යක්ෂයා තොප්පිය මහින්ද දා ගනියි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය සිකුරාදා යළි දිවයිනට පැමිණියේ කටාර් රාජ්‍යයේ කළ සාර්ථක නිල සංචාරයකින් පසුවයි. එම සංචාරයේදී ශ්‍රී ලංකාව හා කටාර් අතර සහයෝගිතා ගිවිසුම් හතකට අත්සන් තැබීමද සිදුවුණා. බල ශක්ති සහයෝගීතාවයද ඒ අතර වනවා. එයින් මෙරට එල්. එන්. ජී. විදුලි බලාගාර ඉදිකිරීමේ සැලසුම්වලටද ආධාරයක් ලැබෙනු ඇතැයි විශ්වාස කෙරෙනවා.

ජනාධිපතිතුමාගේ සංචාර‍යේදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කළමනාකරණයට කටාර් රාජ්‍යයේ සම්බන්ධ වීමේ හැකියාව ගැනත් කටාර් එමීර්වරයාගේ අවධානය යොමු කරන්නට හැකි වුණා. සංචාරය අතරතුර කටාර්හි සිටින ශ්‍රී ලාංකිකයන් හමුවීමටද ජනාධිපතිතුමා අමතක කළේ නැහැ. යහපාලන රජය රටට නිදහස ලබා දුන් බව එහිදී ජනාධිපතිතුමා කීවා. නව ව්‍යවස්ථාවක් සැකසීම ගැන මෙරට මුද්‍රිත මාධ්‍ය ජනතාවට වැරදි තොරතුරු ලබාදෙන බව ජනාධිපතිතුමා කටාර්හි ශ්‍රී ලාංකිකයන්ට පැවසුවා.

පැපිලියානේ සුනේත්‍රාදේවි පිරිවෙනේ කඨින පූජා පින්කම පසුගිය ඉරිදා පැවැත්වුණා. එම පින්කමට සහභාගි වූ ජනාධිපතිතුමා විහාරයේ ඉදිකළ නව වාහල්කඩ හා නව සම්මන්ත්‍රණ ශාලාව විවෘත කිරීමටද එක් වුණා. එහිදී කතා කරමින් ජනාධිපතිතුමා කීවේ ජාතික ප්‍රශ්නයට විසඳුම රට බෙදීමවත්, කැඩීමවත්, පාවා දීමවත්, නොවන බවයි. සිංහල දෙමළ, මුස්ලිම්, හින්දු, ඉස්ලාම්, ක‍තෝලික සියලු ජනකොටස් අතර ස‍හෝදරත්වය සහජීවනය ඇතිවන හා බෞද්ධ දර්ශනය තුළ ගොඩ නැ‍ඟෙන සමාජයක් බිහිකිරීමේ කාර්යයට සියලු දෙනා කැපවිය යුතු බවද ජනාධිපතිතුමා කීවා.

මෙහිදී කතා කළ සුනේත්‍රාදේවි පිරිවෙනේ විහාරාධිපති මැදගොඩ අභයතිස්ස හිමියන් ප්‍රකාශ කළේ ජාතික ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් දිය හැක්කේ ජනාධිපතිතුමාට පමණක් බවයි. බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, ඇමැති දයා ගමගේ, නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ, පළාත් ඇමැති ගාමිණී තිලකසිරි, හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග මහත්ම මහත්මීන් ඇතුළු සම්භාවනීය විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

මහනුවර අර්ල් රිජන්සි හෝටලයේදී සඳුදා පැවති ජාත්‍යන්තර ගම්මිරිස් ප්‍රජාවගේ 45 වන සංවත්සරයට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වුණා. එහිදී කතාකරමින් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ අපනයන කෘෂිකර්මය වර්ධනය කර ගැනීම සෑම රටකම ප්‍රධාන ආදායම් මාර්ගයක් වී ඇති බවයි. එහි වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිතුමා කෘෂි නිෂ්පාදන අපනයනය වර්ධනය කර ගැනීමට රජය මෙන්ම පෞද්ගලික අංශයද අවධානය යොමු කළ යුතු බව පෙන්වා දුන්නා.

මෙහිදී කතා කළ ප්‍රාථමික කර්මාන්ත සංවර්ධන අමාත්‍ය දයා ගමගේ මහතා ප්‍රකාශ කළේ ගම්මිරිස් ගොවියාට සහන දෙන්න මෙදා අයවැයෙන්ද මුදල් වෙන්කර ගැනීමට කටයුතු යොදා තිබෙන බවයි. මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාද මෙම අවස්ථාවට සහභාගි වුණා.

ජාතික සහජීවන, සංවාදතා සහ රාජ්‍ය භාෂා අමාත්‍යාංශය මඟින් පවත්වනු ලැබූ ජාතික මහා සමුළුව කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. එයට සහභාගී වූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා අදහස් ලබාගැනීමට පළමුවෙන්ම පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල සමුළුවක් කැඳවන බවයි. ඉන් අනතුරුව සර්ව ආගමික සමුළුවක් කැඳවා අදහස් ලබාගන්නා බවත් පසුව විද්වතුන් හා වෘත්තිකයන්ගේ සමුළුවක් කැඳවා අදහස් ලබාගන්නා බවද ජනාධිපතිතුමා පැවසුවා. ඒ අනුව නව ව්‍යවස්ථාව සැකසීමට අදාළ සාකච්ඡා සමුළු තුනක් ඉදිරි කාලයේදී කැඳවීමට ජනාධිපතිතුමා සූදානම් බව පැවසුවා.

පසුගිය සති අන්තයේ අගමැතිවරයා ශ්‍රී ලංකා ආර්ථික සංගමයේ වාර්ෂික රැස්වීමට එක්වී රටේ ආර්ථිකය හා එහි ගමන්මග ගැන විශේෂ හෙළිදරව්වක් කළා . ඒ අවස්ථාවේ එහිදී ඊට පැමිණ සිටි බොහෝ ආර්ථික විශේෂඥයින්ගේ නළල රැලි ගැන්වුණා.

“ලංකාවේ ණය බර ගැන අපි කතාකරනවා. ඒත් කලාපයේ වෙනත් රටවල් එක්ක සංසන්දනය කරල නැහැ. මම මේ ගැන අධ්‍යයනය කළා. මේ කලාපයේ වැඩිම ණය බර ඇති රට ශ්‍රී ලංකාව. ඉදිරි කෙටි කාලය තුළ අපට රු.කෝටි ලක්ෂ 03ක් ගෙවන්න තියෙනවා. ආණ්ඩුව භාරගන්නකොට භාණ්ඩාගාරය හිස්.ණය ගෙවන්න රටේ ආදායම මදිවෙලයි තිබුණේ. ඒත් දැන් ආර්ථිකය හොඳ තැනකට ගේන්න අපි සමත් වී තිබෙනවා. පසුගිය රජය යටතේ සේවා ආර්ථිකය විතරයි යන්තමින් ඔළුව උස්සලා තිබුණේ. නිෂ්පාදන ආර්ථිකය සම්පූර්ණයෙන්ම වැටිලා තිබුණු නිසා අපනයන වැටුණා. ඒ නිසා රටට එන ආදායමත් බින්දුවට වැටිල තිබුණේ. එහෙම රටක් අපිමේ ගොඩගත්තේ. ආර්ථික හා වාර්ගික ගැටලු ඉතිරි නොකර මේ රටත් ජනතාවත් ගොඩගන්නවා” අගමැතිවරයා එහිදී කී දේවල්වලට සියලු දෙනාගෙන්ම හිමි වුණේ දැඩි ප්‍රශංසාවක්.

අගමැතිවරයා බ්‍රහස්පතින්දා උදේම අරලියගහ මැදුරට ගියේ හත්වන ලෝක බෞද්ධ සමළුව අරලියගහ මැදුරේදී ඇරැඹිම සඳහායි. ජනාධිපතිවරයාද ඊට එක්වූ අතර රටවල් 42ක හිමිවරු හා බෞද්ධ නියෝජිතයෝ 2000ක් ඊට එක්වුණා.

ඊශ්‍රායලයේ සිට යළි සියරට යමින් සිටි ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් මහතා පැය 03ක කෙටි නිල සංචාරයක් සඳහා ලංකාවට පැමිණියා.සාගල රත්නායක ඇමැතිවරයා විසින් ඔහු පිළිගෙන අරලියගහ මැදුරට කැඳවාගෙන පැමිණි අතර අගමැතිවරු දෙදෙනා උදේ ආහාර ගත්තේ එකටමයි. ඉන්පසුව දෙරට අතර වෙළෙඳ ගිවිසුමක් ද අත්සන් කළ අතර මලික් සමරවික්‍රම ඇමැතිවරයාත් එම අවස්ථාවට එක්වුණා. අනතුරුව ජනපති නිල නිවසට ගොස් සාකච්ඡා කිරීමෙන් පසු ඕස්ට්‍රේලියානු අගමැතිවරයා යළිත් සියරට බලා යාමට පිටත්වුණා. බොදු සමළුවට එක්වීමට හා අගමැතිවරයා හමුවීමට පැමිණි මැති ඇමතිවරු අගමැතිවරයා හමුවූයේ ඉන් අනතුරුවයි.

“පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සභාවක් කරලා යෝජිත නව ව්‍යවස්ථාව ගැන ආණ්ඩුව ලබාදුන් විවාදය නැගල ගියා. අන්තිමට තවත් වේලාව ඉල්ලුවේ ව්‍යවස්ථාවට විරුද්ධව කතාකරපු අයමයි. අද හා සඳුදා දෙකක් අපි ලබාදුන්නේ අපට හංගන්න දෙයක් නැති නිසයි” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීවා.

“සමහර අපේ හාමුදුරුවරු නොමග යවන්න විපක්ෂයේ අය උත්සාහ කළා. අන්තිමට නව ව්‍යවස්ථාවක් එපා කියල සමහර හාමුදුරුවරු කියපු දේ එකම පක්ෂයක්වත් ඇහුවෙ නෑ. හැමෝම තමන්ගෙ අදහස් එළිපිට පළ කරමින් මේ විවාදයට එක්වුණා” පී.හැරිසන් කීවා.

“සුසිල් ප්‍රේමජයන්ත කීව්වේ. නව ව්‍යවස්ථාවක් නෙවෙයි බඩගින්න නිවන්න ඕන කියලයි. ශ්‍රීලනිප අයම ඔහුගේ මතයට විරුද්ධව කතාකළා. අනික බඩගින්නෙ මැරෙන මිනිස්සු ලංකාවෙ නොමැති බව ඔහු නොදැන සිටීම පුදුමයි” කවදත් කියනදේ කෙළින්ම කියන රන්ජන් රාමනායක එයට උත්තර දුන්නේ එහෙමයි.

“අගමැතිතුමා මගේ සංවිධායකකම ඉවත්කළේ ඇයිදැයි මිනිස්සු අහන දේට මම දෙන උත්තරේ මොකක්ද” රන්ජන් ඇසුවේ අගමැතිවරයාගෙන්.

“ඔයාට ආසනයක් නෙවෙයි ගම්පහ දිස්ත්‍රික්කයම භාරදුන්නා. අනික ඔයාට තියෙන වැඩ රාජකාරි එක්ක ආසනයක් බලන්නත් වෙලාව නැහැ නේද? ඔයාට මිනිස්සු ආදරේ නිසා ඡන්ද ලබාගැනීමේ ප්‍රශ්නයක් නැහැ. ඉතිං මොකක්ද ප්‍රශ්නය” අගමැති ඇසුවේ උස් හඬින් සිනාසෙමින්.

“බදාදා ව්‍යවස්ථා විවාදයේදී ඒකාබද්ධ විපක්ෂයේ යෝජනා හා ඇමිණුම්වල තිබුණු දේවල් කියවල ඒ බොහෝදේට ආණ්ඩුවත් එකඟයි; මොකක්ද දැන් තියෙන ප්‍රශ්නය කියල අගමැතිතුමා ඇහුවම ඒකාබද්ධ අය වැටුණා. ඒ හුඟ දෙනෙක් මට කිව්වේ ලොක්ක අපිව බිත්තියට හේත්තු කරල හිරකළා කියලයි. අපේ බෙල්ලන්විල නාහිමි ඇතුළු අපේ ගෞරවනීය නාහිමිවරු දැන් මොකක්ද දන්නෙ නෑ කියන්නෙ” වජිර අබේවර්ධන ඇහුවා.

“ව්‍යවස්ථාව ලබන වසරේ සම්මත කළ හැකි වේවි කියලයි රටේ හුඟ දෙනෙක් කියන්නෙ” දයා ගමගේ කීවා.

“දැන් කවුරුත් කෑගහපු පළාත් පාලන ඡන්දයට මුහුණ දීමට මූලිකත්වය දීමයි කාගේත් වගකීම . ඒත් ව්‍යවස්ථාව ඕනවට වඩා අදින්න බෑ. කාගේත් අදහස් මත අලුත් රටක් ඉක්මනින් බිහිකළ යුතු වෙනවා. එතකොට රටේ ඉදිරි ගමන වේගවත් වේවි” අගමැති කීවා.

“ජනාධිපතිතුමා සර්ව පක්ෂ හා සර්ව ආගමික සමළුවක් කැඳවලා ව්‍යවස්ථාව ගැන පැතිරෙන දුර්මත දුරුකරන්න හැදීමත් වටින දෙයක්” දයා ගමගේ කීවා.

“නව ව්‍යවස්ථාවෙන් රටේ ඒකීය බව බුදුදහම ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් රැකලා අලුත් ඡන්ද ක්‍රමයේ මොඩලය අත්හදා බලලා ඒකත් රටටම ආදේශ කරනවට කාටද විරුද්ධ වෙන්න පුළුවන්” අගමැතිගේ කිව්වේ එහෙමයි.

“යුද්දෙ යන කාලෙ මහින්ද ඉන්දියාවට 13+ විසඳුමක් දෙනවා කිව්වා. යුද්දෙ ඉවරවුණාම ඒක කෝ කියල ඔවුන් ඇහුවම තේරීම් කාරකසභාවකින් මිසක් තනියම තීන්දු ගන්න බෑ කියල කාරක සභාව දැම්මා. 72 මැතිනිගෙ හා 77 ජේ.ආර්.ගෙ ව්‍යවස්ථාවට වගේ මහින්දගෙ කාරකසභාවටත් දෙමළ පක්ෂ ආවෙ නෑ. තිස්ස විතාරණ කමිටුව හරහා මහින්ද බොරු කිරීම ඊට හේතුවයි. ඒත් මේ ව්‍යවස්ථාවට සියලු පක්ෂ ඉන්නවා. මේ වගේ චාන්ස් එකක් මේ රටට ආයෙත් ලැබෙන්නෙ නෑ. මේකට විරුද්ධ අය සිටී නම් ඔළු පරීක්ෂා කළ යුතුයි” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ සිනාමැද.

“දැන් සයිටම් වැඩේට ජනාධිපතිතුමා දුන් විසදුම දොස්තර සංගමය, උපකුලපතිවරු ඇතුළු සියලු දෙනා පිළිගන්නවා. ඒත් පටු දේශපාලන කණ්ඩායම් හා නොමග ගිය සිසුන් හා ඒ මාපියන් සුළු පිරිසකට තාම මේක තේරුම් නොයාම පුදුමයක්” දයා ගමගේ කීවා.

“මෙහෙම ගියොත් සිසුන් හා දොස්තරලා ගැටේවි. පෙරටුගාමීන් තනිවේවි” පී.හැරිසන් කීවා.

“ෆයිසර් පළාත්පාලන ඡන්දයට අදාළ ගැසට් එක අත්සන් කිරීම වැස්සක් වැහැල පෑව්වා වගෙයි. ජනවාරි 20-30 අතර ඡන්දය තියාවි” වජිර ඇමැතිවරයා කී ෙද් අගමැතිවරයා අනුමත කළා.

“බේරුවල එජාප-ශ්‍රීලනිප එකතුවෙලා තරග කරන බව රාජිත කිව්වෙ මොකක්ද” ලක්ෂ්මන් කිරිඇල්ල මෙන්ම දයා ගමගේද අගමැතිගෙන් ඇසුවේ එකම ප්‍රශ්නයක්.

“එහෙම එනවා නම් එජා.පෙරමුණෙනුයි එන්න වෙන්නේ. බලමු.. බලමු සාකච්ඡාව සියලු දේට විසඳුම් ගෙනේවි” අගමැතිවරයා පිළිතුරු දුන්නා. .

පසුගිය බදාදා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණියේ වැඩසටහන් දෙකක් යොදාගනිමින්. එකක් වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ගංවතුරින් විපතට පත්වූවන් 995 දෙනකු වෙනුවෙන් රුපියල් 10,000බැගින් වටිනා ගෘහ උපකරණ පිරිනැමීමටයි. අනෙක් කරුණ වූයේ වැලිවිටිය දිවිතුර ”නිල සෙවණ” කාර්යාලයට මුල්ගල් තැබීමයි. මේ උත්සව සඳහා හිටපු අමාත්‍යවරයකු වූ ගුණරත්න වීරකෝන් මහතා ද පැමිණ සිටියා.

ඇමති වජිරට පෙර කතා කළ ගුණරත්න වීරකෝන් මහතා මම කෙටියෙන් කතා කරනවා යැයි කියමින් මහ විස්තරයක් කළා. නමුත් සියල්ලෝ ම මේ විස්තරය අසා සිටියේ විටෙක පුදුමයට පත්වෙමින්.

”මම වජිර අබේවර්ධන ඇමතිතුමාගෙන් වැඳල ඉල්ලනවා. මීට පස්සේ ප්‍රාදේශීය සභාවකටවත් ඕලෙවල් ෆේල් වෙච්ච අය දාන්න එපා කියලා. එහෙම අය සමාජයට වැඩක් කරාවි කියලා හිතලා මම ඒ අයට සභාවට යන්න අවස්ථාව හදල දුන්නා. අද එක්කෙනක්වත් මාත් එක්ක නෑ. මහින්දත් එක්ක ගිහින්. මහින්ද එදා මාව පැරැද්දුවා”යැයි කියමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දෙහි කැපීමට ද ගුණරත්න වීරකෝන් අමතක කළේ නැහැ.

එහි දී ඔහු මෙසේ ද කීවා.

”මම එදා ඡන්දය ඉල්ලන්න ඉස්සෙල්ලා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා සමග කතා කළා. ඒ වෙලාවේ මම ඇහුවා මම ඉල්ලන්න ද කියා. ඉල්ලන්න කියල කිව්වා. නමුත් ඉල්ලන්න කියලා අන්තිමේ දී මාව පරද්දන්න වැඩ කළා. එතුමා සමග ජයග්‍රහණය කරපු අය අද ගංවතුරට අහුවුණු ඔබ බලන්නවත් ආවද ? කෝ එයාලා ? පැත්ත පළාතක නෑ. මොනව ද කළේ ? මේවා අපි තේරුම් ගන්න ඕනේ. ”

ගුණරත්න වීරකෝන් යනු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමග අතිශය සමීපව සිටි පුද්ගලයෙක්. ඔහු අද ජනාධිපතිවරයාගේ දිස්ත්‍රික් කළමනාකරු ධූරයක් දරමින් වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිධූරය ද දරනවා.

හබරාදුව ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක ධූරයේ කටයුතු කරමින් සිටි චන්ද්‍රලාල් අබේගුණවර්ධන මහතා පසුගිය දා ආන්දෝලනාත්මක චරිතයක් වුණා. ඔහු කලකට ඉහත හබරාදුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක, ඇමති චන්දිම වීරක්කොඩි මහතා සමග ගැටුම් ඇතිකරගෙන සිටියත් පසුව ඔහුගේ ගුණ වර්ණනා කරමින් කතා කිරීම ආන්දෝලනයට තුඩු දී තිබුණා.

පසුව එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා සකස් කරන අවස්ථාවක දී ද ඔහු කියා සිටියේ තමන් ඉක්මණින් ම සංවිධායක ධූරයෙන් ඉවත්වන බවයි. නමුත් ඇමති වජිර අබේවර්ධන මහතා ඔහුට එවැනි තීරණයක් නොගන්නා බවත් මැතිවරණයක් ආසන්නව තිබිය දී එලෙස ප්‍රකාශ කිරීම පවා පාක්ෂිකයන් අධෛර්යයට පත්කරන්නක් බවත් කීවා. එසේ වුව ද පසුගිය දා චන්ද්‍රලාල් අබේගුණවර්ධන මහතා හබරාදුව එක්සත් ජාතික පක්ෂ සංවිධායක ධූරයෙන් ඉවත්කර ඒ වෙනුවට තාරක නානායක්කාර මහතා සංවිධායක ධූරයට පත්කර තිබුණා. දකුණු පළාත් සභා මන්ත්‍රී සංජීව් කරුණාතිලක මහතා ද රත්ගම ආසනයේ සංවිධායක ධූරයට පත්කර සිටිනවා.

පසුගිය මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ දිස්ත්‍රික් නායකයා වූ වජිර අබේවර්ධන අමාත්‍යවරයාත් එම මැතිවරණයට මහින්ද පාර්ශවයෙන් තරග කර පසුව මෛත්‍රීපාර්ශවයට එක් වී අමාත්‍යවරයකු බවට පත්ව සිටින චන්දිම වීරක්කොඩි මහතාත් බොහෝ අවස්ථාවල දී අන්ත දෙකක සිටිමින් ගාල්ල ගැන කතා කරන ආකාරය දිගටම සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබුණා .

රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මැදහත්වීමෙන් වෙන්කර ඇති ඉඩමක් සාගර විශ්වවිද්‍යාලයක් සෑදීම සඳහා ලබාගැනීමට චන්දිම උත්සාහ ගනිද්දී ඒ ඉඩම රිච්මන්ඩ් විද්‍යාලයට රැක දීමටත් සාගර විශ්වවිද්‍යාලය වෙනුවෙන් බූස්සේ වෙන්කර ඇති ඉඩම ම යොදා ගැනීම සුදුසු බවටත් වජිර ඇමතිවරයාගේ අදහස වුණා. පසුගිය රජය කාලයේ චන්දිම වීරක්කොඩිගේ මැදහත්වීමෙන් බෙලිගහ ඉදිකරමින් යන උසාවි සංකීර්ණය වෙනත් කාර්යයකට යොදාගෙන නව උසාවි සංකීර්ණයක් බූස්සේ ඉදිකිරීමට වජිර අබේවර්ධන පිඹුරුපත් සකස් කර තිබෙනවා. එසේ වුව ද මේ දෙදෙනා පසුගිය 26 වැනි බ්‍රහස්පතින්දා හබරාදුවේ දී යළි එක්වූණා. ඒ හබරාදුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ බොනවිස්ටාව ”නිල සෙවණ” කාර්යාලය සඳහා මුල්ගල් තැබීමටයි. එතැනින් කතළුවට දෙදනාම යා යුතුව තිබුණා.

”චන්දිම, මාත් එක්ක මගේ වාහනේ යමු” යැයි ඇමති වජිර චන්දිමට යෝජනා කළා.

”නෑ. මම මගේ වාහනේ එන්නම්” යැයි කියූ චන්දිම සිය රථයෙන් ගමන පිටත් වුණා. කතළුව ”නිල සෙවණ” කාර්යාලයටත් මුල්ගල් තැබූ දෙදෙනා අනතුරුව හබරාදුව ගංවතුරින් අවතැන් වූවන් සඳහා ගෘහ උපකරණ බෙදාදීමට එක්වූණා. ඒ සඳහා ඒ වනවිටත් එක්සත් ජාතික පක්ෂයේ හබරාදුව ආසන සංවිධායකවරයා වූ චන්ද්‍රලාල් අබේගුණවර්ධන මහතා ද හිටපු සංවිධායකවරයකු හා හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයකු ද වූ ලයනල් ඉපලත්ත මහතා ද එක්ව සිටියා.

”නිල සෙවණ” කාර්යාල ඉදිකරන්නේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අරමුදලින්. ග්‍රාම නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා රුපියල් ලක්ෂ 20 බැගින් වියදම් කර කාර්යාල 1000 ක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. ගංවතුර ආධාර ලබා දීම සිදුකළේ ද ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබුණු මූල්‍ය ආධාරයෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයැවීමෙන්.

නොවැම්බර් 01 බදාදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වෙයන් පාර්ලිමේන්තුවේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ සඳහා සියලුම ආයතන හා සංස්ථාවල ප්‍රධානීන් කැඳවා තිබුණා. ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන ආකාරය හා එක්සත් ජාතික පක්ෂයේ සැලසුම් පිළිබඳ එහි දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළා. ඉන් අනතුරුව අදහස් දැක්වීමේ අවස්ථාව හිමිවූයේ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාටයි. ඉදිරි මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීමේ අවශ්‍යතාව හා එය කළ හැකි ආකාරය පිළිබඳ වජිර ඇමතිවරයා සියලු දෙනාට සවිස්තරව පැහැදිලි කළා. ඉදිරි මැතිවරණය මෙහෙයවීමේ දී එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන බලකාය ඇතුළුව විශාල වගකීමක් ඇමති වජිර අබේවර්ධනට පක්ෂයෙන් පවරා තිබේනවා. ඇමතිවරයාගේ අදහස් දැක්වීමෙන් අනතුරුව මලික් සමරවික්‍රම, කබීර් හෂීම් සහ සජිත් ප්‍රේමදාස යන අැමැතිවරු ද අදහස් දැක්වුවා.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේ ක්‍රියාවලියට ප්‍රචණ්ඩ ලෙස විරෝධ පෑමේ උත්සාහය නිසා ඒකාබද්ධ විපක්ෂය හා ජාතික නිදහස් පෙරමුණද දෙකඩ වන තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතු බවට කළ ප්‍රකාශය දැන් ඔහුගේ පක්ෂයට බෝම්බයක් වී තිබෙනවා. පක්ෂයේ ජාතික සංවිධායක පියසිරි විජේනායක මහතා දිගින් දිගට කියන්නේ මෙම ප්‍රකාශය ගැන වීරවංශ මහතා ජාතියෙන් සමාව ගත යුතු බවයි. විමල්ගේ ප්‍රකාශය පක්ෂයේ අදහස නොවන බවත් එයින් පක්ෂයට සිදුවන හානිය වළක්වා ගැනීමට තමන් ඉදිරිපත් වූ බවත් විජේනායක මහතා ප්‍රකාශ කළා.

මේ අතර පසුගිය සතියේ රැස් වූ ජානිපෙ දේශපාලන මණ්ඩලයට විමල් වීරවංශ මහතා යෝජනාවක් ගෙන ආවේ පියසිරි විජේනායක මහතා ජාතික සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමටයි. එසේ වුවද එම යෝජනාව දේශපාලන මණ්ඩලයේ අනුමත වුණේ නැහැ. විජේනායක මහතා ඉවත් කළ බවට නිවේදනයක් නිකුත් කරන ලෙස පක්ෂයේ ලේකම්වරයාට දැනුම් දුන්නද එයද ඉටු වූයේ නැහැ. මේ අනුව ජාතික නිදහස් පෙරමුණ දෙකඩ වන බව පෙනෙන්නට තිබෙනවා.

ගෝඨාභයගේ “වියත් මග” රැස්වීමකදී කමල් ගුණරත්න මහතා ද්‍රෝහීන් මරා දැමිය යුතු බව කීම නිසා ඒකාබද්ධ විපක්ෂයේ ගැටුමත් තව පැත්තකින් වර්ධනය වෙලා. බැසිල් රාජපක්ෂ මහතා මහින්ද රාජපක්ෂ මහතාට කීවේ මෙම ප්‍රකාශය නිසා තමන්ගේ වැඩ කටයුතුවලට විශාල පහරක් වදින බවයි. ගෝඨාගේ කට්ටිය අපිව විනාශ කරනවා යයි බැසිල් මහින්දට කීවා. මහින්ද රාජපක්ෂ මහතා ද එය අනුමත කළා.

මේ අතර තිස්සමහාරාමයේ බෙරලුගල පැවැති රැස්වීමකදී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යාපනයේ කතාව ගැන හෙළිදරව්වක් කළා. ජනාධිපතිවරයා යාපනයට ගොස් තමාට යකා කියලා බනින බව රාජපක්ෂ මහතා කීවා. එසේ වුවද ජනාධිපතිතුමා යාපනයේදී කීවේ ‘මාව දුර්වල කරන්න එපා. මාව දුර්වල කළොත් යක්ෂයා ශක්තිමත් වනවා” කියායි. යක්ෂයා කවුදැයි ජනාධිපතිතුමා කීවේ නෑ. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා තොප්පිය දා ගනිමින් යකා තමා බව කියා තිබෙනවා.

සති අන්තයේ මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාව බලා පිටත්ව ගියේ ජාත්‍යන්තර ආගමික සමුළුවකට සහභාගි වීම සඳහායි. ඔහු සමඟ මහාචාර්ය ජී.එල්.පීරිස්, උදිත ලොකු බණ්ඩාර, ලොහාන් රත්වත්තේ ඇතුළු පිරිසක්ද ඉන්දියාව බලා ගියා.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *