ජෝකර්ලාගේ අම්බලම – මහාචාර්ය මිල්ටන් රාජරත්න – පේරාදෙණිය විශ්ව විද්‍යාලය
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මිල්ටන් රාජරත්න
සෙනෙට් සභාව 1971 ඔක්කොම්බර් 21 දිනදී අහෝසි කිරීමෙන් පසු 1972 මාර්තු 22 දින ජනරජ ව්‍යවස්ථාව මගින් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වෙනුවට තෝරා පත් කරගනු ලැබූ මන්ත්‍රීවරු 168 දෙනෙකුගෙන් සමන්විතවූ ජාතික රාජ්‍ය සභාව පිහිටුවා ගනු ලැබීය.වර්ෂ 1978 දී සම්මත කළ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ව්‍යවස්ථාව මගින් කොට්ඨාස ඡන්ද ක්‍රමය අහෝසි කර ඒ වෙනුවට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයින් තෝරාපත් කර ගන්නා සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දුන්නේය.මෙම ක්‍රමය යටතේ පාර්ලිමේන්තුව මන්ත්‍රීවරු 225 දෙනකුගෙන් සමන්විත වන අතර ඉන් මන්ත්‍රීවරු 196 දෙනක් තෝරා පත්කර ගනු ලබන්නේ මහජන ඡන්දයෙනි.ඉතිරි 29 දෙනා ඒ ඒ පක්ෂ ලබාගත් ඡනද ප්‍රමාණය පදනම් කර ගනිමන් ලබා දෙන කෝටාවක් මත පත්වන අතර ඒවා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ලෙස හැඳින්වෙයි.
මෙම සියලු මන්ත්‍රී ධූර සඳහා ඍජුව හා වක්‍රව මහජන කැමැත්ත බලපාන බව කවුරුත් පිළිගන්නා සත්‍යයකි.වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පරාමාධිපත්‍ය බලය හිමිව තිබෙන මහජනතාව තමන් සතු එම බලය උරගා බලන්නාවූ එක් ප්‍රධාන අවස්ථාවක් ලෙස මැතිවරණය පෙන්වා දිය හැකිය.ව්‍යවස්ථාව මගින් දක්වා තිබෙන පරාමාධිපත්‍ය බලය අනුව විධායක,ව්‍යවස්ථාදාකයක පමණක් නොව අධිකරණයට පවා ඉහළින් සිටින්නේ ජනතාවය.වෙනත් අයුරකින් පවසන්නේ නම් මෙම ආයතන ත්රිත්ත්වය නියෝජනය කරන්නාවූ සියලු දෙනා මහජනතාවගේ සේවකයින්ය.
ප්‍රතිපත්තියක් නැතිකම
තම ඡන්දය හෙවත් පරමාධිපත්‍ය බලයේ එක් ප්‍රධාන අවස්ථාවක් ප්‍රයෝජනයට ගනිමින් ජනතාව ව්‍යවස්ථාදායකය සඳහා මන්ත්‍රීවරු පත්කර යවන්නේ ඒ තුළ තමන්ව නියෝජනය කිරීමේ අරමුණිනි.පරාමාධිපත්‍ය බලය ජනතාවට හිමි වුවත් සෑම කාර්යකදීම ජනමතය විමසීම ප්‍රායෝගිකව කළ නොහැකි බැවින් ජනතාව නියෝජනය කිරීම පිණිස පාර්ලිමේන්තුවට පත්කර යවනු ලබන මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව තුළ තමන්ව නිසි අයුරින් නියෝජනය කරන්නේද යන ගැටලුව අද ජනතාවට මතුව තිබේ.නීතී සම්පාදනය සඳහා උරදෙන්නාවූ මෙරට උත්තරීතරම ස්ථානය යැයි සලකන පාර්ලිමේන්තුව නියෝජනය කරන්නාවූ මහජන නියෝජිතයින් නඩත්තු කිරීම සඳහා වසරකට වැය කෙරෙන ජනතා මුදල් ප්‍රමාණය රුපියල් ලක්ෂ 24000 කි.
පාර්ලිමේන්නතුව රැස්වන එක් දිනක් සඳහා රුපියල් ලක්ෂ 40 ක් වැය වෙයි.පාර්ලිමේන්තු සැසිවාරයකට සහභාගී වීම වෙනුවෙන් තවත් අමතරව සහභාගී වීමේ දීමනාව වශයෙන් රුපියල් 2500.00 ක්ද මන්ත්‍රීවරයකුට ලැබේ.ජනතාවගෙන් බදු ලෙස අය කරගනු ලබන මුදල්වලින් මේසා විශාල මුදල් ප්‍රමාණයක් වැයකර රැස්වන පාර්ලිමේන්තුව තුළින් මහජන අභිලාෂයන් නිසි අයුරින් සිදුවන්නේද යන්න පිළිබඳව ජනතාව ප්‍රශ්න කරන්නට පටන් ගෙන සෑහෙන කාලයක් ගතව තිබේ.එසේ නමුත් ඒ පිළිබඳ මහජන නියෝජිතයින් කන්දෙන ස්වභාවයක් දක්නට නොලැබේ.ඊට ආසන්නම උදාහරණය පසුගියදා බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ දක්නට ලැබිණි.
නිදහසින් පසු ගෙවුණු දශක හතක කාලය තුළ රටක් ලෙස අප නිවැරදි මාවතක ගමන් කළේද යන්න පිළිබඳව ප්‍රශ්න කරන්නට සිදුව තිබෙන්නේ එකල අප පසුපසින් සිටි සිංගප්පූරුව වැනි රටවල් අප පසුකර ආර්ථික අතින් ගව් ගණනක් ඉදිරියට පියමන් කිරීම නිසාය.බලයේ සිටි සෑම පක්ෂයක්ම මෙයට එක ලෙස වගකිව යුතුව තිබේ.රට කරවන ආණ්ඩුවලට පැහැදිලි ප්‍රතිපත්තියක් නොතිබූ සේම ආණ්ඩු නියෝජනය කළ මන්ත්‍රීවරුන්ටද ප්රතිපත්තියත් නොතිබූ බව පසුගිය කාලය පුරා පැහැදිලිව දක්නට ලැබිණි.නිරන්තරව සිදුවූ පිල් මාරුවීම් ඊට හොඳම උදාහරණ ය.
මේ නිසාම විද්වත් සභාවක්ව කලක් පැවැති මෙරට පාර්ලිමේන්තුව ක්‍රමයෙන් ජෝකර්ලාගේ අම්බලමක් බවට පත් වෙමින් තිබෙන බව කණගාටුවෙන් වුව කිව යුතුව ඇත.ජනතාව සතු පරාමාධිපත්‍ය බලය සංකේතවත් වන්නාවූ ඡන්ද බලය මුදලට ලබාගෙන පාර්ලිමේන්තු පැමිණීමට මනාප ඡන්ද ක්‍රමය ඔස්සේ වැඩි ඉඩක් විවර වීමේ ප්‍රතිඵලය වූයේ නුසුදුස්සන් රැසක් මහජන නියෝජිතයන් බවට පත්වීමය.ජනතා සේවය පසෙක තබා තමන් සහ පවුල පෝෂණය කිරීම මූලික කරගත් දේශපාලනඥයින් රැසක් පාර්ලිමේන්තු ඒමෙන් සිදුවූයේ උත්තරීතර පාර්ලිමේන්තුවේ උත්තරීතර බව ක්‍රමයෙන් හෑල්ලුවට ලක් වීමය.නීතියෙන් දඬුවම් විඳිය යුතු අය නීති සම්පාදනය කිරීමේ කාර්යයේ නියැලෙන්නට වරම් ලබද්දී සියල්ල අවරට ගමන් කරනු විනා සිදුවන වෙනත් දෙයක් නොමැත.
ඩඩ්ලි, ඇන්. ඇම්, ජේ. ආර්
ඩඩ්ලි, බණ්ඩාරනායක, කොල්වින්, ඇන්.ඇම්, ජේ.ආර් වැන්නන් එදා පාර්ලිමේන්තුව තුළ කළ කී දෑ පිළිබඳව අදද අපි කතා කරන්නෙමු.හැන්සාඩ් වාර්තාවක් ගෙන ඔවුන් එදා කළ කතාවක් අධ්‍යන්‍යය කිරීමේදී ඉගෙන ගත හැකි කරුණු බොහෝය. එහෙත් අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය.පර්ලිමේන්තු සංවාද වලට කන්දී යමක් ඉගෙන ගැනීමට පැමිණෙන පාසල් දරුවන්ට ඉගෙන ගැනීමට ලැබෙන්නේ කුණු හරුප ය.මේවා දැක දරුවන් නොමඟ යාහැකි බැවින් පාර්ලිමේන්තු රැස්වීම දැක ගැනීමට පැමිණි දරුවන් පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත් කිරීමට කතානායකවරයා පියවර ගත් වාර බොහෝය.පාර්ලිමේන්තුව තුළ ඉතා ඉහළ තලයත තිබිය යුතු වාද විවාද අද පවතින්නේ මාළු මාර්කට් එකක සිදුවන සංවාද මට්ටමකය.
ඇණුම් බැණුම් පරුස වචන
වාද විවාදවලට වඩා දැන් එහි දක්නට ලැබෙන්නේ ඇණුම් බැණුම්ය. සංවර වචන වෙනුවට පරුස වචන ය.උපහාසය වෙනුවට අපහාස ය.ව්‍යාපාරිකයාගේ කාර්යභාරයත්,පොලීසියේ කාර්යභාරයත්,පතාල දාමරිකයාගේ කාර්යභාරයත්,සල්ලාලයාගේ කාර්යභාරයත් එකවර කළ හැකි සහ එසේ කර පෙන්වන මන්ත්‍රීවරු රැසක් අද පාර්ලිමේන්තුවේ සිටින බව සිවිල් සමාජයේ මතයයි.ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යන මහජන නියෝජිතයින්ට මහජන සේවයට වඩා කාලය වැය කිරීමට සිදුව තිබෙන්නේ ව්‍යාපාර ප්‍රවර්ධනය කර ගන්නටය.
තමන්ගේ ගෝල බාලයින් නීති විරෝධී වැඩවල නිරත වෙත්දී ඇතැම් මන්ත්‍රීවරු ඔවුන් රකින්නේ පොලීසියේ කාර්යභාරය අතට ගෙනය.මහජන නියෝජිතයකු ලෙස ලැබෙන අසීමිත බලය මොවුන් යොදවන්නේ මිනිස්සු ගස් බඳින්නටය.නැතහොත් කාන්තානන් දූෂණය කරන්නටය.එසේ කර ජුබිලි දැමූ දේශපාලනඥයින්ද මෙරට සිටි බව අප අමතක නොකළ යුතුය.පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බොහෝ දෙනකුට මත්පැන් අළෙවි සල් ඇත.නැතහොත් ඔවුන්ගේ ඥාතීන්ට තිබේ.මෙරට උත්තරීතරම ස්ථානය නියෝජනය කරමින් අප වෙනුවෙන් තීන්දු තීරණ ගනු ලබන පිරිස කවුරුන්ද යන්න පිළිබඳ ජනතාවට නිවැරදි තක්සේරුවක් තිබිය යුතුය.
දේශපාලනඥයින්ගේ විනය බරපතළ ලෙස පිරිහී තිබෙන බව පෙන්වා දීමට අමුතුවෙන් කරුණු අවශ්‍යය නොවන්නේය.පාර්ලිමේන්තුව නියෝජනය කරන්නාවූ ජ්‍යෙෂ්ඨයින් අවස්ථා ගණනාවකදී මේ බව පෙන්වාදී තිබේ.රට හදන්නට පෙර මන්ත්‍රීවරු තමන්ගේ විනය හදා ගතයුතු බව මහජනතාව පවසන්නේ මෙම පසුබිම තුළය.වත්මන් යහපාලන ආණ්ඩුව පිහිටුවීම සඳහා පදනම වැටුණු පසුගිය ජනපතිවරණයෙන් පසු දින 100 ක වැඩපිළිවෙළක් හඳුන්වා දුන් අතර මහජන නියෝජිතයින් සඳහා ආචාර ධර්ම පද්ධතියක අවශ්‍යතාව පිළිබඳව එහි අන්තරගතව තිබිණි.එහෙත් එය ක්‍රියාත්මක වන බවක් මෙතෙක් දක්නට නොලැබෙන අතර එහි ප්‍රතිඵල දැන් තවත් පැහැදිලිව අපට අත් විඳින්නට ලැබී ඇත.
බෝම්බ තර්ජන
හිටපු ජනපති ජේ.ආර් ජයවර්ධන මහතා විසින් 1982 අප්‍රේල් මස 29 දින වත්මන් පාර්ලිමේන්තු සංකීර්ණය විවෘත කර අද වනවිට වසර 35 ක් පමණ ගතව තිබේ.පාර්ලිමේන්තුවට 1987 වසරේ බෝම්බ ප්‍රහාරයක්ද එල්ලවූ අයුරු අපට මතකය.නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු සිදුවෙමින් තිබියදී ඇතැම් මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට බොම්බ බැඳ ගෙන පනින්නට යෝජනා කළ අවස්ථාද මෑත ඉතිහාසයේ අසන්නට ලැබිණි. පර්ලිමේන්තුව තුළ දක්නට ලැබෙන මෙම නොහික්මුණු හැසිරීම් රටාව ක්‍රමයෙන් පහළට කාන්දු වෙමින් තිබේ.අද ගමේ මරණාධාර සමිතියේද,පාසල් සංවර්ධන සමිතියේද,ක්‍රීඩා සංගමයේද දක්නට ලැබෙන්නේ වැඩි වශයෙන් ගැටුම්ය.
පහළ ස්ථරය නිවැරදි මඟ යෑමට නම් ඉහළ ස්ථරයේ සිට අප වෙනුවෙන් තීන්දු තීරණ ගන්නා පිරිස ආදර්ශවත් විය යුතුය.පවුලක මව පියා ගැටුම් ඇතිකර ගන්නේ නම් දරුවන්ටද එම ආභාෂය ලැබීමේ වැඩි ඉඩක් පවතී.අද පාසල්,විශ්ව විද්‍යාල පද්ධතිය තුළ මෙන්ම රාජ්‍ය අංශයේද විනයක් නොමැති බව අපි කවුරුත් පිළිගන්නා සත්‍යයකි.
පාර්ලිමේන්තුව සම්ප්රදායානූකූලවත්,විනයානුකූලවත්,අර්ථාන්විතවත් පවත්වා ගෙන යෑමට අවශ්‍ය ස්ථාවර නියෝග මාලාවක් තිබේ.1978 දී සම්මත කළ ශ්‍රී ලංකා ප්රජාත්නත්රවාදී ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 74 වන ව්‍යවස්ථාව මගින් ස්ථාවර නියෝග වලට අනුකූලව පවත්වා ගෙන යෑම පිළිබඳව කරුණු දක්වා තිබේ.රටේ නීති සම්පාදනය කරන ස්ථානයේ විනයක් තිබිය යුතුය.මන්ත්‍රීවරුන්ගේ චර්යාවන් පිළිබඳ තීන්දු තීරණ ගත යුත්තේ කතානායක වරයා විසිනි.පාර්ලිමේන්තුවට පත්වන අවස්ථාවේ කිසියම් පක්ෂයක් නියෝජනය කළද කතා නායක ධූරයට පත්වූ පසු පක්ෂ බේද නොතකා ස්වාධීනව කටයුතු කිරීම කතානායකවරයාගේ යුතුකම හා වගකීමය.වර්තමාන පාර්ලිමේන්තුව තුළ ඇහුම් කන් දෙන්නන් අඩුය.හැමෝම උත්සාහ කරන්නේ කතා කරන්නටය.අවස්ථාව ලැබෙන තුරු ඉවසා සිටීමට තරම්වත් පුරුද්දක් ඇතමුන්ට නොමැත.
පාර්ලිමේන්තුවේ රැය පහන් කරමින් කතා නායක අසුනේ පවා ඇතැම් මන්ත්‍රීවරු අසුන්ගත් අයුරු මාධ්‍යය මගින් වාර්තා කළේය.මේවා සම්බන්ධ තීන්දු තීරණ ගැනීමක් පිළිබඳ අපට අසන්නට නොලැබිණි.පාර්ලිමේන්තුවට පත්වු භික්ෂූන් වහන්සේ දේශපාලනයෙන් ඉවත් වීමට තරම් එක්වරක් මෙහි ප්රචණ්ඩත්වය ඉහළ ගියේය.ස්ථාවර නියෝග කඩ කරන අවස්ථාවල මන්ත්‍රීවරුන්ට දඬුවම් හිමිවන්නේ නැත.මේ නිසා අද වැරදි කළ කෙනා හෙටත් එම වරදම කරනු ඇත.සෙංකෝලය ඔසවාගෙන යෑම වීර ක්‍රියාවක් බවට පත්ව තිබේ.පාර්ලිමේන්තුව තුළ සංහිඳියාවක් දක්නට ලැබෙන්නේ මන්ත්‍රී වරප්‍රසාද පිළිබඳ සාකච්ඡා කරන අවස්ථාවල පමණි.සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න මහජන නියෝජිතයින්ට දැන් බොහෝ විට අරහන් වී තිබේ.
ජනතාව වෙනුවට පක්ෂය
පාර්ලිමේන්තුව තිබෙන්නේ මන්ත්‍රීවරුන්ට ජනතාව වෙනුවෙන් වැඩක් කිරීම සඳහා සාකච්ඡා සම්මුතීන් තුළින් එකඟතා ඇති කර ගැනීමටය.පාර්ලිමේන්තුව මැතිවරණ වේදිකාවක් නොවන බව මන්ත්‍රීවරු තේරුම් ගෙන නොමැති බවක් පෙනෙන්ට තිබේ.බොහෝ දෙනෙක් අද පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන්නේ පක්ෂ ප්‍රවර්ධනය කිරීම සඳහා වන වැඩපිළිවෙළක පිහිටා සිටය.තමන් ජනතාව විසින් පත් කළේ පක්ෂය වෙනුවෙන් නොව ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට බව මන්ත්‍රීවරු තේරුම් ගැනීම වැදගත්ය.මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවට යෑම පිණිස පක්ෂයක් නියෝජනය කරමින් ඡන්දයට ඉදිරිපත් වීම සාමාන්‍ය තත්ත්වයකි.රටේ යම් කරුණක් පිළිබඳව පක්ෂයකට මතයක් තිබිය හැකිය.එම මතය වෙනුවෙන් මන්ත්‍රීවරු පෙනී සිටීම වරදක්ච නැත.
පක්ෂය වෙනුවෙන් හා පක්ෂයේ මතය වෙනුවෙන් පෙනී සිටීම යනු එකක් නොව දෙකකි.වරප්‍රසාද වැනි කාරණා වලදී පක්ෂය වෙනුවෙන් කතා කිරීම වරදක් නැති වුවත් සෑම කාරණාවකදීම පක්ෂය ඉදිරියට දමා කටයුතු කිරීම ගැටුම් රැසකට මූලික හේතුව බවට පත්ව ඇත.
නුසුදුස්සන් පාර්ලිමේන්තුවට පැමිණ සිදුකරන විගඩම් දැන් දශක දෙක තුන පාර්ලිමේන්තුව නියෝජනය කළ ජ්‍යෙෂ්ඨයින්ද වැලඳ ගෙන තිබෙන බවක් දක්නට ලැබේ.එය ඉතා අවාසනාවන්ත තත්ත්වයකි.දිනෙන් දින සේදී යන පාර්ලිමේන්තුවේ ගෞරවය රැක ගැනීම සඳහා ආචාර ධර්ම පද්ධතියක අවශ්‍යතාව එක් පසෙකින් තිබියදී තවත් සුවිශාල කාර්ය භාරයක් පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ට පැවරී තිබේ.ඒ පාර්ලිමේන්තුව ආදර්ශවත් ලෙස පවත්වාගෙන යෑමට කැපවීමය.මේ කෙළෙසී යමින් තිබෙන්නේ තමන් දශක දෙක තුනක් තිස්සේ ගොඩනගා ගත් කීර්තිය බව ඔවුන් තේරුම් ගෙන කටයුතු කිරීම වැදගත්ය.

