ඔබත් ඉල්ලා අස්විය යුතුය. – අනුර සුරියබණ්ඩාර
රවී කරුණානායකගේ ඉල්ලා අස්වීමට අයිතිකාරයන් බොහෝය. ඒ අතරින් මුලුන්ම හිටගන්නට තැත් කරමින් සිටින්නේ ඒකාබද්ධ විපක්ෂය ය. ජනතා විමුක්ති පෙරමුණ, සිවිල් සංවිධාන, සාමාජ මාධ්‍ය, පමණක් නොව ආණ්ඩුව කරවන එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අතැමුන් ද ඒ අතර සිටිති.
රවීගේ ඉල්ලා අස්වීම ජයග්‍රහණයක් නම්, ඒ ජයග්රහන්ට හිමි කරුවෝ කවරහුද? ඉල්ලා අස්වීමෙන් උදම්වීමේ අයිතිය ඇත්තේ ජනවාරි 08 වෙනසට ඉතසිතින් දායක වූ පිරිසට පමණකි. වෙන්දේසිය අවසන් වූවාට පසුව මල්වට්ටියට අතගසා පිනට සම්මාදම් වන්නට තතනන, එනම්, ජයග්රහණයෙන් පසුව ජනවාරි 08 වෙනසට එකතු වූ හෝ ඡන්දයේ ප්‍රතිඵල නිකුත් වනතුරු එළිපත්තේ හිටගෙන කල්ගතකර ඡන්දයෙන් පසුව හුරේ කී කිසිවකුට ඒ පිළිබඳ කතා කරන්නට හෝ අයිතියක් නැත.
මේ බව තහවුරු කරන්නට අපට එතරම් ඈත අතීතයකට යාමට වුවමනා නැත. රවී කරුණානායක මහතාගේ ඉල්ලා අස්වීමෙන් උදම් වී සිටින ඒකාබද්ධ විපක්ෂයේ මහත්වරු රටකරවන යුගයේ රෝහිත අබේගුණර්ධන නියෝජ්‍ය ඇමතිට අල්ලස් කොමිසමෙන් කැඳවීමක් ලැබුණා අපට මතකය. සිදුවූයේ කුමක්ද? ඔහුට නයෙකු දෂ්ට කළේය. ඒ නිසා රෝහල් ගතවිය. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණියේ නැත. එකල මුදල් ඇමති සහ ජනාධිපතිව කටයුතු කළ මහින්ද රාජපක්ෂ කළේ අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල් කුරුණෑගලට මාරු කිරීමය. තවත් ඒ හා සමාන කරුණු අවශ්‍ය නම්, දිවිනැගුම පනතට පැවති නෛතික බාදා පෙන්වා දුන් වරදට හිටපු අගවිනිසුරුවරිය ශීරාණි බණ්ඩානායකට මුහුණ දීමට සිදු වූ තත්ත්වය ද මතක් කර දිය හැකිය. එකල දූෂණ වංචා පරීක්ෂා කළ නිලධාරින්ට ලැබුණේ ස්ථානමාරු, අඩන්තෙට්ටම්, තර්ජන, බියවැදීම් සහ සේවයෙන් නෙරපා හැරීම්ය.
බැඳුම්කර කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රදාන විධායක නිලධාරියා පැවසූ කරුණු වලට අනුව එම සමාගමට මුලින්ම අවසර ලැබී ඇත්තේ 2013 වර්ෂයේ දී ය. එකල රට පාලනය කරුණේ මහින්ද රාජපක්ෂ ඇතුළු අද ඒකාබද්ධ විපක්ෂය වශයෙන් පෙනී සිටින කණ්ඩායම විසිනි. මහ බැංකුවේ අධිපති වශයෙන් සිටියේ අජිත් නිවාඩ් කබ්රාල් මහතාය. ඔහු රාජපක්ෂ පවුලේ ඥතියෙකි. මහබැංකු අධිපති ධුරයට මෙට ඉතිහාසයේ කරන ලද පළමු දේශපාලනපත්වීම ද අජිත් නිවාඩ් කබ්රාල් මහතාය.
පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගම බැඳුම්කර නොමිසම හමුවේ පැවසූ කරුණුවලට අනුව ඔවුන් මහින්ද සමයේ සියයට තුන්හාරසීයේ ප්‍රතිශත වලින් ලාභ උපයා තිබේ. එසේ ලාබ ඉපැයීමේ අවස්ථාව සලසා ගැනීමට අර්ජූන් ඇලෝසියස් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සම්බන්ධකරගෙන ඇත්තේ, ඔහුගේ සහෝදරියක වන ශීරෝමි කබ්රාල් මිලියන ගණනින් ගෙවන වැටුපකට පර්පචුවෙල් සමාගමේ අධ්යක්ෂවරියක වශයෙන් බඳවා ගැනීමෙනි.
ග්‍රීසිය සමග කළ ආයෝජනයකින් රුපියල් කෝටි 700ක මුදලක් රටට අහිමි කළේ ද හෙයිජින් ගණුදෙනුව හරහා තවත් කෝටි 7000ක මුදලක් අහිමි කළේද, සේවක අර්ථසාධක අරමුදලේ කෝටි 2800ක් අලාභයක් රටට සිදු කළේද අජිත් නිවාඩ් කබ්රාල් නමැති හිටපු මහබැංකු අධිපතිවරයා හෙවත් රාජපක්ෂ පවුලේ තවත් ඥතියාය. හෙජින් ගිවිසුම සම්බන්ධයෙන් රාජපක්ෂ පවුලේ තවත් ඥාතියකු බව කියැවෙන ක්‍රිකට් ක්‍රීඩකයකු වූ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයකුගේද නම ඈඳී අති බව පැවසිය යුතුය.
අර්ජූන් ඇලෝසියස් යනු තම පුතුන්ගේ සමීපතම මිත්‍රෙයකු බව මහින්ද රාජපක්ෂ මහතාට ද අමතක වී ඇති බව පෙනේ. බැදුම්කර කටයුතු සම්බන්ධයෙන් ප්‍රාතමික වෙළඳාමට පර්පචුවෙල් සමාගමට බලපත්‍රය ලැබී ඇත්තේ 2013 වසරේ දීය. ඒ සඳහා රාජපක්ෂ පවුලේ හිතවත්කම් බලපෑවේ ද නැතිද යන්න පැහැදිලි නැති වුව, පර්පචුවෙල් ඇසෙසට් මැනේජ්මන්ට් වෙතින් ලැබුණු මිලියන 310ක මුදලින් ව්‍යාපාර පටන්ගත් පර්පචුවෙල් ට්‍රෙෂරිස්, 2014 අප්‍රේල් මාසයේ සිට සැප්තැම්බර් දක්වා උපයා ඇති ලාභය මිලියන 816කි. ඒ කිසිවක් පිළිබඳව එකල ප්‍රශ්න කෙරුණේ නැත. අදත් ප්‍රශ්න කෙරෙන්නේ නැත. කොමිසම් පත්කෙරුණේත් නැත. පත්කරනු ඇතැයි බලාපොරොත්තු වන්නට හැකියාවක් හෝ ඇත්තේද නැත.
බැඳුම්කර ප්රශ්නයේ ඒකාබද්ධ විපක්ෂයේ මුල්පෙලේ කස කරුවෙකු වන්නේ මහින්දානන්ද අලුත්ගමගේ ය. ඔහු ඉහත කී සිදුවීම් සිදු වූ සමයේ ඒ ආණ්ඩුවේ ඇමතිවරයෙකි. අද බැඳුම්කර සම්බන්ධයෙන් ඇති වී තිබෙන රුදාව එකල ඔහුට නොතිබුණේ මන්දැයි විමසිය යුතුය. එසේම ඇමති තනතුර දැරූ කාලයේ සිදුකළ දූෂණ වංචා සම්බන්ධයෙන් නඩුවක් මහින්දානන්ද අලුත්ගමගේට තිබේ. ඒ කාලයේ ඔහු උපයා ඇති ධනස්කන්ධය පිළිබඳ හෙළි කරන්නේ අන්කිසිවකු නොව ඔහුගේ පැරණි බිරියයි. ඒ දික්කසාද නඩුවක දී ය.
විමල්ගේත්, ගම්මන්පිලගේත් කිල්ලෝටවල හුණු තිබේ. බැසිල්ට ද, නාමල්ට ද ඒ කාරණය පොදුය. රවී කරුණානායක ධුරයෙන් ඉල්ලා අස්වූයේ ඔහුට චෝදනා එල්ල වූ නිසා මිස චෝදනා ඔප්පු වූ නිසා නොවේ. චෝදනාවලට ලක්වූවකු වශයෙන් සිය ධුරයේ ඔහු රැඳී සිටීම සදාචාරයට පටහැනි බව සමාජයත්, ආණ්ඩුවත්, එක්සත් ජාතික පක්ෂයත්, ඔහුත් තීරණය කළ බැවිනි.
බැඳුම්කර කොමිසම යනු උසාවියක් නොවේ. දඬුවම් පැමිණවීමේ බලයක් එයට නැත. එහි දී සිදුවන්නේ කරුණු විමසීමකි. ඒ අනුව බැඳුම්කර කොමිසම හමුවේ ඉදිරිපත් වී ඇති කරුණු සැලකිය හැක්කේ තොරතුරු සමූහයක් වශයෙනි. නමුත් බැසිල්ට, විමල්ට, ගම්මන්පිලට, අලුත්ගමගේට විරුද්ධව උසාවි හමුවේ චෝදනා ගොනුකොට තිබේ. නඩු ද පවරා තිබේ. රවී කරුණානායකගේ ආදර්ශයට අනුව යන්නේ නම්, ඔවුන් කළයුතු වන්නේ නඩුව අවසන්වනතුරු දේශපාලනයෙන් ඉවත් වීමයි. සදාචාරය යනුවෙන් අදහස් වන්නේ එයයි. නමුත් ඔවුන් තවමත් උත්සාහ දරන්නේ රවීට මුවාවී සිය නිරුවත වසාගැනීමටය. රවීට ඇඟිල්ල දිගු කර තමන්ගේ වැරැදි වසා ගන්නටය. ජනතාවට තම වැරැදි අමතක කරවීමට රවී සම්බන්ධ සිද්ධිය උපයෝගි කරගන්නටය.
මහින්ද රාජපක්ෂ යනු පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගම බැඳුම්කර ගනු දෙනු වලට සම්බන්ධ වන කාලයේ සිටි මුදල් ඇමතිවරයාය. අජිත් නිවාඩ් කබ්රාල් නමැති ඥතිවරයා මහබැංකු ධුරයට පත්වන්නේ ඔහුගේ දේශපාලන බලපරාක්‍රමය යටතේය. 2014 අප්‍රේල් සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ පර්පචුවෙල් සමාගම ඉපයූ ලාභය වන රුපියල් මිලියන 816 පිළිබඳ සොයා බැලීමේ වගකීමක් එකල මුදල් ඇමතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂටත් තිබේ. අජිත් නිවාඩ් කබ්රාල් යටතේ ග්‍රීසියේ ආයෝජනය කිරීමෙන් රටට සිදුවූ රුපියල් කෝටි 7000ක පාඩුව, සේවක අර්ථසාධක අරමුදල කොටස් වෙළඳ පොලට යොමු කිරීම හේතුවෙන් සිදු වූ රුපියල් කෝටි 2800ක පාඩුව ආදී සියල්ල පිළිබද වගකීමක් එකල මුදල් ඇමතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂට තිබේ. උසාවියක නඩුවක් පැවරී නොතිබුණ ද, එකී ගනුදෙනු සිදු වූ බවත්, ඒ ගනුදෙනු හරහා ඉහත කී අලාභ රටට සිදු වී ඇති බවත් පැහැදිලිය.
අවංක දේශපාලඥයෙකු නම් පමා වී මහින්ද කළ යුතු වන්නේ එකී ගනුදෙනු සම්බන්ධව පරික්ෂණ කෙරෙන මට්ටමකට කටයුතු කිරීමය. නැතහොත් ඉහත කී වංචා දූෂණ සම්බන්ධයෙන් ජනතා අධිකරණය දුන් තීන්දුව එනම්, මැතිවරණ ප්‍රතිඵලය පිළිගෙන දේශපාලයෙන් විශ්‍රාම ගැනීමය. නමුත් ඔහු නිරතව සිටින්නේද අනුන්ගේ පවුවලට මුවාවී තමන්ගේ කප්පරක් පවු සෝදා ගැනීමේ කුමන්ත්‍රණයකය.
රවී කරුණානායක සම්බන්ධ චෝදනාවට අදාළ වාර්තාව පිටු 8600කින් යුක්ත බව පැවසේ. එකී පිටු 8600 කියවීම සදහා නීතිපති දෙපාර්තවේන්තුවට ගත වී ඇත්තේ පැය 48ක කාලයක් බවද පැවසේ. කෝටි 9ක් වියදම් කරමින් සිය මියගිය මවු පියන් අනුස්මරණය පිණිස ගෝඨාභය රාජපක්ෂ කළ ඉදිකිරීමක් සඳහා වන වියදම සම්බන්ධ අත්සන් සොයා ගැනීමට අවුරුදු 2 2්/1ක් ගතවීත් නොහැකි වී ඇත්තේ ද පිටු 8600ක් පැය 48ක් ඇතුළත කියැ වූ නීතිපති දෙපාර්මේන්තුවටමය.
මහින්ද රාජපක්ෂලාට, මහින්දානන්ද අලුත්ගමගේලාට , බැසිල් රාජපක්ෂලාට, රවී කරුණානායකට මුවා වී යහපාලනය පිළිබඳ පලාපොරොත්තු තැබූ ජනතාවට ගල් ගැසීමට අවස්ථාව ලැබී ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුව වැනි ආයතනවල පවතින මෙවැනි දුර්වලතා නිසාය. ඒ දුර්වලතා යනු හුදෙක් එම ආයතනවලම දුර්වලතා නොවේ. ඒවා ආණ්ඩුවේ ආයතන වන බැවිනි. එසේනම් ඒවායින් වක්‍රව පෙන්නුම් කරන්නේ ආණ්ඩුවේම දුර්වලතාවයි. ආණ්ඩුවේ නිද්‍රාශීලි වැඩළිවෙත හේතුවෙන් ආණ්ඩුවේම දූෂණ අල්ලස් චෝදනා වලට යටවී යාමට නියමිතව තිබෙන්නා සේය. යහපාලන ආණ්ඩුව බලයට පත්වූයේ පසුගිය ආණ්ඩුවේ සොරුන් සහ දූෂිතයන් නීතිය ඉදිරියට පමුණුවා ඔවුන්ට දඬුවම් දීමටය. නමුත්, ජනාධිපතිවරණයට අවුරැදු 2 2/1 කුත්, මහමැතිවරණයට එනම් ආණ්ඩුවට අවුරැදු 2කුත් ගතවන තුරුත් දඬුවම් පැමිණ වූ කිසිවෙක් නැත. සොරකම්, අපරාධ, වංචාවලට සම්බන්ධ පුසුගිය ආණ්ඩුවේ තැනැත්තන් සම්බන්ධ ඇතැම් නඩු කටයුතු ආරම්භ කර හෝ නැත. ඇතැම් පැමිණිලි ඇත්තේ පරීක්ෂණ මට්ටමේය. ඒ අතරතුර ආණ්ඩුවේ ප්‍රබලයෙකුට චෝදනා හමුවේ ඉල්ලා අස්වන්නට සිදුව තිබීම සහ ඒ ඔස්සේ ජය ඝෝෂා නැඟීමට අපරාධ දූෂණ වලට සම්බන්ධ බව කැයැවෙන පිරිසකට අවස්ථාව සැලසී තිබීම ආණ්ඩුවට තම වගකීම ඉටු නොකිරීම හේතුවෙන් ලක්වන්නට සිදු වූ සරදමක් සේය.
යහපාලනය ගෙන ඒමට සම්බන්ධ විරුද්ධ වූ පිරිස් දැන් කළ යුත්තේ ඇඬීම ද සිනාසීමද යන්න අවසන් වශයෙන් විග්රහ කරගත යුතුය. මේ මොහොතේ රටේ තිබුණේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවක් නම් ඒ ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක්කුට වරුද්ධව චෝදනාවක් නැඟීමට, චෝදනාවක් ප්‍රසිද්ධියට පත්කිරීමට කවර ආකාරයකින්වත් ඉඩක් ලැබෙන්නේ නැත. චෝදනාව එළිදරව් වුවද ඒ සම්බන්ධයෙන් මොනම පරීක්ෂණයක්වත් සිදු වන්නේද නැත. දැන් එකල කිසිසේත් සිදුවිය නොහැකි දෙයක් සිදු වී තිබේ. එය යහපාලනය පිළිබඳ බලාපොරෙත්තු තැබූ අයට සතුටු වියහැකි තත්ත්වයකි.
මහින්ද රාජපක්ෂ පාලන සමයේ නම් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අද රවී කරුණානායක සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරයට ආක්රමණශීලිව කටයුතු කරන්නට අවසර ලැබෙන්නේ නැත. එසේ නම් ඔවුන්ට සිදුවනු ඇත්තේ, රෝහිත අබේගුණවර්ධන හිටපු නියෝජ්‍ය ඇමතිවරයා අල්ලස් කොමිසමට කැඳවූ අවස්ථාවේ අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ට මුහුණ දෙන්නට සිදුවූ අද්දැකීමට මුහුණ දීමටය. නැතහොත් දිවිනැගුම පනත සම්බන්ධ සිදුවිමේ දී හිටපු අගවිනිසුරුවරිය මුහුණ දුන් තත්ත්වට මුහුණ දීමටය. එවන් තත්ත්වයක් දැන් ඇති නොවීම පිළිබඳ යහපාලනය ගෙන ඒමට දායක වූවන්ට සතුටු වන්නට පුළුවන.
මවුපියන්ට කෞතුකාගාරයක් තැනීමට ගෝඨාභය රාජපක්ෂ වියදම් කළ මුදල් සම්බන්ධ අත්සන් සොයා ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවට අවුරුදු දෙකහමාරක් ගතවීම වැනිදේ සම්බන්ධයෙන් නම් යහ පාළනය බලයට ගෙන ඒමට කටයුතු කළ ජනතාවගේ ඇත්තේ අපේක්ෂා භංගත්වයකි. ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නට ආණ්ඩුව කඩිනම් නොවීම පිළිබඳ ජනතාවට ඇත්තේ කනස්සල්ලකි. ඒ කනස්සල්ල තව දුරටත් පැවතීමට ඉඩ දෙන්නේද නැද්ද යන්න තීරණය කිරීම යහපාලන ආණ්ඩුවේ වගකීමකි.
ඒකාබද්ධයේ මහින්ද රාජපක්ෂ, මහින්දානන්ද අලුත්ගමගේ, විමල්, බැසිල් වැන්නන්ට උසාවියේ ගොනු වූ චෝදනා තිබේ. ඒ චෝදනා විභාග කරන්නට ඉඩදී දේශපාලනයෙන් ඉල්ලා අස්වීම ඔවුන්ගේ යුතුකමකි.
