උතුරේ ඉඩම් අත්පත් කරගෙන ඉන්නේ ආරක්ෂාවට නොව ව්‍යාපාර කරන්න- අමාත්‍ය මනෝ ගනේෂන්

මේ රටේ ජනතාව ඉතාමත් දිගු කාලයක් බරපතල යුද්ධයකට මුහුණු දී සිටි බව අපි දනිමු. එම යුද්ධයෙන් උතුරු/නැගෙනහිර දෙමළ ජනතාවට පමණක් නොව සිංහළ ජනතාවට මෙන්ම මුස්ලිම් ජනතාව ඇතුළු සෑම ජන කොටසකට ම බලවත් ලෙස හානි සිදු වී තිබේ. ඒ හානිය සමාජීය මෙන්ම ආර්ථික වශයෙන් බෙදා වෙන්කොට දැක්විය හැකි ය. මේ අතර දේශපාලන වශයෙන් සිදු වූ හානිය ද ඉතා බරපතල ය. ප්‍රජාතන්ත්‍රවාදය නැතිවී යෑම දේශපාලනික හානිය ලෙස හැඳින්විය හැක. උතුරේ යුද්ධය අවසන් වූ වහාම රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැවතත් ස්ථාපිත වනු ඇතැයි බොහෝ දෙනාගේ බලාපොරොත්තුව වූ නමුත් උතුරේ පමණක් නොව දකුණේ ද ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූයේ බලවත් තර්ජනයකි. සුදුවෑන් සංස්කෘතිය උතුරට පමණක් නොව දකුණුට ද පොදු විය.
එම කාලය තුළ සිවිල් සමාජ සංවිධාන හා පුරවැසි සංවිධාන ඉදිරියට ඒමට හැකියාවක් තිබුණේ ද නැත. කොටි සංවිධානයට එරෙහි යුද්ධයට දකුණේ සමස්ථ ජනසමාජය ආකර්ෂණය වී තිබු මොහොතක එයට එරෙහිව හඬ නැගුවේ අතලොස්සක් වූ පිරිසකි. ඔවුනගෙන් සමහරෙක් අතුරුදන් කළ අතර ඇතැමෙකුට රට හැරදා යන්නට සිදුවිය. සාමාන්‍ය ජනතාවට පමණක් නොව මෙයට එරෙහිව හඬනැගූ රවි රාජ් වැනි දෙමළ නායකයින්ට ද ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූ අතර මට ද මරණිය තර්ජන එල්ල විය. කෙසේ නමුත් නොයෙකුත් පුරවැසි සංවිධාන අලුතෙන් නිර්මාණයවිම කෙරෙහි අප ඇතුළු දකුණේ සිමිත පිරිසක් නැගූ හඬ හේතු වූවාට සැක නැත. මෙහි අවසාන ප්‍රතිඵලය වූයේ ජනවාරි 08 රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනය අවසන් කිරීමට හැකිවීම ය.
යුද්ධය තුළ තමන්ට සිදු වූ අකටයුතුකම් ගැන සොයා බැලීමට සහ ඔවුන්ට යුක්තිය ඉටුකිරිම වෙනුවෙන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම සමග ශ්‍රි ලංකා ආණ්ඩුව එකග වූ බව ප්‍රකට ය. දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට කල්පවතින දේශපාලන විසඳුමක් සොයාගැනීම පහසුකරනු වස් ඔවුන්ට යුක්තිය ඉටුවිය යුතු තිබේ. ලංකාවේ අධිකරණ පද්ධතිය කිසියම් ප්‍රගතියක් අත්කරගෙන ඇති අතර එය තවදුරටත් දියුණු කළයුතුව තිබේ. දෙමළ ජනතාවට සාධාරණයක් ඉටුවිමට නම් ජාත්‍යන්තරයේ සහාය මේ පරික්ෂණය සඳහා අත්‍යවශ්‍ය බව මාගේ පිළිගැණිම ය. මේ පිළිබඳව ආණ්ඩුව තුළ ඒකමතිකත්වයක් නැති බව රහසක් නොවේ. මේ ආණ්ඩුව පක්ෂ ගණනාවකින් සමන්විත වන ආණ්ඩුවක් වන හෙයින් එය පුදුමයට කාරණයක් නොවේ.
මෙයට අමතරව දෙමළ ජනතාවට යුක්තිය ඉටුකිරීමට නම් උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඔවුන්ට හිමි ඉඩම් ඔවුන්ට ලබාදිය යුතුව තිබේ. කොටි සංවිධානය දැන් නැත. ඒ නිසාම ඈත සිට පහර දියහැකි කාල තුවක්කු පිළිබඳ බියක් තබා ගැණිමට හේතුවක් නැත. නොයෙකුත් හේතු දක්වමින් දෙමළ ජනතාවගේ ඉඩකඩම් තව දුරටත් හමුදාව සන්තකයේ තබා ගැණිම ඒ නිසා කිසිසේත්ම අනුමත කළ නොහැකි ය. වෙරළට ආසන්නව තිබෙන ඇතැම් ඉඩම් හමුදාව භාරයේ තබාගෙන ඉන්නේ ආරක්ෂක හේතු නිසා නොව නිවාඩු නිකේතන මෙන්ම ගොවි පලවල් පවතිවාගෙන යෑම වෙනුවෙනි. ආරක්ෂාව පිණිස හමුදාව මේ ඉඩම් තබාගෙන සිටින්නේ නම් ඒ ඉඩම් ආරක්ෂක වැඩ පිළිවෙලක් වෙනුවෙන් යොදවාගත යුතු ය. එසේ වන්නේ නම් ආරක්ෂක හමුදාව ඉඩම් අත්පත් කරගෙන සිටිම සාධරණය කළ හැක. සාමාන්‍ය ජනතාවගේ ඉඩම් වෙනත් ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් යොදැගෙන තිබීමෙන් පෙන්නුම් කරන්නේ රටේ ආරක්ෂාවට මුවා වී ව්‍යාපාරික කටයුතු සඳහා එම ඉඩම් තබාගෙන සිටින බව ය. දෙමළ ජනතාවට යුක්තිය ඉටුවිමට නම් මේ ඉඩම් ඒවායේ හිමිකරුවන්ට නැවත භාරදිය යුතු ය. යුද්ධය අවසන්වී වසර 5ක් පමණ ගතවී ඇතත් හමුදාවේ මනස තවමත් වෙනස් වි නැත. යුද්ධය වෙනුවෙන් ගොඩනැගූ හමුදාව යුද්ධයක් නැති තත්ත්වයක් තුළ එසේම තබා ගැනිමට සුදුසු නොවේ. කෙසේ නමුත් යුද්ධය අවසන් වි ඇති හෙයින් වැඩි සෙබලු නිකම්ම ගෙවල්වලට යැවිය නොහැකි බව ද අප තේරුම්ගත යුතු ය. කෙසේ නමුත් මේ කටයුතු ඉක්මනින්ම අවසන්කළ යුතුව තිබේ.
මේ අතර නව ආණ්ඩු ක්‍රම ව්‍යචස්ථාවක් සම්පාදනය කිරීිමේ වැඩකටයුතු පසුගිය 8වෙනිදා අපි ආරම්භ කලෙමු. මා ද එහි මෙහෙයුම් කමිටුවේ සාමාජිකයෙකු වන අතර අනු කමිටු ඉදිරියේ දි පත් කෙරෙනු ඇත. මේ මාසය අවසන්වන විට ලාල් විජේනායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් මහජන අදහස් ලබාගැනීමේ කොමිසමේ වාර්තාව ලැබෙන්නට නියමිතව ඇත. මේ වනවිට නව ව්‍යවස්ථාවේ ප්‍රධාන කරුණු දෙකක් පිළිබඳව පූර්ව නිගමනයකට පැමිණ ඇති බවක් පෙනෙන්නට තිබේ. එයින් එකක් වන්නේ නව ව්‍යවස්ථාවේ ද ඒකිය යන්න සඳහන් වියයුතු බවට දකුණේ ජාතිකවාදින් කරතිබෙන ප්‍රකාශය වේ. මේ සම්බන්ධයෙන් මගේ අදහස වන්නේ වචනවල එල්ලි සිටිමේ උවමනාවක් නැති බව ය. දැන් ඉන්දිනු ව්‍යවස්ථාව දෙස බැලීමෙන් මෙහි ඇති නිරර්ථක බව බෙහෙවින් වටහෙනු ඇත. ඒකීය ඇසකින් බලන්නෙකුට ඉන්දියානු ව්‍යවස්ථාව ඒකිය ව්‍යවස්ථාවක් ලෙස පෙනෙන අතර සන්ධිය ඇසකින් බලන්නකුට ඉන්දියාව ෆෙඩරල් රටක් ලෙස පෙනෙනු ඇත. එහෙයින් ඒකිය යන්න ව්‍යවස්ථාවේ සඳහන් වූවාට දෙමළ ජනතාවට කලබල වෙන්නට හේතුවක් නැති අතරම නව ව්‍යවස්ථාවේ බලබෙදීමක් අනිවාර්යෙන්ම තිබිය යුතු වේ
පලාත් සභාවලට දැනට ලබාදී ඇති බලතල හෝ ප්‍රයෝජනයට නොගැනීම හේතු කොටගෙන බලය බෙදීම අසාර්ථ බවට මතයක් තිබේ. විශේෂයෙන් ම උතුරේ පලාත් සභාවට වෙන්කර ඇති මුදල් ප්‍රයෝජනයට නොගැනීම නිසා වසර අවසානයේ භාණ්ඩාගාරයට නැවත ඒ මුදල් පැමිණිම මෙයට හේතු වී ඇත. උතුරේ පලාත් සභාව මෑතක දී පිහිට වු හෙයින් ඒ අයට අත්දැකීමක් නැතිවීම මෙයට හේතු වී තිබේ. එය ප්‍රායෝගික ප්‍රශ්ණයක් මිස බලය බෙදීමේ ඇති වරදක් නිසා සිදු වූ දෙයක් නොවේ. උතුරේ පලාත් සභාව ක්‍රියාත්මකකර ගැනීමට කවුරුත් සහාය වියයුතුව ඇත. පත්කර ඇති පලාත් සභාව ලබා දී ඇති බලතල ප්‍රයෝජනයට නොගන්නේ නම් උතුරේ ජනතාව එම පාලකයින් ඉවත් කිරීමට ඊ ළග මැතිවරණයේ දී කටයුතු කරනු ඇත.
අනික් කාරණය වන්නේ ව්‍යවස්ථාවේ ආගමික ස්වරූපය වේ. මගේ මතය අනුව රාජ්‍ය හැමවිටම අනාගාමික වියයුතු ය. සියලුම ජනතාවට තම තමන්ගේ ආගම ඇදහිමේ නිදහස ආරක්ෂා කළයුතු නමුත් රාජ්‍යයට ආගමක් අවශ්‍ය වන්නේ නැත. ආගම යන්න පෞද්ගලික කාරණයකි. උදාහරණයක් ලෙස මා ආගම් අදහන්නේ නැත. මා පමණක් නොව එසේ ආගම නොඅදහන බොහෝ දෙනෙක් සිටිති. ආගමකට ව්‍යවස්ථාවෙන්ම විශේෂ ස්ථානයක් ලබාදීමෙන් අනිකුත් ආගමිකයින්ට අසාධාරණයක් වනවා පමණක් නොව අනාගමිකයින්ට ද එයින් අසාධාරණයක් සිදුවේ.
වත්මන් ආණ්ඩුව පක්ෂ කිහිපයකින් සමන්විත ආණ්ඩුවක් වන හෙයින් සෑම කරුණක් සම්බන්ධයෙන් ඒකමතික බවක් නොපවති. කෙසේ නමුත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරිම මෙන්ම ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමේ වගකිම මේ ආණ්ඩුවට පැවරී තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට වත්මන් ආණ්ඩුව දැනටමත් පියවරගෙන ඇත. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට අමතරව තොරතුරු දැනගැනීමේ පනත තවත් පියවරකි.
ඊ ළග කාරණය වෙන්නේ ආර්ථික සංවර්ධනයක් ඇතිකර ගැනීම ය. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව විශාල වශයෙන් ණයට මුදල්ගෙන, සැළසුමක් නැතිව හිතුමනාපයට ආරම්භ කළ කිසිදු ව්‍යපෘතියකින් ආදායමක් ලැබෙන්නේ නැත. නමුත් ඒ ණය මුදල් නව ආණ්ඩුවට ගෙවන්නට සිදුවී තිබේ. අනික් එක ලබාගත් ණය මුදල්වලින් වැඩි හරියක් රාජපක්ෂලා ඇතුලු ඒකාබද්ධ විපක්ෂයේ සිටින වැඩිදෙනා සක්කුවේ දමාගෙන තිබේ. මේ දූෂණයන්ට එරෙහිව මේ වනවිටත් පරික්ෂණ ආරම්භ වී ඇති අතර සමහර පරික්ෂණ නිම වී තිබේ. ඉදිරි මාස කිහිපයේ දී ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට නියමිත බව වගකීමේන් යුතුව ප්‍රකාශ කළ හැක. ඒකාබද්ධ විපක්ෂය යැයි කියා ගන්නා මොවුන් ජාතිවාදය අවුස්සන්නට උත්සාහ ගන්නේ රටට ඇති ආදරය නිසා නොව තමන්ට ඇති චෝදනාවලින් ගැලවෙන්නට ය. ජාතිවාදය හරහා දේශපාලන බලවේගයක් ගොඩනැගීමෙන් මේ චෝදනාවලින් ගැලවී යෑමට ඔවුන් උත්සහා දරන්නේ වී නමුත් ජූනි මාසය පමණ වනවිට මොවුන් අතරින් කිහිප දෙනෙකු අත් අඩංගුවට පත්වන බව නම් ස්ථිර ය. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ පුද්ගලයින් සම්බන්ධයෙන් විනය පියවර ගැනීම ඒ පක්ෂයේ කටයුත්තකි. එහෙත් වැරදි කළ වුනට එරෙහිව රටේ නීතියට ක්‍රියාත්මකවිය යුතුව තිබේ.
දුෂණ හා වංචාවන්ට එරෙහිව පියවර ගන්නා අතර ම මේ වසර අවසන්විමට පෙර ආර්ථික සංවර්ධන කටයුතු වේගවත් කෙරෙනු ඇත. අගමැතිවරයා මේ වන විට චීනයට ගොස් සිටින අතර අළුත් පදනමක් මත චීන ආයෝජන ලබාගැනීම මේ සංචාරයේ ප්‍රධාන අරමුණ ය. මේ ආණ්ඩුවේ වැඩකටයුතු සම්බන්ධයෙන් සාධාරණ විවේචන ඇත. සමහර මැති ඇමතිවරුන් කරන වැඩ සම්බන්ධයෙන් අපි වගේ අය බලවත් ලෙස අපහසුවට පත්වෙන අවස්ථා තිබේ. අපි බලයට පැමිණියේ යහපත් රටක් හදන පොරොන්දුව ඇතිව ය. එහෙයින් මේ ආණ්ඩුවේ සමහර මැති ඇමතිවරුන් කරන අකටයුතුකම් වලට එරෙහිවීම මේ ආණ්ඩුව බලයට පත් කළ සියලු දෙනාගේම වගකිමකි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *