ඒකාබද්ධ විපක්ෂ‍ය නොදන්නවා නොවේ. තමන්ගේ කිල්ලෝටයේ හුණු තිබෙන බව දැන දැනම එකල සිදු වූ වැරදි ගැන පරීක්ෂණයක් පවා නොකළ බවත් දැන දැනම ඒකාබද්ධ විපක්ෂ උත්සාහ කළේ, සිය සුපුරුදු මජර දේශපාල‍නයේ නියැලෙමින් බොරු ගැලරි ෂෝ එකකින් ළඟ එන පුංචි ඡන්දයට වාසියක් සලසා ගන්නටය. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය බාධාවකින් තොරව කෙරුණේ

නම් සිදුවන්නට තිබුණේ ඒකාබද්ධය ඉල්ලු විවාදයේ දීම ඔවුන්ගේ රෙදි ගැලවී යාමය.

එය එසේ වන්නට ඉඩ ‍නොදි එක්සත් ජාතික පක්ෂයේ පිරිස ඒකාබද්ධයේ විරෝධයට මැදිහත් වීමෙන් සිදු වූයේ අග්‍රාමාත්‍යවරයාගේ උත්සාහයේ හරය සහ බලය අහෝසි වීමයි.

මහින්ද රාජපක්ෂ කල්ලිය පරාජය කර යහපාලනය සඳහා පිරිසක් පත්කර ගැනීමෙන් ජනතාව අපේක්ෂා කළේ යහපාලන සඳහා පත්වන පිරිස මහත්මා දේශපාලනයට පාර්ලිමේන්තුවට පාර පෙන්වනු ඇතැයි කියාය.

නමුත් මේ වන විට මරික්කාර්, සිඩ්නි ජයරත්න, හෙක්ටර් ආප්පුහාමි, තුෂාර ඉඳුනිල්, මුජිබර් රහුමාන් වැන්නවුන් ඔප්පුකර ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයත් ‍තමනුත් අතර කෙස්ගසක තරමින්වත් වෙනසක් නැති බවයි.

ඒකාබද්ධ විපක්ෂයේ පිරිසට තම නොහික්මුණුකම ප්‍රදර්ශනය කරන්නට ඉඩ හැර නිහඬව සිය නායකයා වන අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයට සවන් දීමට තරම් විනයක් එක්සත් ජාතික පක්ෂයට තිබුණේ නම්, යහපාලනය වෙනුවෙන් පෙනී සිටි ජනතාවට සතුටු වන්නට තිබුණි. දෙමළ ජාතික සන්ධානයේත්, ජනතා විමුක්ති පෙරමුණේත් මන්ත්‍රිවරුන්ට හිසනමා ආචාර කළ යුතු වන්නේ ඔවුන් එදින දැක් වූ මහත්මා හැසිරීම වෙනුවෙනි.

ඒකාබද්ධයේ පිරිසටත් ඔවුන් සමග කරට අතදාගෙන මඩට පැන හත්පොළේගාගත් එක්සත් ජාතික පක්ෂයේ පිරිසටත් කියන්නට සිදුවන්නේ උනුත් එකයි මුනුත් එකයි කියා මිස අන් යමක් නොවේ. තමන්ගේ ගෝලබාලයන් පිරිස හරිහැටි පාලනය කරගත නොහැකිව විශේෂ ප්‍රකාශ කරන්නට ගිය අගමැතිවරයාට අනේ පවු! කියනු හැර අන් යමක් සිතාගන්නට නොහැකිය.

උදිත මංගල යටියන්තොට

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *