යහපාලන ආණ්ඩුව ගෙදර යවන්න කාලෝට ඇති අයිතිය කුමක්ද ? – භාතිය බරුකන්ද

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා සැලකෙන්නේ ලංකාවේ ප‍්‍රකට බුද්ධිමතෙක් මෙන්ම ජනමත නායකයෙකු ද වශයෙනි. එතුමා මේ තත්ත්වය ලබාගත්තේ හුදු දේශපාලන හෝ ඊනියා මාධ්‍ය සම්බන්ධතා මත නොව අදීන පැවැත්ම හා සමාජය වෙනුවෙන් නොබියව හා නොසැලී ඉටුකළ බුද්ධිමය කාර්යභාරය හේතුවෙන් බව පොදුවේ පිළිගැනේ. විශේෂයෙන් කාලෝ ෆොන්සේකා මහතා මහාචාර්ය කොවුර් සමග ඊනියා දේව ඇදහිලි ඇතුළු මිත්‍යාවන්ට එරෙහිව දශක ගණනාවක් පුරා ගෙන ගිය අඛණ්ඩ අරගලය මීට දශක කිහිපයකට පමණ පෙර මෙරට සමාජය ඊනියා දේවවාදයේ බලපෑමෙන් මුදවා ගැනීමට ප‍්‍රබල බලපෑමක් කළ බව පිළිගැනේ.
හේතුඵලවාදියෙකු, වාමාංශික නායකයෙකු මෙන්ම බුද්ධිමතෙකු වන මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා වෛද්‍යවරුන්ගේ සාම්ප‍්‍රදායික මහන්තත්වයෙන් මිදී වඩාත් ජනතාවාදීව ක‍්‍රියා කළ අතර ඒ නිසාම පොදු ජනතාව කෙරෙහි ප‍්‍රබල මතවාදී බලපෑමක් කළ හැකි තත්ත්වයක් ද පහසුවෙන් හිමිකර ගත්තේය. එනිසා එතුමා කියන දෙයක් ප‍්‍රශ්න කිරීමකින් තොරව පිළිගැනීමට තරම් සමාජය යොමු වූයේ දශක ගණානාවක් පුරා එතුමා විසින් ඉටුකළ අදීන කාර්යභාරය ජනතාව මැනවින් දැන සිටි නිසාය.
එහෙත් අද මහාචාර්ය කාලෝ ෆොන්සේකා කියන දෙයක් සමාජය ඒ ආකාරයෙන්ම පිළිගන්නේද ? එතුමා දශක ගණනාවක් පුරා ගොඩනගා ගත් ඒ දැවැන්ත පෞර්ෂය ඒ ආකාරයෙන්ම පවතින්නේද ? අදීන පුද්ගලයෙකු වශයෙන් සැලකුණු එතුමා අද යම් කිසි පුද්ගලයෙකුගේ හෝ කල්ලියක අතකොළුවක් වී තිබේද ? මෙවැනි ප‍්‍රශ්න රැුසක් අද අප හමුවේ තිබේ. ඒ වෙන කිසිවක් නිසා නොව පසුගිය වසර කිහිපය පුරා එතුමා කළ කී බොහෝ දේවල් ඊනියා දේශපාලන බලලෝභීන්ගේ මනදොළ සපුරාලන දේවල් වන නිසාය. ඔවුන්ව මතවාදීව ශක්තිමත් කරන නිසාය. දෙදරා ගිය බොල් පිළිම යළි ඔසවා තැබීමේ වෑයමක් ලෙස පැහැදිලිව පෙනී යන නිසාය.
බුද්ධිමතුන් හා රාජපක්ෂ යුගය
2005 -15 මහින්ද රාජපක්ෂ යුගය සැලකිය හැක්කේ ලංකාවේ සියලූ ආකාරයේ දේශපාලන, සමාජ හා ආර්ථික වටිනාකම් දැවැන්ත ලෙස පරිහාණිය කරා ගමන් කළ යුගයක් වශයෙනි. අති සියුම් හා නිර්මාණශීලී ආකාරයෙන් අඛණ්ඩව ක‍්‍රියාත්මක වූ රාජ්‍ය මර්ධනය සමග දියත් වූ රාජපක්ෂවාදී දැවැන්ත ප‍්‍රචාරණ හා සන්නිවේදන යාන්ත‍්‍රණය විසින් ඉතා පහසුවෙන් මෙරට ජන සමාජය කෙරෙහි බලපෑමක් කළ හැකි සියලූ ආකාරයේ ජනමත නායකයින් රාජපක්ෂ ග‍්‍රහණයට ගැනීමේ වැඩපිළිවෙළක් දියත්ව තිබුණේය. මේ සඳහා ඊනියා ‘දේශපේ‍්‍රමීත්වය’ පහසු ඇමක් වශයෙන් භාවිතයට ගත් අතර ‘දේශපේ‍්‍රමීයා’ සහ ‘දේශද්‍රෝහියා’ නාමකරණය කිරීමේ පූර්ණ හිමිකාරීත්වය රාජපක්ෂවරුන් (රාජපක්ෂ පවුල් පාලනය ඉවසූ සියලූ දෙනා රාජපක්ෂවරුන් ලෙස හැඳින්විය හැකිය* සතු වීම නිසා මෙම ක‍්‍රියාවලිය ඉතා සුමට ආකාරයෙන් ක‍්‍රියාත්මක කිරීමේ අවස්ථාව ද තිබුණේය.
මෙහිදී ජන සමාජය කෙරෙහි සාධනීය බලපෑමක් කළ හැකි බුද්ධිමතුන්, කලාකරුවන්, ප‍්‍රජා නායකයින්, ආගමික නායකයින් ඇතුළු සියලූ ආකාරයේ ජනමත නායකයින් හමුවේ ඉතා පහසු තෝරා ගැනීම් දෙකක් පමණක් රාජපක්ෂවරුන් විසින් තැබුවේය. ‘දේශපේ‍්‍රමීයාද ?’ ‘දේශද්‍රෝහියාද ?’ යන සරල ප‍්‍රශ්නයේ හරයාත්මක (සැඟවුණු* අදහස වූයේ ‘ඔබ අප සමග (රාජපක්ෂවරුන්* නම් දේශපේ‍්‍රමියෙකි, ඔන උන් සමග නම් (විපක්ෂ බලවේග* දේශද්‍රෝහියෙකි’ යන්නයි. මහා යුද්ධයට අණ දුන් අසහාය හමුදා නායකයා වූ යුද හමුදාපති සරත් ෆොන්සේකා පවා ජාති ද්‍රෝහියෙකු කර ජම්පරයක් ඇන්දවීමට රාජපක්ෂවරුන්ට හැකියාව ලැබෙන්නේ මේ නාමකරණයේ සින්නක්කර අයිතිය ඔවුන් සතු වූ නිසාවෙනි. ඊට පසුව අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඉතා නිර්ලිච්ýත ආකාරයෙන් තනතුරෙන් පළවා හරින්නට හැකි වන්නේද, ලසන්ත වික‍්‍රමතුංග වැනි දැවැන්ත මාධ්‍යකරුවන් මහ මග අමු දවාලේ ඝාතනය කිරීමට අවස්ථාව ලැබෙන්නේ මේ නිසාවෙනි. කොටින්ම විමල් වීරවංශ වැනි හුදු වාචාලයින් ජාතියේ මහා ආරක්ෂයින් වශයෙන් අභිෂේක ලබන්නේ රාජපක්ෂවරුන් විසින් ස්වයං ආරෝපිත අසහාය බලය හේතුවෙනි.
බුද්ධිමතුන් හමුවේ මතු වූ උභතෝකෝටික ගැටලූව
මේ තත්ත්වය තුළ මහාචාර්ය කාලෝ ෆොන්සේකා වැනි සුබුද්ධිමතුන් මුහුණ දුන් තත්ත්වය උභතෝකෝටික විය. රාජපක්ෂවරුන්ගේ දැවැන්ත මර්ධනය හා සටෝපය හමුවේ ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් ආවැඞීම හෝ සියල්ල අහිමිකරගත් මිනිසුන් වශයෙන් නින්දාවටත්, අවමානයටත් පත්වීම යන දෙකෙන් (දේශපේ‍්‍රමියාට සියල්ල හිමිය, දේශද්‍රෝහියාට සියල්ල අහිමිය න්‍යාය අනුව* එකක් නිසැක තෝරා ගැනීම බවට පත් වූ අවස්ථාවක අති බහුතරයක් පිරිස ඉතාමත් නින්දා සහගත ආකාරයෙන් (භීතිය නිසා විය හැකි වුවත්* රාජපක්ෂවරුන්ගේ පැවැත්ම තහවුරු කිරීමේ ව්‍යාපෘතිය ම තෝරා ගත්තේය.
මෙම ලේඛකයාගේ පුද්ගලික අදහස වන්නේ ජීවිතයේ සැදෑ සමය ගත කරමින් සිටි මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා වැනි සැලකිය යුතු පිරිසක් උඩු ගං බලා පීනනවා වෙනුවට පහසුවෙන් ජීවත් විය හැකි මග වශයෙන් සැලකිය හැකි රාජපක්ෂවරුන් වෙනුවෙන් පෙනී සිටීම / රාජපක්ෂ න්‍යාය පත‍්‍රයට අනුව කටයුතු කිරීම තෝරාගත් බවයි. ඒ බව මනාව තහවුරු වන්නේ මහින්ද රාජපක්ෂ මැතිවරණ පවත්වන සෑම අවස්ථාවකම, මහින්ද රාජපක්ෂගේ ජයග‍්‍රහණය වෙනුවෙන් මෙම බුද්ධිමතුන්, ජනමත නායකයින් වශයෙන් සැලකිය හැකි ප‍්‍රජාව තම අත්සන් සහිතව පුවත්පත් දැන්වීම් පළ කළ ආකාරයයි. ජනමාධ්‍ය තුළ, තම නිර්මාණ තුළ රාජපක්ෂ න්‍යාය පත‍්‍රය ඔසවා තැබූ ආකාරයයි.
කාලෝ ෆොන්සේකා මහතාගේ භූමිකාව
මෙම ලිපිය ආරම්භ කරමින් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ගැන මෙතරම් අටුවාටීකා ලිවීමට සිදු වූයේ යහපාලන ආණ්ඩුව නැතහොත් සම්මුතිවාදී ආණ්ඩුව පිහිට වූ දා සිට ආණ්ඩුවට එරෙහි ප‍්‍රධාන බලවේගයක් වශයෙන් මතු වෙමින් පවතින ‘සයිටම් විරෝධය’ හමුවේ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ භූමිකාව අතිෂයින්ම ප‍්‍රතිගාමී වීමයි. මෙහි දී මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ වත්මන් ක‍්‍රියාකාරීත්වය ප‍්‍රතිගාමී යැයි සඳහන් කරන්නේ ඒ මහතා පසුගිය වසර දෙකහමාර පුුරාම කළ කී දෑ සියුම්ව නිරීක්ෂණය කිරීම තුළින් මිස ඒ මහතාගේ ස්වර්ණමය අතීත ක‍්‍රියාකාරීත්වය කිසිසේත් අවතක්සේරු කරමින් නොවේ. අද සමාජය හමුවේ පවතින ‘‘මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා මේ දර දිය අඳින්නේ කවුරුන් පිනවන්නද ?’’ ගැටලූව විසඳා ගැනීම සඳහා ප‍්‍රවේශයක් වශයෙනි.
මේ සඳහා ඉතා ආසන්නම උදාහරණය පසුගිය සතිය අසුරින් ලබාගත හැකිය. මේ වන විට රිමාන්ඞ් බන්ධනාගාර ගත කොට සිටින රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ නායකයාගේ සුව දුක් බැලීමට ගිය මහචාර්ය කාලෝ ෆොන්සේකා මහතා රිමාන්ඞ් බන්ධනාගාරය ඉදිරිපිටදී ජනමාධ්‍ය හමුවේ කියා සිටියේ ‘‘ආණ්ඩුව සයිටම් ආයතනය වසා නොදමන්නේ මේ ආණ්ඩුව ද පළවා හැරීමට කටයුතු කරන බවයි. තමා මහින්ද රාජපක්ෂ යුගයේ භීතිය නිසා දැඩි සයිටම් විරෝධයක් නොගත් බව එහිදී වැඩි දුරටත් කියා සිටි මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අවධාරණය කරමින් කියා සිටියේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාජය කළ ආකාරයෙන්ම වත්මන් ආණ්ඩුව ද පරාජයට පත් කරන බවයි. මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ මේ තර්ජනය කිරීමේ සරල අදහස වන්නේ ‘සයිටම් අර්බුදය සයිටම් විරෝධී බලවේගවල අවශ්‍යතාව අනුව විසඳුමේ නැතිනම් සම්මුතිවාදී ආණ්ඩුව පළවා හරින බවයි.
තේරුම්ගත යුතු සත්‍ය කුමක්ද ?
අද යහපාලන ආණ්ඩුව විසින් නිර්මාණය කළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා හොඳින් අභ්‍යස කරන්නේ යහපාලන විරෝධීන් මිස යහපාලනය වෙනුවෙන් ඡුන්දය භාවිත කළ 62 ලක්ෂයක් ජනතාව විසින් නොවන බව ඉතා පැහැදිලිව දැකිය හැකියි. ඊනියා සයිටම් විරෝධයට මුවා වී මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා වැනි ගෞරවනීය පුද්ගලයින් ද අද ඉටු කරමින් සිටින්නේ යහපාලනයට වින කටින විනාශකාරී භූමිකාවක් මිස යහපාලනය ශක්තිමත් කරන හෝ එයට මතවාදීව සහාය දක්වන බුද්ධිමතුන්ගේ භූමිකාවක් නොවේ. අද ඊනියා සයිටම් විරෝධය යහපාලන ආණ්ඩු විරෝධී අරගලයක් දක්වා පරිවර්තනය කිරීමට මේ පාර්ශ්ව කටයුතු කරන්නේ පසුගිය රාජපක්ෂ දශකයේ දේශපාලන බැඳීම් යළි ඔසවා තැබීම සඳහාම පමණක් බව අප වටහා ගත යුත්තේ යහපාලන ආණ්ඩුව ගෙදර යනවන බවට මෙම බුද්ධිමතුන් පසුගිය කාලය පුරා අඛණ්ඩව කරන තර්ජනවල යටි පෙළ වටහා ගැනීම තුළිනි.
තමා සයිටම් ආයතනය ගැන රහස්‍ය වාර්තාවක් එදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට භාර දුන් බව ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා වශයෙන් මහාචාර්ය කාලෝ ෆොන්සේකා අද ඉතා පහසුවෙන් ජනමාධ්‍ය හමුවේ කියයි. එහිදී එතුමා කිසිදු පසුතැවීමකින් තොරව කියන්නේ මහින්ද රාජපක්ෂ ඒ සම්බන්ධයෙන් කිසිඳු පියවරක් නොගත් බවකි. ඊළඟ එතුමා කියන්නේ මේ තත්ත්වය තුළ තමා ඇතුළු කණ්ඩායම් මහින්ද රාජපක්ෂ පරාජය කිරීම සඳහා කටයුතු කළ බවකි. ඒ නිසා සයිටම් අර්බුදය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු සයිටම් විරෝධී බලවේගවල අවශ්‍යතාව අනුව නොවිසඳන්නේ නම් යහපාලන ආණ්ඩුව ද පළවා හැරීමට පියවර ගන්නා බවකි.
මහාචාර්යවරයා මේ කියන්නේ කුමනාකාරයේ දේශපාලන අපභ‍්‍රංශයක් දැයි ජනතාවට වටහා ගත නොහැකිය. මන්ද මේ කිසිවකු යහපාලන ආණ්ඩුව බිහි කිරීම සඳහා වන පුරවැසි ව්‍යපාරවල සිටියේ නැත. ඔවුන් එකී කාලය තුළම සිටියේ මහින්ද රාජපක්ෂ යාවජීව ජනපතිවරයා කරන ඊනියා ව්‍යාපෘතියේ ප‍්‍රබල හවුල්කරුවන් වශයෙනි. මතවාදී නායකයින් වශයෙනි. එනිසා අනාගතයේදී දැවැන්ත සමාජ අර්බුදයක් බවට පත්වනු ඇතැයි තමා උපකල්පනය කළ බව කියන සයිටම් අර්බුදය විසඳා ගැනීම සඳහා රහස්‍ය වාර්තා යවනවා හැර මහාචාර්ය කාලෝ ෆොන්සේකා වැනි බුද්ධිමතුන්ට කළ හැකි වෙන කිසිවක් තිබුණේ නැත. මන්ද මහින්ද රාජපක්ෂ පාලනය තම න්‍යාය පත‍්‍රයෙන් ඔබ්බට ගිය, එයට අභියෝග කළ කිසිදු ආකාරයක විවේචනයක්, මතවාදයක් නොඉවසූ හෙයිනි. ඒවා හැකි සෑම බලයක්ම යොදා මර්ධනය කළ හෙයිනි. අනෙක් අතින් තව දුරටත් චිරාත් කාලයක් රාජපක්ෂ පාලනයක් මිස ඊට සපුරා පටහැනි යහපාලනයක් බිහිවෙතැයි බොහෝ දෙනකු අපේක්ෂා නොකළ හෙයිනි.
මේ තත්ත්වය තුළ අප අවධාරණය කරන්නේ අද සයිටම් විරෝධය ඊනියා වීදි සටනක්, ආණ්ඩුව පළවා හරින ව්‍යාපාරයක් බවට පත් කර ගැනීමට තැත් කරන සයිටම් විරෝධීන් මේ කරමින් සිටින්නේ යහපාලනය විසින් බිහිකළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය හිතා මතාම අපයෝජනය කරමින් යළි රට ඒකාධිපතිවාදය කරා කැන්ඳා ගෙන යාමට කැසකවන රාජපක්ෂ කල්ලියේ දේශපාලන අවශ්‍යතා ඉටු කිරීමක් පමණක් බවයි. ඊට ඉතාම පැහැදිලි හේතුව වන්නේ ‘සයිටම් අර්බුදය’ තමන්ට වුවමනා ආකාරයට හසුරවා ගැනීමට අද තැත් කරන මේ කිසිඳු බුද්ධිමතෙකු හෝ කල්ලියක් කිසිමදාක යහපාලන ව්‍යාපාරය තුළ නොසිටීමයි.
මේ සුපැහැදිලි තත්ත්වය තුළ අප මහත් ඕනෑකමින් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගෙන් විමසා සිටින්නේ රාජපක්ෂවරුන් විසින්ම පෝෂණය කළ කළලයක් ගබ්සා කරන මෙන් ඊට කිසිදු සම්බන්ධයක් නැති යහපාලන ආණ්ඩුවට බල කිරීමට තිබෙන සදාචාරාත්මක අයිතිය කුමක්ද යන්නයි. මන්ද මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාම අවධාරණය කර ඇති පරිදි සයිටම් ගැබ් ගත්තේ ද, පෝෂණය වූයේ ද ඔවුන් ද මතවාදී නායකත්වය දැරූ රාජපක්ෂ පාලනයේදී මිස යහපාලන ආණ්ඩුව සමයේදී නොවේ. එනිසා මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා වැනි බුද්ධිමතුන්, මෙම කළලය පෝෂණය කළ පුද්ගලයින් ‘‘මේ කළලය ගබ්සා නොකළොත් ආණ්ඩුවේ වැඩ ඉවරයි’’ යනුවෙන් අද යහපාලන ආණ්ඩුවට තර්ජනය කිරීම දේශපාලන සදචාරයට පමණක් නොව තමන්ගේ හෘද සාක්කියට පවා එකඟ නැති දෙයක් බව අප අවධාරණය කරන්නේ මෙම පසුබිම තුළය.

සටහන

භාතිය බරුකන්ද

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *